2022 ජනවාරි 29 වන සෙනසුරාදා

මව්පියන් කෝප ගැන්වූ දරුවන් හැඬවූ පහේ ශිෂ්‍යත්වේ ජරමර

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 113

නිදහස් අධ්‍යාපනය සම්බන්ධ උදම් අනන අතරේ අධ්‍යාපනයේ නිදහස අහිමි වූ දරුවන් පිළිබඳ සංවේදී කතාවක් පසුගිය සතියේ වාර්තා විය. කොවිඩ් අභියෝගය හමුවේ 2021 වසරේ පැවැත්වීමට නියමිත වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙම වසරේ ජනවාරි 22 වන සෙනසුරාදා පැවැත්වීය. මෙවර විභාග මධ්‍යථාන 2943කදී ක්‍රියාත්මක වූ විභාගයට දරුවන් 3,40,508 දෙනෙක් පෙනී සිටියහ. ඒ අතර කොවිඩ් -19 ආසාදිත දූ දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් මෙවර විභාග මධ්‍යස්ථාන කිහිපයකදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ට අසාධාරණකම් සිදුවූ බව වාර්තා විය. මාපියෝ සහ දරුවෝ හඬමින් වැළපෙමින් ආවේගයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූහ. ඒ අතර ශිෂ්‍යත්ව විභාගයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබුණි. අපි මෙම සිදුවීම් පෙළ නිමිති කොටගෙන ශිෂ්‍යත්ව විභාගය සහ මෙරට අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සංවාදයක් ගොඩනැගීමට උත්සුක වෙමු.

පළමුව වාර්තා වූ සිදුවීම් කිහිපය සැකෙවින් ඉදිරිපත් කළ යුතුමය. ඒ අනුව මීට අදාළ පළමු සිදුවීම වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් නාගොඩ රාජකීය විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකිනි. මෙම විභාග මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් දරුවන්ට විනාඩි 05ක් ප්‍රමාද වී ප්‍රශ්න පත්‍රය ලබාදී විනාඩි 15 කට කලින් නැවත ප්‍රශ්නපත්‍ර එකතුකිරීමට කටයුතු කර ඇතැයි කියැවේ. ඒ අනුව විභාග කටයුතු අවසානයේ දරුවන් සහ දෙමාපියන් එක්ව පාසල ඉදිරිපිට විශාල විරෝධතාවයක් දියත් කර තිබිණි.

මෙම සිදුවීම පිළිබඳ පොදුවේ සලකා බලන විට දරුවන්ගේ අදහස් දැක්වීම සුවිශේෂීය. කාලය අහිමිවීම සමඟ දරුවන් මානසික ලෙස බිඳවැටී ඇති බව පෙනී යයි. මධ්‍යස්ථානයේ බලධාරීන් චෝදනා ප්‍රතික්ෂේප කර ඇතත් දරුවන් රුසකගේ ප්‍රකාශ හරහා ඒවා බැහැර කළ නොහැකිය. මෙහිදී දෙමාපියන්ගේ හැසිරීම සාධාරණ නමුත් දරුවෝ ඒ හරහා තවදුරටත් බිඳවැටී හඬා වැළපෙති. ශිෂ්‍යත්ව යනු මෙරට අධ්‍යාපනයේ තීරණාත්මක කඩයිම් විභාගය නොවන බව සැබෑය. එහෙත් තරගකාරී අධ්‍යාපන ක්‍රමයේ අතුරු ඵලයක් ලෙස මෙම ඛේදවාචකයට වාර්ෂිකව දරුවෝ රුසක් මුහුණ දෙති.

මීළඟ සිදුවීම වාර්තා වන්නේ වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිමඩ විජය විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්ථානයකිනි. මෙම මධ්‍යස්ථානයේ විභාගය සඳහා පෙනී සිටි දරුවන්ට පළමු ප‍්‍රශ්න පත‍්‍රය විනාඩි 10ක් ප‍්‍රමාද වී ලබාදී ඇති බවට දෙමාපියෝ සහ දරුවෝ චෝදනා කරති. මෙම සිදුවීම හේතුවෙන්ද දෙමාපියන් දැඩි ලෙස ප්‍රකෝප වූ අතර වැලිමඩ – බදුල්ල ප‍්‍රධාන මාර්ගය හරස් කර පැය දෙකක කාලයක් විරෝධතාවයකද ඔවුහු නිරත වූහ. අනතුරුව සිසුන් හා මව්පියන් වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලයේදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දරුවන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ ලිපියක්ද බාරදී තිබේ.

මෙම සිදුවීමට අදාළව දරුවකු ලබාදෙන ප්‍රකාශයක මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් සිසුන්ට උදව් කළ බවද එම දරුවා කියා සිටියි. එය ඉතා බරපතළ ප්‍රකාශයක් වන අතර වාර්ගික ගැටුමක්ද ඒ හරහා නිරෑපණය වේ. මෙම සිදුවීමේ සත්‍යතාව තවදුරටත් පරීක්ෂණ මට්ටමේ පවතින බව සැබෑවකි. එහෙත් අධ්‍යාපනයේ කටයුතු සම්බන්ධ වාර්ගික විශේෂ කිරීම් පිළිබඳ කතිකාවද ඉතා භයානකය. මෙවන් සිදුවීම වාර්තා කරණයේදී මාධ්‍ය පවා ප්‍රවේසම් වියයුතු වේ. මන්ද මෙවන් මොහොතක දරුවන් තුළට ඇතුළුවන ආකල්ප සම්බන්ධයෙන් රටේම අනාගතය කෙරෙහි තීරණාත්මකය.

මීළඟ සිදුවීම වාර්තා වන්නේ ගල්ගමුව යූ.බී. වන්නිනායක විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකිනි. ගල්ගමුව යූ.බී. වන්නිනායක විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන්ද අනුයුක්ත කර විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. මෙහිදී චෝදනාව නැගෙන්නේ ගල්ගමුව යූ.බී. වන්නිනායක විද්‍යාල පාර්ශ්වයෙනි. මෙම විභාග මධ්‍යයස්ථානයේ විභාගය ලියූ ඇතැම් සිසු දැරියන්ට ගුරුවරුන් පිළිතුරු ලිවීමට උදව් කළ බව දරුවෝ පවසති. මෙම සිදුවීමට අදාළවද වර්ගවාදී ප්‍රවේශයක් ඇති බවට දරුවන් සිදුකළ ප්‍රකාශය ඇසුරේ පෙනීයයි.

සිව්වැනි සිදුවීම වාර්තා වන්නේ හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයකිනි. මෙම මධ්‍යස්ථානයේ පළමු ප්‍රශ්න පත්‍රය බෙදාදීමේ දී සිංහල සහ දමිළ මාධ්‍ය අතර මාරුවීමක් සිදුව ඇති අතර පසුව විභාග මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් එය නිවැරදි කොට තිබේ. එහෙත් ඒ සඳහා වැය වූ අතිරේක කාලය දරුවන්ට නැවත ඔවුන්ට ලබා දී නොමැති බවත් වාර්ගිකත්වය මත විශේෂ කොට මෙහිදී සැලකීම් සිදුව ඇති බවත් දෙමාපියෝ සහ දරුවෝ චෝදනා කරති.

මෙම සිදුවීමට අදාළව දැඩි වාර්ගික මත ප්‍රකාශයට පත්ව තිබේ. එහෙත් විභාග බලධාරීන් සහ අදාළ පාසල විසින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ නමුත් මෙහිදීද දරුවන් කෙරෙහි දැඩි බලපෑමක් ඇතිව ඇති බව කියැවේ. මධ්‍යස්ථානය තුළ හිතාමතාම පීඩාකාරී ලෙස හැසිරීම් මෙන්ම නොසලකා හැරීම්ද සිදුව ඇතැයි වාර්තා වෙයි. මීට අදාළ කටයුතුද තවදුරටත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ සිදුවූවා යැයි පවසන අක්‍රමිකතා අතර ප්‍රධාන සිදුවීම් කිහිපය පමණක් අප ඉහත උපුටා දැක්වූයෙමු. ඒවාද තවදුරටත් සවිස්තරාත්මකව දැක්විය හැකි බවද සිහිපත් කළ යුතුය. අප දෙවැනුව අවධානය යොමු කරන්නේ එම සිදුවීම්වලට අදාළ පොදු ලක්ෂ කිහිපයක් පිළිබඳ සංවාදයකටය. මෙම සියලු සිදුවීම්වලට අදාළව දෙමාපියන් වෙතින් දිස්වූයේ අධික කෝපයකි. එය සාමාන්‍ය ජීවිතයේදී දෛනිකව සිදුවන අසාධාරණකම්වලදී පුද්ගලයකු කෝපවීම හා කිසිසේත්ම සමාන නොවේ. මෙහිදී දෙමාපියන් සිය දරුවන්ගේ අනාගතය සහමුලින්ම අඳුරු වූවා සේ මාධ්‍ය හමුවේ අදහස්  දැක්වූ අයුරු අපි දුටුවෙමු.

ශිෂ්‍යත්ව විභාගය සමත් වන්නේ ඉතා සීමිත දරුවන් පිරිසක් පමණි. එහෙත් ඒ උදෙසා සමස්ත දෙමාපියෝ විශාල බලාපොරොත්තුවක් ගොඩනගා ගනිති. දරුවන් මතින් සිහින දකින දෙමාපියෝ දරුවන් මෙම විභාගය උදෙසා දැඩිව පීඩාවට පත් කරති. ප්‍රතිඵල හමුවේ බොහෝ දෙමාපියෝ සේම දරුවෝද මානසිකව බිඳ වැටෙති. ඒ නිසාවෙන් සිදුවන ඛේදවාචකයන් දෙක වසරක් තුළ නියත වශයෙන් වාර්තා වෙයි. එහෙත් මෙය දරුවන්ගේ හෝ දෙමාපියන්ගේ වරදක් ලෙස දැකීම සාධාරණද යන්න ගැටලු සහගතය.

යථාර්ථය නම් මෙයට හේතුව මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින විෂමතාවයි. අධ්‍යාපනයේ සමාන අවස්ථා දරුවන්ට නොමැති වීම මෙම තත්ත්වයට මූලික හේතුවයි. මෙවන් මොහොත දෙමාපියන්ගේ කෝපය සැබෑවට යොමුවිය යුත්තේ එම සිදුවීම වෙත පමණක් නොවේ. පැහැදිලිවම මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට කාලය එළඹ තිබේ. මෙම සිදුවීම් පෙළ ඊට කදිම උදාහරණයකි. එහෙත් දශක කිහිපයක සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බාලගිරි දෝෂයට හසුව තිබේ.

පැමිණිලි 3ක් ගැන පරීක්ෂණ කරනවා

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා

යම් සිදුවීමක් තියෙනවා. ඒ ගැන අපි පරීක්ෂණ කරනවා. මධ්‍යස්ථාන 3ක මේ චෝදනාව ආවා. ගාල්ල නාගොඩ රාජකීය මහ විද්‍යාලය, වැලිමඩ විජය ප්‍රාථමික විද්‍යාලය, යූ.බී. වන්නිනායක විද්‍යාලය. ලැබුණු ඇමතුම් ගැනත් අපි විමර්ශනය කරනවා. ඒත් වෙලාව ප්‍රශ්නයක්. ප්‍රධාන වශයෙන් ආපු චෝදනාව තමයි ප්‍රශ්න පත්‍රය වෙලාවට දුන්නේ නෑ. වෙලාව අඩු වුණා නම් කාලය දීර්ඝ කළේ නෑ කියලා. හානියක් වෙලා තියෙනවා නම් සාධාරණයක් කරනවා. පරීක්ෂණ 3ක් කෙරෙනවා. උත්තර පත්‍ර අපිට ඇවිල්ලා තියෙනවා. මම උපදෙස් දුන්නා ඒ එක්රුස් කිරීමේ මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ ප්‍රශ්න පත්‍ර වෙන් කරන්න කියලා.

 

 චමිඳු නිසල් ද සිල්වා