ඔයාගේ තාත්තා උදැල්ලකුත් අරගෙන බන්ධනාගාරයෙන් පැනලා ගිහින් තියෙනවා. කදුරුගස්ආර ගමේ මිනිස්සු දැකලා අල්ලාගෙන ගහලා. පස්සෙ කොහොම හරි ගෙනැල්ලා බන්ධනාගාරයට බාර දුන්නා. කොයිකටත් අපි මෙයාව ඇඹිලිපිටිය හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරනවා.
ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ නිලධාරීන් දෙදෙනකු එක්ව ලබාගත් දුරකතන ඇමතුමක් මගින් රැඳවියකුගේ දියණියට දන්වා තිබුණේ එවැන්නකි. එදිනම රාත්‍රියේ කනංකේ පොලිසිය වෙතින් නිවැසියන්ට දන්වා තිබුණේ බන්ධනාගාර ගතව සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නැමැත්තා රෝහල් ගතකර සිටියදී මියගොස් ඇති බවකි
ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ රඳවා සිටි මෙම රුඳවියාට පහර දී ඝාතනය කර ඇති බවට ඥාතීහු චෝදනා කරති. මේ හේතුවෙන් බන්ධනාගාර රුඳවියා මැරුවාද? මැරුණාද? යන්න පවතින්නේ ආන්දෝලනාත්මක ගැටලුවකි.
කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ රුඳවියකුව සිටියදී ආන්දෝලනාත්මක ලෙස සැකයකට තුඩු දී මරණයට පත්වූ ලලිත් චමින්ද හෙට්ටිගේ නැමැත්තා මාතර කනංකේ කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 49 හැවිරිදි වියේ පසුවූ හෙතෙම බන්ධනාගාර ගතකර ඇත්තේ මීට වසර කිහිපයකට ඉහතදීය. ඊට හේතුව මුදල් වංචා කිරීමේ සිදුවීමකට අදාළවය. වාර්තා වන අයුරින් ලලිත් චමින්ද හෙට්ටිගේ නැමැත්තා මූල්‍ය වංචාවකට චෝදනා ලැබ ඇත්තේ 2010 වසරේදීය. ඒ රුපියල් 10,000ක් සම්බන්ධයෙන් බවද කියැවේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙහෙයවා ඇති නඩු විභාගය අතරතුර වරදකරු වූ හෙට්ටිගේ මහතාට වසර තුනක සිරදඬුවමක් නියම කර ඇතැයිද පැවසේ. බරපතළ වැඩ සහිතව එම සිරදඬුවම නියම කර තිබුණේ ගිය වසරේ මාර්තු මාසයේදී බවද වාර්තා වේ.
දරුවන් තිදෙනකුගේ පියකු වූ හෙට්ටිගේ මහතා 49 හැවිරිදිය. සිය පියා සිරගත කිරීමෙන් මාස 9කට පමණ පසුව ඔහු බැලීමට යාම සඳහා වැඩිමහල් දියණියට අවස්ථාවක් ලැබී තිබිණ. ඒ ඉකුත් දෙසැම්බර් 2 වැනිදාය. එහි ගිය දියණියට ඔහු බන්ධනාගාරයේ කටුකත්වය විස්තර කර තිබුණි. එහිදී ඔහු පුන පුනා කියා තිබුණේ වැඩ වැඩියි පුතේ... සල්ලි දෙනවා නම් වැඩ අඩුවෙන් දෙන්නම් කීවා යනුවෙනි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ මෙහෙ ඉන්න මහත්තයකුට රුපියල් 5000ක් දෙනවා නම් මට මෙහෙ කරදරයක් නැතිව ඉන්න පුළුවන් යනුවෙනි.
එම කාරණය දැනගත් මියගිය අයගේ වැඩිමහල් දියණිය ඇගේ පියා පෙන්වා දුන් නිලධාරියකු වෙත රුපියල් 5000ක් ලබාදුන් බව කියන්නීය. ඊට අමතරව එම බන්ධනාගාරයේ නිලධාරීන් පස් දෙනකු අවස්ථා කිහිපයකදී තමාට දුරකථන ඇමතුම් ලබාගත් බවද එක් අවස්ථාවක වීඩියෝ තාක්ෂණයෙන් ඇමතුමක් ලබාගත් අවස්ථාවක පියා විසින් එම නිලධාරීන් පස්දෙනා පෙන්වූ බවද පවසන්නීය. ඔවුන් විසින් ලබාගත් දුරකථන ඇමතුම් සඳහා තමාට රීලෝඩ් වශයෙන් මුදල් ගෙවීමට සිදුවූ බවද ඇය කියන්නීය. ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ රඳවා සිටි සිරකරුවකු හදිසියේ මියයාම හා ඔහුගේ වැඩිමහල් දියණියගෙන් මුදල් ලබාගැනීමට අමතරව ඇයට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් කරුණු විස්තර කරන ඇය මෙසේ පවසන්නීය.
මගේ පියා විස්තර කියපු විදිහට මම නිලධාරියකුට රු.5000ක් දුන්නා. අවස්ථා කිහිපයකදී නිලධාරීන් පස් දෙනකු මට කෝල් කරලා තියෙනවා. දවසක් වීඩියෝ කෝල් එකක් අරගෙන ඒ නිලධාරීන් පස් දෙනෙක් මට පෙන්නුවා. ඊටපසුව ජනවාරි 9 වැනිදා ඒ නිලධාරියෙක් මට කෝල් කළා. තාත්තාට කතා කරන්නත් දුන්නා. ඊටපස්සේ එම පුද්ගලයා මට කීවා මම ඔයාට රූ කෝල් එකක් දෙන්නම් කියලා. මම විවාහක කාන්තාවක් නිසා එහෙම කියද්දී බයකුත් දැනුණා.
මියගිය පුද්ගලයාගේ වැඩිමහල් දියණිය වන දිලානි මංජුලා මෙසේද කියන්නීය.
ගිය ජනවාරි 10 වැනිදා මට නාඳුනන දුරකථන අංකයකින් ඇමතුමක් ලැබුණා. එහෙම කතා කළේ මගේ තාත්තා. වැඩි වෙලාවක් කතා කළේ නෑ. නමුත් පුතේ ආයේ මාව බලන්න ඔයාට එන්න වෙන එකක් නෑ කියලා රහසින් වගේ කීවා. ඇයි තාත්තේ එහෙම කියන්නේ කියලා මම ඇහුවා. ඒත් එක්කම දුරකතනය විසන්ධි වුණා. පස්සෙ මම නැවත ඒ අංකයට ඇමතුමක් ගත්තා. හරියට තත්ත්පර 34න් කෝල් එක විසන්ධි වුණා. හැබැයි තාත්තා කතා කළේ නෑ. එදා තමයි තාත්තා මට කතාකරපු අන්තිම දවස.
අනතුරුව දින තුනකට පසුව බන්ධනාගාර නිලධාරීන් දෙපළක් විසින් දියණිය අමතා ඇති අතර ඔවුන් කියා ඇත්තේ හෙට්ටිගේ නැමැත්තා උදැල්ලක් රුගෙන බන්ධනාගාර පරිශ්‍රයෙන් පලා යද්දී ගම්මුන් විසින් අල්ලා පහර දී බාරදුන් බවකි. එදිනම රාත්‍රියේ කංනකේ පොලිස් ස්ථානය විසින් දිලානි මංජුලාගේ නැගණියට දැනුම් දී ඇත්තේ හෙට්ටිගේ නැමැති බන්ධනාගාර රුඳවියා මියගොස් ඇති බවකි.
එම ආරංචියට ඇඹිලිපිටිය රෝහලට ගිය දියණියන්ට ඔවුන්ගේ පියාගේ මළසිරුර දකින්නට ලැබී ඇත. ඔවුන් පවසන්නේ පියාගේ සිරුරේ පහරදීම නිසා වූ තැලීම් දකින්නට ලැබුණු බවකි. ඔහුගේ යටිපතුල් පලා තිබූ බවද කියයි. මේ අනුව පියා මියගියේ හෘදයාබාධයකින් නොවන බවත් එකම හේතුව අධික ලෙස පහරදීම බවද දියණියෝ පවසති.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කොට ඇත. ඒ යටතේ නිලධාරීන් තිදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කීය. මෙය ඝාතනයන් බවට අනාවරණය වුවහොත් සැකකරුවන්ට එරෙහිව සිවිල් අධිකරණයේ මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්ද උපරිම දඬුවම් ලබාදීමට නියමිතය.
සමන්ත විල්තෙර