රජය සිදුකර තිබෙන නිල ගණන් බැලීමේදී අනාවරණය වී ඇත්තේ නීති විරෝධී මත්පැන් නිසා රජයට මාසයකදී රුපියල් කෝටි 50ක ආදායමක් අහිමි වන බවකි. හොර සුරා ව්‍යාපාරය නැවැත්වීමට මෙරට මත්පැන් නිෂ්පාදන මත ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමට යෝජනා කෙරුණේ 2016 වසරේ අයවැය යෝජනාවක් වශයෙනි. ඒ අනුව ආනයනික මත්පැන් මත පළමු ආරක්ෂිත ස්ටිකරය අලවනු ලැබුවේ 2019 ජූලි 20 වැනිදාය. මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව එතෙක් රජයට අහිමිව තිබූ රුපියල් බිලියන 60ක වාර්ෂික ආදායමක් ඉපයීමට හැකිව තිබේ.
නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළෙඳපළට පැමිණීම වළක්වාලීම මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ මූලික පරමාර්ථය විය. මේ හරහා මත්පැන්වල තත්ත්වය හා ප්‍රමිතිය තහවුරු කිරීමද නිතැතින්ම සිදුවෙයි. දේශීය මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අනිවාර්ය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කොට තිබුණි. මේ සම්බන්ධයෙන් දේශීය මත්පැන් නිෂ්පාදකයන් සිය විරෝධය දක්වා තිබුණි. එහිදී ඔවුන් දන්වා තිබුණේ මත්පැන් බෝතල් නිෂ්පාදනය කරන වේගය අනුව ස්ටිකර් ඇලවීමේ පහසුකම් හෝ ඊට අදාළ යන්ත්‍ර ඔවුන් සතුව නොමැති බවකි. කෙසේ වෙතත් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත තරයේම දන්වා තිබුණේ නියමිත දිනයේ සිට ස්ටිකරය ඇලවීමෙන් වළකින මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍රය අහෝසි කරන බවය.
මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ නීතිය ක්‍රියාත්මක කළ පසු මේ දක්වා වාර්ෂිකව රජයට අහිමි වෙමින් පැවති රුපියල් බිලියන 60ක් හෙවත් රුපියල් කෝටි 6000ක ආදායමක් රජයට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. එසේ වුවද ඇතැම් පිරිස් මෙම ස්ටිකර් ක්‍රමවේදය සඳහා අකුල් හෙළන බවත් එම වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරීමට උත්සාහ කරන බවද කියයි. මත්පැන් නිෂ්පාදකයන් අලෙවිකරුවන් මෙන්ම ඔවුනට හිතවත් රජයේ ඇතැම් නිලධාරීන් පිරිසක් මේ පසුපස සිටින බව කියැවේ. වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම විරෝධය පසුපස හිටපු ඇමැතිවරයකු ඇතුළු පිරිසක්ද සිටින බවය.
මත්පැන් බෝතල්වල අලවා තබා ප්‍රදර්ශනය කිරීමට හඳුන්වා දුන් ස්ටිකරය ඇලවීම අනාවාර්යයෙන්ම සිදුකළ යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි. ඒ මහතා පවසන්නේ මත්පැන් නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් ස්ටිකරය හා ඩිජිටල් මුද්‍රණය බෝතල්වල ඇලවීමට අකමැත්තක් දක්වන බව දැනගැනීමට ලැබී ඇති බවය. නමුත් ස්ටිකරය හෝ ඩිජිටල් මුද්‍රණය අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර ඇති නිසා සෑම නිෂ්පාදන ආයතනයක්ම එම නීතිය අනුගමනය කළයුතුව ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය. ඒ මහතා පවසන්නේ 2021 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 139ක් ලැබී ඇති බවය. ඒ අනුව 2022 වසරේදී මත්පැන් අලෙවියෙන් රුපියල් බිලියන 180ක බදු ආදායමක් අපේක්ෂා කරන බවද කීය.
මෙම ආරක්ෂක ස්ටිකරය මුද්‍රණය සඳහා සුදුසු ආයතනයක් තෝරාගැනීම සඳහා ටෙන්ඩර කැඳවනු ලැබීය. ඒ සඳහා රාජ්‍ය මුද්‍රණ සංස්ථාව ඇතුළු දේශීය සමාගම් කිහිපයක් ලංසු ඉදිරිපත් කොට තිබිණ. අවසානයේ ටෙන්ඩරය දිනාගෙන තිබුණේ ඉන්දීය සමාගමකි. MSP ලෙස නම්කරන එය මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් නැමති ආයතනයයි. වාර්තා වන ආකාරයට මෙවැනිම ස්ටිකරයක් කෙන්යාවට හඳුන්වාදීමට මූලිකව ක්‍රියාකර තිබුණේ මෙම ආයතනයයි. එරට රජය වෙත එම ස්ටිකරය ලබාදෙන අතරතුර එරට මත්පැන් නිෂ්පාදන ආයතන වෙතද එම ස්ටිකරය අඩු මිලට අලෙවි කළ බවට එම ආයතනයට චෝදනා එල්ල වී ඇත. එම සිදුවීම සමඟ ප්‍රමිතියෙන් යුතු බෝතල්වලත් හොර අරක්කු බෝතල්වලත් එකම ස්ටිකරය ඇලවීම නිසා එය මහා පරිමාණ වංචාවක් වී ඇතැයි කියැවේ. මේ හේතු නිසා එම ආයතනය අසාදු ලැයිස්තුගත සමාගමක් බව කියයි.
2016 වසරේදී කැඳවනු ලැබූ ටෙන්ඩරය ඉහත අඩුපාඩු නිසා නැවත කැඳවීමට ඇමැති මණ්ඩලය තීරණය කොට තිබුණි. නැවත 2017 වසරේදී එම ටෙන්ඩරය කැඳවීමට පියවර ගැනිණි. එහිදී 2016 වසරේදී ස්ටිකර 1000ක් සඳහා ඩොලර් 3.19ක් ඉල්ලා තිබූ සමාගම 2017 වසරේදී ස්ටිකර් 1000ක් සඳහා ඩොලර් 5.99ක් ඉල්ලා ඇතැයිද වාර්තා වේ. මේ ආකාරයට 2016 වසරේදී ගැටලු සහගත වූ ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය නිසා නැවත කැඳවූ ටෙන්ඩරය ලබාගෙන තිබුණේද ඉන්දීය එම්.එස්.පී. ආයතනය වීම විශේෂයකි. මේ නිසා ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය තුළ අක්‍රමිකතා සිදුවන්නට ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා නැගීය.
සමන්ත විල්තෙර
අප්‍රේල් 1ට පසුව ස්ටිකරය නැත්නම් විකිණීම තහනම්
මත්පැන් බෝතල්වල ආරක්ෂක ස්ටිකරය මුද්‍රණය සඳහා ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදුකළා. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විදේශීය ආයතනයක් තෝරාගනු ලැබුවා. ඒ සඳහා වැඩසටහන ක්‍රියාවට නැංවීමේ ආයතනය වශයෙන් සැපයුම්දාම නියාමන අංශය වශයෙන් අංශයක් පිහිටවූවා. දැනට එම අංශය මගින් වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතිනවා. 2022 ජනවාරි 3 වැනිදා සිට මෙය ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් 1 වැනිදා වෙනකම් වෙළඳපොළේ තියෙන හා ගබඩාවල තිබෙන බෝතල් පමණක් විකිණීමට අවස්ථාව ලැබෙනවා. එතැනින් පසුව ස්ටිකරය රහිත කිසිදු බෝතලයක් විකිණීමට අවසර නෑ. ඊට අදාළ තාක්ෂණික නියාමන හා නීතිමය කටයුතු හා ගැටලු සහගත තත්ත්වයන් විසඳා ගනිමින් ඉදිරි කටයුතු සිදුකිරීමට පියවර ගන්නවා.
කපිල කුමාරසිංහ
සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) මාධ්‍ය ප්‍රකාශක