2022 ජනවාරි 29 වන සෙනසුරාදා

කොරෝනා කසාද නීතිය තමන්ටම පනවාගත් නවසීලන්ත අගමැතිනිය

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 52

නවසීලන්ත අගමැතිනි 42 හැවිරිදි ජසින්ඩා කේට් ලොරල් ආඩර්න් වත්මනෙහි ලොව සිටින ජනප්‍රියම දේශපාලන චරිතයකි. නිවැරදි තීරණ ගන්නා ජනතාවාදී එඩිතර කාන්තාවක ලෙස ඇය ප්‍රකටය. නවසීලන්තයේ කොරෝනාව පාලනය සඳහා ඇය මනාව කටයුතු කළ බැවින් වෙනත් රටවලට සාපේක්ෂව එරට ජනතාවට එතරම් හානියක් සිදුවූයේ නැත. මේ වනවිට යළි කොරෝනා වෛරසය එරටින් හිස ඔසවමින් තිබෙන වාතාවරණයක් තුළ ඇය තම විවාහ මංගල උත්සවය කල් දැමීමට තීරණය කර තිබේ.

මේ වනවිට නවසීලන්තයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තියක් පෙන්නුම් කර තිබේ. එම නවරැල්ල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නවසීලන්තයේ යම් යම් වාරණයන් පැනවීමට රජය පියවර ගෙන ඇත. පසුගිය දිනෙක නෙල්සන් නගරයෙන් ආසාදිතයන් 9 දෙනකු හඳුනා ගැනුණු අතර ඔවුන් සියලුදෙනාම එකම පවුලක පුද්ගලයන්ය. පසුගිය ජනවාරි 13 දින මේ පිරිස ඕක්ලන්ඩ්හි පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූවන් යැයි අනාවරණ විය. ඔවුන් උතුරු දිවයිනේ ඕක්ලන්ඩ් නගරයේ සිට දකුණු දිවයිනේ නෙල්සන් මාල්බරෝ වෙත ගුවන් මගින් යළි පැමිණ තිබූ අතර එම පවුලේ සියලු දෙනා හා ගුවන්  සේවිකාවකද ආසාදිතයන් බවට හඳුනා ගෙන තිබේ. පසුගිය ඉරිදා රාත්‍රි 12න් පසු රටේ රතු නීතිය ක්‍රියාත්මක කරන බැවින් උපන්දින උත්සවයකට බාර් සහ ආපනශාලා වැනි ගෘහස්ථ ආගන්තුක සත්කාර සපයන ස්ථානවලට හෝ විවාහ මංගල්‍යයකට එන්නත ලබා සිටින පුද්ගලයන් 100 දෙනකුට හා එසේ නොමැති පුද්ගලයන් 25 දෙනකුට පමණක් සහභාගී විය හැකි බවට සීමා පනවා තිබේ. එමෙන්ම දේශ සීමාද වසා දැමීමට පියවර ගෙන තිබේ. මෙවන් වාතාවරණයක් යටතේ ජසින්ඩා මෙම ගිම්හානයේ පැවැත්වීමට නියමිතව තිබූ තම විවාහ මංගල උත්සවය කල් දැමීමට පියවර ගත්තාය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කියා තිබුණේ “රටේ ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රොන් තත්ත්වය සැලකිල්ලට ගෙන මගේ විවාහ මංගල්‍යය පැවැත්වීම කල්දැමීමට තීරණය කළා. වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස එවැනි අත්දැකීමකට මුහුණ දුන් තවත් බොහෝ නවසීලන්ත ජාතිකයන් සිටිනවා. ඔවුන් සමඟ මාද එක්වීමට කැමතියි. අප රටේ පවතින තත්ත්වයට මුහුණ දිය යුතුයි. අප මෙලෙස නීතිරීති පනවන්නේ එකිනෙකාගේ ආරක්ෂාව  වෙනුවෙන් බව අප තේරුම් ගත යුතුයි. වසංගතයෙන් පීඩාවට පත් දහස් ගණනක් නවසීලන්ත වැසියන් අතරින් මම වෙනස් පුද්ගලයකු නොවෙමි, ප්‍රේමණීය කෙනෙකු බරපතල ලෙස රෝගාතුර වූ විට ඔවුන් සමඟ සිටීමට ඇති නොහැකියාව නිසා ඇතිවන වේදනාව මම දනිමි. මේ අනතුරින් ඉක්මනින්ම ගැලවීමට අපට හැකිවේවි.” යනුවෙනි.

විවාහ මංගල උත්සවය අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇයට හැඟුණේ කුමක්දැයි මාධ්‍යවේදීන් ඇගේ ඇසූ විට ඇය පැවසුවේ “ජීවිතේ හැටි එහෙම තමයි” කියාය.

නවසීලන්තය තුළ ඔමික්‍රොන් ව්‍යාප්තිය මන්දගාමී කිරීමට පියවර ගෙන ඇති නමුදු ඉදිරි සතිවලදී දිනකට රෝගීන් 1,000 වැනි මට්ටමකට ළඟා වනු ඇති බවට අපේක්ෂා කළ හැකි බවද ඇය කියා තිබුණාය. නවසීලන්තය මීට පෙර එවැනි ආසාදිත තත්ත්වයක් වාර්තා කර නොමැත.

සෑම දිනකම සාමාන්‍යයෙන් ඩෙල්ටා ප්‍රභේදය සහිත නව රෝගීන් 20ක් පමණ හමුවන අතර එය මනාව පාලනය කිරීමට නවසීලන්තය සමත් විය. එහෙත් මේ වනවිට ඔමික්‍රොන් ආසාදියන් රට තුළට පැමිණීම සහ අනිවාර්ය නිරෝධායනයට යන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් තිබේ. එය එරට නිරෝධායන කාර්යයට දැඩි පීඩනයක් එල්ල කර ඇති අතර නැවත පැමිණෙන පුරවැසියන් සඳහා ප්‍රවේශය සීමා කිරීමට රජය පියවර ගෙන තිබේ.  මේ වන විට වයස අවුරුදු 12 සහ ඊට වැඩි නවසීලන්ත වැසියන්ගෙන් සියයට 93ක් පමණ සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර සියයට 52ක් බූස්ටර් එන්නත ​​ලබාගෙන ඇත. මේ වනවිට වයස අවුරුදු 5 සිට 11 දක්වා වන ළමුන් එන්නත් කිරීමද ආරම්භ කර තිබේ.

ජසින්ඩා ආඩර්න්ගේ දීර්ඝකාලීන පෙම්වතා වන්නේ 44 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඩ්ය. මීට වසර 9කට පමණ ඉහත ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැගුණේ ජසින්ඩා කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියකව සිටි කාලයේය. ගේෆෝර්ඩ් ගුවන් විදුලි සහ රෑපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. ඔහු රූපවාහිනීයේ මසුන් ඇල්ලීමේ වැඩසටහනක් වන ෆිෂ් ඔෆ් ද ඩේ නමැති  වැඩසටහන ඉදිරිපත් කරයි. ඔහුගේ වාර්තා චිත්‍රපට නැෂනල් ජියෝග්‍රුෆික් නාලිකාවේද විකාශය වන අතර එය රටවල් 35 කට අධික සංඛ්‍යාවක ජනප්‍රිය වැඩසටහනකි. ක්ලාක් ගේෆෝර්ඩ් ලොව ධනවත්ම ගුවන්විදුලි නිවේදකයකු මෙන්ම වඩාත් ජනප්‍රිය ගුවන්විදුලි පෞරුෂය ලෙස ලැයිස්තුගත කර ඇත.

වරක් ඔහු තම මතිවරණ කොට්ඨාසයේ පැවැති ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පවසමින් එම ප්‍රදේශයේ මන්ත්‍රීවරිය වූ නිකී කයේ වෙත ඊමේල් පණිවිඩයක් යැවීය.  එහෙත් ඇයගෙන් ප්‍රතිචාරයක් නොවූ බැවින් ඔහු එවක මන්ත්‍රිවරියක වූ ජසින්ඩාට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ඉල්ලා සිටියේය.  ජසින්ඩා හා ගේෆොර්ඩ් අතර පැවැති සංවාදය තනිකරම දේශපාලනික එකක් නොවීය. ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික සිතුම් පැතුම් එහිදී සාකච්ඡා වූ අතර දෙදෙනා තුළ පැවැති සංගීතයට ඇති ඇල්මද වටහාගත්හ. එම හැඳුනුම්කම ඔවුන් සමීප මිතුරන් බවට පත්කළ අතර ඔවුන්ගේ පළමු සවාරිය වූයේ මුහුදේ මසුන් බිලීබෑමය. එම සමීප මිතුදම පසුකාලයේ ඔවුන් පෙම්වතුන් බවට පත් කළේය. මෙම සම්බන්ධය එතරම් ප්‍රකට කරුණක් නොවීය. 2017 අගෝස්තු 1 වැනි දින ආඩර්න් එවකට විපක්ෂය වූ කම්කරු පක්ෂයේ නායකත්වයට පත්වූවාය. ඇයගේ පූර්වගාමියා වූ ඇන්ඩෲ ලිට්ල් එම භූමිකාවෙන් ඉල්ලා අස් වූ විට, ආඩර්න් ගේෆෝර්ඩ්ට දන්වා සිටියේ: “මට අවස්ථාවක් හිමිවුණා” යනුවෙනි. ඒ අවස්ථාවේ ඔහු සිටියේ බෝට්ටුවක විනෝදය පිණිස මසුන් මරමිනි. ඉන් දින පනස් තුනකට පසු, ආඩර්න් අගමැති ලෙස තේරී පත් වූ අතර, එය ඔවුන්ගේ ජීවිතය බොහෝ වෙනස්කම්වලට බඳුන් කළේය. 
“අපගේ සැලසුම්වල හෝ අපේක්ෂාවල අනිවාර්යයෙන් නොතිබූ කොටසක් නව පත්වීමත් සමඟ එකතුවුණා” යැයි ඇය නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත්පතට පවසා තිබුණාය. 

ජසින්ඩා අගමැති ධුරයේ දිවුරුම් දීමට දින කිහිපයකට පෙර තමා ගැබ්ගෙන ඇති බව දැනගත්තාය. ඇය එම පුවත 2018 ජනවාරි මාසයේදී මහජනතාවට ප්‍රකාශ කළාය. “අපි හිතුවේ 2017 ලොකු අවුරුද්දක් කියලා. මේ අවුරුද්දේ මම අගමැතිවරිය මෙන්ම මවක ලෙසද කිරුළු පළඳිමි. රටේ පළමු පුරුෂයා සහ විනෝදකාමී මසුන් මරන්නා මින් ඉදිරියට ගෙදර නැවතී දරුවා බලා ගන්නවා ඇතැයි” ඇය කීවාය.

විවාහ නොවී එක්ව ජීවත් වූ ඔවුන්ගේ පළමු දියණිය නේව් 2018 උපත ලැබුවාය. 1990දී පකිස්තානයේ බෙනාසීර් භූතෝගෙන් පසු අගමැතිවරියක ලෙස සිටියදී මව් පදවියට පත් පළමු රාජ්‍ය නායිකාව වන්නේ ජසින්තා ආඩර්න්ය. ඇය සති හයක මාතෘ නිවාඩු ලබා ගත්තාය. එම කාලය තුළ ඇයගේ නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් වැඩ බලන අගමැති ලෙස කටයුතු කළේය. 2018 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ජසින්ඩා ගියේ කුඩා නේව්ද රැගෙනය. සමුළුව අතරතුර ඇය තම දරුවාගේ නැපිය මාරුකරනු සමුළුවට සහභාගී වී සිටි ජපන් ජාතික නියෝජිත පිරිස විස්මිත ලෙස බලා සිටියේ යැයි පසුව ගේෆෝර්ඩ් සඳහන් කර තිබිණි.

ඉන් ටික කලකට පසු ඔවුහු තම විවාහ ගිවිස ගැනීම ප්‍රසිද්ධියට පත් කළහ. 2019 පාස්කු සති අන්තයේදී, ගේෆෝර්ඩ් මහියා හි මොකොතායි කඳු මුදුනේදී තම මිත්තණිය විවාහ ගිවිස ගත් මුදුව ජසින්ඩාට පළඳවමින් විවාහ ගිවිස ගත්හ. ඒ වෙලාවේ කඳු මුදුනේ සිටියේ එම ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනෙක් හා “ක්ලාක් මට දුන් චොක්ලට් කන්න බලන් හිටිය බල්ලකු පමණයි” යනුවෙන් ජසින්ඩා පවසා තිබිණි. 2022 වසරේ ගිම්හානයේ ඔවුන් දෙදෙනා විවාහ වන්නට තීරණය කර තිබිණි.

ප්‍රකෝටිපතියකු වන ජෝන් ග්‍රිෆින්ගේ ගිස්බෝන්හි පිහිටි  අක්කර 3000ක ග්‍රාමීය සුඛෝපභෝගී වතුයායක ඔවුන්ගේ විවාහ මංගල උත්සවය පැවැත්වීමට සූදානම් කර තිබූ අතර. එම උත්සවයේ මල් කුමරියක ලෙස ඔවුන්ගේ දියණිය නේව් සහභාගී වීමට නියමිතව තිබිණි. මංගල උත්සවය සඳහා ආරාධිතයන් 150කට පමණ ආරාධනා කිරීමට නියමිත විය. කෙසේ වුවද විවාහය පැවැත්වීමට දිනයක් තීරණය කර නොමැති අතර රටේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ දිනෙක එය පැවැත්වෙනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා