2022 ජනවාරි 29 වන සෙනසුරාදා

ගමේ තාලෙට පරණ විදියට ගත්ත මංගල්ලේ

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 110

ගැමි සම්ප්‍රදායට අනුව ජනිත දේශප්‍රිය බස්නායකත් කළණි පෙරේරාත් විවාහ වූයේ දෙපාර්ශ්වයේම ආශිර්වාද ඇතිවය. ජනිතගේ මෙන්ම කළණිගේ හිතේ ද තම විවාහ මංගල උත්සවය සුන්දරව ගැනීමේ සිහිනයක් විය. නමුත් කළණි චාම් හා සරල විවාහ මංගල උත්සවයක් ගැන හීන දැක්කාය. ඒ නිසාම කළණිගේ කැමැත්තට ජනිත ඉඩ දුන්නේය. ඔවුන්ගේ විවාහ මංගල උත්සවය සාම්ප්‍රදායික පැරණි විවාහ උත්සවයක් ලෙසින් ගැනීම ඇගේ කැමැත්ත විය. කොවිඩ් වසංගතය නිසා විවාහ මංගල උත්සවයට ආරාධනා කර තිබුණේද ඉතා සීමිත ආරාධිත පිරිසකට පමණි.

මේ අදහස මුලින්ම ඇතිවුණේ කළණිටයි. ඊට පස්සේ අපි දෙන්නා ඒ ගැන අපේ ඡායාරෑප ශිල්පී කෞෂල්‍ය එක්කත් කතාබහ කර ගත්තා. අපි හැමෝගෙම අදහසට අනුව තමයි මේ විවාහ උත්සවය සංවිධානය කළේ. අපිට අපේ විවාහ උත්සවය බොහොම සරලව චාම්ව කරන්න ඕනෑ වුණා. ඒ සරල බව තුළ විශේෂත්වයක් තියෙන්නත් ඕනෙ. ඒ නිසා පැරණි සාම්ප්‍රදායික විවාහ උත්සවයක් ලෙසින් අපේ විවාහ උත්සවය ගන්න අපි තීරණය කළා. කළණි ඔසරිය අඳින නිසා සිංහල ජාතික ඇඳුම තමයි මම ඇන්ඳේ. පැරණි නිවෙස්වල භාවිත කළ පිඟන්, තේ කෝප්ප ආදියත් අපි මේ වෙනුවෙන් සොයා ගත්තා. යැයි ජනිත දේශප්‍රිය බණ්ඩාර දේශයට පැවසීය.

නියමිත දින ජනිත ඇතුළු ඔහුගේ ඥාති පාර්ශ්වය විවාහ උත්සවයට පැමිණියේ ඉතා පැරණි මෝටර් රථයකිනි. ගැමි සම්ප්‍රදායට අනුව කිරි මුට්ටි, කිතුල් පැණි රැගෙන ඔවුහු කළණි දැකබලා ගැනීමට පැමිණියහ. කිරි හට්ටි පමණක් නොව කැවිලි පෙවිලි දැමූ පත් කූඩයක් ද ඔවුහු රැගෙන ආහ. මිරිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී මෙම විවාහ උත්සවය පැවැත්වූ අතර එම හෝටලය ද ඇගේ අපූරැ අතීත මතකයකි. හෝටලයට පෙර මෙය වෙද ගෙදරකි. එකල කළණිගේ මව පදිංචිව සිටියේ මෙම වෙද ගෙදරට යාබද නිවෙසකය. කුඩා කාලයේදී කළණිගේ මව සෙල්ලම් කර තිබුණේද මෙම වෙද ගෙදරය. එකල වෙද ගෙදර සිටි වෙද මුත්තා ගැන ද කළණිගේ මවට මතකය.

ජනිත රසායන විද්‍යා ගුරැවරයෙකි. කළණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ සේවය කරයි. විවාහ උත්සවය දිනයට අදාළ සියලු අංග ඉතා චාම් ලෙස ගැමි සම්ප්‍රදායට අනුව සිදු කර තිබුණි. තේ මේසයේ වූ සියලුම තේ කෝප්ප ආදිය ඉතා පැරණි පිඟන් භාණ්ඩ විය.

ජනිතත් කළණිත් මාව මුණගැහෙන්න ඇවිත් ඔවුන්ගේ හිතේ තිබුණු අදහස මට කිව්වා. අපි තුන්දෙනා එක්ක කතාබහ කරල තමයි මේ ඡායාරූප ලස්සනට ගත්තේ. ගැමි සම්ප්‍රදායට අනුව විවාහ උත්සවයක් ගන්නයි ඒ දෙන්නට ඕන වුණේ. මිරිස්ස තිබුණු හෝටලයක ඒ ගැමිකම උපරිමයෙන්ම තිබුණා. ඉස්සර කාලේ විදිහට කැවිලි පෙවිලි, කිරි හට්ටි අරගෙන නෑදෑයෝ විවාහ උත්සවයට ආවා. ඒක ඡායාරුපවලටම කියලා ගත්තු දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් ඒ උත්සවයේ තිබුණු දෙයක්. ඡායාරූපවලටම කියලා අපි වෙනම ඒවා ගත්තෙ නැහැ. ඇත්තටම ඡායාරූප ශිල්පීන් විදිහට මටත් මේක වෙනස් අත්දැකීමක්. යැයි ඡායාරෑප ශිල්පී කසුන් කෞෂල්‍ය දේශයට පැවසීය.

විවාහ උත්සවයට කොවිඩ් වසංගතය හේතුවෙන් සියයට අඩු සංඛ්‍යාවකට පමණක්  ආරාධනා කර තිබුණි. ඒ දෙපාර්ශ්වයේ ළඟම ඥාතීන් හා යහළු යෙහෙළියන් පමණි. ජනිතගේත්, කළණිගේත් මෙම සංකල්පය පිළිබඳව ඔවුහු දැන සිටියහ. ඒ නිසාම එම සංකල්පයට ගැලපෙන පරිදි විවාහ උත්සවයට පැමිණි සියල්ලෝම හැඳ පැළඳ පැමිණියහ. ඒ නිසාම ගැමි සම්ප්‍රදායට අනුව ගනු ලැබූ මෙම විවාහ උත්සවයට පැමිණි සියල්ලෝම සතුටු වූහ. මෙය චාම්, සරල ගමේ තාලේ විවාහ උත්සවයකි.

 දිශානි ජයමාලි කරැණාරත්න