2022 ජනවාරි 29 වන සෙනසුරාදා

කෝච්චියට බෙල්ල තැබූ පාසල් ගුරුවරිය

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 262

හෙට උදේ මට ඉස්කෝලෙ යන්න තියෙනවා... දාඩිය දාගෙන බස් දෙකක යන්න බෑ. උදේට වාහනේ ගෙදරට එවන්න. මම හයහමාර වෙද්දි ලෑස්තිවෙලා ඉන්නවා..

ගල්ගමුව සෙල්ලම්වත්ත දුම්රිය හරස් මග අසලදී රජරට රුජින දුම්රියට බෙල්ල තැබුවා යැයි කියන තරුණ ගුරුවරිය සිය සැමියාට දුරකථනයෙන් අමතා අවසන් වශයෙන් කියා තිබුණේ එපමණකි. පසුදා උදෑසනම ඇය කැටුව යාම සඳහා මෝටර් රථය යන අතරතුර ඈ යකඩ යකාට ජීවිතය බිලි දී තිබිණි. ඇත්ත නැත්ත හරිහැටි නොදත් පිරිස තරුණිය අළලා නොයෙක් කටකතා ගෙතුවෝය. එවැනි කතා සමඟ ඡායාරූප කිහිපයක් ද ඉකුත් සතිය පුරා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි.

යම් හේතුවක් අරභයා දුම්රියට පැන සියදිවි නසාගැනීමට ක්‍රියා කළ තරුණිය වෘත්තියෙන් ගුරුවරියක වීමත් රජයේ පාසලක ඉගැන්වීම් කටයුතු කිරීමත් විශේෂයකි. කෙසේ වෙතත් ඇය මේ ආත්මයේ රුගෙන උපන් ආයුෂ එපමණක් වන්නට ඇත.

අවාසනාවන්ත ලෙස දුම්රියට ගෙල තබා ජීවිතක්ෂයට පත්වුණු ගුරුවරිය නමින් සංජීවනී කල්‍යාණි චන්ද්‍රසේකර නැමැත්තියකි. තිස් හැවිරිදි වියේ පසුවූ ඇය ජීවිතක්ෂයට පත්වන විට ගැබිනියකව සිටි බවට සමාජ මාධ්‍ය හරහා වාර්තා කර තිබිණි. ඒ අනුව ඇය හා ස්වාමියා පිළිබඳ නොයෙක් ආකාරයේ අදහස් පළ කරන්නටත් චෝදනා කරන්නටත් සමාජ මාධ්‍ය පරිශීලකයෝ ක්‍රියා කරමින් සිටිති.

සංජීවනීගේ උපන් ගම ගල්ගමුවට නුදුරු ප්‍රදේශයක් වන උල්පතගමය. පුංචි සන්දියේ පටන් ඉගෙනීමට උපන් හපන් ඇය කාගේත් ආදරය දිනා සිටියාය. ගොවිතැනින් ජීවිතය සරිකරගෙන සිටි ඇගේ පියා අකාලයේ මරණයට පත්වූයේ වන අලියකුගේ ප්‍රහාරයකට ලක්වීමෙනි.

පියාගේ අභාවයත් සමඟ ආර්ථික වශයෙන් අපහසුතා පැවතියද මවගේ මගපෙන්වීම මත ඇය පාසල් අධ්‍යාපනය හමාර කළේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සපුරාලමිනි. ඒ වන විටත් පාසල් ප්‍රේමයට හිමිකම් කී ඇය ප්‍රදේශයේ තරුණයකු හා පෙමින් බැඳී සිටියාය. මැය මෙන්ම ඉගෙනීමට උපන් හපන් තරුණයා ද උසස් පෙළ විභාගය සමත් වූයේ විශ්වවිද්‍යාල වරම් ලබාගනිමිනි. ඒ අනුව වෛද්‍ය විද්‍යාලයට ගිය ඔහු වෛද්‍යවරයකු වශයෙන් අභිෂේක ලබද්දී පෙම්වතිය කලා උපාධියක් දිනා ගත්තාය. මේ අතර දෙපාර්ශවයේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය මැද දෙදෙනා විවාහ වී තිබුණේ ජයටම මංගල උත්සවයක් පවත්වමිනි.

මියගිය ගුරුවරියගේ සැමියා වෛද්‍යවරයකු වශයෙන් සේවය කිරීම ඔහුගේ පියාට මහා අගයක් වී තිබිණි. හේතුව පියා ද රජයේ වෛද්‍යවරයකු වශයෙන් රාජකාරි කරමින් සිටීමය. අතීතය කෙසේ වෙතත් මියගිය ගුරුවරියට කිසිදු අගහිඟයක් හෝ අඩුපාඩුවක් නොතිබිණි. ජීවිතයට අවශ්‍ය සියලු සැප සම්පත් තිබූ ඇයට විවාහ වී වසර කිහිපයක් ගතවුවද මවක වන ලකුණු පහළ වී නොතිබිණි. ඉඳහිට සැමියා හා හිත් අමනාපකම් ඇතිවුවද ඒවා ද වැඩිකල් නොතිබිණි. එලෙස වූ පවුල් ආරවුල් කෙසේ වෙතත් ඇය විනෝදය සඳහා සමාජ මාධ්‍ය ඇසුරු කිරීමත් ටික් ටොක් වීඩියෝ මුදාහැරීමත් නිරන්තරයෙන්ම සිදු කර ඇතැයි කියති.
ඇගේ ටික් ටොක් භාවිතය සම්බන්ධයෙන් සැමියා අසතුටට පත්ව සිට ඇති බවද කියැවේ. එබැවින් එය නතර කරන ලෙසට ඇයට අවස්ථා කිහිපයකදී අවවාද කොට ඇතැයි ද කියති. නමුත් එහි ඵලක් නොවුණු පසු අඹු සැමියන් අතර ආරවුල් හටගෙන ඇතැයි පැවසේ. ඔහු ප්‍රදේශයේම රෝහලක සේවය කරන අතරතුර ගල්ගමුව නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් තිබිණි. 

දින කිහිපයකට පටන් පැවති ආරවුලක් නිසා ගුරුවරිය සිය ස්වාමියාගේ නිවෙසේ සිට උල්පතගම පිහිටි ඇගේ මහ ගෙදරට ගොස් තිබුණේ ඉකුත් සතියකය. නිවෙස් දෙක අතර මහ දුරක් නොවූයෙන් එකම දිනක අවස්ථා කිහිපයකදී ඇය නිවාස දෙක අතර ආ ගිය බව කියති. දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් නිසා අවසන් වරට ඇය ඇගේ නිවෙසට ගිය දිනයේ සවස සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී, හෙට උදේ මට ඉස්කෝලෙ යන්න තියෙනවා. දාඩිය දාගෙන බස් දෙකක යන්න බෑ. උදේට වාහනේ ගෙදරට එවන්න. මම හයහමාර වෙද්දි ලෑස්තිවෙලා ඉන්නවා. යැයි කියා ඇතැයි පැවසේ.

ඊට එකඟ වූ සැමියා පසුදා උදෑසනම සිය මව හා ඥාති සහෝදරයකු සමඟ මෝටර් රථය බිරියගේ නිවෙසට පිටත් කර ඇතැයි කියති. නිවෙසට ගියද සංජීවනී නිවෙසේ නොසිටියාය. එම නිවැසියන් ප්‍රකාශ කර තිබුණේ දියණිය උදේ හයට තිබුණු බස් රථයක පාසල් යාමට පිටත්ව ගිය බවකි.

ඇය සේවය කරමින් සිටියේ කිතලව නම් ගමේ පිහිටි පාසලකය. ඇය නිවෙසේ සිට ගිය බස් රථයෙන් මගදී බැස අතුරු පාරක එම පාසල වෙත යා යුතුව තිබිණි. නමුත් ඇය අදාළ ස්ථානයෙන් නොබැස කිලෝමීටර් හතරක් පමණ දුර පිහිටි ගල්ගමුව ප්‍රදේශයට ගොස් ඇතැයි කියති. එලෙස යන අවස්ථාවේ ගල්ගමුව සෙල්ලම්වත්ත දුම්රිය හරස් මාර්ගය අවහිර වී තිබුණේ දුම්රියක් ළඟ එන බව සංඥා කරමිනි. දුම්රිය ධාවනය වනතුරු නවතා තිබුණු බස් රථය තුළ සිට කඩිමුඩියේ බිමට බැස තිබුණේ කිතලව පාසලේ සංජීවනී ටීචර්ය. රජරට රුජින දුම්රිය හූ හඬ දෙමින් ඈතින් එනවා දැක දැක සංජීවනී දුම්රිය ගේට්ටුව මගහැර ඇතුළු වී රේල් පාරේ ටික දුරක් ගමන් කළාය. සැණෙකින් දුම්රිය මග පසෙක දිගා වූ ඇය රේල් පීල්ලට ගෙල තැබුවාය. සිදුවීම සියැසින් දුටුවන් කිසිවකුට ක්‍රියාත්මක වීම සඳහා අවසරයක් නොවිණි. සංජීවනීගේ හිස ගෙලෙන් වෙන්කර දමා ගිය යකඩ ගොඩට වගක් නොවීය.

පවුල් ආරවුල් හෝ ජීවිතයේ කුමන ප්‍රශ්නයක් පැවතියද ගුරුවරියක වූ උගත් ඇයට මොහොතක් සිතන්නට ඉඩ ලැබුණේ නැතිද? පැවති ගැටලුවක් නිසා ඒ තරමට ඇය මානසික අසහනයක පසුවන්නට ඇත. වාර්තා වූ සාක්ෂි සාධක ඇසුරින් සිදුවීම පිළිබඳ විමර්ශනය කළ පොලීසිය පවසන්නේ සංජීවනී ටීචර් සියදිවි නසාගැනීමේ අරමුණෙන් නිවෙසින් පිටව යන්නට ඇති බවය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තාව - නිහාල් ජයවීර