විදුලි කප්පාදුව සහ ඉන්ධන අර්බුදය පසුගිය සතියේ ජනතාවට ඉතා අසහනකාරී අත්දැකීමක් විය. විදුලි කප්පාදුවට හේතු රැසක් මැති ඇමතිවරු සේම නිලධාරීන්ද කියා සිටියහ. එම හේතු එකින් එක හා සම්බන්ධ නමුත් නිශ්චිතව සිදුවන්නේ කුමක්ද යන්න මහජනතාවට අවබෝධ කරගත නොහැකි විය. එම නිසාම විදුලිය සහ ඉන්ධන අර්බුද පිළිබඳ යථාර්ථය තේරුම් ගැනීමට අප උත්සාහ කෙළෙමු.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාධාරය අක්‍රීය වීම විදුලි කප්පාදුවට මූලික හේතුව බව ගෙවුණු සතියේ කියැවුණි. එසේම නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රියව පවතින විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙමින් පැවතීමද මීට හේතුවක් ලෙස විටෙක අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම හේතු ද්විත්වයට අමතරව තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වය, විදුලි කප්පාදුවට හේතුවක් බව මාධ්‍ය වාර්තා කළේය. මෙම සියලු හේතුවලට අමතරව වැස්ස නොමැති වීමද මෙම කප්පාදුව පිටුපස වූ හේතුවක් බව ඇතැම් තැන්හි සඳහන් වී තිබුණි.
සත්‍යය කවරක්ද යන්න මේ අනුව ජනතාවට විශාල ගැටලුවක් වූ බව ඉතා පැහැදිලිය. අප සොයාබැලීම අනුව සමස්තයක් ලෙස මෙම සියලු ප්‍රකාශයන් සත්‍ය වේ. දැනට පවතින වියලි කාලගුණය හේතුවෙන් මෙරට ජල විදුලි නිෂ්පාදනය සියයට හැත්තෑවකින් පමණ පසුගිය සති කිහිපය තුළ අවම වී ඇත. එය වාර්ෂිකව සිදුවන සාමාන්‍ය සිදුවීමකි. මෙවන් අවස්ථාවල විදුලි උත්පාදනයේදී ප්‍රමුඛ වන්නේ තාප විදුලියයි. මෙරට විදුලි නිෂ්පාදනය සම්බන්ධ දත්ත විශ්ලේෂණය හරහා එය තවදුරටත් පැහැදිලි වෙයි. ආසන්නම දත්ත අනුව ශ්‍රී ලංකාවේ සමස්ත විදුලියෙන් 43.4%ක් සැපයෙන්නේ ජලවිදුලි බලාගාර හරහාය. සුළං සහ සූර්ය බලශක්තිය හරහා පිරිමසා ගත හැක්කේ 5%ක පමණ අවශ්‍යතාවක් පමණි. ඒ අනුව බලශක්ති අවශ්‍යතාවයෙන් ඉතිරි 51.6%ම සපයා ගනු ලබන්නේ තාප විදුලි බලාගාරවලිනි.
වර්තමාන ඩොලර් හිඟය හේතුවෙන් තාප විදුලි බලාගාරයට සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම අභියෝගයක් වී තිබේ. විදුලි බල මණ්ඩලය විදුලි ජනනය සඳහා ඉන්ධන මිලදී ගනු ලබන්නේ ඛනිජ තෙල් සංස්ථාවෙනි. බොහෝ කලක සිට මෙම මිලදී ගැනීම සිදුවන්නේ ණය පදනම මතය. එම ණය නොගෙවීම හේතුවෙන් වරින්වර ආයතන දෙක අතර අර්බුද මතුව තිබේ. මෙවර එහි තත්ත්වය බරපතළ වූයේ ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධ විශාල ගැටලුවකට ඛනිජ තෙල් සංස්ථාවද මැදිව සිටි නිසාවෙනි. හෙළිදරව් වන තොරතුරු අනුව විදුලිබල මණ්ඩලය 2020 දෙසැම්බර් 31 වනවිට ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 91ක් ණයව ඇත. මේ වනවිට එකඟතා නිර්මාණය වී ඇති නමුත් ආයතනික අර්බුදය දිය යට ගිනි මෙන් පවතියි.
අනෙක් අතට නොරොච්චෝලේ බිඳ වැටීමද අර්බුද තීව්ර කර ඇත. මේ වනවිට නොරොච්චෝල බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇති අතර ඉන් මෙගාවොට් 300ක ධාරිතාවක් විදුලි පද්ධතියට අහිමි වී තිබේ. මේ අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රයද නඩත්තු කටයුතු සඳහා දින සීයක කාලයක් නවතා තැබීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ. එසේම නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව ඇත්තේ ගල්අඟුරු මෙ ට්‍රික් ටොන් ලක්‍ෂ හයක් පමණකැයිද කියැවේ. මාසයක කාලයකට පමණ විදුලි උත්පාදන යන්ත‍්‍ර තුනම ක්‍රියාත්මක කිරීමට ගල්අඟුරු ප‍්‍රමාණය මෙ ට්‍රික් ටොන් 246,240ක් පමණ වේ.
මේ විදුලි අර්බුද පිටුපස තවත් නොකී අර්බුදයක් තිබේ. වාර්ෂිකව වැඩිවන විදුලි ඉල්ලුම අනුව මෙරට අනාගත විදුලි අවශ්‍යතාව සලකා ජනන සැලැස්මක් නිර්මාණය කොට ඇත. ඊට අනුව මෙරට විදුලි අවශ්‍යතාව සලකා 2022ක වසර වනවිට නව බලාගාර දෙකක් ඉදිකළ යුතුව තිබුණි. 2015 වසරේ සැලසුම් අනුව සාම්පූර් හා කෙරවලපිටිය බලාගාර මෙලෙස ජාතික විදුලි බල පද්ධතියට එකතු විය යුතු විය. එහෙත් විවිධ පාර්ශව සිය පෞද්ගලික වාසි තකා පෞද්ගලික විදුලි බලාගරයන්ගෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව ජනන සැලැස්ම හිතා මතා බිඳ දැමීමට ඔවුන් කටයුතු කොට තිබුණි.
කෙසේ නමුත් සියලු සාධක සලකා බලන විට අනාගතයේ විදුලි අර්බුද තවත් බරපතළ වනු ඇති බව පැහැදිලිය. මේ මොහොතේ සියලු පාර්ශව එකතු වී ලබාදෙමින් සිටින්නේ තාවකාලික විසඳුම් පමණි. මෙම අර්බුද පිටුපස වන සැබෑ හේතු හඳුනාගෙන ඊට විසඳුම් ලබාදිය යුතුමය.
චමිඳු නිසල් ද සිල්වා
තෙල් දෙන්නෙ නෑ නෙවෙයි: දෙන්න තෙල් නෑ
බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල
“තෙල් සංස්ථාව තෙල් නොදෙන නිසා විදුලි බල මණ්ඩලයට විදුලිය කපන්න සිදු වෙනවා කියලා විදුලි බල මණ්ඩලය චෝදනා කළත් ඇත්තටම වෙලා තිබුණේ පසුගිය දෙසැම්බර් වන තුරැම 60%කට වැඩි ප්‍රමාණයක් ජල විදුලියෙන් නිෂ්පාදනය කළ විදුලිය නිෂ්පාදනය 38%දක්වා පහත වැටීමෙන් ඇති වූ අර්බුදයයි. ජනවාරි මාසයේ 13 වැනිදා සිට තෙල් ලබාදෙන්න කියලා ඔවුන් අපෙන් ඉල්ලීමක් කළේ ජනවාරි මාසයේ 11 වැනිදා.
ඊට පෙර ඔවුන් දැනුම් දී තිබුණේ ජනවාරි මාසය අග වනතුරු ඔවුන්ට තෙල් අවශ්‍ය වෙන්නේ නැති බවයි. ඒ අනුව අපි ළඟ තොග තිබුණෙත් නෑ. තෙල් තොග තියාගන්න තරමට මේ දිනවල තොගවල හිර කරන්න තරම් විදේශ විනිමය අපි ළඟ නෑ.
ඇත්තෙන්ම අපි තෙල් දෙන්නේ නෑ නෙවෙයි. දෙන්න තෙල් නෑ. ජනවාරි 13 වැනිදා සිට දවසකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලබාදෙන්න කියලා තමයි විදුලි බල මණ්ඩලයෙන් අපිට කිව්වේ. ඉල්ලපු ගමන් සපයන්න අපි ළඟ ඩීසල් ළිඳක් ඇත්තෙත් නෑ. දැවැන්ත ඩීසල් තොග ඇත්තෙත් නෑ. ආනයනය කරන්න ඇති පදමට විදේශ විනිමය ඇත්තෙත් නෑ.
ප්‍රවාහනයට තිබෙන ඩීසල් තොග විදුලි නිෂ්පාදනයට දුන්නොත් ප්‍රවාහනය ඇණ හිටලා මුළුරටම අකර්මණ්‍ය වෙනවා. පැය කීපයකට විදුලිය කැපීමට වඩා ඒ තත්ත්වය භයානකයි. විදුලිබල මණ්ඩලයට පුළුවන් විදුලිබල සැපයුම පාලනය කරන්න. ඒත් ප්‍රවාහනයේදී ඉන්ධන පිරවුම්හල්වල තෙල් ඇත හෝ නැත මිස අතරමැදි තත්ත්වයක් නෑ. ප්‍රවාහනයට ඉන්ධන සැපයීම විදුලි නිෂ්පාදනයට ඉන්ධන සැපයීමට වඩා අභියෝගාත්මක නිසා ප්‍රවාහනයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය දෙන්න වෙනවා. ප්‍රවාහනයට තිබෙන සීමිත තොග ලබාදෙන්න හැකියාවක් නෑ කියන කාරණය විදුලි බල මණ්ඩලයට දැනුම් දුන්නා.
ඩොලර් හිඟය නිසා මූද මැද දවස් 9ක් තිබුණ ඉන්ධන තොගයකට මුදල් ගෙවන්නට අපිට පුළුවන් වුණා. අවශ්‍ය ඩොලර් සොයාගන්න විදුලි බල අමාත්‍යතුමාත් දැවැන්ත උත්සාහයක් ගනිමින් සහාය වුණා. ඒ නැවෙන් බාන ටොන් 37,500 ක ඩීසල් තොගයෙන් ටොන් 10,000ක් විදුලි නිෂ්පාදනයට ලබා දෙන්න කියලා මම තෙල් සංස්ථාවට උපදෙස් දුන්නා. ඒ ප්‍රමාණය දවස් 08කට විදුලිය නිෂ්පාදනය කරන්න ඔවුන්ට ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව අපි දවසකට දැවි තෙල් ටොන් 2200 බැගින් ලබාදෙනවා. ඒ වගේම අපි අත්සන් කර තිබෙන ගිවිසුමකට අනුව දවසකට ඩීසල් ටොන් 700 බැගින් ෆුජිට්සි කියන පෞද්ගලික විදුලි බලාගාරයට විදුලි නිෂ්පාදනය සඳහා ලබා දෙනවා.