රටේ නන්දෙසින් පසුගිය කාලය තුළදීම වාර්තා වූ විවිධ සාදවලදී මත්ද්‍රව්‍ය සඳහා හිමිව තිබුණේ ප්‍රධාන තැනකි. අද අප කියන්නට යන කතාවද අපට වාර්තා වූයේ පසුගිය 16 වන දින තිස්සමහාරාම පොලිස් ස්ථානයෙනි. ඉතා තරුණ වියේ පසු වූ යුවලක් අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවිම හේතුවෙන් මවටත් සහෝදරයාටත් පහරදී පියාගේ ගෙල සිරකර ඝාතනය කළ අවාසනාවන්ත පුවතකි.
56 හැවිරිදි උපුල් ශාන්තත් 43 හැවිරිදි කුමාරි ගුණතිලකත් ජීවත් වූයේ ලුණුගම්වෙහෙර පොලිස් බළ ප්‍රදේශයට අයත් උඩ මත්තල,පඩව්ගම ප්‍රදේශයේය.ගොවිතැනක් කරගෙන ජිවත් වූ මේ දෙදෙනාට දාව දරුවන් සිව් දෙනෙක් වූහ. වැඩිමල් දරුවා දියණියක වූ අතර අනිත් දරුවන් තිදෙනා පිරිමි දරුවන්ය.
උපුල් ශාන්තත් කුමාරිත් තමන්ට හැකි පරිදි සිය දරුවන්ට ඉගැන්වීමට කටයුතු කළේ කවදා හෝ දවසක ඔවුන් මෙම සමාජයේ හොද පුරවැසියන් ලෙස සිටිය යුතු නිසාය. දෙමාපියන් මේ දරුවන් වෙනුවෙන් නොවිදිනා දුක් විඳිද්දී පවුලේ වැඩිමලා වූ දියණිය අධ්‍යාපන කටයුතු වලට දැක්වූයේද අලස කමකි.” දුවේ මල්ලිලා තුන් දෙනත් හදාගන්න ඕනේ. උඹ මීට වඩා ටිකක් සංවරව කටයුතු කරපං.” දියණියට පියා හා මව අවවාද දුන් අවස්ථා බොහෝය.සිය දෙමාපියන්ගේ අවවාද තඹයකට මායිම් නොකල පවුලේ වැඩිමල් දරුවා වූ හිරුණි දෙමාපියන්ට පිටු පා මිට වසර කිහිපයකට පෙර දිනක නිවසින් පළාගොස් තිස්සමහාරාම, වීරහෙළ පදිංචි තරුණයකු හා විවාහ විය.
විවාහ ජිවිතයේ අරුතවත් හරියට නොදැන සිටි මේ දෙදෙනා ජීවන ගමන ආරම්භ කළේ වැරදි තැනක සිටය. සිය වැඩිමල් දියණියගේ ක්‍රියා කලාපය පිළිබදව දෙමාපියන් මෙන්ම ඇයගේ සහෝදරයන්ද සිටියේ එතරම් සතුටකින් නම් නොවේ. හිරුණි විවාහ වූයේ තිස්සමහාරාම වීරහෙළ පදිංචි පී. පැතුම් මදුරංග සමගය. පැතුම් හා හිරුණි විවාහයෙන් වැඩිකලක් යන්නටත් මත්තෙන් අයිස් මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහි වූහ. දෙදෙනාම ඇඟ පුරා පච්ච කොටාගෙන සිටි අතර ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් මෙන්ම කොණ්ඩා මෝස්තරද ගමකට කිසිසේත් නොගැළපෙන්නක් විය. දෙදෙනා දිහා දකින ඕනෑම කෙනෙකුට දැනෙන්නේ හැඟෙන්නේ මොවුන් නම් හැබෑ ලෙසම රස්තියාදු කාරයන් කියා පමණකි. විවාහයෙන් දෙදෙනාට දාව අවුරුද්දක් වයසැති දරුවෙක්ද විය. හිරුණිගේ ක්‍රියා කලාපය එතරම් හොඳ නැතිවීම නිසා හිරුණිගේ දෙමාපියන් හා සහෝදරයන්ද ඇය සමඟ එතරම් ඇයි හොඳැයියක් නොපැවැත්විය. සිය වැඩිමල් දියණිය හිතුවක්කාර විවාහයක් කරගෙන ගියත් උපුල් ශාන්තත් කුමාරි ගුණතිලකත් අනිත් දරුවන් තිදෙනාට නිසි අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කළෝය.
දිනය පසුගිය 15 වැනිදාය. ඒ උපුල් ශාන්තත් කුමාරි ගුණතිලකගේත් දෙවෙනි දරුවා වූ තිළිණගේ විවාහ උත්සවය පැවති දිනයයි. විවාහ උත්සවය පැවැත්වුණේ මත්තල පඩව්ගම පිහිටි නිවසේය. මංගල උත්සවය සඳහා තිළිණ සිය ඥාතින්ට මෙන්ම හිතවතුන්ට ආරාධනා කෙරුණත් වැඩිමල් සොයුරියට ආරාධනා නොකළේය. කෙසේ වෙතත් 15 වන දින සිය ලොකු මල්ලි වූ තිළිණගේ විවාහ උත්සවය තිබෙන බව හිරුණිටත් දැනගැනීමට ලැබුණි. ඒ අනුව සිය ලොකු මල්ලීගේ විවාහ උත්සවයට 23 හැවිරිදි වියේ පසු වූ හිරුණිත් (අක්කා) හා 25 හැවිරිදි වියේ පසු වූ හිරුණිගේ සැමියා වූ පැතුම් (මස්සිනා) දෙදෙනාද පැමිණියහ. මංගල උත්සවය සඳහා පැමිණි පිරිස් පිළිවෙළකට ඇඳුම් පැළඳුම් ඇද පැළද වැදගත් විදියට පැමිණ සිටියත් හිරුණිත් පැතුමුත් දෙදෙනා විවාහ උත්සවයට පැමිණියේ හරියට සල්ලාලයන් ලෙස සැරසීය. අක්කාගේත් මස්සිනාගෙත් දෙදෙනාගේ පැමිණීම පවුලේ ඥාතීහු එතරම් ගණනකට නොගත්හ. මේ ඉන්නේ මගේ අක්කා හා මස්සිනා බව විවාහ වූ තිළිණද කිසිවකුට නොකීවේය.
මංගල උත්සවය අවසන් වෙමින් තිබියදී තිළිණගේ බාල සොහොයුරා වූ නිමල් මංගල උත්සවට පැමිණ සිටි පිරිසක් සමග මදුවිත ටිකක් තොල ගා සිටිනු තිළිණ දුටුවේය. වහා සිය මළණුවන් වූ නිමල් අසලට ගිය තිළිණ නිමල්ට පහරක් ගැසුවේය. “තෝ ඇයි බිව්වේ“ කියා විමසුවේය. මල්ලීට පහරක් ගසනු දුටු අක්කා වූ හිරුණි ඒ අසලට ඇවිත් තිළිණ සමග ආරවුලක් ඇති කරගත්තේය. කතාව පටන් ගන්නේ එතැන් පටන්ය. දෙපාර්ශවය අතර දිගින් දිගටම ඇති වූ කතාබහේ ප්‍රථිපලයක් ලෙස මංගල සාදයට පැමිණි හිරුණිත් ඇයගේ සැමියත් දෙදෙනා විවාහ උත්සවය අවසන්වීමටත් මත්තෙන් ඉන් පිටව ගියේ මවට පියාට මෙන්ම එහි සිටි අනිත් පිරිසටද බැණ වදිමිණි.
මංගල උත්සවය පැවති නිවසින් එලෙස කේන්තියෙන් පිටව ගිය හිරුණි සිය සොහොයුරා වූ තිළිණගේ දුරකතනයට තර්ජනාත්මක එස්.එම්.එස්. පණිවිඩ රුසක් එව්වේය. අක්කා හා මල්ලී අතර පැවති මෙම දුරකතන රංඩුව පිළිබඳ පියා වූ උපුල් ශාන්තගේද කණ වැකුණේය. “උඹලා සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න තියා ගන්න ඕනේ නෑ. යමල්ලා ගිහින් මේක සමාදාන වෙලා එමු” යැයි පියා යෝජනා කළේය. ඒ අනුව 15 වැනි දින පැවති තිළිණගේ විවාහ මංගල උත්සවයෙන් පසු 16 වැනි දින සවස මෙම ගැටුම සමාදාන කරවිම සඳහා තිස්සමහාරාම වීරහෙළ පදිංචි හිරුණිගේ ගෙදරට එන්න පිටත් වූයේ ත්‍රිරෝද රථයකිනි. මේ ගමන සඳහා හිරුණිගේ මව වූ කුමාරිත්, පියා වූ උපුල් ශාන්තත්, නව මංගල ජෝඩුව වූ තිළිණ හා ඔහුගේ බිරිඳත් මෙන්ම උපුල් ශාන්තගේ නංගිගේ සැමියත් එක්වීය. වීරහෙළ ගෙදරට ගිය පිරිස අක්කා මල්ලි අතර ඇති විරසකභාවය නැවැත්වීමට සාම සාකච්ඡා පවත්වද්දී තිළිණ හා අක්කා වූ හිරුණි අතර බහින් බස්වීම දුරදිග ගියේය. එහිදී “මොකද්ද දැන් උඹ කියන්නේ කියා“ අසමින් හිරුණි තිළිණට පහර පිට පහර දෙන්නට විය. ඒ වනවිට නිවසේ හිරුණිගේ සැමියා වූ 25 හැවිරිදි පැතුම් හා 22 හැවිරිදි මදුරංගත් සිටියේය. දෙපාර්ශවය අතර මහා රණ්ඩුවත් ඇතිවන්නට යන බව දැනගත් හිරුණිගේත් තිළිණගේත් පියා වූ උපුල් ශාන්ත රණ්ඩුව පැවති අතරමැදට පැන රණ්ඩුව නැවැත්වීමට උත්සාහ කළේය. එහිදී සිදු වූයේ කිසිවකුත් නොසිතූ විරෑ දෙයකි. අක්කා හා මල්ලී අතර ඇතිවන්නට ගිය ගැටුම නැවැත්විමට උත්සාහ කළ පියාට අවසානයේ සිදුවූයේ දියණියගේ හා බෑණාගේ පහර කෑම් පිට මෙලොවින් සමුගන්නටය.
මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබදව 43 හැවිරිදි කුමාරි ගුණතිලක මහත්මිය තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් සිදුකරමින් මෙලෙස පවසා තිබුණි.
“මගේ වැඩිමල් පුතාගේ වෙඩින් එක පසුගිය 15 වෙනිදා මත්තල අපේ ගෙදර තිබුණා. ඒ වෙලාවේ මගේ බාලම පුතා අරක්කු බීලා ඉන්නවා දැකලා වැඩිමල් පුතා ඔහුට කම්මුලට එකක් ගහලා තියෙනවා. මේක දැකපු මගේ වීරහෙළට බැඳලා ඉන්න දුව විවාහ වූණු පුතා එක්ක රණ්ඩු වෙලා තියෙනවා මොකටද මල්ලිට ගැහුවේ කියලා අහලා. මේ වෙලාවේ දෙපිරිස අතර බහින් බස්වීමක් ඇතිවුණා. ඒ වෙලාවේ බෑණයි දුවයි මගුල් ගෙදරින් පිටත් වෙලා ගිහින් විවාහ වුණ පුතාගේ ෆෝන් එකට මරණ තර්ජනය කරලා එස්.එම්.එස්. එවලා තිබුණා. මේ ගැටුම දුරදිග යාවි කියලා තිබුණු බය නිසා මමයි මහත්තයිය එක්ක කට්ටිය අපි වීරහෙළ පිහිටි බෑණගේ ගෙදරට ගියා. ඒ ගිය වෙලාවේ බෑණයි මගේ දුවයි එකතු වෙලා මටත් මගේ මහත්තයටත් හා අනිත් පුතාටත් පහර දුන්නා. මගේ දුව මට ගහද්දී මන් විසිවෙලා ගිහින් වැටුණා. අනිත් පුතාගේ ඇඟ පුරාම දුව හපා කෑවා. රණ්ඩුව බේරන්න ඒ අතරට ගිය මගේ මහත්තයට දුව හෙල්මට් එකකින් ගැහුවා. ඒත් එක්කම යකඩ පොල්ලක් වැනි එකක් අරන් ඇවිත් බෑණත් මගේ මහත්තයට ගැහුවා. පස්සේ මගේ මහත්තයා බිම ඇදගෙන වැටුණම මගේ දුව බෑණට බෙල්ල මිරිකන්න කියලා මගේ මහත්තයගේ ඔළුව තද කරලා අල්ලගෙන හිටියා. මන් කෑගැහුවා. වැඩක් වුණේ නෑ. මහත්තයා සිහි නැතිව බිම එහෙම්මම ඇදගෙන වැටුණා. අපි ගියපු ත්‍රිවිල් එකෙන් මහත්තයව රාත්‍රි 8ට වගේ දෙබරවැව රෝහලට ඇතුලත් කළා. එහිදී මහත්තයව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යැවුණා. නමුත් ඒ වනවිටත් මහත්තයා මිය ගිහින් තිබුණා. මගේ ඇස් දෙක ඉදිරිපිටම බෑණා මගේ මහත්තයාගේ බෙල්ල මිරිකලා මරණකම් මගේ දුව තාත්තගේ ඔළුවෙන් අල්ලගෙන හිටියා” යැයි ඇය පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්න, තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂ ඒ.ඩී. කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල් හා පොලිස් කොස්තාපල් වරුන් වන (86412) රණතුංග, (92798) ජයසිංහ, (92779) බංඩාර හා කාන්තා පොලිස් සැරයන් (2352) නිශානි යන නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන පැවැත් වූ අතර එහි ප්‍රථිපලයක් ලෙස සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන වීරහෙළ තිස්සමහාරාම පදිංචි 25 හැවිරිදි පැතුම් මදුරංග (බෑණා) හා ඔහුගේ බාල සොහොයුරු වන 22 හැවිරිදි ලක්ෂාන් මදුරංග හා 23 හැවිරිදි හිරුණි නිත්‍යා (දුව) නැමති තිදෙනා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු චූදිතයෝ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.
මියගිය පුද්ගලයා පිළිබඳ වූ මහේස්ත්‍රාත් පරික්ෂණය තිස්සමහාරම මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ක්‍රිෂාන්ත අබේසිංහ මහතා විසින් පැවැත් වීමෙන් පසු සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා එහි වාර්තාව අධිකරණයය ඉදිරිපත් කරන ලෙසට තිස්සමහාරාම පොලිසියට නියෝග කෙරුණි.
සටහන හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර