2017 මැයි 06 වන සෙනසුරාදා

බාහුබලි තහනම්!

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 382

2015 ජූලි 10 වැනිදා ඉන්දීය සිනමාවේ දැවැන්ත චිත‍්‍රපටයක් තිරගතවිය. ඉතා සුන්දර කතාන්දරයක් රැගත් එය නමින් බාහුබලී විය. බාහුබලී යන හින්දී වචනයෙහි අරුත ජවයෙන් පිරිපුන් දෑතකට උරුමක්කාරයා යන්නය. ඉන්දියානු රුපියල් කෝටි 180ක් (ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 540ක් පමණ) වැය කරමින් තැනූ මේ සිනමාපටයෙන් ඔවුන් ඉන්දියානු රුපියල් කෝටි 650ක ආදායම් උපාය ගැනීමට සමත්විය.

 

එස් එස් රාජ්මෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද බාහුබලී සිනමාපටය නිෂ්පාදනය කළේ ෂෝබු යාර්ලගඩ්ඩා සහ ප‍්‍රසාද් දේවිනීනි විසිනි. කොලිවුඩ් සිනමාවෙහි ජනප‍්‍රිය නළුවෙකු වන ප‍්‍රභාස් බාහුබලී සිනමාපටයේ ප‍්‍රධාන නළුවාගේ භූමිකාව සඳහා පණපොවා ඇත. ඊට අමතරව රානා ඩග්ගුබාඩ්, අනුෂ්කා ශෙට්ටි, තමන්නා සහ රම්‍යා ක‍්‍රිෂ්නන් ඇතුළු සිනමා තරු රාශියක් මෙම සිනමාපටය සඳහා රංගනයෙන් දායක වූහ. ඉතාම පෞරාණික රාජධානියක් වන ඉන්දියවේ මහිෂ්මතී නගරයේ බලය වෙනත් පිරිසක් ආක‍්‍රමණය කරන වෙලෙහි එහි රැජිනිය තම කිරිකැටි බිළිදාගේ ජීවිතය බේරාගැනීම සඳහා එම නගරයෙහි ඇති දර්ශනීය දියඇල්ලක් සහිත නදියකට බැස ඉතා වෙහෙසකර ගමනක යෙදෙයි. අවසානයේ ඒ දරුවා නැතහොත් මහීෂ්මතී රාජ්‍යයෙහි අනාගත හිමිකරුවා වූ ශිවා දිය ඇල්ල වැටෙන පහත් ප‍්‍රදේශයෙහි ජීවත් වන දරුවන් නොමැති ගැමි තරුණ යුවලක් විසින් ඇති දැඩි කරගනු ලැබේ. කෙමෙන් උස් මහත් වී හැඩි දැඩි තරුණයෙකුවන ශිවාට දිය ඇල්ල පහළ ඇති තම ගම්මානය තුළදී නදිය අසල තීබී වෙස් මුහුණක් හම්බවෙන අතර එදා සිට ඔහු දිය ඇල්ලෙහි ආරම්භක ස්ථානයට යන්නට ප‍්‍රයත්න දරයි. ශිවාගේ උත්සාහය එක්තරා දිනයකදී සපලවන අතර ඔහුට එම වෙස්මුහුණෙහි හිමිකාරිනිය වන සුන්දර අවන්තිකා හමුවෙයි. මේ කාලය වනවිට මහෂ්මතී පාලනය කරනු ලබන්නේ බලහත්කාරයෙන් රාජ්‍ය අල්ලා ගත් කෲර පාලකයෙකුවන භලල්ලා දේවා ඒවන් විසිනි. අවුරුදු 25ක් තිස්සෙම ශිවාගේ මව වන මහේෂ්මති රාජධානියෙහි රුජිනිය දේව්සේන හිරකරගෙන දැඩි වදදෙමින් සිටියදී ශිවා විසින් ඇයව බේරාගනියි. මහිෂ්මතී නගරය බලහත්කාර කෲර පාලනයක් ගෙනයමින් සිටින භල්ලා දේවාගේ පුතනුවන් වන කටප්පා විසින් ශිවා කවුරුන්ද යන්න හඳුනාගනී. ශිවා යනු ඔවුන් මෙම රාජ්‍ය අත්පත් කර ගැනීමට පෙර නියම රාජ්‍ය පාලකයා වූ ජීවිතක්ෂයට පත්වූ අම්රේන්ඩ්‍ර බාහුබලීගේ පුත් මහෙන්ද්‍ර බාහුබලී බව ඔහු හඳුනා ගනියි. ඉතාමත් චමත්කාරජනක දර්ශන ගීත, නර්තනයන් සහ සටන් වලින් පිරිපුන් මේ සිනමා සිත්තම ‍ප්‍රේක්ෂකයාගේ මනසෙහි විශ්මයාර්ථයක් සහ කුතුහලයක් තබා අවසන් කරමින් දෙවැනි කොටස තිරගතවන බව පවසමින් නිමාවට පත්වේ.

හින්දී සිනමාවට ඇලුම්කරන, බාහුබලී පළමු සිනමාපටයට රුචිකත්වයක් දැක්වූ සිනමා ලෝලීන්ට වසර දෙකකට පසු බාහුබලී 02 කොටස පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට නැරඹීමට ඉඩප‍්‍රස්තාව ලැබුණි. මේ සිනමාපටය සඳහා ප‍්‍රධාන නළු නිළියන් වෙනුවට වෙනත් බොලිවුඩයේ ජනප‍්‍රිය සිනමා තාරකාවන් යොදා ගන්න බව හින්දී සිනමාව ගැන ලිපි පළවෙන ඉන්දියානු මාධ්‍යවල වරින් වර සඳහන් වුවද බාහුබලී 01 සඳහා යොදාගත් නළු නිළියන්ම බාහුබලී 2 සිනමාපටයේ රංගනය සඳහාද යොදාගෙන ඇත. 

2017 අප්‍රේල් 28 වැනිදා හින්දී, දෙමළ, තෙළුඟු සහ මලයාලම් භාෂා වලින් මෙම සිනමාපටය ලොව පුරා තිර ගතවුණු අතර මෙම සිනමා පටයෙහි නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 250ක් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදල් වලින් රුපියල් කෝටි 750ක් පමණ වියදම් කොට ඇත. බාහුබලී 02 සිනමාපටය තිරගත වී දින 05ක් ඇතුළත් ඉන්දියානු රුපියල් කෝටි 565ක් උපයා ගැනීමට සමත් වී ඇති අතර මේ වන විටත් අලෙවි වාර්තා තබමින් මෙම සිනමාපටය ලෝකයේ විවිධ රටවල අති සාර්ථකව තිරගතවේ. එමෙන්ම තෙළිඟු භාෂාවෙන් 4K හයි ඩෙෆිනිශ්න් තාක්ෂණයෙන් තිරගතවුණු පළමු සිනමා පටය ලෙස බාහුබලී 02 වාර්තාගත වේ.

අමරේන්ඩ‍්‍ර බාහුබලී ඝාතනය කළ ආකාරය පිළිබඳව කටප්පා විසින් කතාව කියන අයුරින් මෙම අති දැවැන්ත සිනමා නිරමාණයේ ආරම්භය සටහන් වේ. ඉතාම රමණීය ආකාරයේ දර්ශන රාශියකින් හා ස්වාභාවික පරිසරයේ උපරිම චමත්කාරයෙන් සමන්විත මෙහි සටන් ශෘංගාරය ආදරය පරිත්‍යාගය සහ හැඟීම් තීව්‍රර කරන කතාවක් අන්තර්ගතය.

බාහුබලි 02 සිනමාපටය ලංකාවේ තිරගත වීම ඇරඹීමත් සමඟ අපට දැනගන්නට ලැබුණේ සිනමාශාලා 18ක ශාලා හිමිකරුවන් විසින් එය ප්‍රදර්ශනයට විරෝධය දැක්වීම නිසා එය ප්‍රදර්ශනය අත්හිටුවා ඇති බවයි. විරෝධයට හේතුව මේ සිනමාපටය ලංකාවට ගෙන්වන නසුරැල්ලා නමැති ව්‍යාපාරිකයා එහි ලාභ ප්‍රතිශත සිනමා ශාලාවලට අඩු කිරීම හා සිනමා ශාලා දෙකකට එය ප්‍රදර්ශනය සඳහා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා බවද සමාජජාල වෙබ් අඩවි හා විවිධ මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ පිළිබඳව කරුණු අනාවරණය කරගැනීමට සිනමාශාලා හිමියන් සහ කළමනාකරුවන් කිහිප දෙනකුගෙන්ම අප කරුණු විමසූවත් ඔවුහු මේ පිළිබඳ කිසිවක් කතා කිරීම ප්‍රතික්ෂේප කළහ. ඉන්දියාවෙහි පළවෙන හින්දී, දමිළ සහ ඉංග‍්‍රීසි පුවත්පත් හා ප‍්‍රවෘත්ති වෙබ් අඩවි පළවී තිබුණේද බාහුබලී 02 සිනමාපටයෙහි සාර්ථකත්වය පිළිබඳව පමණි. ලංකාවේ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ගැටලුවක් උද්ගතව ඇති බව ඒ එක් මාධ්‍යයක් විසින්වත් වාර්තා කර නොතිබිණි. විශේෂයෙන්ම බාහුබලී 02 තිරගතවන බව පවසා දැන්වීම් පළකර තිබුණු පුවත්පත් දැන්වීම්වලට අනුව මැජෙස්ටික්, සිනෙප්ලෙක්ස්, රීගල් සිනමා සහ ගම්පහ රීගල් සිනමා යන ආයතනවල කළමනාකාර මහත්වරුන් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද එය ව්‍යර්ථ විය. එක්තරා සිනමාශාලාවකට අප ඇමතුමක් ලබාදී මේ පිළිබඳව කළ විමසීමෙදී එහි කළමනාකාරවරයා පැවසූයේ මට ඔය ප‍්‍රශ්නය ගැන පිළිතුරක් දෙන්න බැහැ, සිනමපටයන්හි දර්ශනවාර පිළිබඳ මොනවා හරි දෙයක් නම් උත්තර දෙන්න පුළුවන්. මීට කලින් ඔය වගේ දෙයකට උත්තර දීලා මට ප‍්‍රශ්නයක් වුණා යන්නය. 

බාහුබලී 02 සිනමාපටය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් සමඟද අපි කතා කළෙමු.

ලංකාවේ සිනමාවක් තියෙනවලු. බලන්න කිසිම දෙයක් නැති මෙලෝ රහක් නැති චිත‍්‍රපට නම් තියෙනවා. අපේ අය රඟපාන හැටි දැක්කම විහිළු චිත‍්‍රපට හදන්න ඕන නැහැ. ඒවට හිනායනවා. මේ ෆිල්ම් එක ලස්සන නිසා මෙහෙ ඉන්න කලාකාරයෝ කියලා කියාගන්න අය බයවෙලා නතර කරන්න හැදුවද දන්නේ නැහැ. අපි හින්දී, දෙමළ, ඉංග‍්‍රීසි සහ වෙනත් භාෂාවලින් කරන චිත‍්‍රපට බලන්නේ ලංකාවෙ චිත්‍රපට කියලා බොරු කලාවක් තියෙන හින්දනේ. හැබැයි පහුගිය කාලෙනම් වෙන චිත්‍රපටිවල කොපි හරි එකක් දෙකක් ආවා. ඔය සිරීයස් කැරැක්ටරුත් විහිළු විදියට කරන අය නෙවෙයි අලුත් අය හරි හොඳට ඇක්ට් කරන අය දාලා ලංකාවෙත් හොඳ චිත්‍රපට හැදුවනම් ඉවරයිනේ. හින්දී හරි වෙන භාෂාවකින් හරි එන ෆිල්ම් තහනම් කරලා වැඩක් නැහැ. ෆිල්ම් හෝල් එකේ පෙන්වන එක තහනම් කළත් තව ටික කාලෙකින් ඩීවීඩී වලින් හරි අපි කැමති ෆිල්ම් අපිට බලන්න පුළුවන් ඒ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෙක් අප කළ විමසීමේදී ලබාදුන් පිළිතුරයි.

බාහුබලී ප්‍රදර්ශනය පිළිබඳව ගැටලුවක් නැති බව අප කළ විමසීමකදී පාර්ශ්ව කිහිපයක්ම ප්‍රකාශ කර සිටියත් අප දන්නා ආකාරයට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ රාත්‍රි දර්ශනය සමඟ සීමිත වාර ගණනක් පමණි. තහනමක් නොමැතිනම් මෙවැනි ස්වයං වාරණයක් අදාළ සිනමා ශාලා විසින්ම පනවාගෙන ඇත්තේ ඇයි? අපට නැගෙන ප්‍රශ්නය එයයි. පළමු දිනයේදීම ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් පමණක් ඉන්දීය රුපියල් කෝටි 41ක් උපයා ගනිමින් ෂාරැක් ඛාන්ගේ හැපි නිව් ඉයර් චිත්‍රපටය එක් දිනකදී උපයාගත් ඉන්දීය රුපියල් කෝටි 44ක මුදල් වාර්තාවට පමණක් දෙවැනි වූ බාහුබලී චිත්‍රපටය දින දෙකක් තුළ ඉන්දීය රුපියල් කෝටි 125ක් උපයාගෙන ඉන්දියාවේ දින දෙකක් තුළ ඉහළම ආදායම ලද චිත්‍රපටය බවට පත්විය. මේ වෙද්දී මෙහි මූලික ආදායම ඉන්දියානු රුපියල් කෝටි 625කි. මේ අතර මෙහි ප්‍රධාන චරිතයක් රඟපාන රානා ඩග්ගුබාඩ් එක් ඇසක් නොපෙනන පුද්ගලයකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබීමත් සමඟම ප්‍රේක්ෂකයෝ ආන්දෝලනාත්මක කුතුහලයකින් ඇලලී ගියහ. මේ සියලු පුවත් මධ්‍යයේ බාහුබලී නැරඹීමේ මනදොලක් ඇතිවීම නොවැළැක්විය හැක්කක් බවද වාරණ තහංචි කතා මැද සටහන් කළ යුතුය.

 චන්දන වරාවිටගේ