2022 ජනවාරි 29 වන සෙනසුරාදා

ඇතුළේ රට හාල් : ලේබලේ ලෝකල්

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 61

පසුගියදා රජය සහල් ආනයනය කිරීමට බලපත්‍ර දීමේ ක්‍රමය අහෝසි කර ඕනෑම කෙනකුට මෙරටට සහල් ආනයනය කිරීමට අවස්ථාව සලසා දුන්නේය. එසේ කළේ ව්‍යාපාරිකයන් අතළොස්සක් සතුව තිබූ සහල් ව්‍යාපාරය සඳහා බොහෝ දෙනකු දායක කර ගැනීමේ අපේක්ෂාවෙනි. බොහෝ දෙනකුට අවස්ථාව ලැබීම නිසා වෙළෙඳපොළේ තරගකාරීත්වයක් නිර්මාණය වී සහල් මිල අඩුවනු ඇතැයි වගකිවයුත්තන් බලාපොරොත්තු වූ බව පෙනුණි.

එහෙත් එම බලාපොරොත්තුව ඉටු නොවී ඇති බව අද වෙළෙඳපොළේ සහල් මිල ඉහළ නගින අයුරු නිරීක්ෂණය කරන විට පැහැදිලි වේ. සහල් ආනයනය පුළුල් කිරීම නිසා මිල අඩුවීම වෙනුවට සිදුවූයේ ඒ අවසරය දඩමීමා කරගෙන විවිධ අක්‍රමිකතාවලට යොමුවීමට අවස්ථාව ලැබීමය. ඉන් එකක් වන්නේ ආනයනික සහල් දේශීය සහල් මුද්‍රාව යටතේ දේශීය සහල් බව හුවා දක්වමින් අලෙවි කිරීමය. අනිත් කුප්‍රකට වැඩපිළිවෙළ වූයේ දේශීය සහල් සමඟ ආනයනික සහල් මිශ්‍ර කර තම දේශීය වෙළෙඳ නාම යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමය. මෙයින් සිදුවන්නේ දේශීය පාරිභෝගිකයාට වැඩි මිලට මෙම මිශ්‍ර කළ සහල් මිලට ගැනීමට සිදුවීමය.

මෙහි ආසන්නතම සිද්ධිය වූයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් දෙදෙනකු විසින් විදෙස් රටවලින් අඩු මිලට ගෙන්වන සහල් නැවත සකස් කර ඔවුන්ගේ වෙළෙඳ නාමය යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමය. මෙය සෑහෙන කලක සිට කරගෙන එන මහා පරිමාණ කූඨ ව්‍යාපාරයක් වන අතර එය දැන දැනත් නැවැත්විය නොහැක්කේ ප්‍රබල දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ද මේ අයට ලැබී තිබීම නිසා බව දැනගන්නට තිබේ.

මේ පිළිබඳ මුල්වරට රටට අනාවරණය කළේ ජාතික ගොවිජන සේවා සම්මේලනයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතාය. මේ අයට අවශ්‍ය සහල් සැපයීම සඳහාම වූ සහල් ආනයනකරුවන් පිරිසක් ද බිහිවී ඇත. ඔවුන් කරන්නේ මෙම මාෆියාකාරයන් වෙනුවෙන් සහල් ගෙන්වීමය. එලෙස ආනයනය කරන ලද සහල් අඩංගු කන්ටේනර් 30ක් පමණ, ඔවුන් වරායේ සිට කෙළින්ම සහල් මෝල් කරා ගෙනැවිත් ඇති බවද සභාපතිවරයා කියයි. මෙය ඔවුන්ටද වැඩි වෙහෙසකින් තොරව තම සහල් අලෙවි කර ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් නිසා දිගටම මෙම වංචාව සිදුවෙයි.

මහා පරිමාණ මෝල් කරා ගෙන යන මෙම ආනයනික සහල් තොග පොලිෂ් කර මෙරට නිෂ්පාදිත සහල් ලෙස ඔවුන්ගේ බෑග්වලට දමා එම වෙළෙඳ නාම යටතේ වැඩි මිලට අලෙවි කර අධික ලාභ ලබන බව සභාපතිවරයා පවසයි. මෙය වැඩි වෙහෙසක් නොමැතිව අධික ලාභ ගත හැකි උපක්‍රමයකි. වී මෝල් හිමියන් වී කිලෝව රුපියල් 90ට මිලදී ගන්නා අතර සහල් කිලෝවක් තැනීම සඳහා වී කිලෝ 1.6ක් අවශ්‍ය වේ. ඒ නිසා සහල් කිලෝවක් නිපදවීම සඳහා වී වලට රුපියල් 140 – 150 පමණ වැය වෙයි. ඒ අනුව අද වෙළෙඳපොළේ සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 175 – 180 වීම වැළැක්විය නොහැකිය. එසේ වුවද ආනයනික සහල් කිලෝවක මිල වන්නේ රුපියල් 60 – 70 පමණය. මේවා තම ව්‍යාපාර ස්ථානවලට රුගෙනවිත් පොලිෂ් කර යළි සකස් කළාට පසුව වුවද කිලෝවක වියදම රුපියල් 85ක් පමණ වනු ඇත. අද දේශීය සහල් කිලෝවක සිල්ලර මිල සාමාන්‍යයෙන් රුපියල් 130 – 150 අතර මට්ටමේ පවතී. ඒ අනුව සහල් කිලෝවකින් රුපියල් 50ක් පමණ අධික ලාභයක් ලැබීමට මෙම කූඨ ව්‍යාපාරිකයන් වාසනාවන්ත වනවා ඇත. ඔවුන් එම වාසනාව උදාකර ගන්නේ කෘත්‍රිම රසායන විශාල ලෙස යොදා නිපදවන රට සහල් අසරණ පාරිභෝගිකයාට කවා ඔවුන් වකුගඩු රෝගීන් බවට පත් කිරීමෙන් සිදුවන හානිය විශාල වීමෙනි.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් මේ ගැන විමසූ විට ඔහු පැවසුවේ ආනයනික සහල්වලට දේශීය නම් යොදා අලෙවි කිරීම අද ඊයේ සිදුවූවක් නොවන අතීතයේ සිටම සිදුවන වංචාවක් බවයි. මෙම වංචාවට සුළු පරිමාණ සහල් ව්‍යාපාරිකයන් මෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද සම්බන්ධ බව ඔහු කියයි. එහෙත් මුලදී සීමා කර තිබූ සහල් ආනයනය විවෘත කර මේ වනවිට සැමටම අවසර දී ඇති නිසා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ද සහල් ආනයනය කිරීමට පෙළඹී ඇති බව ඔහු කියයි.

ඉස්සර ඒ අය සහල් මිලදී ගන්නේ බලපත්‍රලාභී ආනයනික සහල් ව්‍යාපාරිකයන්ගෙන්. දැන් ඒ අයටත් කෙළින්ම ආනයනය කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. එය නැවැත්වීමට බැහැ. දැන් දේශීය සහල්වල සහ ආනයනික සහල්වල මිල අතර පරතරය විශාල නිසා මෙම ව්‍යාපාරයෙන් ඔවුන්ට විශාල ලෙස ලාභ ලබාගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා ආනයනික සහල් දේශීය සහල් බවට පරිවර්තනය කිරීමට උනන්දු වන ව්‍යාපාරිකයන් සංඛ්‍යාව වැඩි වී තිබෙනවා.

පසුගිය දවසක අපේ නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස දේශීය සහල් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් වැටලූ අවස්ථාවේදී ඔවුන් ආනයනය කර ඇති සහල් තොග අපට හමුවුණා. ඒ අවස්ථාවේදී ඔවුන් පැවසුවේ තමන් දේශීය සහල් ව්‍යාපාරයට අමතරව සහල් ආනයනය කර අලෙවි කරන බවයි. එහෙත් ඔවුන් එම සහල් දේශීය නාම යටතේ අලෙවි කරන බව හෝ දේශීය සහල් සමඟ මිශ්‍ර කර විකුණන බවට හෝ සාක්ෂි අපේ නිලධාරීන්ට සොයා ගැනීමට නොහැකි වුණා. එවැනි ස්ථාන අපට දැන්වුවොත් අනිවාර්යයෙන්ම අපි වටලනවා.

කෙසේ වුවද මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය නීතිපතා වැටලීම් කරන බව ඔහු කීවේය.

මේ පිළිබඳ අදහස් දක්වන සමස්ත ලංකා ගොවිජන සේවා සංගමයේ සභාපති නාමල් කරුණාරත්න

දේශීය සහල් මිල පසුගිය සමයේ ඉතාම අධික ලෙස ඉහළ ගියා. එම මිල පහළ හෙළීම සඳහා යැයි කියමින් වෙළෙඳ අමාත්‍යාංශය විශාල ලෙස සහල් ආනයනය කරමින් සිටිනවා. ඒ සහල්වල සහ දේශීය සහල්වල මිල අතර රුපියල් 40 – 50 පරතරයක් තියෙනවා. මේ නිසා තමයි ආනයනික සහල් මෙරට සහල් බවට පෙරළා වංචා සහගත ලෙස අලෙවි කර වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු සිදුවෙන්නේ. මෙලෙස ආනයනික සහල් මෙන්ම දේශීය බාල සහල් ද හොඳ සහල්වලට කලවම් කර විකිණීම දැනට සෑහෙන කාලයක සිට කරගෙන එන දෙයක්. එසේම සම්බා සහල් කීරි සම්බා බවටද පත්කර වැඩි මිලට අලෙවි කරනවා. මෙවැනි වංචා මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් වගේම කුඩා පරිමාණ මෝල් හිමියන්ද කරනවා. දේශීය සහල්වල මිල ඉහළ යාම වැඩි නිසා දැන් වනවිට මෙම වංචාව බහුල ලෙස සිදුකෙරෙනවා. සහල් විතරක් නොවෙයි වෙනත් ආහාර ද්‍රව්‍යද මෙලෙස පාරිභෝගිකයා මුලා කර විකුණනවා. දේශීය ගම්මිරිස් කියලා ආනයනය කළ ගම්මිරිස් අලෙවි කරනවා.

2014 වසරේ පමණක් අප කළ සමීක්ෂණයකදී රුපියල් කෝටි විසිඑක් දහස් පන්සියයක්. මෙලෙස සහල්වලින් නොයෙක් ආකාරයට වංචා කර ඇති බව සොයාගෙන තිබෙනවා. මේ වනවිට ඒ තත්ත්වය තවත් දියුණුවෙලා තියෙනවා. මේ වංචා ඇතුළේ ආණ්ඩු කරන දේශපාලනඥයන්ද ඉන්නවා. මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට මිල තීරණය කිරීමේ අයිතිය දුන් පසු සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ට මිල තීරණය කිරීමේ අවස්ථාව ලැබුණු පසු ඔවුන් පුවත් සාකච්ඡාවක් පවත්වලා දැනට මාස තුනකට පමණ පෙර සහල් කිලෝවක උපරිම මිල රුපියල් 115ක් බව ප්‍රකාශ කළා. එහෙත් ඒ මිල පැවතුණේ සුළු කාලයයි. ඩඩ්ලි සිරිසේන යළි කතා කරන විට කිලෝව රුපියල් 175ක් වෙලා තිබුණා. එහිදී ඔහු ස්ථිරවම පැවසුවා සහල් මෙයට වඩා මිල ඉහළ යන්නේ නැහැ කියලා. එහෙත් අද පවතින තත්ත්වය අනුව මේ කතාව පිළිගන්න බැහැ. සිංහල අවුරුද්දට පෙර කිලෝව රුපියල් 200 – 250 වේවි. වෙළෙඳ ඇමැති බන්දුල සහල් කිලෝව රුපියල් 100ට වැඩිය නගින්න දෙන්නේ නැහැ කියලා කිව්වට අද වනවිට සතොස වෙළෙඳසල්වල අලෙවි කරන්නේ කිලෝව රුපියල් 115යි. සම්බා 130 – 135 යි. රජයේ සහල් මිලත් ඉදිරියේදී වැඩි වේවි.

සහල් මිල වැඩිවන විට මේ විදියට සහල් බාල කිරීම, මිශ්‍ර කිරීම සහ රට සහල් මෙරට සහල් බවට හරවලා අලෙවි කිරීම නැවැත්වීමට අමාරුයි. මොකද එයින් විශාල ලෙස ලාභ ලැබෙන නිසා. මේ හොර මැර අල්ලන්නට තිබෙන රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය අතිශයින් දුර්වලයි. ඒ අයට අවශ්‍ය පහසුකම් නැහැ. මෙයට පෙර අත්‍යවශ්‍ය ආහාරවලට කොමසාරිස් කෙනෙක් පත් කරලා වැටලීම් කළා. ඒ සියල්ල අසාර්ථක වුණා. මේ වනවිට අත්‍යවශ්‍ය කොමසාරිස්ට මොකද වුණේ කියලා හොයාගන්න බැහැ. මේ රටේ කරන බොහෝ වංචා දූෂණවලට ප්‍රබල දේශපාලනඥයන් සම්බන්ධ නිසා ඒවා වළක්වා ගැනීම අපහසුයි. එදා ඉඳලම වුණේ ඒකයි.*
රාජාංගණ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සහ ජාතික ඒකාබද්ධ ගොවි සම්මේලනයේ ලේකම් නිහාල් වන්නිආරච්චි

ඔය තත්ත්වය පිළිබඳ ගොවි සංවිධානවල සාකච්ඡා වෙනවා. අපි ඒ පිළිබඳ අදාළ අංශවලට පැමිණිලි කළත් වැඩක් වෙලා නැහැ. වැඩිපුරම කරන්නේ රට සහල් ගෙන්වලා දේශීය සහල්වලට කලවම් කරලා දේශීය සහල් බහාලන උරවල දමලා එම ලේබලය යටතේ අලෙවි කිරීමයි. මෙම වංචාව සිදුවන බව ක්‍රියාකාරී සාමාජිකයෙක් හැටියට වගකීමෙන් කියන්න පුළුවන්.

එසේ වුවත් මෝල් හිමියන් මෙම සහල් ආනයනය කරන්නේ නැහැ. ඒ අය කරන්නේ වෙනත් ආනයනකරුවන් ගෙන්වන සහල් තමන් ලබාගැනීමයි. දැන් ඕනෑම කෙනකුට සහල් ආනයනය කරන්න විවෘතව අවස්ථාව ලැබී තිබෙන නිසා සහල් ගෙන්වීමට බොහෝ අය පෙළඹී සිටිනවා. මෝල් හිමියන් වෙනුවෙන්ම මේ විදිහට සහල් ආනයනය කරන අයත් ඉන්නවා.

සහල් ආනයනය කරන අයටත් මෙහෙම තොග පිටින් මෝල් හිමියන්ට සහල් දීම වාසි සහගතයි. මොකද ඒ අයට විවිධ තැන්වලට ගෙන යාමේ ප්‍රවාහන වියදම් අඩුවෙනවා. එසේම කල් නොයවා එකවරම මුදල් ගන්න ලැබීමත් විශාල වාසියක්. ඒ නිසා මෙම කූඨ ව්‍යාපාරයට සම්බන්ධ අය වැඩියි. මෙලෙස සහල් කලවම් කරනවා බලන්න කාටවත් අවස්ථාව නැති නිසා හසු නොවී කරන්න පුළුවන්. නිලධාරීන්ට වුණත් මහ මෝල්වලට, ඒ අයගේ ගබඩාවලට යන්න අමාරුයි. ඒ නිසා රහසිගතව මෙම කූඨ ව්‍යාපාරය විශාල ලෙස කෙරෙනවා. වැටලීම් සිදුවෙන්නේ නැහැ.

රාජාංගණයේ මේ වනවිට වී කිලෝව අලෙවි වන්නේ රුපියල් 50 – 60 වැනි පහළ මිලකටයි. රුපියල් 75ට වී මිලට ගන්න බව රජය කිව්වාට ඒක හැබැහින් සිද්ධවෙන දෙයක් නොවෙයි. රුපියල් 50 – 60ට ගන්න වී තමා සහල් කරලා රුපියල් 150 – 160 වගේ ඉහළ මිලට විකුණන්නේ. මේවාට ආනයනය කරන සහල් මිශ්‍ර කළ විට අධික ලාභයක් ලබාගන්න පුළුවන්. ඒ නිසා දිගටම කෙරෙනවා. අපි මේ පිළිබඳ දිස්ත්‍රික් කමිටු රුස්වීම්වලදී පැමිණිලි කරලා තියෙනවා. එහෙත් කිසිවක් සිදුවන්නේ නැහැ. ඇතැම් නිලධාරීන්ද මෙම ව්‍යාපාරිකයන්ගෙන් යැපෙනවුන් බවට පත්වෙලා. මෙයින් සිද්ධ වෙන්නේ දුප්පත් පාරිභෝගිකයාට වැඩි මිලට රට හාල් කන්නයි. හැම පැත්තෙන්ම මෝල් හිමියන්ගේ මඩිය තර වෙනවා. සහල් ආනයනය ලිහිල් කිරීමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ පාරිභෝගිකයාට නොව වෙනත් තුන්වැනි පාර්ශ්වයකටයි. මෙයින් ගොවියාට සිදුවූ යහපතකුත් නැහැ. ඒ නිසා රජයේ උත්සාහය නිෂ්ඵල වෙලා ඇති බව කිව යුතුයි.

 යසවර්ධන රුද්රිගූ