16 වැනි සියවසේදී පෘතුගීසි කොළඹ කොටුවේ සිට මුහුදුබඩ පළාත් පාලනය කිරීම ඇරඹූ කාලයේ කොළඹ නගරයට ආහාරපාන ගෙන එන එක් මාර්ගයක් වුණේ කැලණි ගඟ හරහායි. මේ ගමනේදී පෘතුගීසීන්ගේ ඇස ගැටුණු සුන්දර ගම් පෙදෙසක් තමයි ගඟබඩ පිහිටි මල්වාන. මල්වානට නුදුරින් කැලණි ගං ඉවුරේ පිහිටි රක්ෂපාන නමින් හඳුන්වන වක්‍රාකාර ගල් තලාව හා ඒ අවට ප්‍රදේශයේ අලංකාර දසුනක් නිර්මාණය කර තිබුණි. අද නම් එතැන නාන තොටුපොළක් බවට පත්ව ඇත. අදටත් මල්වානේ සිට බෝමිරියට එගොඩවෙන තොටුපොළ පිහිටා ඇත්තේද එතැනයි. මල්වාන මෙරට මුහුදුබඩ පළාත් යටත් කරගෙන සිටි මුල්ම යුරෝපීය ජාතිකයන් වන පෘතුගීසීන්ගේ සමයේ පෘතුගීසි අගනුවර ලෙස කලක් පැවතුණු ප්‍රදේශයකි. වර්තමානයේ රඹුටන්වලට ප්‍රකට මල්වාන පරංගි කාලයේ ඔවුන්ගේ ප්‍රධානියා සිටි පරිපාලන මධ්‍යස්ථානය ලෙස ප්‍රකටව තිබුණි.
පෘතුගීසි ප්‍රධාන බළකොටුව කොළඹ පිහිටි නමුත් 1591 සිට 1658 දක්වා ඔවුන්ගේ ජනරජ හෙවත් ආණ්ඩුකාරයා වාසය කළේ මල්වානේය. මුලින්ම මල්වානේ වාසය කළේ සිංහලයන්ගේ පිළිකුලට ලක් වූ දොන් ජෙරනිමෝ ද අසවේදු නම් ආණ්ඩුකාරයයි. ඔහු වසර 9ක් මල්වානේ සිට පරිපාලනය කළ අතර කොළඹටද වඩා වැදගත්කමක් ඒ දිනවල මල්වානට හිමි විය. ගඟබඩ පිහිටි කොටුව අසල තැනිතලා බිමෙහි අධිකරණ ශාලා, අලි ඇතුන් වෙනුවෙන් ඉදිකළ විශාල ඉස්තාලද පැවතුණු බව පෘතුගිසි වාර්තාවල සඳහන් වේ. මල්වානෙන් මාපිටිගම පාරට හැරී කි.මී. තුන්කාලක් පමණ ගමන් කරන විට මල්වාන පෘතුගීසි බලකොටුවට මඟ පෙන්වන පුරාවිද්‍යා නාම පුවරුව ඇස ගැටේ. පහුරු ඔය ඉවුර දිගේ පිහිටි මඟ පුරාණ බලකොටු බිමට වැටී ඇත. පුරාණ බලකොටුවේ නටබුන් අදත් අප සිත් පරංගි යුගයට ගෙන යාමට සමත්ය.
මල්වාන වාසය කරගත් ආණ්ඩුකාරයන් අතර ප්‍රකට චරිතයක් වුණේ කුස්තන්තීනු ද සායි. පෘතුගීසි ලේඛක රිබෙයිරෝ මල්වාන බලකොටුව ගැන ප්‍රියමනාප විස්තරයක් ඔහු ලංකාව ගැන ලියූ සිංහල ද්වීපයේ ඓතිහාසික ඛේදාන්තය පොතට ඇතුළත් කර තිබේ.
&මල්වාන කොළඹට ලීග තුනක් ඈතින් ගංඉවුර මත පිහිටියේය. චතුරස්‍රාකාර උප කොටුවකින් යුක්ත මෙය ප්‍රමාණයෙන් කුඩා විය. මෙය ගොඩ දිසාවෙන් ආරක්ෂා කර නොතිබුණි. කපිතන්වරයෙක්, එක්සයිස්වරයෙක්, සාජන්ට්වරයෙක්ද ශරීර වර්ධනය කර ගැනීමට රෝහලේ සිට යවන ලද සොල්දාදුවෝද තමන්ගේම කඳවුරට ආපසු පැමිණි අයද මෙහි සිටියහ. දේවස්ථානයක් හා පූජකයෙක්ද සිටි අතර ආයුධ සහ උපකරණ ගඩබාවක්ද තිබුණි.* (සිංහල ද්වීපයේ ඓතිහාසික ඛේදාන්තය - ජොආඕ රිබෙයිරෝ, පරිවර්තනය - කැලිස්ටන් නානායක්කාර)
රිබෙයිරෝ සඳහන් කරන්නේ සිංහලයන් බුද්ධ ප්‍රතිමාවලට සහ දේවරෑපවලට බිම වැටී නමස්කාර කරන බවත් එම නමස්කාරයම මල්වාන බලකොටුවේ පෘතුගීසි ප්‍රධානියාට කරන බවත්ය. ඔවුන්ට ආමන්ත්‍රණය කරන විට දෙයියෝ යනුවෙන් තුන්වරක් පොළොවේ දිගාවී අත් දෙක හිස මත තබා වඳිති. මෙම මිථ්‍යා නමස්කාරයම මල්වානේ රජතුමා ලෙස සලකනු ලබන කපිතාන් ජනරාල්තුමාටද දක්වන්නේ රටේ ඇති චාරිත්‍රය අනුව ඔහුගේ ගරුත්වය හා බලය පවත්වා ගෙන යාම සඳහායි. (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය- ටී.කේ. රුබේරු,122 පිට)
1900 වනවිට බළකොටුව පැවැති තත්ත්වය රොමෑන්ටික් සිලෝන් (සිංහල පරිවර්තනය - පෙම්බර ලංකා) පොත ලියූ ආර්.එච්. බැසට් පවසන්නේ මෙලෙසයි.
&මල්වානේ තොටුපොළෙන් එගොඩ (බෝමිරිය දක්වා යන අදටත් ක්‍රියාත්මක තොටුපොළ) එලීනා නම් බළකොටුව පිහිටියේය. මුලදී එය සිංහලයන් සතුව තිබුණු නමුත් 1593 දී පෘතුගීසින් එය අල්ලාගෙන නැවත ඉදිකළහ. කොන්වල ඉදිවුණු කවාකාර මුර අට්ටාල සහිත වර්ග යාර හතළිහක් පමණ විශාල බළකොටුවේ සලකුණු අදද දක්නට ලැබේ. බටහිරින් කැලණි ගඟද උතුරෙන් ගැඹුරු ඇළක්ද (පහුරු ඔය) දකුණු දෙසින් වඩාත් කුඩා දිය අගලක්ද මායිම් කරගෙන එය ඉදිව තිබුණි. එහි ඇතැම් තැනක අඩි දෙකක් හෝ තුනක් උස කබොක් ගල් තාප්ප කැබලි දැකගත හැකිය.* (පෙම්බර ලංකා- ආර්. එච් බැසට්, පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්)
මල්වාන බළකොටුවේ මුල්ම පාලකයා වුණු කපිතාන් ජනරාල් දොන් ජෙරනිමෝද අසවේදු මල්වානේ රජතුමා ලෙස හැඳින්වීමක් ලත් බව ජොආඔ රිබෙයිරෝ පවසයි. අසවේදුගේ ක_ර පාලනය හේතුවෙන් සිංහල ජනයා දැඩි පීඩාවකට ලක්වූ බව ඉතිහාසයේ සඳහන්ය. පසුව පහතරට සිංහල ජන ප්‍රධානින් 1597දී පෘතුගීසින් සමග ගිවිසුමකට එළඹුණි. එය මල්වානේ ගිවිසුම නමින් හැඳින්වේ. එමගින් සිංහලයන්ගේ බොහෝ අයිතිවාසිකම් රකින බවට පෘතුගීසිහු පොරොන්දු වුණහ. නමුත් අසවේදුගේ හිතුවක්කාර වැඩවලට විශාල ජන විරෝධයක් එල්ල වූ බවක් සඳහන් වන අතර පසුව 1617දී ඔහු ගෝවට ගෙන්වා ගැනීමට ලිස්බන් පෘතුගීසි පාලකයන් ක්‍රියාකර තිබේ. අසවේදුගෙන් ටික කලකට පසු මෙහි පැමිණෙන්නේ කොන්ස්තන්තීනු ද සායි. සීතාවක යුගයේ ප්‍රකට කිවි අලගියවන්න මුකවෙටි මේ වනවිට පෘතුගීසින් යටතේ මොහොට්ටාල තනතුරක් දැරෑ අතර ඔහු කුස්තන්තීනු හටන නම් කාව්‍යය ලියමින් සා ගේ සටන් වර්ණනා කර තිබේ. එම සටනින් ඌවේ කුරුවිටරාළ හෙවත් අන්තෝනියෝ බරෙත්තු නම් සිංහල සෙනෙවියා පරාජය කර සා ආපසු පැමිණේ. එම සටන සඳහා සා පිටත් වී තිබෙන්නේ මල්වාන බලකොටුවේ සිටයි.
මෙ අප හිමි සසොබන
මල්වාන පුර වදිමින
සිවු දිසාපති යන
දක්කවා ගෙන සෙනඟ සමගින
වර්ෂ 1628 දී කුස්තන්තීනු ද සා මහනුවරට ගොස් සෙනරත් රජු හා සටන් කර ආපසු මල්වානට පැමිණි බවද සඳහන්ය.
අසවේදු බළකොටුවට නුදුරින් ගං ඉවුරේ උස්බිමක තමාට ජීවත්වීමට මන්දිරයක්ද ඉදිකරගෙන තිබුණි. වර්ෂ 1603දී ඔහුගේ නිවස සේවකයන් කිහිප දෙනකු බාරයේ පවතින අවස්ථාවක මල්වානේ හදිසි කැරුල්ලක් හටගෙන තිබේ. ඔහුට එරෙහිව සිංහල කැරලිකරුවන් නිවසට ගිනි තබා එහි සිටි පෘතුගීසි සෙබළුන් සියලුදෙනා මරා දමා ඇත. පසුව අසවේදු මල්වානේ වැසියන්ට බිහිසුණු අපරාධ කිරීමට ආරම්භ කළේය. රක්ෂපාන ගල අසල කැලණි නදී වක්කලමේ කිඹුලන්ට ගොදුරුවීමට අහිංසක මිනිසුන් විසි කිරීම ඔහුගේ විනෝදාංශයක් වී පැවතුණි.
1595 යුද සමයේදී මල්වානට කි.මී. 1ක් පමණ ගඟ ඉහළ මාපිටිගම නම් ගමෙහි ගඟ හරහා පෘතුගිසින් යකඩ දම්වැලක් ඇද තිබුණේ ඔරු ගඟ පහළට ඒම වැළැක්වීමටයි. දම්වැල රක්ෂපාන ගලේ සවිකළ සීනුවකට සම්බන්ධ කර තිබුණේ වේවැලකිනි.
අසවේදුගේ නිවස පිහිටි තැනට නුදුරින් ඉන්පසු කොන්ස්තන්නීන් සාද නිවසක් ඉදිකර ගෙන තිබේ. ඔහු සඳහන් කරන්නේ අසවේදුගේ නිවස නිතර ගංවතුරින් යටවුවද ගංවතුර ළං නොවන උස් තැනක තමන් නිවෙස තනාගත් බවයි. අද මේ කිසිම ගොඩනැගිල්ලක නටබුන් කිසිවක් නොමැත. මල්වාන නගරයට අයත් ඒ අවට බිම වෙනස්කර නිවාස බහුලව ඉදිව තිබේ. 1930 වනවිටත් මෙහි නටබුන් පැවති බව බැසට් සඳහන් කර සිටී. ගම්වාසීන් මාලිගාව ලෙස හඳුන්වන නිවසේ කබොක් බිත්තිවල කොටස් රක්ෂපාන ගල පසුපස උස්බිමෙක අදත් දක්නට ලැබේ. ඉඩමේ වත්මන් අයිතිකරු එය සෙස්සනට දක්වන්නේ මහත් ආඩම්බරයෙනි. ඔහු එහිවූ කැටයම් කුලුණු හිස් ඇතුළු බොහෝ කොටස් නිවසක් ඉදිකිරීම සඳහා ගෙනගොස් ඇත. නිවසෙහි ඝන බිත්ති කපරාරුව බෙලිකටු කැබලි එබීමෙන් අලංකාර විය. බිඳී ගිය මැටි භාජන හා නිවසෙහි විසූවන්ගේ යැයි සිතිය හැකි ඇටකටු කැබලි සුළු කැණීමකදී පවා හමුවෙයි. (පෙම්බර ලංකා - ආර්.එච්. බැසට්, පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්)
බළකොටුව පිහිටි ඉඩම අද හැඳින්වෙන්නේ නාරංගස්කොටුවෙවත්ත නමිනි. එක් පසෙකින් පහුරු ඔයටත් තවත් පැත්තකින් කැලණි ගඟටත් මායිම්ව පිහිටා තිබෙන බිම්කඩකි. පෞද්ගලික අයිතිය යටතේ පැවතුණත් එහි පැරණි නටබුන් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කර තිබේ. බලකොටුව මැද නිවසක්ද කලකට පෙර ඉදිකර ඇත. මෙම ඉඩම සිංහල ජාතිකයකුට අයිති අතර වත්මන් අයිතිකරුගේ සීයා විසින් මිලදී ගෙන තිබෙන්නේ මුස්ලිම් ජාතිකයකුගෙන් බව පැවසේ.
වර්ෂ 1950 දශකය අගදී වී.ඩී. ද ලැන්රෝල් ලේඛකයා මෙම ස්ථානයට යනවිට බලකොටු ඉඩමේ අයිතිය තිබී ඇත්තේ හපුආරච්චිගේ පුංචිසිංඤෝට බව සඳහන්ය (වී.ඩී. ද ලැනරෝල්, ලංකා පුරාවෘත්ත - 17 පිට) ඔහු ගිය කාලයේ මෙහි පදිංචිව සිටි උදවිය පාවිච්චි කර ඇත්තේ පරංගි කාලේ තැනූ ළිඳේ වතුර බව සඳහන් කර තිබේ. පසුව එම ළිඳ ගොඩවී යන්නට ඇති බව පෙනේ.
කෝට්ටේ බලකොටුවේ මෙන් මල්වාන බළකොටුවේ ප්‍රාකාර ඉදිකර ඇත්තේ කබොක් ගල්වලිනි. ඉදිකළ ප්‍රාකාර කොටස් පසුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබේ. ඒවා අඩි 4-5 දක්වා උස් මට්ටමට එනතෙක් සංරක්ෂණය කර ඇත. මෙම සංරක්ෂණ කටයුතු මුලින්ම ආරම්භ කළේ ආචාර්ය සෙනරත් දිසානායක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සිටි කාලයේ දීය. අටපට්ටම් හැඩයෙන් යුත් බළකොටුවේ ගොඩ බිම දෙසට ඇති ප්‍රාකාරයේ බැස්ටීල දෙකක් තිබුණු බව පැරණි සිතියම්වලින් පෙනේ. බළකොටුව ප්‍රාකාර ගඟ දෙසට විවෘතව ඉදිකර ඇත්තේ ප්‍රධාන සැපයුම් මාර්ගය කැලණි ගඟ ඔස්සේ පැවති නිසා බව පැහැදිලිය.
මල්වාන නගරයේ අද බහුතරයක් වාසය කරන්නේ මුස්ලිම් ජනතාවයි. ඔවුන් බහුතරයක් වෘත්තිය ලෙස ව්‍යාපාරික කටයුතුවල නිරත වන අතර, එයට යාබදව මාපිටිගම, යබරලුව, වල්ගම ආදී ගම්මානවල සිංහල ජනාවාස පැතිර තිබේ. දිවයිනේ වැඩිම මුස්ලිම් දේවස්ථාන පිහිටි නගරයක් ලෙසද මල්වාන හැඳින්වේ.
මල්වාන අද සීඝ්‍ර ජනාවාසකරණයට ලක්ව පවතින අවිධිමත් ලෙස ඉදිකිරීම් දැකගත හැකි පෙදෙසකි. අධික ජනගහණය නිසා දශකයකට ඉහත පැවති ගඟබඩ දියලු බිම් පවා ගොඩකර නිවාස සහ කර්මාන්ත ශාලා තනා තිබේ. මේ අවට පුරාණ කාලය හා සම්බන්ධ ජනප්‍රවාද නම් අදත් අසන්නට ලැබේ. මල්වානේ සිට බියගම දෙසට කි මී. 1ක් යන විට හමුවන ගම්මානය යබරලුවයි. රජ සමයේදී මෙහි යබරවලින් යකඩ නිපදවූ බව පැවසේ. නුදුරින් පිහිටි තවත් ගමක් වූ “උල්හිටිවල” ලෙස හඳුන්වන්නේ අසවේදු මිනිසුන් උල්වල සිටුවා මරා දැමූ පෙදෙස බව පැවසේ. මිනිසුන් කිඹුලන්ට ගොදුරු කරදුන් ප්‍රදේශය “කිඹුල්විලවත්ත” නමින් අදටත් හැඳින්වෙන අතර එහි වැවක්ද දැකගත හැකි වේ. නාරංගස්ගොමුව, පල්ලියවත්ත, රජමල්වත්ත වැනි ග්‍රාමයන්ද පෘතුගීසී ආභාෂය මත නම් ලද යාබදව පිහිටි ගම් කිහිපයක් ලෙස සැලකිය හැකියි.
කුසුම්සිරි විජයවර්ධන
සේයාරෑ අන්තර්ජාලයෙනි