2022 ජනවාරි 29 වන සෙනසුරාදා

හැත්තෑ පස් වියැති අපේ සිනමාව

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 369

අපේ රටේ සිනමාවේ උප්පැන්නය ලියැවී වසර 75ක් වූ වජ්‍ර ජයන්තිය සපුරන දා මෙරට සිනමාව හති දමමින් උඩුගං බලා පිහිනයි. ලෝකයේ පවතින අර්බුදකාරී තත්ත්වය සමඟ සිනමා ශාලා වැසී යමින් එම ස්ථාන සුපිරි වෙළෙඳසල් බවට පත්වන යුගයක නිමාවක් නොමැති ගමනක අභියෝග රුසක් මැද රයිගම නොයා මග දැන යාම සිනමාවේ උන්නතිය වෙනුවෙන් යහපත්ය. වසර 75ක දීර්ඝ ඉතිහාසයක දැවැන්ත සිනමාවක් එක මිටකට ගැනීම තරම් දුෂ්කර කාර්යයක් තවත් නොමැති තරම්ය. මේ උත්සාහය අපට අනන්‍ය වූ අපේ සිනමාව පිළිබඳ නොමැකෙන මතක සටහන් කිහිපයක් ආවර්ජනය කිරීමය. 

බෙංගාලි ජාතික ජේ සිං අධ්‍යක්ෂණය කළ කඩවුණු පොරොන්දුව සිංහල චිත්‍රපටය දේශීය කතානාද සිනමාවට මුල්ගල තැබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. 1947 ජනවාරි 21 වැනිදා  කොළඹ කොටහේන කිංස්ලි සිනමා ශාලාවට ගොඩවුණු කඩවුණු පොරොන්දුවෙන් ඇරඹි ගමන්මග 2022 වසර වනවිට අභිමානවත් 75 වැනි විය සපුරයි. මේ මෙරට සිනමාවේ දියමන්ති ජුබිලියයි. 

මෙරට සිනමාව දකුණු ඉන්දියානු ආධිපත්‍යයට නතුවී තිබුණි. මෙරට චිත්‍රපට ප්‍රදර්ශනයේ ඒකාධිකාරය හිමිවූයේ ඉන්දියානු මදාන් චිත්‍රපට සමාගමටය. 1928 වැනි කාලයේ  චිත්තම්පලම් ඒ. ගාඩිනර් සහ ඒ.එල්. තම්බයියා නමැති ව්‍යාපාරිකයන් දෙදෙනා ජර්මානු චිත්‍රපට ප්‍රදර්ශකයකු වූ ලියෝ ලන්ඩන් සමඟ එක්ව මරදානේ ඔලිම්පියා සිනමා ශාලාව බද්දට ගෙන චිත්‍රපට ප්‍රදර්ශනයට එක් වූහ. පසුව මෙරට සිනමාව ඉන්දියානු ආක්‍රමණයෙන් ගලවා ඉන්දීය සිනමා ප්‍රතිරෑපයෙන් මිදුණු ලංකාවට අනන්‍ය වූ සිනමාවක් බිහිකිරීම උදෙසා කොළඹ සිනමා සමාජය බිහිවිය. 

මෙතෙක් පැවති ඉන්දීය චිත්‍රපට අනුකරණ යුගයට තිත තැබීමට දේශීය සිනමාවක් සොයා  මූලික කටයුතු ඇරඹුණේ 1956 රේඛාව චිත්‍රපටය ප්‍රදර්ශනයත් සමඟය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔහුගේ සම කාර්මික ශිල්පීන් වන ටයිටස් තොටවත්ත හා විලියම් බ්ලේක් යන අය රජයේ චිත්‍රපට අංශයෙන් ඉවත් වී ශ්‍රී ලාංකික සිනමාව සොයා අරගලයක නිරත වූහ. 

1962 වසරේදී ජෝතියසේන වික්‍රමසිංහ, පාලිත එඩ්ඩව් වීරසිංහ සහ රෙජි සිරිවර්ධන කටයුතු කළ විද්වත් කමිටුවක් මගින් සිනමාව ගැන මූලික නිර්දේශ ගණනාවක් සැපයිණි. එම කමිටුවේ නිර්දේශ අතර රාජ්‍ය චිත්‍රපට සංස්ථාවක් අවශ්‍ය බව බලගතුම නිර්දේශය විය. වසර 10කට පසු 1972 දී එකී අපේක්ෂාව සඵල කරමින් ජාතික චිත්‍රපට සංස්ථාව බිහිවූ අතර එහි ප්‍රථම සභාපති ලෙස එවක ප්‍රවෘත්ති අධ්‍යක්ෂව සිටි ආචාර්ය සරත් අමුණුගම මහතා පත්විය. චිත්‍රපට සංස්ථාව බිහිකරලීමෙහිලා රෝයි ද සිල්වා කලාකරුවාගෙන් සිදුවූ සේවය ඉමහත්ය. ඉන්පසුව 1977 බලයට පත්වූ රජය යටතේ සංස්ථා සභාපති ලෙස පත්වූ ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සිනමාවේ විශිෂ්ටයන් අගයා ස්වර්ණ සිංහ සම්මානය පුදමින් ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ කිරීම සිනමා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කළ අගනා සේවයකි. චිත්‍රපට සංස්ථාවේ දෙවැනි සභාපති ලෙස ඩී.බී නිහාල්සිංහ මහතා 1971 දී වැලිකතර චිත්‍රපටය හරහා හස්තගත කැමරාකරණය යන ශිල්පීය උපක්‍රමය කලාවට හඳුන්වා දීම ශ්‍රී ලාංකික සිනමාවේ විප්ලවීය සලකුණක් ලෙස හැඳින්විය හැකිය. එසේම මේ දක්වා කාලයේදී චිත්‍රපට සංස්ථාවට පත්වූ සභාපතිවරු බොහොමයක් දේශීය සිනමා කලාවක් ගොඩනැගීමේ අරගලයේ කොටස්කරුවෝ වූහ. එකී සේවය වචනවලින් කියා නිම කිරීමට අපහසු සද්කාර්යයකි. පසුගිය කාලයේ ඇති වූ වසංගත තත්ත්වවලදී සිනමා නිර්මාණකරුවන් ශක්තිමත් කිරීමටත් ඩිජිටල් සිනමාවක් ගොඩනැගීමේ කාර්යයේදී සිනමාවේ උන්නතිය උදෙසාත් වැඩසටහන් රැසක් දියත් කරමින් චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ද සිනමාවේත් සිනමාකරුවන්ගේත් උන්නතිය වෙනුවෙන් අවංක කැපකිරීමක නිරත වන බවට පැහැදිලිය. 

දේශීය සිනමාව ලෝකය හමුවේ ඔසවා තැබූ නිර්මාණකරුවෝ විශාල පිරිසක් සිටිති. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ආචාර්ය සුමිත්‍රා පීරිස් යුවළ සිංහල සිනමා ඉතිහාසයේ අමතක නොවන විශිෂ්ට චරිත ද්විත්වයකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කෝඩුකාර චිත්‍රපටය වූ රේඛාව ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේ විශිෂ්ටතම සිනමා නිර්මාණය සඳහා පිරිනැමෙන පාම් ඩී ඕර් සම්මානය සඳහා නිර්දේශ විය. එය එතෙක් මෙතෙක් සිංහල සිනමා ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයකි. එමෙන්ම 1999 වසරේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ යාවජීව සම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් දිනා ගත්තේය. සිංහල සිනමාවේ කිවිඳිය ලෙස නම් දරන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය සිනමා ක්ෂේත්‍රයට කළ කැපවීම අගයා කැලණිය විශ්වවිද්‍යාලය මගින් ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබුවාය. එහෙත් චිත්‍රපට සංරක්ෂණාගාරය සහ සිනමා පාසල යන ලෙස්ටර්ගේ සිහිනය අදටත් කඩවුණු පොරොන්දුවකි. ප්‍රථම සිංහල චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ පෙවූ රුක්මණි දේවි සහ එඩී ජයමාන්න ජනතා ආකර්ශනය දිනාගැනීමට සමත් වූ රංගවේදීහු වූහ. චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිලා වසන්ත ඔබේසේකර නම් වූ විශිෂ්ටයාගේ වල්මත් වූවෝ, පළගැටියෝ වැනි චිත්‍රපට ඔහුගේ දෘෂ්ටිය පිළිබඳ මනා නිදසුන්ය. ආචාර්ය ධර්මසේන පතිරාජ සිනමාවේ තවත් දැවැන්ත චරිතයකි. අහස් ගව්ව, බඹරු ඇවිත්, පාර දිගේ වැනි අගනා නිර්මාණ ඔහු අතින් සිනමාවට දායාද විය. හංස විලක්, තුන්වැනි යාමය, බවකර්ම වැනි නිර්මාණ ඔස්සේ දස්කම් පෑ ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රතිභාපූර්ණ නිර්මාණ රුසකට උරුමකම් කියයි. නව වාණිජ සිනමාවක් බිහිකරලීමෙහිලා උදයකාන්ත වර්ණකුලසූරියගේ  හිරිපොද වැස්ස, ගින්දරී, රන්කෙවිට, කොස්තාපල් පුඤ්ඤසෝම ආදී  නිර්මාණ ආදායම් වාර්තා පිට වාර්තා තබමින් සාර්ථක වාණිජ හා කලාත්මක සිනමා කර්මාන්තයක් නිර්මාණය කළේය.

සිනමාව එකලු කළ රංගන ශිල්පීන් සැලකීමේදී සිංහල සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා ඒ පිළිවෙළේ ඉහළින්ම සිටී. සංදේශය චිත්‍රපටයේ තම්මිට චරිතයෙන් ප්‍රධාන චරිතය අභිබවා රංගන කුසලතාව ප්‍රදර්ශනය කළ 1962 මෙරට ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන්මුතුදූව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගාමිණී ෆොන්සේකා තෝරාගැනීමම සාර්ථකම තෝරාගැනීමක් විය. ඔහු එහිදී අතිවිශිෂ්ට රංගන කුසලතාවක් දැක්වීය. ගාමිණී ෆොන්සේකා රංගවේදියා සිය රංගන දිවියේ චිත්‍රපට 108ක රඟපා ඇති අතර පරසතු මල් ඇතුළු චිත්‍රපට 10ක් අධ්‍යක්ෂණය කළේය. දශක දෙකකට ආසන්න කාලයක් පිට පිට ජනප්‍රියම නළුවා වෙමින් ජන හදවත් දිග්විජය කළ විජය කුමාරතුංග හන්තානේ කතාව, අහස්ගව්ව, බඹරු ඇවිත්, පාර දිගේ, බැද්දේගම ආදී නිර්මාණ හරහා හරවත් රංගන ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කළේය. 1967 සිට 1981 දක්වා සරසවි සම්මාන උළෙලවල ජනප්‍රිය නළුවා ලෙස අතිවිශාල පාඨක ඡන්ද මලු ගණනින් කූපන් ලැබූ නළුවා ලෙස මියයන තෙක්ම ජනප්‍රිය කිරුළට විජය හිමිකම් කීවේය. 2001 වසරේදී සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී පුරහඳ කළුවර චිත්‍රපටයේ රඟපෑ අග්‍රගණ්‍ය රංගන ශිල්පියකු වූ ජෝ අබේවික්‍රමයන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිමින් ජාත්‍යන්තර සිනමා උළෙලක හොඳම නළුවා වූ ලාංකේය නළුවා බවට පත්වීම අපේ රට ලැබූ ඓතිහාසික ජයග්‍රහණයකි. බඹරු ඇවිත් චිත්‍රපටය විශිෂ්ටයන් එක තැනක එකට රඟන අතිවිශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. ජෝ අබේවික්‍රමගේත්, සිරිල් වික්‍රමගේත්, මාලිනී ෆොන්සේකාගේත්, විජය කුමාරතුංග ඇතුළු අග්‍රගණ්‍ය නළු නිළි පිරිවරකගේ දස්කම්වලට තනි උදාහරණයක් දිය හැකි තරමට බඹරු ඇවිත් චිත්‍රපටය ප්‍රබලය. එසේම පසුකාලීන චිත්‍රපට කලාව ඉහළටම ඔසවා තැබීමට සනත් ගුණතිලක, ටෝනි රණසිංහ, රවින්ද්‍ර රන්දෙණිය ආදී වූ සම්මානනීය රංගන ශිල්පීන්ගේ රංගන කෞශල්‍යය මොනවට විදහා පායි.

සිනමාව ආලෝකවත් කළ රංගවේදිනියන් අතරින් අග්‍රගණ්‍ය නිළියෝ රුසක් සිටිති. සිංහල සිනමාවේ නිළි රුජිණ යන විරුදාවලි ලත් මාලිනී ෆොන්සේකා සිනමා දිවියේ බොහෝ නළුවන්ට පෙම්වතිය වීමේ වරම් ලැබුවාය. ගාමිණී-මාලිනී විජය-මාලිනී යන යුග සිනමාවේ නිර්මාණය කරන්නට සමත් වූ ඇය ආචාර්ය ලෙස්ටර්ගේ නිදානය, පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටවල සිය ස්වභාවික රංගන කුසලතාව තිරය මත බබළවමින් ජනහද බැඳගත් අතිවිශිෂ්ට රංගනයකට උරුමකම් කීවාය. එසේම පිට පිට හොඳම නිළිය ලෙස සම්මාන හිමිකර ගැනීමට සමත් වූ ඇය මොස්කව් චිත්‍රපට උළෙලේ ජූරියේ විශේෂ සම්මානය හිමිකර ගනිමින් ජාත්‍යන්තර තලයේ සම්මාන හිමිකරගත් පළමු ශ්‍රී ලාංකික නිළිය ද විය. එසේම සිංහල සිනමාව ඔප කළ මීරිගම මිහිරාවිය ලෙස පුණ්‍යා හීන්දෙණිය ගම්පෙරළිය චිත්‍රපටයේ නන්දාගේ චරිතයෙන් දක්වන ප්‍රතිභා පූර්ණ රංගන කුසලතාව කියා නිම කළ නොහැකිය. ගොළු හදවත චිත්‍රපටයේ දම්මිගේ චරිතය රඟපා එක රුයෙන් ජනප්‍රිය වූ අතිදක්ෂ නිළියක ලෙස කිරුළු දැරෑ ඇය අනුලා කරුණාතිලක නම් වූවාය. එසේම දඩයමෙහි රත්මලීත්, හංස විලක්හි මිරුන්ඩාත් වන ස්වර්ණා මල්ලවාරච්චි නම් වූ දශක පහකට ආසන්න කාලයක් සැබෑ ගැහැනිය රිදී තිරයට ගෙන එමින් සිය රංගන ප්‍රතිභාව ස්වර්ණමය තලයකට ගෙන යාමට සමත් වූ රංගවේදිනියක ලෙස හැඳින්විය හැකිය. මෙරට නිළියක වෙනුවෙන් විදෙස් සිනමා උළෙලක දී එළිදුටු ප්‍රථම සිනමා දැක්ම වූයේ කේරළ අන්තර්ජාතික සිනමා උලෙළේ දී පැවැත්වූ අනෝජා වීරසිංහ ප්‍රත්‍යවලෝකන සිනමා උළෙලයි. ඇය මල්දෙණියේ සිමියොන් උදෙසා හොඳම නිළියට හිමි රජත මයුර සම්මානයද මුල්වරට දිනාගත්තාය. හොදම නිළියට හිමි සම්මානය මෙරට නිළියක ලෙස ජාත්‍යන්තර උලෙළක දී දිනාගත් මුල්ම අවස්ථාව එයයි. එදා මෙදා තුර දේශීය චිත්‍රපට කලාව ඔසවා තැබීමට එහි සංගීතය ඉවහල් නොවූවා යැයි කිසිවකුට තර්ක කළ නොහැකිය. අදටත් සංගීත අස්වැන්නේ නොමැකෙන මතක ඉතිරි කළ පණ්චිත් අමරදේව, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක, සෝමදාස ඇල්විටිගල, ආචාර්ය රෝහණ වීරසිංහ ආදී සම්මානනීය ශිල්පීන් රුසක් මතකයට නැගෙයි. සරත් දසනායක අතින් නිමවුණු කඵ උන්මාද සිතුවම්, අතර රන්කෙන්දෙන් බැඳ, රූ පැල් රකින, සැරයටියෙන් අපි, පාට පොදක් තිලකලා වැනි චිත්‍රපට ගීත නිර්මාණවලින් ඔහු දෙස් විදෙස් රසික ආකර්ශනයක් දිනාගැනීමේ සංගීත ප්‍රතිභාව උරුම කර ගත්තේය. එසේම ආචාර්ය කේමදාස නිධානය, ගොළු හදවත, බඹරු ඇවිත් ආදී වූ අග්‍රගණ්‍ය නිර්මාණ රුසක පර් යේෂණාත්මක හඬ යොදාගනිමින් ප්‍රශස්ත නිර්මාණකරණයේ නියැලුණු සම්මානනීය විශිෂ්ටයෙකි. එසේම ඩෝල්ටන් අල්විස්, මහාචාර්ය සුනිල් ආරියරත්න ආදී විශිෂ්ට ගීත පද රචකයන්ගේ පද රචනාවලින් හැඩ වී ජමුණා රාණි, ජික්කි, මොහිදින් බෙග්, පණ්ඩිත් අමරදේව, සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක, එච්.ආර්. ජෝතිපාල, නන්දා මාලිනි ආදී ශිල්පීන් රුසකගේ මිහිරි කටහඬ අනුහසින් මෙරට සිනමා කලාවේ අනාගතයට සාර අස්වැන්නක් හිමිවිය. දැවැන්ත සිනමාවක විශිෂ්ට චරිත විශාල ජන හදවත් තුළ ජීවමානව වැඩසිටින අතර එය මෙසේ වචන කිහිපයකට ලඝු කළ නොහැකිය.

අප සිනමාව හමුවේ අභියෝග රැසකි. අදටත් දිනෙන් දින කොතෙක් සිනමා නිර්මාණ බිහිවුවත් මෙරට හොඳම චිත්‍රපට ලෙස වැඩි ජන ප්‍රසාදයක් හිමිවන්නේ අවුරුදු 40-50කට පෙර තිරගත වූ චිත්‍රපටවලටය. සිනමාවට වසර 75ක් සපිරුණද මුල් වසර 25 තුළ හැදුණු චිත්‍රපටවලට අභියෝග කළ හැකි නව්‍ය සිනමා නිර්මාණ ගොඩනැංවීම විශාල අභියෝගයක් වී ඇති බව පෙනේ. 

 සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05