2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

කොළඹ - මහනුවර වෙනස් කරන අලුත් ගුවන් පාලම්

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 137

පවතින මාර්ග තදබදයට සාර්ථක පිළියමක් ලෙසින් ගුවන් පාලම් ත්‍රිත්වයක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇත. මෙම ගුවන් පාලම් ඉදිකිරීම කොළඹ, කොහුවල හා මහනුවර ගැටඹේ මූලික කර ගනිමින් ඉදිවන අතර මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාවට නංවා ඇත. මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොහුවල මංසන්ධියේ ගුවන් පාලම, උත්තරානන්ද මාවත හා විනිසුරු අක්බාර් මාවතේ දුම්රිය මාර්ගය හරහා ඉදිකෙරෙන ගුවන් පාලම, බාලදක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත සම්බන්ධ කෙරෙන ගුවන් පාලම හා මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ මංසන්ධියේ ගුවන් පාලම අලුතින් ඉදිවෙමින් පවතී.

කොහුවල, කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මංසන්ධියක් වන අතර එය පිහිටා තිබෙන කොළඹ - හොරණ මාර්ගය දිනකට වාහන අධික සංඛ්‍යාවක් ගමන් කරන මාර්ගයක් ලෙස හැඳින්විය හැකිය.

කොහුවල මංසන්ධිය හරහා නුගේගොඩ සිට කොහුවල දක්වා රථවාහන 39,000කට අධික සංඛ්‍යාවක්, කළුබෝවිල සිට රථවාහන 25,000ක්, කොළඹ දෙසට 53,000ක්, පිළියන්දල දෙසට රථවාහන 43,000ක් වැනි සංඛ්‍යාවක් දිනකට ගමන් ගන්නා බවද, විශේෂයෙන් කාර්යබහුල වේලාවන්හිදී පැයකට රථවාහන 64,000කට වැඩි ප්‍රමාණයක් ගමන් ගන්නා බවද වාර්තා වී තිබේ. එමෙන්ම දිනකට කොහුවල මංසන්ධිය හරහා පදිකයෝ 11,000කට වැඩි සංඛ්‍යාවක් ගමන් කරති.

කොහුවල ගුවන් පාලම ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 2,166,00ක් ලෙස ඇස්තමේන්තු ගතකොට ඇත. පාලමේ දිග මීටර් 267කි. පළල මීටර් 9.4 (මංතීරු 2කි) දෙපසට දිවෙන සේවා මාර්ග හතරකි. මේ අනුව මෙම ගුවන් පාලම සඳහා මුළු පිරිවැය හංගේරියානු රජය මගින් දරණ අතර මාස 22 ඇතුළත මෙම ඉදිකිරීම නිම කිරීමට නියමිතය.

මහාමාර්ගවල වාහන තදබදය අවම කිරීමේ සංකල්පය යටතේ ඉදිකරනු ලබන කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් ත්‍රිත්වය විනිසුරු අක්බාර් මාවත, ශ්‍රී උත්තරානන්ද මාවත සහ බාලදක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත යා කරමින් ඉදිවන ගුවන් පාලමද ඇතුළු ගුවන් පාලම්වලින් සමන්විතය.

කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ එක් ගුවන් පාලමක්ද, උත්තරානන්ද මාවතේ ගුවන් පාලම් දෙක එකිනෙකට සම්බන්ධ වන ගුවන් පාලම් පළමු අදියර යටතේ ඉදිවේ. මෙම ගුවන් පාලම් දෙකින් එකක් වන විනිසුරු අක්බාර් මාවතේ ඉදිවෙන ගුවන් පාලම දිගින් මීටර් 207ක් වන අතර පළල මීටර් 8.4කි. උත්තරානන්ද මාවතේ ඉදිකරනු ලබන ගුවන් පාලම දිගින් මීටර් 396කි. පළල මීටර් 10.4කි. මෙම ගුවන් පාලම් දෙක එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා ඉදිකිරීමට නියමිත ගුවන් පාලම දිගින් මීටර් 310ක් වන අතර පළල මීටර් 9.6කි. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල මිලියන 5270කි. 

මහනුවර මංසන්ධියට ඍජු සම්බන්ධතාවක් ලබාදෙන මාර්ග ජාලයේ වැදගත්ම මාර්ග ජාල පද්ධතිය වන ගැටඹේ මංසන්ධිය මහනුවර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්‍රික්ක එකිනෙකට සම්බන්ධ වන ප්‍රධාන මංසන්ධිය වේ. එමෙන්ම ගැටඹේ මංසන්ධිය හරහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ගන්නෝරුව කෘෂිකර්ම මධ්‍යස්ථානය, පේරාදෙණිය උද්භිද උද්‍යානය, පේරාදෙණිය මහ රෝහල, මහනුවර මහ රෝහල ආදී ස්ථාන වෙත යෑමේ හැකියාව පවතී.

සාමාන්‍ය වැඩ කරන දිනයන්හි මෙම මංසන්ධිය හරහා රථවාහන 49,363ක් පමණ ධාවනය වේ. විලියම් ගොපල්ලව මාවතේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දිනකට පැය 12ක කාලයක් තුළ දුම්රිය 31 වතාවක් ගමන් කරන අතර ඒ සඳහා දිනකට මිනිත්තු 61ක් පමණ දුම්රිය ගේට්ටු වසා තැබීමට සිදුව ඇත. එම නිසා දිනකට වාහන නිසා සිදුවන ගමනාගමන ප්‍රමාදය පැය 1 විනාඩි 35ක් වන අතර දිනකට මගී පැය 225ක් අපතේ යන බවට ගණන් බලා තිබේ.

මේ අනුව මෙම තදබදය අවම කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ගැටඹේ මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ගුවන් පාලමක් සැලසුම් කර ඇත. ගුවන් පාලමේ ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 7,734,00කි. යෝජිත ගුවන් පාලමේ දිග මීටර් 374කි. පළල මීටර් 12.9කි. (මංතීරු 3යි). සාමාන්‍ය පළල මීටර් 9.4කි. (මංතීරු 02කි). ශාඛා ගුවන් පාලමේ දිග මීටර් 172ක් වන අතර පළල මීටර් 172කි. දෙපයට දිවෙන සේවා මාර්ග 02කි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05