එක පැත්‍තකින් ගෑස් පෝලිම්ය, තවත් පැත්තකින් කිරිපිටි පෝලිම්ය. ඒ සියල්ල මැද ගෑස් පිපිරුම්ය. ගෑස් තිබුණද එදා වේල ගත නොහැකි තරම් ජීවන බර අහස උසටය. ඒ සියල්ල මැද වර්ජනය. වැඩ ඇරී නිවෙසට යාමට නොහැකිව ඇතැම් අවස්ථාවල ජනතාව මහ මගය. ජනතාවට ප්‍රශ්න පිට ප්‍රශ්නය. ඒ නිසා ජනතාව සිටින්නේ අන්ත අසරණවය.
එලෙස අසරණව සිටින ජනතාවට පසුගිය දිනවලදී තවත් පීඩාවකට ලක්වීමට සිදුවූයේ හදිසි විදුලිය බිඳවැටීමත් සමඟිනි. මෙයට හේතු ලෙස ඇතැම් පාර්ශ්ව විසින් නිදහසට කරුණු ගෝනි ගණන් කීවද ජනතාවට සිදුවූයේ මෙම විදුලි අර්බුදය නිසා අසීමිත ලෙස පීඩාවට පත්වීමටය.
විශේෂයෙන් තෙල් අර්බුදය හමුවේ විදුලි කප්පාදුව ඉතාම රහසිගතව සිදුකරගෙන ගියද අවසානයේ ඒ ගැන දීපව්‍යාප්ත මට්ටමින් පැමිණිලි පිට පැමිණිලි ලැබෙන්නට වූ නිසා විදුලිබල මණ්ඩලයට තමන්ගේගේ අර්බුදය පිළිගනිමින් විදුලි කප්පාදුවකට යාමට සිදුවිය. ආරම්භයේදී පැයකුත්, ඉන් පසුව පැයයි විනාඩි 45කුත්, ඊටත් පසුව පැය දෙකකුත් වශයෙන් විදුලි ඉල්ලුම වැඩියෙන්ම පවතින රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුව සිදු විය.
කෙසේ වෙතත් මෙම අර්බුදයට හේතු කාරණා කිහිපයක් බලපෑවේය. පළමුවැන්න නම් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි ටර්බයින් යන්ත්‍රය අලුත්වැඩියාව ආරම්භ කිරීමය. අදියර තුනකින් ක්‍රියාත්මක වන මෙගා වොට් 900ක විදුලිය ජනනය කරන එම බලාගාරයෙන් මෙගා වොට් 300ක් අහිමි විය. මේ අතර තෙල් නොලැබීම නිසා ජාතික විදුලිබල පද්ධතියට විශාල දායකත්වයක් ලබාදෙන කැලණිතිස්ස විදුලි බලාගාරයද ඇණහිටියේය. ඒ නිසා මෙගා වොට් 240ක ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි විය. ෙම් ෙහ්තුෙවන් දෛනිකව අවශ්‍ය කරන මෙගා වොට් 2700ක විදුලි ඉල්ලුමට මෙගා වොට් 540ක් පමණ අහිමිවීම නිසා විදුලි අර්බුදය දෙගුණ විය.
දැවි තෙල් හරහා ක්‍රියාත්මක වන බලාගාර තුනක් පවතින අතර ඒ බලාගාර තුනෙන් මෙගා වොට් 180ක් පමණ උත්පාදනය කරයි. එහෙත් පුදුමය නම් එම බලාගාර සඳහා ද දැවි තෙල් පැවතියේ පසුගිය 22දා තෙක් පමණක් වීමය. මේ හේතුවෙන් විදුලිබල පද්ධතියට උපරිම දායකත්වයක් ලැබුණේ ජලවිදුලි බලාගාර හරහාය. එය ඉතාම බරපතළ තත්ත්වයක් විය.
පෙබරවාරි සහ මාර්තු යනු වැසි රහිත කාලයකි. සාමාන්‍යයෙන් ජලවිදුලි බලාගාර තුළ ජලය මේ කාලයේ රඳවා තබාගන්නා අතර නියං සමයේදී දැඩි කළමනාකාරීත්වයකින් යුතුව විදුලිය සහ පානීය ජලය ලබා දෙයි. එහෙත් තෙල් අර්බුදය නිසා අද වන විට සියලු ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වෙමින් ඇත. මේ අනුව විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ ලබන මාර්තු අග වන විට විශාල විදුලි අර්බුදයක් ඇතිවන බවය.
කෙසේ වෙතත් පසුගියදා නැවත විදුලිය කප්පාදු කිරීමට තීරණය කළද ජනාධිපතිවරයා එය නතර කළේය. ඒ වන විට වරායේ නැංගුරම්ලා තිබූ තෙල් නැව් දෙකක් මිලදී ගැනීමට ඩොලර් මුදාහරිමිනි. මේ නිසා බලාගාරවල වූ තෙල් අර්බුදය යම් පමණකට විසඳුණු අතර එය 100%ක්ම සාර්ථක වූ බවක් කිසිවෙක් සහතික නොකරති. ඩොලර් අර්බුදය හේතුවෙනි.
කෙසේ වෙතත් මෙම විදුලි අර්බුදය තවම අවසන් වී නැත. නැවතත් තෙල් නොමැති වුවහොත් ජල බලාගාර වෙත අවධානය යොමුකිරීමට සිදුවනු ඇත. එසේ වුවහොත් පෙබරවාරි මාර්තු වනවිට අර්බුදය දිග්ගැසීමට ඉඩ තිබේ. එසේ නම් මාර්තු අග යනු ඉතාම තීරණාත්මක කාලයකි. එවිට විදුලිය විසන්ධි කරන වේලාව නොව විදුලිය ලබාදෙන වේලාව ජනතාවට දැනුම් දෙන්නට සිදුවනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති.
ගයාන් ගාල්ලගේ