2022 ජනවාරි 29 වන සෙනසුරාදා

ජානහොරකමේ ගිය සුද්දෝ!

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 418

ජෛව මංකොල්ලයක් යනුවෙන් හඳුන්වන්නේ කිසියම් රටක සිටින සතෙක් හෝ තිඛෙන ශාකයක පටක, ජාන කොටස්, ජෛව රසායනික සංඝටකයන් පිළිබඳව තිඛෙන බුද්ධිමය දේපල අයිතිවාසිකමක්, වෙනත් රටකින් හිමිකර ගැනීමයි. ඒ අදාළ රටේ අවසරයකින් තොරවයි. ශ්‍රී ලංකාවේ සිදුවන ජෛව මංකොල්ලයේ පළමුවැනි ස්ථානයේ සිටින්නේ ජපානයයි. දෙවැනි ස්ථානයේ ඇමරිකාව සිටින අතර ඇමරිකාව හරහා ලොව බොහෝ රටවල ජාන මංකොල්ල ක්‍රියාත්මක වේ. කෙසේ නමුත්, ඉන් බහුතරය, ඇමරිකානුවන් නොවේ.

අපට ජාන මංකොල්ලය අලුත් දෙයක් නොවේ. මේ නිසාම රේගුව හරහා වෙනම ජෛව සම්පත් ඒකකයක්ද ක්‍රියාත්මක කෙරුණි. කොපමණ වැට බැන්දත් දේශීය ඒජන්තයන් හරහා පැමිණෙන විදේශිකයන් අප රටේ ජාන මංකොල්ලවලට සැරසෙන අන්දම පසුගිය කාලයේ වරින්වර වාර්තා විය. සත්ව හා ශාක කොටස් සමඟ අත්අඩංගුවට පත්වන මංකොල්ලකරුවන් නීතිය මගින් දඩ මුදලකට ලක්කිරීම සිදුවන අතර පහසුවෙන් දඩ ගෙවා යළිත් තම රටවලට යාමට මේ නිසා ඔවුන්ට හැකියාව ලැබුණි. 

පසුගිය සතියේ නුවරඑළියෙන් වාර්තා වුණේ ජාන මංකොල්ල කෑමේ අරමුණින් සත්ව හා ශාක කොටස් එකතු කළ රුසියානු ජාතිකයන් තිදෙනකුට විශාල දඩ මුදලක් නියම කිරීමයි. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රුසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් හා ශාක කොටස් රුසක් මෙරටින් හොර රහසේ රුගෙන යාමට උත්සාහ කරන ලද රුසියානු ජාතිකයන් තිදෙනෙකුට රුපියල් අසූහය ලක්ෂ පනස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ජී.ජී.පී. ජයසිංහ මහතා නියෝග කළේ පසුගිය 21දාය. වසර දෙකකට ආසන්න දීර්ඝ කාලයක් තිස්සේ නඩුව උසාවියේ පැවතුණි. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අඩවි ආරක්ෂණ ඒ.පී.ටී.කේ. ජයවර්ධන අධිකරණයට කරුණු දක්වමින් නඩුව මෙහෙයවීය.

මෙලෙස දඩ නියම වූයේ ඉග්නටෙන්කෝ ඇලෙක්සැන්ඩර්, රියාබෝ ආර්ටේම් සහ කිලෆයාන් නිකොලයි නැමැති රුසියානු ජාතිකයන් තිදෙනාටය. ඔවුන් තිදෙනාට චෝදනා 102 සඳහා එක් අයෙකුට රුපියල් 2,885,000ක් බැගින් තිදෙනාහට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවීමට මෙලෙස නියෝග නිකුත් කෙරිණි. එය මෙරට වනජීවී හා වනසංරක්ෂණ ඉතිහාසයේ දෙවැනි විශාලතම දඩ මුදල වශයෙන් සැලකිය හැකිය. සැකසහිත හැසිරීම මත රුසියානුවන් තිදෙනා හෝටන් තැන්න ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරින් සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 2020 පෙබරවාරි 26 දාය. නුවරඑළිය අධිකරණය හමුවේ ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබිණ. 

මෙම රුසියානු ජාතිකයන් තිදෙනාගේ සංචාරක නවාතැන සහ වාහනය පරීක්ෂා කිරීමේදී වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හූනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ කාණ්ඩ 23 ට අයත් සතුන් 529ක් හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් ප්ලාස්ටික් විශේෂ බහාලුම්වල බහා පිටරට රුගෙන යාමට සූදානම් කර තිබියදී හමුවිය. මෙම සත්ව හා ශාක නිදර්ශක හබරණ, බදුල්ල, ගිනිගත්හේන සහ යාපනය ප්‍රදේශවලින් එකතු කරගෙන තිබුණි. ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර යොදාගෙන වාහනයක් කුලියට ගෙන ඇති මොවුන් ජාන නිදර්ශක එකතු කිරීමට රටපුරා සංචාරය කර ඇති බව හෙළිවිය. වැඩිම නිදර්ශක සංඛ්‍යාවක් ඔවුන් එකතුකරගෙන ඇත්තේ තෙත් කලාපීය නිවර්තන වනාන්තරවලිනි.  රුසියානුවන් ලංකාවට පැමිණ තිබෙන්නේ 2020 පෙබරවාරි මුලදීය.

මෙයට පෙර ලංකාවේ වැඩිම වනජීවී අපරාධ දඩමුදල නියම වුණේ 2019 පෙබරවාරි 13 දා කලවාන සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදීය. සිංහරාජ ලෝක උරුම වන රක්ෂිතය තුළ වනසතුන් එක්රුස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් විදේශිකයන්ට රුපියල් එක් කෝටි අට ලක්ෂ හතළිස් දහසක දඩයක් එදින නියම කෙරිණි. එම නඩුව ගොනු කරන ලද්දේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. කෙසේවුවත් මෙම ජෛව මංකොල්ලය පිටුපස විශාල සංවිධානාත්මක පිරිසක් සිටින බව හෙළිදරව් කරමින් විශාල දඩමුදල පසු දිනම සම්පූර්ණයෙන් ගෙවා දැමීමට එම ස්ලෝවැකියානු ජාතිකයන් කටයුතු කර තිබුණි. මේ ස්ලෝවැකියානු ජාතිකයන්ට යළිත්  අපේ රටට  ඒමට නොහැකි වන සේ ‘බ්ලැක් ලිස්ට්’ කිරීමට රහස් පොලීසිය කටයුතු කරන බවත් පැවසුණි.

පරිසර නීතිය පිළිබඳ විශාරදයකු වන නීතිඥ ජගත් ගුණවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ වනසත්ව හා වෘක්ෂලතා අඥා පනත බලාත්මක වූ 1937 වසරේ සිට මේ දක්වා වනජීවී අපරාධයකට පනවන ලද ඉහළම දඩ මුදල මෙය වන බවයි. දඩ මුදලට අමතරව මාස තුනක සිර දඩුවමක් නියම වූ අතර එය වසර දහයකට අත්හිටුවා තිබේ.
අධිකරණ සහ ශ්‍රී ලංකා රේගුව විසින් මීට පෙර පනවන ලද දඩ මුදල් සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ ජගත් ගුණවර්ධන පවසන පරිදි වනජීවී අපරාධ සඳහා මීට පෙර විශාල දඩ මුදල් පැනවිමේ අවස්ථා දෙකක් වාර්තා වේ.

එම සිද්ධියට පෙර වැඩිම දඩ ලෙස සඳහන් වන්නේ දකුණු අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සේවයේ නිරත පොලිස් නිලධාරින් විසින් සත්ව ජාවාරමක් සම්බන්ධයෙන් විදේශිකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදි රුපියල් පහළොස් ලක්ෂ අනූ දහසක දඩයක් සහ මීට ඉහත සිංහරාජයේ සිදුවූ වනජීවි අපරාධයකට රුපියල් පහළොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කිරීමයි. සිංහරාජය ආශ්‍රිතව විදේශිකයන් කිහිප වරක්ම ජාන කොල්ලයට සැරසෙද්දී අත්අඩංගුවට පත්වූ බව වාර්තා වී තිබේ. 2012දී ශාක විශේෂ 32කට අයත් පැළෑටි 345ක් සොරකම් කිරීමේ චෝදනාවකට රුසියානු යුවළක් අත්අඩංගුවට පත් විය. බොහෝ විට සිදුවන්නේ දඩයක් නියම කිරීමෙන් පසු ඔවුන්ට රටින් පිටවීමට අවස්ථාව ලබාදීමයි. 

මෙසේ රටින් පිටව යන ඔවුන් වෙනත් උපක්‍රමයකින් ලංකාවට පැමිණ ජාන ‍මංකොල්ලයට ඉඩ සොයාගැනීමට උත්සාහ කරනු ඇත‍. වනජීවී නිලධාරීන් පොලිසිය මෙන්ම සාමාන්‍ය ජනතාවත් වනාන්තරවල සංචාරය කරන විදේශිකයන් ගැන විමසිල්ලෙන් සිටීම නුවණට හුරුවන කාලයක් උදාවී තිබේ. මේ සඳහා දැඩි නිරීක්ෂණයක පසුවීමට තරම් වනජීවී නිලධාරින් ප්‍රමාණවත් නොවන බව වනජීවී වෘත්තිය සමිති පවසයි.

 කුසුම්සිරි විජයවර්ධන‍
සේයාරූ- සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි