2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ඉන්දීය මාධ්‍යයෙන් එළිදුටු තෙල් ටැංකි ගනුදෙනුවේ ගුණදොස්

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 105

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමඟ සංවර්ධනය කිරීමේ ගිවිසුමට පසුගිය ජනවාරි 6 වැනිදා අත්සන් කිරීමට රජය පියවර ගත්තේය. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24ක්ද, ඉන්දියානු තෙල් (IOC) සමාගමට ටැංකි 14ක්ද හිමිවන අතර. තවත් ටැංකි 61ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 51% ද ඉන්දියානු තෙල් සමාගමට 49% ද කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් වන, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනු ඇත. මේ සම්බන්ධයෙන් විවිධ විවේචන මතු වුවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ මෙතෙක් ඉන්දියාවට අයත්ව තිබූ තෙල් ටැංකි සමූහය යළි ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවටය. රටේ මේ වනවිට නිර්මාණය වී ඇති විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය මෙවැනි පියවරකට එළඹ තිබේ.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දියානු මාධ්‍ය බොහෝ දේ ප්‍රකාශ කර තිබිණි. ඉන්දියන් එකස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර තිබූ ආකාරයට ඉන්දියාව තික්‍රණාමලයේ විශාල වශයෙන් ආයෝජනය කිරීමට එතරම් උනන්දු නොවූ බවත් එහෙත් 2010දී චීනය හම්බන්තොට වරාය අත්පත්කර ගැනීමත් සමඟ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ඉන්දියාවට අවශ්‍ය වූ බවත් සඳහන් කර තිබේ. 

ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙබ් අඩවියද මේ සම්බන්ධයෙන් පුවත් පළකර තිබූ අතර එහි සඳහන් වන්නේ ඉන්දියාව ඉන්දියන් සාගරය සිය උපායමාර්ගික පසුබිම ලෙස සලකන අතර ඔවුන්ගේ ප්‍රතිවාදියා වන චීනය ශ්‍රී ලංකාවේ සිදුකරන ආර්ථික හා දේශපාලන බලපෑම නිසා කැළඹීමට පත්ව ඇති බවයි.

ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි ඉදිකරන ලද්දේ පළමු ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය පාලකයන් විසිනි. තෙල් ටැංකි 101කින් සමන්විත වූ එම ටැංකි යුද සමයේ තෙල් ගබඩා කර තැබීම සඳහා උපයෝගී කර ගැනිණි. එය ටොන් මිලියනයකට ආසන්න ධාරිතාවකින් යුක්ත වූවකි. එයින් දෙකක් 1942දී ජපනුන් විසින් බෝම්බ දමා විනාශ කරන ලද අතර දැනට ඉතිරිව ඇත්තේ ටැංකි 99ක් පමණි. එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම විශාලම තෙල් ටැංකි සංකීර්ණයයි. එය අක්කර 850ක භූමිභාගයක් පුරා පැතිර තිබේ. ශ්‍රී ලංකාව 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගත් නමුදු 1964 දී ශ්‍රී ලංකා රජය එය පවුම් 250,000 කට මිලදී ගන්නා තෙක් එම තෙල් ටැංකිවල හිමිකම පැවතියේ බ්‍රිතාන්‍යයන්ටය.

1987 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන ලද අතර එම ගිවිසුම ප්‍රකාරව මෙම තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව ඉන්දියාව සමඟ හැර වෙනත් කිසිදු රාජ්‍යයක් සංවර්ධනය කළ නොහැකිය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරැව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ඉන්දීය ඛනිජ තෙල් සමාගම (IOC) සමග ගිවිසුමකට අත්සන් තැබුණු අතර එම ගිවිසුම ප්‍රකාරව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ය වසර 35ක කාලයක් සඳහා බදුදීමටත් ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් 1/3ක් ඉන්දීයානු තෙල් සමාගමට පැවරීමටත් ගිවිස ගැනිණි. එහෙත් ඉන්දියානු තෙල් සමාගම එම ටැංකිවලින් භාවිතයට ගත්තේ ටැංකි 14ක් පමණි. එම තෙල් ටැංකි මෙතෙක් ඉන්දියාව සතුව පැවැති බවද නව ගිවිසුම අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24ක් ලබා ගැනීමට හා තවත් තෙල් ටැංකි 61ක් ශ්‍රී ලාංකාවට 51% සහ හා ඉන්දියානු සමාගමට 49෴ක් වශයෙන් හවුල් ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යෑමට හැකිවන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 17දා ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි හා ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර ඇතිකරගත් වසර 35ක් පැරණි එම ගිවිසුම යටතේ මෙම තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ගිවිස ගෙන සිටි බවටය. සිවිල් යුද්ධය හේතුවෙන් වසර 15ක පමණ කාලයක් මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද එහි සඳහන්ය. 

ප්‍රධාන වශයෙන් පෙට්‍රල් සිල්ලරට බෙදාහැරීම සඳහා ලංකා ඉන්දියානු තෙල් සමාගම පිහිටුවන ලද්දේ ඉන් වසරකට පසුවය. එම සමාගමට ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා පහසුකම වසර 35කට ලබාදීමටත් ඒ සඳහා වාර්ෂික කුලිය වශයෙන් ඩොලර් 100,000 ක ශ්‍රී ලංකා රජයට ගෙවීමටත් දෙපාර්ශ්වය එකඟවූහ. ඒ අනුව ලංකා ඛනිජතෙල් සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම හා ශ්‍රී ලංකා රජය යන පාර්ශ්වකරැවන් තිදෙනා 2003 පෙබරවාරි මාසයේ ගිවිසුමකට එළඹුණු අතර එය මාස හයකින් කල්බදු ගිවිසුමක් ලෙස දීර්ඝ කිරීමට නියමිතව තිබිණි. 

2004 අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලනය වෙනස් විය. ගිවිසුම දිගින් දිගටම කල් ගිය අතර. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධූර කාලය තුළ ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ව්‍යාප්ත වූයේ නැත. කල්බදු ගිවිසුමක් අත්සන් නොකළද ලංකා ඉන්දියානු තෙල් සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කළ අතර දශකයක් ඇතුළත පෙට්‍රල් පොම්ප 150 සිට 200 දක්වා පුළුල් කළේය. සමාගම තෙල් ටැංකි සඳහා වාර්ෂික කුලිය ගෙවමින් සිටි අතර විදේශීය ආයෝජකයෙකු ලෙස බදු ප්‍රතිලාභද ලබා ගත්තේය. ඔවුන් තෙල් ටැංකි 14ක් ප්‍රතිසංස්කරණය කර, ඒවා භාවිතා කළ අතර ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කම්හලක්ද පිහිටුවීය. ත්‍රිකුණාමලය වරායේ ජැටියේ සිට පැවති පැරණි තෙල් නළ මාර්ගයක්ද පිළිසකර කළේය.

ඉන්දියාව ත්‍රිකුණාමලයේ විශාල වශයෙන් ආයෝජනය කිරීමට එතරම් උනන්දු නොවූ බව  ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කරයි. එහෙත් 2010 දී චීනය හම්බන්තොට වරාය අත්පත්කර ගැනීමත් සමඟ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ඉන්දියාවට අවශ්‍ය විය. 2015 මාර්තු මාසයේදී, අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර, ත්‍රිකුණාමලයේ ඛනිජ තෙල් මධ්‍යස්ථානයක් පිහිටුවීමට දෙපාර්ශවය එකඟ වූ අතර, ඒ සඳහා “ඒකාබද්ධ කාර්ය සාධක බලකායක්” මගින් සැලසුම් සකස් කිරීමට තීරණය විය. රාජපක්ෂ රජය පරාජය වී දෙවසරකට පසු එනම් 2017 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. නමුත් එම ලැයිස්තුවේ තිබූ බොහෝ ව්‍යාපෘති මෙන්ම ත්‍රිකුණාමල ගිවිසුම ක්‍රියාත්මක වූයේ නැත.

පසුගියදා එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අමාත්‍ය ගම්මන්පිල සිය නිවේදනයේ සඳහන් කළේ, ශ්‍රී ලංකාවට දැන් තෙල් ටැංකි 24ක් සහ බහුතර බලයක් හිමිවන ටැංකි 61ක් හිමිවන බැවින් ඉන්දියාව සමඟ ඇතිකරගත් නව වැඩපිළිවෙළ “ඓතිහාසික ජයග්‍රහණයක්” ලෙස යැයි ඉන්දියන් එකස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කරයි. කෙසේ නමුදු ශ්‍රී ලංකාව මෙවැනි ගිවිසුමකට එළඹ ඇත්තේ රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් යැයිද එම වෙබ් අඩවිය සඳහන් කරයි. පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට ලක්ව සිටි අතර එය 1970 ගණන්වලින් පසු මුහුණදුන් දරැණුතම ආර්ථික අර්බුදයකැයි වාර්තා වේ. විදේශ විනිමය හිඟය ආනයන සීමා කිරීමට හේතු වී ඇති අතර ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. 2022 දී, ස්වෛරීත්ව බැඳුම්කර ගෙවා දැමීමට ඩොලර් බිලියන 4.5ක් අවශ්‍ය වේ. එහෙත් චීනය සමඟ ඩොලර් බිලියන 1.5ක මුදල් හුවමාරැ පහසුකම හැරැණු විට, රජය සතු සංචිතය ඩොලර් බිලියන 1.6ක් වැනි අවම අගයක පවතී.

ඔක්තෝබර් මාසයේදී, චීනයෙන් ආනයනය කළ පොහොරවලට මුදල් ගෙවීම අත්හිටුවීම මත චීනය සමඟ ඇති වූ සිත් බිඳීමකින් පසු ඇතිවූ තර්ජනය අවසානයේ රජයේ මූල්‍ය අර්බුදය තවත් වර්ධනය විය. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ දිල්ලියට ගියේ මූල්‍ය ආධාරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි. ඔහුට ඉන්දියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ණය පහසුකමක් සහ ආහාර ආනයනය සඳහා වෙනම ණය මුදලක් ලබා දීමට එකඟ වූ අතර ඊට පෙර ඉන්දීය ආයෝජන සක්‍රීය කිරීමට සහ තෙල් ටැංකි ව්‍යාපෘතිය නවීකරණය කිරීම සඳහා මූලිකත්වය ලබා දිය යුතු විය. 

ත්‍රිකුණාමලය චෙන්නායිවලට ආසන්නතම වරායයි.මෙම අවස්ථාවේදී, ඉන්දියාවේ උනන්දුව වන්නේ මෙම භූමියට තුන්වන රටක් ඇතුළුවීම වැළැක්වීමයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව බහුතර කොටස්කරැවා වුවද, සංවර්ධනය සඳහා ඉන්දියාව මුදල් යොදවන බව තේරැම් ගත හැකිය. මේ වනවිට රටේ පවතින තෙල් අවශ්‍යතාව  සපුරාලීම සඳහා ඒවා ආනයනය කිරීමට හැකියාවක් නැති ලංකා ඛනිජ තෙල් සංස්ථාව තමන් සතු ටැංකි 24 ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගන්නේ කෙසේද යන්න ගැටලුවකැයි එම වෙබ් අඩවිය සඳහන් කරයි.

එසේම, චීනය සිය “එක් තීරැවක්, එක් මාවතක්” යන දැවැන්ත තේමාව ඔස්සේ ක්‍රියාත්මක කරන ගෝලීය යටිතල පහසුකම් ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව  තීරණාත්මක සාධකයක් වන බවද ඉන්දියාව විශ්වාස කරයි. එමගින් පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන ගණනක ණය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිවලට වරාය, ගුවන්තොටුපළ, වරාය නගරය, මහාමාර්ග සහ බලාගාර ඇතුළත් වේ. චීන අරමුදල් සහිත ව්‍යාපෘති මූල්‍යමය වශයෙන් සාර්ථක නොවන බවත් ශ්‍රී ලංකාව ණය ගෙවීමට අරගල කරන බවත් විචාරකයන් පෙන්වා දෙන බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කරයි.

2017දී, ශ්‍රී ලංකාවේ කාර්යබහුල නැව් මාර්ගයක පිහිටි චීනය විසින් ඉදිකරන ලද හම්බන්තොට වරාය වසර 99 කට චීන සමාගමකට බදු දුන්නේ එය ඉදිකිරීම සඳහා භාවිතා කළ චීන ණය ආපසු ගෙවීමේ අධික බර අඩුකර ගැනීම සඳහාය.

පසුගිය වසරේ, ඉන්දියාවේ අදානි සමූහය ශ්‍රී ලංකා සමාගමක් සහ රජයට අයත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ කොළඹ වරායේ බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීමට ගිවිසුමක් අත්සන් කළේය. චීනයද  ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ හවුල් ව්‍යාපාරයක් යටතේ එම වරායේම බහාලුම් පර්යන්තයක් ද ක්‍රියාත්මක කරයි. මේවායින් පෙනෙන්නේ  බලවතුන් දෙදෙනකු අතරට ශ්‍රී ලංකාව මැදිව සිටින බවකි.

මේ අතර  දෙරට අතර ගනුදෙනු අදියරෙන් ඉදිරියට යා යුතු අතර ඉන්දියානු බලශක්ති ආරක්ෂණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පුළුල් ලෙස සළකා බැලිය යුතුයැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පැවසූ බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සහ කොළඹ වරාය වැනි ප්‍රධාන ව්‍යාපෘතිවල විශාල උපාය මාර්ගික ක්‍රියාවලියක් ගොඩනැගිය යුතු අතර දෙරටටම ප්‍රතිලාභ හිමිවිය යුතු බවද ඔහු සඳහන් කර තිබේ. චීන ශ්‍රී ලංකා සබඳතාවලට තුන්වැනි පාර්ශ්වයක් අතපෙවිය යුතු නැතැයි පසුගියදා චීන විදේශ විදේශ ඇමැති වැං යි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ පරිදි චීනය අපේ සමීප මිතුරෙක් ඉන්දියාව අපේ සොහොයුරා යන්නද ඔහු සිහිපත් කර තිබේ. 

ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමට පෙර පසුගිය වසරේ මිලින්ද මොරගොඩ මහතා විසින් සකස් කරන ලද “ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ග” නමැති ලේඛනයේ ඔහු යෝජනා කර තිබුණේ දෙපාර්ශ්වය ගනුදෙනුවලට පමණක් සීමා නොවී උපායමාර්ගික හා විශේෂ සම්බන්ධතාවයක් දක්වා පරිණාමය විය යුතු බවටය. දෙපාර්ශ්වයම උපාය මාර්ගික කලාපයට බාධාවකින් තොරව ගමන් කළ යුතු බවත් ත්‍රිකුණාමල ගනුදෙනුව සමඟ ඛනිජ තෙල්, ඉන්ධන  සහ ගෑස් සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමක් ලෙස විශ්වාස කරන්නේ යැයි පැවසූ බවද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05