2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ප්‍රශ්න පිට ප්‍රශ්න මැද නොවිසඳෙන ගැටලු

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 69

දෑ අවුරුද්දක් ගෙවී අවසාන වූ තැන ආණ්ඩුවට තව ඇත්තේ තුන් අවුරුද්දකි. මේ මොහොතේ රටම පාණ්ඩු රෝග ලක්ෂණ ප්‍රකට කරමින් සිටියි. එසේ කීම අතිශෝක්තියක් නොවේ. තවත් වසර දෙක තුනක් ගත වූ තැන පවත්වනු ලබන ජනතා ස්වයංවර මංගලයට තීරණාත්මකය. ඊට පෙර වත්මන් ආණ්ඩුව හිමියන් සියලු ශිල්ප දක්වා මහජනයා සතුටු කළ යුතුමය. එහෙත් එය සරල නැත. එය යමා මහා පෙළහර පෑමක් සේ දුෂ්කරය. නමුත් ජනතා විශ්වාස දිනා ගැනීමට වෙනත් විකල්පයක් නොමැත.

මෙම කතාබහ ආණ්ඩුවේ තීරණාත්මක ඉදිරි තුන් අවුරුද්ද පිළිබඳවය. දේශපාලන කරුණු සියල්ල පසෙක ලූ කළ වත්මන් ආණ්ඩුව පසුකර පැමිණියේ අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් බව පිළිගත යුතුය. කොවිඩ් වෛරසය ආර්ථික සාමාජීය වශයෙන් සිදුකළේ සුවිසල් හානියකි. එය බොහෝ අර්බුදවලට මූල බීජය සැපයූ බවද සැබෑවකි. එහෙත් ඇතැම් අර්බුද එම මූල බීජය මතින් රෝපණය කර පෝෂණ කිරීමට ආණ්ඩුව නොමඳ දායකත්වයක් සැපයුවේය. විටෙක නව අර්බුද ඔවුන් විසින්ම නිර්මාණය කර ගත්තේය. තත්ත්වය එසේ වුවත් මෙය මෙරට ආණ්ඩුකරණය තුළ දශක ගණනාවක් පැවති සුව නොවන තුවාලයක් දරුණු ලෙස පෑරීමක් මිස අනෙකක් නොවන බව කීමටද කරුණු තිබේ.

පොදුවේ ගත්කළ වත්මන් ආණ්ඩුව ඉදිරි තීරණාත්මක වසර තුළ ජය ගතයුතු ප්‍රධාන අභියෝග දෙකකි. ඉන් පළමුවැන්න ආර්ථික අභියෝගයයි. දෙවැන්න දේශපාලන අභියෝගයි. එම අභියෝගය තවදුරටත් කොටස් කොට සාකච්ඡාවට බඳුන් කළ හැකිය. පක්ෂ දේශපාලනික දෘෂ්ඨිවාදවලින් බැහැරව අප එම සාකච්ඡාවට මුල පිරීමට උත්සාහ දරමු.

ආණ්ඩුව හමුවේ ඇති ආර්ථික අභියෝගයේ බරසාර මූලික කොටස් තුනකි. රාජ්‍ය ණය, විදේශ විනිමය සහ කෘෂිකර්මය යනු ඒවාය. මේ සියල්ල අනුලෝම ප්‍රතිලෝම වශයෙන් එකින් එක බැඳී තිබේ. විදේශ විනිමය අර්බුදය අදක ඊයෙක සිට රට හමුවේ පැවැති අර්බුදයක් නොවේ. අපනයන ආර්ථිකය ශක්තිමත් නොවීම, ආනයන මත යැපීමට රටක් ලෙස අප පුරුදු වී සිටීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය විය. කෙසේ වෙතත් මෙම අර්බුදයට ආසන්න හේතුව කොවිඩ් වසංගත හමුවේ විදේශ විනිමය මෙවරට ගලා ඒම නතර වීමයි. එයට ඉතා සංකීර්ණ ආර්ථික පැහැදිලි කිරීමක් වෙතත් ඉතා සරලව පැහැදිලි කළ හැකිය.

සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්ත සහ අනෙකුත් අපනයන කර්මාන්තයන්ගෙන් මෙරට ගලා ආ විදෙස් විනිමය පසුගිය දෙවසර මුළුමනින්ම පාහේ නතර වූයේය. ඊට අමතරව විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරට එවනු ලැබූ විදෙස් විනිමයද පසුගිය වසර දෙක තුළ සැලකිය යුතු ලෙස අවම විය. මේ අතර රට සතුව තිබූ විදේශ සංචිත කොවිඩ් එන්නත් ගෙන්වීම ඇතුළු ඉන්ධන ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීමට වැයවිණි. විදෙස් ණය වාරික ගෙවීමටද ඩොලර් අවැසිවීම නිසාවෙන් තත්ත්වය තවත් බරපතල විය.

ඒ අනුව ඉදිරි වසර තුන තුළ මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව සමත්විය යුතුය. ඩොලර් හිඟය ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ අද කතාබහට ලක්වන තත්ත්වය එන්න එන්නම දරුණු වෙමින් තිබේ. ඉදිරි කාලය තුළ තවදුරටත් ආනයන සීමා පැනවීම ආණ්ඩුවට සිදුවනු ඇත. එසේම විදෙස් රටවල් හමුවේ ඩොලර් ඉල්ලා සිටීම ඔවුන් හමුවේ ඇති අනෙක් විකල්පයයි. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කළද වර්තමාන ශ්‍රී ලංකාවේ තත්ත්වය දන්නා ආයෝජකයින් දේශීය සම්පත් සූරාකෑම නම් සාම්ප්‍රදායික තුරුම්පු මනා ලෙස භාවිතයට ගනු ඇත. විදේශයන් හමුවේ ඩොලර් ඉල්ලා සිටීම රාජ්‍යයකට ගෝලීය වශයෙන් සෞඛ්‍ය සම්පන්න නැත.

එහෙත් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රවය සපයා ගැනීම පවා දුෂ්කර වන විටෙක ආණ්ඩුවට වෙනත් විකල්පයක්ද නොවේ. නිවෙසක කෑමබීම හිඟ වනවිට ගෘහමූලිකයාට ගෙදර බඩු මුට්ටු හෝ විකුණා කෑම බීම ටික පවුලට ලබාදීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් එය එම පවුලේ විනාශයට මුල්වේ. එම නිසාම ඉදිරි වසර තුන තුළ රටවැසියා ජීවත් කරවීමට වෙනත් ස්ථීරසාර විසදුමක් ආණ්ඩුව සොයා ගතයුතුය.

අනෙක් අතට කෘෂිකර්මය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දු හේතුවෙන් උද්ගත වී ඇති ගොවි අර්බුද නිශ්චිත ලෙස කළමනාකරණය කරගැනීම ආණ්ඩුව හමුවේ ඇති බරපතල අභියෝගයකි. ආහාර හිඟයක් දක්වා ගමන් කළ හැකි බවට විද්වතුන් අනතුරු අඟවා ඇති මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමද පහසු නැත. එක් පසෙකින් කාබනික පොහොර තීරණය සහමුලින්ම හැරවීම ආණ්ඩුවට කළ හැක්කක් නොවේ. එසේ කළද පොහොර සහ කෘෂි රසායන මිලදී ගැනීමට ඩොලර් සොයා ගැනීම නව අර්බුදයක් වනු ඇත. කාබනික ගොවිතැනේ ක්ෂණික සාර්ථකත්වයක් බලාපොරොත්තු විය නොහැකි බවද ඉතා පැහැදිලිය. මේ අනුව උද්ධමනය සහ නිෂ්පාදන අර්බුද හමුවේ ඉහළ යන එළවළු මිල සහ සහල් මිල ආණ්ඩුවට ඉදිරි වසර තුන තුළ දැවැන්ත ගැටලුවක් වනු ඇත.

ආර්ථික අභියෝගයට දෙවනුව ආණ්ඩුව හමුවේ ඇත්තේ දේශපාලන අර්බුදයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතුළු හවුල්කාර පක්ෂ ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටිමින් ආණ්ඩුවේ තීරණ විවේනය කරමින් සිටිති. එම විවේචන වල අවසන් ප්‍රතිඵලය ඔවුන් ඉදිරි වසර තුන අවසාන වනවිට ආණ්ඩුවේ දැවැන්ත දෙදරා යෑමක් විය හැකිය. එය ඉතා ආසන්න කාලයකදී වුව සිදුවිය හැකිය. මෙම තත්ත්වය හමුවේ නව ආණ්ඩුක්‍රම ඇතුළු ආණ්ඩුවේ මූලික අභිප්‍රායන් බිඳ වැටීමට ඇත්තේ ඉහළ සම්භාභාවිතාවකි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් ප්‍රතිසංවිධාන උත්සාහය හරහා ආණ්ඩුවට නිර්මාණ ඇති බව පෙනී යයි. ආණ්ඩුව කෙරෙහි කළකිරෙන පාර්ශ්ව තමන් වටා කේන්ද්‍ර කර ගැනීමට ඉදිරි කාලය තුළ ඔවුන් කටයුතු කරනු ඇති බව පැහැදිලි වෙයි. ඊට අමතරව ජනතා පෙරමුණද පවතින දේශපාලන වාතාවරණය තුළ වැඩි වාසි අත්කර ගනිමින් සිටියි. මෙම පිරිසක් ආණ්ඩුවට එරෙහිව ඉදිරි වසර තුන තුළ ඒකාබද්ධ වීමට ඇත්තේ වැඩි ඉඩකි.

දේශපාලන අභියෝගය ජය ගැනීමට ආණ්ඩුවට හැකිවන්නේ ආර්ථික අභියෝගය ජය ගැනීම හරහා පමණි. සියල්ල රුඳී ඇත්තේ ජනතාව මත පමණි. මේ සියල්ලට අමතරව ගෝලීය දේශපාලනික අර්බුදයද ආණ්ඩුව හමුවේ ඇත. එය වෙනත් කතාවකි. කෙසේ වෙතත් ඉදිරි වසර තුන ආණ්ඩුවේ කටයුතු සඳහා ඉතා තීරණාත්මකය.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05