2022 ජනවාරි 29 වන සෙනසුරාදා

විපක්ෂයේ “කැබිනට්” සිහින

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 56

මේ දිනවල විපක්ෂයේ අය එක හැල්මේ ජන හමුය. ආණ්ඩුවේ එක එක පිස්සු නැටිලි උඩ විපක්ෂයට රජ මඟුල්ය. ඒ නිසා විපක්ෂයේ බොහෝ අය දැන් පාරේය. ඡන්දයක් නොපෙනෙන මානෙක විපක්ෂය මෙලෙස දුවන්නේ ඇයිදැයි විපක්ෂයේම අයගෙන් ඇසූවිට ඔවුන් පවසන්නේ ජනතාවගේ දුක ඇසීම සඳහා යන බවකි, තවත් අය කියන්නේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ කටයුතුවල නිරත වෙමින් සිටින බවය. මේ අතර ආණ්ඩුවේම තවත් මිතුරු පක්ෂ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට එරෙහි වෙමින් රට වටේ යයි. මේ සියල්ලෝම බැලූබැල්මට ජනතාවගේ දුක ඇසීමට යන බව පෙනුණත් ඇත්තෙන්ම ඔවුන්ගේ අරමුණ ඊළඟ බලය ඇල්ලීමය.

වර්තමාන ආණ්ඩුව ගැන අමුතුවෙන් කිවයුත්තක් නැත. පුළුවන් තරමටම ආණ්ඩුව එකපිට එක ලෙඩ දාගත්තා මෙන්ම ඒවා කොරෝනා පිටින් දමා එයින් ගැලවීමට උත්සාහ කළද සැබැවින්ම ආණ්ඩුවේ බහුතරයක් ප්‍රශ්න ගමේ භාෂාවෙන් කිවහොත් "ඉල්ලාගෙන කෑම්”ය.

ආණ්ඩුව හොද්ද බොර කරන තරමට හොද්දේ රස වැටී ඇත්තේ විපක්ෂයේ ඇත්තන්ට බව පෙනේ. විශේෂයෙන් වසර 70කට අධික දේශපාලනය තුළ සිදුවූ වැරැද්ද යැයි කියමින් එය නිවැරදි කරන ගමනක යන බවට විපක්ෂයේ විවිධ වූ බලවේග පැවසුවද ඇත්තටම මේ අවුලට මේ සියලු දෙනාම වගකිව යුතුව ඇත. එය ආණ්ඩුවේ කියා හෝ විපක්ෂයේ කියා හෝ ගැලවීමට ඉඩක් නැත.

කෙසේ වෙතත් හොද්ද බොර වුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටින විපක්ෂය දැන් අමුතු සිහිනයක් සමාජය ඉදිරියේ දිග හරිමින් සිටියි. ඒ "කැබිනට්ටුවක්” නිර්මාණය කරමිනි. ජනතා විමුක්ති පෙරමුණත්, සමගි ජන බලවේගයත් තමන්ගේ ආණ්ඩුවේ තනතුරු දෙන්නන් නම් කරමින් යන්නේ ජනතා ප්‍රසාදය දිනාගැනීමේ අරමුණ ඇතිවය. ජනතා විමුක්ති පෙරමුණු නායකයාට අනුව ආර්ථිකය හිමිවන්නේ සුනිල් හඳුන්නෙත්තිටය. සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ලට අනුව බලය හිමිවනු ඇත්තේ හර්ෂ ද සිල්වා හෝ එරාන් වික්‍රමරත්නටය. එසේම ජවිපයේ සෞඛ්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්සට ලැබෙනු ඇත. සජබෙහි ආරක්ෂාව භාර තනතුරු ලැබෙනුයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාටය. සරත් ෆොන්සේකා ඒ හීනය මත ඉඳිමින් තමා බලය ලැබුණු පසුව කූඩු කරන්නන්ගේ නම් ගම් ද ප්‍රසිද්ධියේ කියයි. ඒ තරමට එම ෂැඩෝ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සිහින ලෝකවලය.

මෙම ෂැඩෝ මැති ඇමැතිකම් නිසා පක්ෂ අභ්‍යන්තරයේ යම් යම් ගැටුම් හටගන්නට පටන්ගෙන ඇති බව මේ වනවිට දැනගන්නට ඇත. ඒ පක්ෂයේ ඇතැම් අයට ලබාදෙන තනතුරු ප්‍රසිද්ධ කර නැති බැවිනි. එසේම ඇතැම් තනතුරු සඳහා ඔවුන් සුදුසුද නැද්ද යන්න පිළිබඳවද ගැටලුවක් මතුව ඇත. විශේෂයෙන් ඔවුන්ගේ හිතවාදී පාක්ෂිකයන් පවා මෙලෙස ප්‍රසිද්ධියේ කැබිනට් තනතුරු ප්‍රකාශ කිරීම නිසා තමන් දැඩි කලකිරීමෙන් සිටින බව ඇතැම් විපක්ෂයේ අය පවා අප සමඟ කියති. මෙම තනතුරු ප්‍රකාශය නියත වශයෙන්ම  පාරාවළල්ලක් විය හැකි බව බොහෝ විචාරකයෝ පෙන්වා දෙති. ඊට හොඳම උදාහරණය නම් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාය. ඔහු විසින් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය දැනටමත් ප්‍රසිද්ධියේ කියා ඇති බැවින් එය සමගි ජන බලවේගය පක්ෂයට බොහෝවිට අවාසි විය හැකි බව විචාරකයන්ගේ අදහසයි.

මේ සියල්ල පසෙකින් තැබුවද ජනතාව සැබවින්ම බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ඊළඟ ආණ්ඩුවේ තනතුරු ගැන නොවේ. රට කරන ප්‍රතිපත්ති මොනවාද යන්නය. අතීසාරයට අමුඩය මාරු කරන්නා සේ දේශපාලනයට ආදේශක තවදුරටත් ජනතාව නොපතති. තවත් සිස්ටම් චේන්ජ් කිරීම් බලාපොරොත්තු නොවෙති. අවශ්‍ය වන්නේ රට ගොඩනගන ප්‍රතිපත්තිගරුක මහත්මා දේශපාලන සංස්කෘතියක් පමණි. එය හුදෙක් ගැලරිය පිනවීමට නොව ජනතාව වෙනුවෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් විය යුතුය.

ආර්ථික අසහනය, ජීවන බර මෙන්ම නොයෙකුත් තාඩන පීඩන මැද ජීවත්වන ජනතාවට මෙවන් කතා විහිළුවක් මිස බලාපොරොත්තුවක් නොවේ. ජනතාව හමුවී "අපේ ආණ්ඩුවකින් ප්‍රශ්න විසඳන්නම්" යැයි කීම දැන් විපක්ෂයේ එකම පිළිතුර වී ඇත. තවදුරටත් එවැනි ප්‍රකාශ ලබාදීමට පෙර විපක්ෂයේ සියලු දෙනා තවත් සිතිය යුතුය.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ එක දෙයකි. ජනතාව බොහෝවිට තමන්ගේ ඡන්දය භාවිතය ගැන විවිධ විවිධ ප්‍රශ්න හමුවේ තීරණ ගත්තද තමන්ගේ ඡන්දය ගැන හරිම තීරණය ගන්නේ ඒ අවස්ථාවේ ඔවුන් ඉදිරියේ තබන ප්‍රතිපත්ති, වැඩපිළිවෙළ සහ නායකත්වය සමඟය. ඒ නිසා ජනතාවට දැන් උගුරට හොරා බෙහෙත් පොවන්නට උත්සාහ ගත්තද ඔවුන් ගුණ බෙහෙත හෝ අගුණ බෙහෙත තෝරාගන්නේ ඒ අවස්ථාවේ ඇතිවන ඇඟේ අමාරුවට මිස ඊට පෙර පැවති හිතේ අමාරුවට හෝ ඔළුවේ අමාරුවට නොවේ. එබැවින් විපක්ෂය මීට වඩා ජනතාවගේ නාඩි සමඟ සෙල්ලම් කිරීමේදී කල්පනාකාරී විය යුතුය. සිහින විමානවලින් බැස මහ පොළොවේ සිටගෙන සිටිය යුතුමය.

 ගයාන් ගාල්ලගේ