2022 ජනවාරි 29 වන සෙනසුරාදා

පොහොරයි වන්දියි අතරේ ඇඹරෙන වී ගොවියා

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 251

ලංකාවටම බත සපයන්නට, රටවැසියාගේ කුස පුරවන්නට මෙරට ගොවි රජවරුන් කරන්නේ ප‍්‍රබල සේවයකි. එහෙත් ගොවි රජවරුන්ගේ ජීවිතය නම් එතරම් සැහැල්ලු එකක් නොවේ. කය වෙහෙසා කර්කෂ පොළොව සමඟ පොරබදින ඔවුන් සිය ජීවන අරගලය තුළ අතරමංව සිටීම අභාග්‍යසම්පන්නය. වසංගතයේ උදාව ඔවුන්ගේ ජීවිතයේ වසන්තයේ නිමාව සනිටුහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යංශය කාබනික පොහොරවලට හුරු වෙමුයි කීවද එම ප්‍රකාශයේ යටිපෙළේ තිබුණේ ඩොලර් හිඟයට එක් විසඳුමක් ලෙස ඊළඟ කන්නයේ රසායනික පොහොර භාවිතය නවත්තමු යන්නයි.

ඉකුත් වසර සැප්තැම්බර් මස අවසානයේ සහ ඔක්තෝබර් මස ආරම්භය මහ කන්නයේ වගා කටයුතු ඇරඹෙත්ම කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීමට රජයෙන් ලබාදුන් රුපියල් 12,500ක මුදල ලබාගෙන ඇති ගොවීන් හැර අනෙකුත් සියලු ගොවීන්ට ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන හරහා කොම්පෝස්ට් පොහොර හිඟයකින් තොරව නොමිලේ ලබාදෙන බවය. එමෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරන නයිට‍්‍රජන් දියර පොහොරද ගොවීන්ට ලබාදෙන බවට ඇමැතිවරයා පොරොන්දු විය. එසේ ලබාදීමෙන් පසු මහ කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා රජය විසින් වන්දි ලබාදෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට පොරොන්දු විය.

නියමිත වෙලාවට පොහොර සහනාධාරය ලබාදීමටත්, ලබාදෙන පොහොර සම්බන්ධයෙන් වගකීම රජය සම්පූර්ණයෙන් භාර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා කාබනික වගාවට දිරිමත් කරමින් පොරොන්දු වූවේය. වී අස්වැන්න අඩුවුවහොත් ඒ සඳහා රජය වන්දි ලබාදෙන බවට සහතික වීමත් සමග දිස්ත‍්‍රික්ක බොහොමයක ගොවීන් තුළ පැවැති සැකය දුරුවී ගොවිතැනට යුහුසුළුව කටයුතු කළ අතර රසායනික පොහොර ආනයනය අත්හිටවූ නිසා ගොවීන් වෙනුවෙන් ඉන්දියාවෙන් සහ චීනයෙන් දියර පොහොර ගෙන්වීමට කටයුතු කරනු ලැබීය. එහිදී යම් යම් ගැටලු මතු වුවද දිවයින පුරා වී ගොවීන් වෙත කාබනික පොහොර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය හා එක්ව බෙදාහැරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කටයුතු කිරීම ප්‍රශංසනීයය.

රසායනික පොහොර අත්හිටුවීම නිසා තම ප්‍රදේශයේ ගොවීන් මුහුණ පෑ අත්දැකීම පිළිබඳව මැදවච්චිය, මොරගොඩ මහසෙන් ගොවි සංවිධානයේ ලේකම් ටී.එම්.එස්.ඩී. ඒකනායක මහතා මෙලෙස අදහස් දැක්වීය. “මම දැනට පදිංචි වෙලා ඉන්න මැදවච්චිය මොරවක කියන ගම්මානයේ ඔක්කොම කුඹුරු අස්වද්දල, දැන් පූදින මට්ටමේ තියෙන්නේ. කාබනික පොහොර ගහන්න අක්කරයකට රුපියල් 3000 ගානෙ දීලා තියෙනවා. අපිට ලැබුණ කාබනික පොහොර ගඳ ගහනවා වුණාට 80%ක් විතර ඒ පොහොර ගැහුවා. නමුත් ප්‍රතිඵලයක් නම් ලැබුණෙ නෑ. ඊට පස්සේ දැන් සතියකට උඩදී පොහොර කුඩු වර්ගයක් ලැබුණා. ඒත් පීදුනාට පස්සේ ඒක ගහල ඵලයක් නෑ. ඒ හම්බ වුණේ අක්කරයකට කිලෝ පහක් තමයි.”

ධීවර හා කෘෂි ආර්ථිකය පිළිබඳ විශේෂඥ මහාචාර්ය එම්.ජී කුලරත්න මහතා ගොවිතැන් කටයුතුවල කාබනික පොහොර භාවිතයේ අසාර්ථකත්වය පිළිබඳව විග්‍රහ කරමින් මෙවන් අදහසක් පළ කළේය.

“කාබනික ගොවිතැන ප්‍රතිපත්තිමය වශයෙන් සෞභාග්‍යයේ දැක්මේ තිබෙන කාරණයක්. ඒක ක්‍රියාත්මක කරන්න කලින් කිසි කෙනෙක් හිතුවේ නෑ ඒක ක්‍රියාත්මක කළහම වෙන්න යන්නෙ මොකක්ද කියලා. ප්‍රතිපත්තිමය වශයෙන් රසායනික පොහොර භාවිතය අඩුකරලා, කාබනික පොහොර එකතු කිරීම පරිසරයටත් මිනිස්සුන්ගේ සාක්කුවටත් ලාභදායි විදිහට කරන්න පුළුවන්. ඒ නිසා මේ ව්‍යාපෘතියට විරුද්ධ වෙන්න බෑ. හොඳ වැඩක්. ඒත් හොඳ වැඩේ ප්‍රතිඵලය නරක නම්, අර්බුදය නිර්මාණය වන්නේ එතැනයි. අපිට ප්‍රමාණවත් තරම් කොම්පෝස්ට් පොහොර දේශීය නිෂ්පාදනය කරගන්න බැරිවීමට හේතු ගණනාවක් බලපෑවා. ඒ ක්‍රියාවලිය අසමත් වෙන්න හේතුව කිසිදු තාක්ෂණික භාවිතයක් එක් නොකර සම්ප්‍රදායික විදිහට ස්වභාවිකව අපද්‍රව්‍ය ජීර්ණය වෙන්න හැරලා ඒවා කොම්පෝස්ට් කිරීමේ ක්‍රමය මත විශ්වාසය තැබීම. අවුරුද්දකට කන්න දෙකක් වගා කරනවා නම් ස්වභාවිකව පොහොර නිෂ්පාදනය කිරීම ප්‍රමාණවත් නෑ. කාබනික ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය නම් වේගවත් පොහොර නිෂ්පාදනයකට තාක්ෂණික ක්‍රම භාවිත කරගන්න ඕන.”

මේ වනවිට ඇතැම් ප්‍රදේශවල වී ගොවීන් මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්භ කර ඇත. කෘෂිකර්ම අමාත්‍යංශය බලාපොරොත්තු වූ පරිදි මෙවර වී අස්වනු සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කරන බව දැනටමත් තක්සේරු කර ඇත. මහ කන්නයේ වී ගොවීන් 1,049,000 දෙනකු හෙක්ටයාර ලක්ෂ 8ක ප්‍රමාණයක වී වගා කර ඇති අතර ඔවුන්ගේ අස්වනුවලට අඩුවීම දළ වශයෙන් දිස්ත්‍රික් මට්ටමින් ගණනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා ඉකුත්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පෙන්වා දුන්නේ මෙසේ ය. “ගම්පහ දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය අඩුවීම 10% - 15%ත් අතර අගයක තියෙන්නේ. කුරුණෑගල 20%ක් විතර. අනුරාධපුර 25%ක්. සමස්තයක් ලෙස 25%-30%ත් අතර අඩුවක් අපි දකිනවා.”

නමුත් ටී.එම්.එස්.ඩී. ඒකනායක මහතා පෙන්වා දෙන්නේ අස්වනුවල අඩුවීම 50%ක් පමණ වන බවයි.

“අපේ පැත්තේ කුඹුරුවල මේ පාර ආදායම 50%කින් අඩුවෙලා. රසායනික පොහොරයි, කාබනික පොහොරයි තව හාර පන්දාහට තිබ්බ වෙන වෙන පොහොරයි කලවම් කරල ගහපු අයට තමයි 50%ක්වත් අස්වැන්න තියෙන්නේ. සියයට පනහ නැති කුඹුරුත් තියෙනවා. යූරියා පොහොර මිටියක් රුපියල් 25,000ක් ගෙවල ගන්න ශක්තියක් නැති කට්ටියගේ කුඹුරු තමයි ඒ තත්ත්වෙට පත්වෙලා තියෙන්නේ. කුඹුරුවලින් ආදායමක් නං නෑ මේ පාර. අපෙ පැත්තේ මහත්මයෙක් අක්කර 25ක් කරනවා. එයාට මේ පාර අක්කර 25න් වී මිටි 100ක්වත් ලැබෙයිද කියන්න අමාරුයි. මොකද පොහොර මිටිය 25,000න් 30,000න් එහානෙ ගියේ.”

රසායනික පොහොර භාවිතය නවතා දැමීම නිසා වී ගොවීන්ට සිදුවූ පාඩුවට වන්දි ගෙවීම පිළිබඳ ස්ථීර තීරණයක් රජයට නොතිබුණද ඉකුත් 25 වැනි පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව වන්දි ගෙවීම සඳහා කෝටි 4000ක් වෙන් කිරීමට තීන්දු විය. සෑම වී කිලෝග්‍රෑම් එකකට රුපියල් 25 බැගින් වන්දි ගෙවීම සඳහා රජය තීරණය කළ අතර වී කිලෝවක් මිල දී ගැනීම මෙතෙක් පැවති රුපියල් 50ක මිල රුපියල් 75ක් දක්වා ඉහළ දමා ඇත. කැබිනට් මණ්ඩලයේ තීරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ, “හරිත කෘෂිකර්මාන්තයේ නියැළීම නිසා පාඩු සිදු වුවහොත් ගොවීන්ට වන්දි දෙන බවට තමා ගොවීන්ට සහතිකයක් වී සිටි බවත්, ඒ අනුව මේ වන්දි දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්ය.”

රජය වී මිලදී ගැනීමට පොරොන්දු වී ඇති මිලෙන් වී ගොවීන්ට සාධාරණයක් නොවන බවත් මහසෙන් ගොවි සංවිධානයේ ලේකම් කියා සිටියි. “වී කිලෝ එක මෙහෙ 105 දක්වා යනවා. පුද්ගලික ආයතන ඒ ගානට ගන්නේ. රජය රුපියල් 75කට ගත්තා කියල සහනයක් ලැබෙන්නේ නෑ. පාඩුව පාඩුවම තමයි. අස්වැන්න තියෙන්නෙත් 50%යි. පැට්රල් කුලියි, බිත්තර වීයි, බූත කුලියි ඔක්කොම එකතු කරල බලනකොට රුපියල් 75ක් විතර දරනව ගොවියා.”

එසේ වුවද රජය වී මිලදී ගැනීම සම්බන්ධයෙන් දුන් පොරොන්දුව නිසා ගොවීන්ට සාධාරණයක් ඉටුවන බව මහාචාර්ය එම්.ජී. කුලරත්න මහතා පෙන්වා දුන්නේ ය. 

“රජය මිල පාලන උපක්‍රම පාවිච්චි කරලා සහතික මිලක් තීරණය කරනවා කියන්නේ පෞද්ගලික අංශයට ඊට පහළ මිලකට ගන්න බැරි තත්ත්වයකට පත්කරනවා. පෞද්ගලික අංශය රුපියල් 75ට වඩා ඕනෑම මිලකට ගන්න එක ගොවියාට හොඳයි. ඒකේ අසාධාරණයක් නෑ. ආණ්ඩුවටම වී දෙන්න ඕන කියල කිසි තැනක නෑ. දුන්නේ නැත්තම් පොහොර දෙන්නේ නෑ කියල එකකුත් නෑ. රජය රුපියල් 75කට ගන්නකොට පෞද්ගලික අංශය 70ට ගන්නවා නම් තමයි ප්‍රශ්නය. ඇත්තටම නිෂ්පාදන පිරිවැය බැලුවහම රුපියල් 75කට වී කිලෝවක් දෙද්දීත් සාධාරණ ලාභයක් තියෙනවා.”

මේ වනවිට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ප්‍රාදේශීය මට්ටමින්, කෘෂි පර්යේෂණ නිලධාරී මට්ටමෙන් ගොවීන්ගේ අස්වැන්න පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යංශය නිරීක්ෂණය කරමින් සිටියි. අස්වැන්න කැපීමෙන් පසුව ගොවීන්ට සිදුව ඇති හානිය ගණනය කර වන්දි දීම ආරම්භ කරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර ඇත.

 සටහන: සකීෆ් සාම්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05