මේ දිනවල ආණ්ඩුව ඇතුළේ උණුසුම්ය. ආණ්ඩුව ඇතුළේම පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ පිරිස් එළිපිට මඩ ගහගනිති. ශ්‍රීලනිපයේ පිරිස් දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරන්නේ ආණ්ඩුව ජනමතයට පිටුපා කටයුතු කරන බවය. එහෙත් ආණ්ඩුවේ සාමාජිකයන් කියන්නේ ආණ්ඩුව විවේචනය කර කර නොසිට ආණ්ඩුවෙන් ඉවත්වෙන ලෙසය. ශ්‍රීලනිපය පවසන්නේ තමන් ඉවත්වුණොත් ආණ්ඩුවට 2/3 නැතිවෙන බවත් එය ආණ්ඩුවේ අය මතක තබා ගතයුතු බවත් කියාය. එහෙත් පොහොට්ටුවේ අය පවසන්නේ ආණ්ඩුවට 2/3 අවශ්‍ය නැති බවත් කැමති අයකුට ඉවත්ව යා හැකි බවත් කියාය.
ඡන්දය කරන කාලයේ කිරියි පැණියි සේ සිටි ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් මෙලෙස මරාගන්නේ ඇයි? මොකක්ද අරමුණ? ආණ්ඩුවෙන් ඉවත් වන්නේද නැද්ද? යන්න අපි එම පක්ෂ දෙකේ මහලේකම්වරැන්ගෙන් විමසා සිටියෙමු.
I ගයාන් ගාල්ලගේ
අපි ආණ්ඩුවෙන් යන්නෙ නෑ
දයාසිරි ජයසේකර මහලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ඇත්තටම ආණ්ඩුව එක්ක එහෙම ගැටලුවක් නෑ. ආණ්ඩුව එක්ක බේරගන්න දෙයකුත් අපිට නෑ. ඇත්තටම අපි මේ දවස්වල ආසන මට්ටමින් පක්ෂය ගොඩනගිමින් යනවා. ඒ වෙලාවට අපේ පාක්ෂිකයන් අහන ප්‍රශ්නවලට තමයි අපි ඔය පිළිතුරු දෙන්නේ. මේක මේ මාධ්‍ය විසින් අරගෙන ගිහිල්ලා මාධ්‍යවල පළ කරාම හිතන්නෙ ආණ්ඩුව ඇතුළේ රණ්ඩු කියලා.
දැන් මේක බලන පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු ඉන්නවනේ. ඔන්න ඒ අයත් කිසිම හෙවිල්ලක් නැතුව ගහන්න ගන්නවා. එතකොට තමයි මේ ආණ්ඩුවේ ප්‍රශ්න කියලා පෙනෙන්නේ. කොහොම වුණත් අපි පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන්. අපි ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ.
අපිට සමහර මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් යන්න කියනවා. ඒ අය කියන දේවල් අපි ගණන් ගන්නේ නෑ. මොකද අපි මේ ආණ්ඩුව පිහිටුවන්න වැඩකරපු ලොකුම පක්ෂය. ආණ්ඩුවේ ඉන්න ලොකුම පක්ෂයත් අපි. කාට හරි හිතෙනවා ඇති මේ ආණ්ඩුව මාරු කරන්න ආණ්ඩු පෙරළන්න හදනවා කියලා ඒත් එහෙම දෙයක් නෑ.
මෛත්‍රීපාල සිරිසේන මහත්තයව අත් අඩංගුවට ගන්න කියලා කියන්නෙ ආණ්ඩුවේ මැති ඇමතිවරු. ඒ අය මේ කියන්නේ අධිකරණයටත් කලින්. අධිකරණයේ විනිසුරුවන්ට කලින් ඒ අය එහෙම කියනකොට සැකයක් එනවා දේශපාලන කුමන්ත්‍රණයක්ද මේ වෙන්න යන්නේ කියලා. මොකද අධිකරණයට කලින් ඒ අය කියන්නේ.
ඒ වගේම කියන්න ඕන මාධ්‍යයත් මේක අවුස්සනවා. ඒක කරන්න නරකයි. ගොඩක් අය හදන්නෙ ප්‍රශ්නයක් ඇති කරන්න. ඒත් අපේ ප්‍රශ්නයක් නෑ. අපි කරන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙන එක. ඒක වැරැද්දක් නෙමෙයි. ඕනෑම පක්ෂයක් වගේම අපිටත් උවමනාවක් තියෙනවා බලය ලබාගන්න. ඒ වෙනුවෙන් තමයි අපි දැනටමත් බිම් මට්ටමේ කටයුතු කරමින් යන්නේ. අපිට අපේ පාක්ෂියකයෝ වගේම අපේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයොත් ආණ්ඩුවේ ඉන්න එක ගැන බෙදුණු අදහසක ඉන්නේ. සමහර අය යන්න කියනවා. සමහර අය ඉන්න කියනවා. ඒත් මේ සියල්ල තීරණය කරන්නේ අපේ මධ්‍යමකරක සභාව. ඒ අය ඒකමතිකව ගන්න තීන්දුව තමයි අපි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් යනවද නැද්ද සියල්ල අපේ කණ්ඩායමේ කැමැත්‍ත. ඒත් දැනට කියන්න තියෙන්නේ අපි ආණ්ඩුවෙන් යන්නේ නෑ. ආණ්ඩුවේ ඉන්නවා.
යන්න කියලා අපි කියන්නෙ නෑ
සාගර කාරියවසම් මහලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අපි කිසිම වෙලාවක ආණ්ඩුවෙන් යන්න කියන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. එහෙම කියන්න කිසිම වුවමනාවක් නෑ. හැබැයි අපි කියන්නේ ආණ්ඩුවේ ඉන්න ගමන් ආණ්ඩුව විවේචනය කරන්න බෑ. මොකද ඒක සදාචාර සම්පන්න නෑ. මේ අයගෙන් දෙන්නෙක් කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. තව කට්ටියක් රාජ්‍ය ඇමැතිවරු. මේ අය රාජ්‍ය පාලනයට සහාය දීලා මැදිහත්වෙලා ඒක විවේචනය කරන එක වැරදියි. මේවා මේ ගැලරිය සතුටු කරන්න කරන වැඩ. ඒ නිසා ගැලරිය සතුටු කරන වැඩ කරන්න එපා.
අපේ පසුපෙළ මන්ත්‍රීවරු මේ ගැටලුවට අදාළව ශ්‍රීලනිපය සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගන්න කියලා යෝජනා කළා. මම ඒ යෝජනා පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතාටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් දැනුම්දීලා තියෙන්නේ. පසුගිය කාලේ යම් යම් දැඩි තීන්දු ගත්තා කියලා පේනවනේ. නුදුරේදීත් එවැනි තීන්දු ගනී සමහර විට.
ඒ වගේම දයාසිරි මහත්තයා කියන විදිහේ කිසිම කුමන්ත්‍රණයක් නෑ. මෛත්‍රීපාල මහත්තයා අත්අඩංගුවට ගන්න කියලා කුමන්ත්‍රණ කරන්න අවශ්‍ය නෑ. මොකද කොමිෂන් වාර්තාවක් මගින් පවා ඒ සම්බන්ධයෙන් කරන්න ඕන දේවල් කියලා තියෙනවා. ඒ සියල්ල දැන් නීතිපතිවරයා ළඟ තියෙන්නේ. එතුමා ගන්න තීරණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව දේශපාලන කුමන්ත්‍රණ නෑ. දයාසිරි මහත්තයට අමතක වෙලා මේ යහපාලනය නෙමෙයි කියලා. යහපාලනය කාලේ තමයි දේශපාලන කුමන්ත්‍රණවලින් හිරේ දැම්මේ. ඒත් අපි එහෙම නෑ.
කොහොම නමුත් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ ශ්‍රීලනිපය එක්ක. එයාලටයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මම ඒ ගැන කතා කරන්න කැමැතිත් නෑ.