මැදපෙරදිග රටවලින් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට යළිත් ඉල්ලුමක් ඇති වී ඇතැයි විදේශ රැකියා නියෝජිත ආයතන පවසයි. කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය කාලයේ අවම වී තිබූ රැකියා ඉල්ලුම යළි වැඩි වී තිබේ. විදේශ රුකියා සඳහා මෙරට ශ්‍රමිකයන්ගෙන් 90%ක් 95%ක් පමණ මැදපෙරදිග රටවල සේවයට යන අතර,. තවත් 5%ක පමණ පිරිසක් ජපානය, සයිප්‍රසය දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, කැනඩාව, එංගලන්තය වැනි රටවල සේවය කරති. පිරිසක් නීත්‍යානුකූලවද ඇතැම් පිරිස් නීත්‍යානුකූල නොවන ආකාරයෙන්ද රැකියා සඳහා යන යන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්තාවලට අනුව නිල වශයෙන් හා නොනිල වශයෙන් මිලියන දෙකයි දශම හයක පමණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් විදේශයන්හි රැකියාවල නිරත වෙති. ශ්‍රී ලංකාවට හිමිවන විදේශ විනිමයෙන් 80%ක් පමණ උපයා දෙන්නේ මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන්ය.
මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 8ත් 10ත් අතර පිරිසක් සේවය කරති. ඒ අතුරින් වැඩි ශ්‍රමිකයන් පිරිසක් සේවය කරනුයේ සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේටයේය. ඔවුන් අතර ඉංජිනේරු, ගණකාධිකාරි, වාස්තු විද්‍යාඥ, වෛද්‍ය, ගුරු, නීතිඥ, බැංකුකරණ, හෝටල් සහ ආපනශාලා සේවක, පිළිගැනීමේ නිලධාරී, හෙද සේවක, අනුපූරක වෛද්‍ය සේවක, පරිගණක ක්‍රියාකරු සහ මෘදුකාංග නිර්මාණ ශිල්පී, මැෂින් ක්‍රියා කරවන්නන්, කර්මාන්තශාලා සේවකයන්, වෑල්ඩින් සහ මෝටර් රථ කාර්මික ශිල්පීන්, බර වාහන රියදුරන්, වරාය සේවකයන්, දුරකථන සන්නිවේදන කාර්මිකයන්, නැවියන්, කම්කරුවන් සහ ගෘහ සේවිකාවන් වැනි ක්ෂේත්‍ර රැසක ශ්‍රී ලංකික පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් පිරිසක් සිටිති.
මෙරට විදේශ රැකියා නියෝජි ත ආයතන 800ක් පමණ තිබේ. සාමාන්‍යයෙන් වසරකට ලියාපදිංචි වී මෙරටින් විදේශ රැකියා සඳහා අවම වශයෙන් ලක්ෂ දෙකක පමණ පිරිසක් එම ආයතන හරහා විදේශගත වෙති. 2020 - 2021 කාලයේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ රටවල් අගුලු දැමුණද ඒවා විවෘත වූ විගස යළි ශ්‍රමිකයන් යැවීමට මෙරට සිටින විදේශ රැකියා නියෝජිතයෝ පියවර ගත්හ. 2021 වසරේ ඔවුන්ගේ දළ ඉලක්කය වූයේ 75,000ක පමණ පිරිසක් වුවද 1,21,000ක පිරිසක් මැදපෙරදිග රටවලට යැවීමට ඔවුහු සමත් වූහ. 2022 වසරේ ශ්‍රී ලාංකිකයන් සඳහා ඉල්ලුම වැඩි වී තිබේ. ඒ අනුව මේ වසරේ ලක්ෂ තුනක පමණ ශ්‍රමිකයන් පිරිසක් විදේශ රැකියා සඳහා යැවීමට අරමුණු කර ඇතැයි වසර 25කට අධික කාලයක් පුරා පවත්වාගෙන යන මහනුවර එන්. එස් ලංකා විදේශ රැකියා පෞද්ගලික ආයතනයේ හිමිකරු වන මොහොමඩ් ජවාඩ් මොහොමඩ් නිසාම් මහතා සඳහන් කරයි.
එන්.එස් ලංකා විදේශ රැකියා ආයතනය විවිධ රැකියා සඳහා මෙරටින් ශ්‍රමිකයන් ලබාදෙන ආයතනයකි. පුහුණු ශ්‍රමිකයන්ට මෙන්ම ගෘහ සේවිකාවන් විශාල පිරිසකටද එම ආයතනය රැකියා අවස්ථා උදා කර දී තිබේ. ගෘහ සේවිකාවන් සඳහා සෑහෙන පමණ ඉල්ලුමක් තිබුණද වර්තමාන තරුණ කාන්තාවන් වැඩි වශයෙන් කැමැත්තක් දක්වන්නේ වෙනත් රැකියා සඳහා යැයි නිසාම් මහතා සඳහන් කරයි. “නිවෙස්වල කොටු වී සිටිනවාට වඩා ඇඟලුම් කම්හල්වල හා වෙනත් ආයතනවල රැකියා සඳහා යෑමට ඔවුන් කැමතියි. ඒ වැඩි පහසුකම් හා වැඩි ආරක්ෂාවක් එවැනි ස්ථානවල පවතින නිසයි. එවැනි රැකියා සඳහා වැඩි පිරිසක් ඉල්ලුම් කළත් මැදපෙරදිග රටවලින් එවැනි රැකියා සඳහා පවතින ඉල්ලුම ගෘහ සේවිකාවන් සඳහා ඇති ඉල්ලුමට සාපේක්ෂව අඩුයි. බංග්ලාදේශය, නේපාලය වැනි රටවල ශ්‍රමිකයන් අඩු පඩියට සේවය කරන්න සූදානම්. ඒ නිසා සමහර ආයතන ඔවුන්ව අඩු පඩිවලට සේවයට ගැනීමට කැමැතියි. එහෙත් ශ්‍රී ලාංකිකයන් කාර්යක්ෂමව හා පිළිවෙළකට වැඩ කරන නිසා බොහෝ රටවල ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට ඉල්ලුම වැඩියි. වැඩි වැටුපක් ගෙවා හෝ අපේ ශ්‍රමිකයන් සේවයට බඳවා ගැනීමට ඔවුන් සූදානම්. අපි හැමවිටම උත්සාහ කරන්නේ අවම වැටුප ඩොලර් 300ක්වත් අපේ ශ්‍රමිකයන්ට ලබා දීමටයි. එසේ නොහැකි අවස්ථාවල අනෙක් රටවලට සාපේක්ෂව සුළු මුදලක් අඩුවෙන් එම රුකියා අවස්ථාව අපේ රටට ලබාගැනීමට අපි කටයුතු කරනවා. මන්ද ඔවුන් උපයන මුදල් අපේ රටට විදේශ විනිමය ලෙස ලැබෙන නිසා.” යනුවෙන් සඳහන් කළේය.
කොරෝනා තදින්ම ව්‍යාප්ත වූ සමයේ ඇතැම් කර්මාන්තශාලා වැසී ගියේය. ඇතැම් සේවකයන් හට රැකියා පවා අහිමි විය. බොහෝ විට එවන් තත්ත්වයකට මුහුණ පෑවේ නිසි පරිදි ලියාපදිංචි වීමකින් තොරව රැකියා සඳහා ගිය ශ්‍රමිකයන් සහ වීසා බලපත්‍ර නොමැතිව රහසිගතව සේවය කළ පිරිස්ය. වැඩි වශයෙන් ලංකාවට පැමිණෙන්නට උත්සාහ කළේ මේ පිරිසය. කොරෝනාවට බියෙන් තවත් ශ්‍රමිකයන් පිරිසක් කෙසේ හෝ ලංකාවට පැමිණෙන්නට උත්සාහ කළහ. මෙරටට වැඩිම විදේශ විනිමයක් ගෙන එන්නේ එම ශ්‍රමිකයන් බැවින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය බොහෝ රැකියා නියෝජිත ආයතනවලින් ඉල්ලා සිටියේ ලංකාවට පැමිණෙන්ට උත්සාහ කරන පිරිස් කෙසේ හෝ නතර කර ගන්නා ලෙසටය. විදේශ රැකියා නියෝජිත ආයතන මගින් පිහිටුවාගෙන ඇති “සමස්ත ලංකා බලපත්‍රලාභීන්ගේ විදෙස් රැකියා සංගමය” හෙවත් “ඇල්ෆියා සංවිධානය” එම අවස්ථාවේ එම විදෙස් ශ්‍රමිකයන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කර තිබිණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහය ද ඇතිව ඇල්ෆියා සංගමයේ නියෝජිතයෝ ඒ සඳහා මැදිහත් වූහ. එම උත්සාහය හේතුවෙන් බොහෝ පිරිසක් ලංකාවට පැමිණීමෙන් වැළකුණු අතර මෙරටට අහිමිවීමට තිබූ විදේශ විනිමය ප්‍රමාණයක්ද ආරක්ෂා කර ගත හැකි විය. “මා අල්ෆියා සංවිධානයේ ලේකම්. කොරෝනා සමයේ අපේ නියෝජිතයන් මගින් එරට ශ්‍රමිකයන්ගේ ගැටලුවලට සහන ලබා දීමට අපි කටයුතු කළා. විදේශගත වන අයගෙන් අපි ඉල්ලා සිටින්නේ අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී යන ලෙසටයි. එවිට කිසියම් කරදරයකට මුහුණපෑවොත් ඔවුන්ට උපකාර කිරීමට හැකියාවක් තිබෙනවා”යි මොහොමඩ් නිසාම් මහතා සඳහන් කරයි.
කේ.ආර්. මෑන්පවර් ආයතනයේ නිලධාරියකු සඳහන් කළේ මැදපෙරදිග රටවලින් තිබෙන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් ප්‍රමාණය මදි බවයි. “අපි යවන්නේ ඇඟලුම් කම්හල්වලට පමණයි. මේ වන විට මැදපෙරදිග රටවලින් අපේ ශ්‍රමිකයන් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. ඒත් ඒ සඳහා පැමිණෙන පිරිස මදි. මැදපෙරදිග බොහෝ ඇඟලුම් කම්හල්වලින් ඉල්ලන්නේ ලංකාවේ ගෑනු ළමයි. ඔවුන්ට කෑම බීම ඉඳුම් හිටුම් සියල්ල සමඟ රුපියල් 65,000ක් 70000ක පමණ වැටුපක් ලැබෙනවා. එහෙත් අපිට යවන්න පිරිස අඩුයි. ඊට හේතුව ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඉතා අඩු වයසින් ලංකාවේ ඇඟලුම් කම්හල්වලට සේවයට ගිහින් පුහුණු ශ්‍රමිකයන් බවට පත්වෙනකොට විවාහ වෙලා අවුරුදු 5ට අඩු දරුවන් සිටින අය. ඔවුන්ව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කරන්න බැහැ. මොකද අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ සේවයට යැවීම තහනම් නිසා. මෙම රැකියා සඳහා ඉල්ලුම් කරන බොහෝ දෙනෙක් බොහෝ ඈත පළාත්වල තරුණියන්. අපෙන් ඉල්ලන්නේ පුහුණු අය. රැකියාවට යැවීමට පෙර ග්‍රාමසේවක සහතිකය, ප්‍රාදේශීය ලේකම් සහතිකය අවශ්‍යයි. ඇතැම් අයට පවුල් ප්‍රශ්න. ඒ නිසා ඇඟලුම් කම්හල් සේවිකාවන්ගෙන් 50%කට පමණ විදේශ රැකියාවලට යන්න සුදුසුකම් මදි. අපි මේ ශ්‍රමිකයන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ගෘහ සේවයට යන පිරිසටත් දැන් හොඳ වැටුපක් ලැබෙනවා. කොරෝනා නිසා මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන්ගේ හිඟයක් ඇතිවුණා. ඒ නිසා ගෘහ සේවිකාවන්ට මෙන්ම ඒජන්සිවලටත් වැඩි මුදලක් ගෙවා ලංකාවෙන් ශ්‍රමිකයන් ලබා ගැනීමට බොහෝ රටවල් කැමතියි.”
ජනජය විදේශ රැකියා ආයතනයේ හිමිකරුවා වන ජගත් මහතා සඳහන් කළේ කොරෝනා සමයේ සුළු අඩුවීමක් පැවතියද දැන් යළිත් මැදපෙරදිග රැකියා වෙළෙඳපොළේ ඉල්ලුම වැඩි වී ඇති බවයි. පසුගිය වසර දහයක කාලය තුළ අවම වශයෙන් වසරකට ලක්ෂ තුනක පමණ පිරිසක් මැදපෙරදිග රටවල සේවය සඳහා ගිය බවද ඔහු පැවසීය. එම ආයතනයද සේවකයන් සපයන්නේ ඇඟලුම් කම්හල් සඳහාය. ඒ සඳහා ශ්‍රමිකයන්ගෙන් කිසිදු මුදලක් අය නොකරයි. තමන් ප්‍රතිපත්තියක් ලෙස ගෘහ සේවිකාවන් විදේශ රැකියාවලට නොයවන අතර ඇඟලුම් කම්හල් සඳහා සේවිකාවන් සැපයීමෙන් විශාල මුදලක් නොලැබුණද ගෘහ සේවිකාවන් යවන ඇතැම් රැකියා ආයතන මුහුණ දෙන ගැටලු තමන්ට නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.
කියෝදායි ලංකා විදේශ රැකියා ආයතනයේ එරංග ලියනගේ මහතා ප්‍රකාශ කළේ ද ශ්‍රමිකයන් සඳහා මේ වන විට විශාල ඉල්ලුමක් පවතින බවකි. කොරෝනා ආරම්භ වූ 2019 සිට මේ දක්වා පැවැති මන්දගාමී තත්ත්වය දැන් ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතින බවද ඒ මහතා පැවසීය. “අපි පසුගිය කාලයේ ශ්‍රමිකයන් සැපයූවේ ජපානයට. මැදපෙරදිගට සේවකයන් සැපයීම ආරම්භ කළේ මෑතකදී. ගෘහ සේවිකාවන් යවන්නේ නැහැ. මොකද බොහෝ දෙනකුට ප්‍රශ්න ඇතිවෙන නිසා. කොරෝනාවෙන් පස්සේ වීසා ලබාගැනීම හා වෙනත් කටයුතු සඳහා ඉස්සරට වඩා වැඩි කාලයක් ගත වෙනවා. මේ දවස්වල අපෙන් කුවේට් රාජ්‍යය ශ්‍රමිකයන් 500ක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ වගේම ඩුබායි, ඔමාන් හා පෝලන්තය, ජපානය වැනි රටවලින්ද ශ්‍රමිකයන් ඉල්ලනවා. ජපානයේ රැකියා වර්ග 14කට වගේ ඉල්ලුම් ලැබෙනවා. මැදපෙරදිග රටවලින් වැඩි වශයෙන් ඉල්ලුම තිබෙන්නේ ක්ලීනර් සහ හෙල්පර් වැනි රුකියා සඳහායි. අපි යවන අයගෙන් මුදලක් අය කරනවා. විදේශ රැකියා යන අය සඳහා රජය විසින් පනවා ඇති නීති රීති ටිකක් ලිහිල් කරනවා නම් හොඳයි. උදාහරණයක් ලෙස අවුරුදු පහට අඩු දරුවන් සිටින අයට ගෘහ සේවයට යන්න බැහැ. දරුවා රැකබලා ගන්න භාරකාරයෙක් සිටියත් යන්න බැහැ. මෙවැනි තත්ත්වයක් නිසා ඇතැම් අය ලියාපදිංචි නොවී රැකියාවලට යනවා. ඒ වගේම බොහෝ ඈත පළාත්වල අයට මුදල් නොමැතිකම නිසාත් රැකියාවලට යන්න හැකියාවක් නැහැ. බොහෝ අය අප ආයතනයට පැමිණ කියනවා මාසෙන් මාසෙට පඩියෙන් අඩු කරගන්න අවස්ථාවක් දෙන්න කියලා. අපිට එහෙම කරන්න අමාරුයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, ටිකට්වලට, වීසාවලට හා වෙනත් ගාස්තු ගෙවිය යුතුයි. මේ සඳහා සාමාන්‍ය කෙනකුට ලක්ෂ දෙකක් විතර වැය වෙනවා. ඒ නිසා ලංකාවෙන් රැකියා සඳහා ඉල්ලුම් කරන පිරිසේ අඩුවක් තිබෙනවා. නැතිව රුකියා අවස්ථා අඩුවී නැහැ.” යි සඳහන් කළේය.
කොරෝනා ව්‍යසනයෙන් පසු විදෙස් ශ්‍රමිකයන් සඳහා ගෙවන වැටුප අවම වී ඇතැයි රාවයක් පැවතියද මොහොමඩ් නිසාම් මහතා සඳහන් කරන්නේ එවැන්නක් නොමැති බවයි. ඇතැම් අනුග්‍රහකයන් මුලදී ගෙවීමට ගිවිස ගත් වැටුපට වඩා තවත් 25%ක පමණ වැඩි වැටුපක් ගෙවීමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මේ බව තහවුරු කළ කේ.ආර් මෑන්පවර් .ආයතනයද ප්‍රකාශ කළේ වැටුප අඩුවී නොමැති අතර රුපියලේ අගය අඩු වීම නිසා ඔවුන්ට ලංකාවේදී පොරොන්දු වූ වැටුපට වැඩි වැටුපක් ලැබෙන බවයි. “ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන කෙනකුට දිනකට රු.1500ක පමණ වැටුපක් සහ ආහාරපාන ලැබෙනවා. දිනපතාම සේවයට ගියොත් පමණක් දීමනාවක් ලැබෙනවා. ඔවුනට නවාතැන් සහ වෙනත් දේ සඳහා වැය කිරීමෙන් පසු අතේ ඉතිරි වන්නේ රුපියල් පන්දාහක් හයදාහක් වැනි මුදලක්. මැදපෙරදිග සේවය කරන ජුකී මැෂින් ඔපරේටර් කෙනකුට කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල ලබා දී මසකට අවම වශයෙන් රුපියල් 65,000ක් පමණ උපයන්න පුළුවන්.” යනුවෙනි.
1970 අග භාගයේදී ලංකාවේ විරුකියා අනුපාතය 20%ක පමණ ඉහළ අගයක් ගත්තේය. තෙල් අපනයනයෙන් ඉහළ ආදායම් ලබන්නට පටන් ගත් මැදපෙරදිග තෙල් නිපදවන රටවල් විසින් මුහුණ දුන් ගැටලුව වූයේ ශ්‍රම හිඟයයි. ඔවුන් එම ගැටලුව විසඳා ගැනීම සඳහා විදෙස් ශ්‍රමිකයන්ට එම රටවල රැකියා අවස්ථා ලබා දීමට පියවර ගත්තේය. රුපියල අවප්‍රමාණ වීමත් සමඟ විදේශ ඉපැයීම් දේශීය ඉපැයීම්වලට වඩා වටිනාකමින් යුක්ත විය. මුලින් මැදපෙරදිග ශ්‍රම සංක්‍රමණය වේගවත් වූයේ එවැනි කරුණු මතය. මේ වන විට මැදපෙරදිග ශ්‍රමිකයෝ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයමින් සිටිති.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා