2022 ජනවාරි 29 වන සෙනසුරාදා

වොයිස්කට් දේශපාලනයේ අඳුරු පැත්ත

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 107

ලෝක දේශපාලනය අර්බුදයකය. ආර්ථිකයේ ස්වභාවය යහපත් තැනක නැත. ජාත්‍යන්තරයේ තරම අයහපත්වන තරම ඉක්මවා ශ‍්‍රී ලංකාවේ ඉරණම අසුබ මුහුණුවරක් ගෙන තිබේ. පසුගිය කාලය තුළ එය තව තවත් සංකීර්ණ ව්‍යුහයකය. ජනතාව අපේක්ෂා සහගතව සිටී. දේශපාලන, ආගමික හා ජාතික නායකයෝ විශාල විවාදයකය. මෙම විවාදයේ කැපී පෙනෙන ලක්ෂණයක් ඇත. විවාදය කෙරෙන්නේ ජනතාව සමඟ නොවේ. අලුත් යමක් මතු කරගන්නා අධ්‍යාශයෙන් නායකයන් අතරද නොවේ. මාධ්‍ය භාවිතාව තුළය. විශේෂයෙන් විද්‍යුත් සහ සමාජ මාධ්‍ය පදනමක් කරගෙන ඇත. මුද්‍රිත මාධ්‍යයද එයට ඇතුළු වී තිබේ. විවාදය තුළ ආවේගශීලී ‘වොයිස්කට්’ හැර අනෙක් යමක් නැත. 

පසුගිය කාලය තුළ වොයිස්කට් වාද විවාදවලින් අපට ලබාගත හැකිවූ ජයග‍්‍රහණ කවරේද? සමාජය හෙම්බත් වී සිටී. ක‍්‍රමය ගැන කලකිරීමක් හටගෙන ඇත. මෙතැනින් ඔබ්බට ගමන් කිරීම සඳහා විශාල ආත්ම ශක්තියක් අපට අවශ්‍යය.

• වොයිස්කට් දේශපාලනයෙහි විපාක

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ව්‍යුහය තුළ පුරුෂාර්ථයන්ට ගරුකරන ස්වභාවයක් නැත. සියලුම චරිත විනාශ කරගෙනය. ආගමික නායකයන් සහ ගුරුවරු ගැන අපට ගෞරවයක් තිබුණි. සමාජයට සේවය කරන පිරිස්, දක්ෂ ක‍්‍රිඩකයන්, දක්ෂ ව්‍යවසායකයන් ගරුකොට සැලකූහ. ජනතා නියෝජිතයන් ඉහළින් තබන ලද වැදගත් ඉතිහාසයක් තිබුණි. එවැනි ඉතිහාසයක් තුළ අපට පෙන්වන ඉතාම වැදගත් පූර්වාදර්ශ තිබේ. පරමාදර්ශි චරිත සමාජ පදනමක් ඇති කරයි. පැරණි භාවිතාව තුළ තිබුණ ඇතැම් දුබලතා පසෙකට කරන ජන සමාජය අලුත් තාක්ෂණය, අලුත් පර් යේෂණ සහිතව නව මානයකට යා යුතුය. අවශ්‍ය එයයි. එහෙත් එවැනි උණුසුමක් නැත. දැනට මතු වී ඇති රාමුව අනුව පූර්වාදර්ශ කෙරෙහි නතු වී එයින් යමක් ඉගෙන ගන්නට සූදානම් බවක් නොපෙනේ. පරමාදර්ශී චරිත ඉතාම සාහසික ලෙස නොසලකා හැර තිබේ. නායකත්වයන්ට දරුණු ලෙස පහර එල්ලවෙයි. ඉතිරි වී ඇත්තේ කර්කශ විවේචන පමණකි. 

අතීතයේ පවා විවේචන තිබුණි. උපහාසයෙහි අඩුවක් නොවීය. එකල තිබුණ අහිංසක විවේචන වෙනුවට සාපරාධි ස්වභාවයක් ගෙන ඇති බව පෙනේ. එයට මුල සමාජ මාධ්‍ය බව පෙනේ. පර්යේෂකයෝ සමාජ මාධ්‍යයෙන් සිදුවන හානි මතුකර දක්වා ඇත. පර්යේෂණ වාර්තා අනුව සමාජ විපර්යාසවලට හේතුවකි. ලෝකයේ රටවල් සෑහෙන ප‍්‍රමාණයක් එයින් පාඩම් ඉගෙන ගෙන තිබේ. කරුණු සමාලෝචනය වන නමුත් ආපසු හැරෙන්නට සූදානමක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ පවතින වටහා ගැනීමට පවා දුෂ්කර අංශයකි.

• සමාජ මාධ්‍යයෙන් සිදුවන බලපෑම

වසර 2018දී බී.බී.සී. මාධ්‍ය ආයතනය ලොවපුරා අනාවරණය කරන ලද වැදගත් තොරතුරක් අනුව ලෝක ජනගහනයෙන් සියයට හතළිහක් එනම් බිලියන තුනක් පමණ දවසකට පැය දෙකක් පමණ සමාජ මාධ්‍ය පරිහරණය කරයි. සෑම මිනිත්තුවකටම ලක්ෂ පහක පමණ පණිවුඩ හා පින්තූර යාවත්කාලීන වෙයි. වසර හතරකට වඩා කාලය වෙනස්ය. කොවිඩ් වසංගත තත්ත්වය තිබුණ කාලයේ මෙම ඉලක්කම් දෙගුණ තෙගුණ වී ඇති බව නිසැකය. කොවිඩ් කාලය තුළ රටවල් ලොක්ඩවුන් වූ අතර සමාජ දුරස්ථභාවය ඇති කළේය. එහෙත් එයට සමාන්තරව සමාජ මාධ්‍ය සමීපතාව දියුණු තියුණු කරන ලද බව සඳහන් කළ යුතුය. ජනසමාජ පණිවුඩ ලබාගන්නේ සමාජ මාධ්‍යයෙන්ය. සමාජ මාධ්‍යයට ගැලපෙන පරිදි මාධ්‍ය හඬ ඉතාම කෙටි සහ වොයිස්කට් ස්වභාවයකට පත්ව ඇත. අන්තර්ගතය වෙනුවට සන්නිවේදකයාගේ හිතට එන ක්ෂණික අදහස පළ කෙරේ.

මෙහි භයානක පැත්ත අවබෝධ කරගත යුතුය. සන්නිවේදනය තුළ තිබුණ විනය සහ සංස්කාරක රාමුව ගිලිහී ඇත. මාධ්‍යයේ සිටි ආරක්ෂකයා තුරන් වී තිබේ. සියලුම දෙනා හඬවල් ය. හිතට එන, අතට ලැබෙන සියලු තොරතුරු කිසිම බාධාවකින් තොරව මුදා හැරේ. ඒවායෙන් සිදුවන හානිය බරපතලය. මෙම හඬ විකාශය කරන නාලිකා, වෙබ්, යු ටියුබ්, සමාජ මාධ්‍ය පදනම් මෙම පසුව ඇති කරන හානිය ගැන කිසිම තක්සේරුවක් කරන්නේ නැත. 

ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා ජයග‍්‍රහණය කරන ඇමරිකානු ජනාධිපතිවරණය අවස්ථාවේදී සමාජ මාධ්‍යවලින් බලපෑමක් සිදුවූ බව පසුව චෝදනා එල්ල වූ අතර එය විශාල විවාදයකට හේතු විය. ෆේස්බුක් සමාජ මාධ්‍ය එය වගකීමෙන් භාරගත් අතර පසුව ඔවුන්ගේ ප‍්‍රතිපත්ති නිවැරදි කරන ක‍්‍රියාදාමයකටද අවතීර්ණ විය. 

• අන්තවාදයට දොරටු හැරීමේ අවාසිය

වොයිස්කට් දේශපාලනය හා සමාජ මාධ්‍ය භාවිතය ඇතිකරන ලද අන්තවාදී ස්වභාවය සැහැල්ලු එකක් නොවේ. විශාල ව්‍යාකූලතා මතුකර ඇත. කිසිසේත් අපේක්ෂා නොකරන වියවුල් ඇති කරන්නට සමහර වොයිස්කට් අවස්ථා සමත්ව තිබේ. මැද පෙරදිග රටවල උත්සන්න වූ අරාබි වසන්තය අපට අමතකව ඇති පාඩමකි. 2010දී ටියුනීසියාවේ තරුණයකු ජීවන වියදම ගැන ප‍්‍රශ්න කරමින් අවුලවන ලද විරෝධතා රැල්ලක් සේ හමා ගියේය. ලිබියා, ඊජිප්තුව, යෙමන් සහ සිරියා හරහා එය ඉරානය ඇතුළු රටවල් දක්වා පැතිරී ගියේය. ලක්ෂ ගණනින් පිරිස් පාරට බැස විරෝධතා පළ කරන ලද අතර ආරක්ෂක අංශ සමග ගැටුම් ඇවිලිණ. සමහර නායකයෝ බලයෙන් පහ කරනු ලැබූහ.

බේරුවල නගරයේ ඇති වු සිදුවීමද එයට සමානය. බුදු මැඳුරුවලට හානිකරන ලද සිද්ධියක් පදනම් කරගෙන ලංකාවේ ප‍්‍රදේශ ගණනාවක සිදුවූ සිද්ධි අප අමතක කළ යුතු නැත. අන්තවාදයෙන් ඇවිළුණු සමාජ මාධ්‍ය නීති මගින් පාලනය කරන තරමට ව්‍යාකූලත්වයක් ඇති වූ බව සඳහන් කරන්නට අවශ්‍යය. ජන සමාජය අනතුරකට පත්වූ බව මෙහිදී මතක් කළ යුතුව තිබේ. සමාජ හා ආගමික නායකයන් පවතින ව්‍යාකූල ස්වභාවය වටහා ගැනීම වැදගත්ය. ජනමත ප‍්‍රධානීන් වගකීමෙන් කටයුතු කළ යුතුව තිබේ. මොහොතකින් මුදාහරින වචන වෙනුවට රට සහ රටේ අනාගතය ගැන සූක්ෂම සමාලෝචනයක් අවශ්‍යය. එවැනි පරිනත භාවයක් අපට තිබේද?

• මාධ්‍යයෙන් අවුලුවන දේශපාලන ක‍්‍රමයේ වරද

මාධ්‍ය භාවිතය සහ සමාජ මාධ්‍යයේ හැසිරීමට ඉඩ තබන්නේ කොතැනින්ද? එය අප සියලු දෙනා සාකච්ඡා කළ යුතු පැත්තකි. පවතින දේශපාලන ක‍්‍රමය පිරිහී තිබේ. මනාප ක‍්‍රමය එහි කෙළවරකි. ඡන්දයකින් දිනන්නට මනාප එකතු කරන දේශපාලනඥයෝ ඉතා අවස්ථාවාදී ආකාරයකට හැසිරෙති. පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකම මජර ජාලාවකය. පක්ෂ හා විපක්ෂ මතවලින් ජන සමාජය හෙම්බත්ව සිටී. මැතිවරණයක් එන විට අලුතින් හැදෙන සමාජ මාධ්‍ය ජාලා ගණන විශාලය. දේශපාලන රැස්වීම් සංවිධානය කරන ආකාරයට අනුගාමිකයන් හා ආධාරකරුවන් කටයුතු කරගෙන යන බව පෙනේ. ඒවායෙන් ප‍්‍රචාරය කරන අදහස් ජාතික මාධ්‍යවලටද එකතුවන බව පෙනේ. සාධාරණ විවේචන වෙනුවට කරන සාහසික අසත්‍ය කරුණු විශාල හානියක් ඇති කරයි. මතවාදී හෝ ප‍්‍රතිපත්ති මත කරන කරුණු දැක්වීම අමතක කර තිබේ. එයට හේතුව ඡන්දයෙන් ජය ගැනීම බව සඳහන් කළ යුතුය. එම පක්ෂයේ අපේක්ෂකයන් අතර පවා අරගල ඇති කරන තරමේ භාවිතයකි.

පසුගිය මැතිවරණ දෙක තුළ රටට කරන ලද හානිය සලකා බලන ලද රජය වෙබ් අඩවි ලියා පදිංචි කිරීමේ නීතියක් හඳුන්වා දී තිබේ. එවැනි පියවරකින් කිසියම් නීත්‍යානුකූල භාවයක් ඇති කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව පෙනේ. වගකීමක් ඇතිව තොරතුරු විකාශය කරන ක‍්‍රමයකට හරවන ප‍්‍රයත්නයකි. කෙසේ නමුත් මෙරට මාධ්‍ය අධ්‍යයනයෙහි නිරත විද්‍යාර්ථීන් පෙන්වා දෙන පරිදි අද පවතින මාධ්‍ය භාවිතය ජනතාව දැනුම්වත් කරන එකක් නොවේ. පාඨකයන්ට අවබෝධය ඇතිකරන සන්නිවේදනයක් කරන්නේ නැත. ඉතා වැදගත් මාධ්‍ය භාවිතයක් අරමුණු කරගෙන පවතින ක‍්‍රම වෙනස්කරන පියවර ගණනාවක් යෝජනා වී තිබේ. මාධ්‍ය කතිකාවතක් ඇති කෙරිණ. මාධ්‍ය භාවිතය සම්බන්ධ ප‍්‍රඥප්තියක් ගැන අදහස් පළ වෙමින් පවතී. නව මාධ්‍යකරුවන් අනුගමනය කළ යුතු දාර්ශනික පිළිවෙළ උගන්වන්නට උත්සාහයක් ඇත. එයට ඇති ඉඩහසර අනුව සමාජ පරිවර්තනයක් සිදුවනු ඇත. දැනට පෙනෙන ජනමාධ්‍ය භාවිතයේ අඳුරු පැති රටට කිසිසේත් හිතකර එකක් නොවේ.

 සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05