2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

දුවයි පුතයි මරාගෙන මැරුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික තාත්තා

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 129

ජීවිතය යනු නැගීම්, වැටීම්, දුක, සතුට යන සියල්ල ඔස්සේ ගලා යන්නකි. මේ සියල්ල මැදිහත් සිතින් දරා ගනිමින් කෙසේ හෝ ජිවිතය ගෙන යාමට අපට සිදු වේ. එහෙත් තමන් මුහුණ දෙන ගැටලුවලට මුහුණදීමට නොහැකිව ජීවිතය අවසන් කරගන්නා පුද්ගලයන් පිළිබඳවද අපට අසන්නට ලැබෙයි. 

ජීවිතයට එල්ල වූ දැඩි කම්පනය හා ඉන් ඇතිවූ ආතතිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු තම දරු දෙදෙනා ඝාතනය කොට තමන්ද දිවි නසාගෙන ඇතැයි යන කනගාටුදායක පුවතක් පසුගියදා  එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ඕස්ට්‍රේලියානු පොලිස් ප්‍රකාශවලට අනුව මෙලෙස දරු දෙදෙනා ඝාතනය කොට සියදිවි නසාගෙන ඇත්තේ ගිනිකොනදිග පර්ත් නගරයේ එසිංටන් වීදියේ පදිංචිව සිටි 40 හැවිරිදි ඉන්දික ගුණතිලක නමැත්තෙකි. ඔහු නිවෙස තුළදී තම සය හැවිරිදි පුත්‍රයා වන කොහෙන් සහ සිව් හැවිරිදි දියණිය ලිලී ඝාතනය කොට ගරාජය තුළදී සියදිවි හානිකරගෙන තිබේ. ඉන්දික මෙලෙස තම දරු දෙදෙනා ඝාතනය කර තම දිවියද අවසන් කර ගෙන තිබුණේ පවුල් ආරවුලක් හේතුවෙනි. ඔහුගේ බිරිය ඔහු හැරයෑම නිසා දැඩි කලකිරීමට පත් ඔහු එලෙස දිවි තොර කරගෙන ඇති බවට වාර්තා විය.

මින් වසර කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඉන්දික ගායකයකු හා වාදකයකු ලෙසද කටයුතු කර තිබිණි. ඔහු. ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් සමන්විත සමාජ ක්‍රියාකාරීන්ගේ සංගමයක් වූ බටහිර ඕස්ට්‍රේලියානු රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ  ආරම්භක කමිටු සාමාජිකයෙක්ද විය. පසුව නගර සැලසුම් ශිල්පියකු ලෙස රුකියාව කළ ඔහු 2014 දී IMG ටවුන් ප්ලෑනිං ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සොලූෂන්ස් නමින් ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය.

ඉන්දික 2013දී කලින් විවාහයෙන් දික්කසාද වූ බව ඔහුගේ විඩියෝ පටයකින් අනාවරණය වේ. තම ප්‍රථම විවාහය කඩා වැටීමෙන් දැඩි පීඩනකාරී තත්ත්වයකට පත් වූ ඔහු ටික කලක් දැඩි මානසික පීඩාවකින් සිටි බවත් පසුව කෙසේ හෝ ඉන් මිදුණු බවත් ඒ කාලයේ එක්වරක් සිය දිවි නසාගැනීමට පවා සිත් වූ බවත් එම වීඩියෝවේ සඳහන් කර තිබේ. එහි ඔහු ඉල්ලා සිටින්නේ තමන්ට මානසික ගැටලුවක් තිබේ නම් එයට උපදෙස් ලබා ගැනීමට ලැජ්ජා නොවිය යුතු බවයි.

පළමු විවාහය අවසන් වූ පසු ඕස්ට්‍රේලියානු යුවතියක වූ ක්‍රිස්ටීන් හා ප්‍රේමයෙන් බැඳුණු ඔහු 2016 දී ඇය හා විවාහ වූ අතර කලකට පසු දරු දෙදෙනකුගේ මවුපියෝ බවට පත්වූහ. ඇය නීති ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවක බව පැවසේ. කාලය ගෙවෙද්දී දෙදෙනා අතර සුළු සුළු අමනාපකම් නෝක්කාඩු ඇති වුවද අපේ ගැමි වහරින් කියන පරිදි ඒවා බත් හැලිය ඉදෙන තෙක් පමණක් පැවතිණි. එහෙත් 2021 වසරේ අග භාගය වන විට නොහොඳ නෝක්කාඩු දුරදිග ගිය අතර එක් අවස්ථාවක දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් මත බිරිය ඔහු හැර දමා තම මවගේ නිවෙසට ගොස් තිබිණි. 

බිරියගේ මවද නීති ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවක වූ බවත් ඇය ඔවුන්ගේ පවුල් ප්‍රශ්නවලට අත පෙවූ බවත් වාර්තා වේ.  තම දියණිය ආසියාතිකයකු හා විවාහ වීම සම්බන්ධයෙන් ඇය තුළ නොරිස්සුමක් පැවැති බවටත් ඇයට අවශ්‍ය වූයේ ඇය සුදු ජාතිකයකුට විවාහ කර දීමට බවත් ඇතැම් ප්‍රකාශවලින් අනාවරණ වේ. බිරිය සහ මව ඔහුට එරෙහිව නීති මගින් පියවර ගැනීමට කටයුතු කර තිබූ අතර ඔවුන් කියා තිබුණේ ඉන්දික මානසික රෝගයකින් පෙළෙන බැවින් තවදුරටත් ඔහු හා ජීවත්වීම අසීරු බවටය. මෙය ඉන්දික දැඩිව කම්පනයට පත් කළ සිදුවීමක් වූ බව පැවසේ. ඔහුගේ මිතුරන් පවසන්නේ ඉන්දික තම දරුවන්ට සහ බිරියට දැඩිව ආදරය කළ පුද්ගලයකු බවටය. කෙසේ වුවද ඒ වනවිට දෙදෙනා වෙන්ව ජීවත් වූ අතර දරුවන් ජීවත් වූයේ ඉන්දික සමඟය.

ඔහු තම ෆේස්බුක් ගිණුමේ විවිධ ආකාරයේ පුවත් පළ කළ අතර ඒ සියල්ලෙන්ම පැවසුණේ ඔහු දැඩි පීඩනයකින් පසුවන බවටය. 2021 නත්තල් දිනට දින කිහිපයකට පෙර, ඉන්දික තම ඔහුගේ ෆේස්බුක් ගිණුමේ විනාඩි 18 ක  වීඩියෝවක් පළ කර තිබිණි. එහි ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙන බවත්, ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට මානසික වෛද්‍යවරයකු හමු වූ බවත් තමාට ඖෂධ කිහිපයක් නිර්දේශ කර ඇති බවත් කියා තිබිණි..  

එම වීඩියෝවේ ගැඹුරු අඳුරු කුහරයක් පිළිබඳව සඳහන් කර ඇති අතර මිනිසුන් තමන් තුළ තමන් සොයා ගැනීමට උත්සාහ කරන බවත් සියදිවි නසා ගන්නා පුද්ගලයන් සැමවිටම තම ජීවිතය අවසන් කිරීමට අදහස් නොකරන අතර ඔවුන්ට අවසන් කිරීමට අවශ්‍ය වන්නේ දරාගත නොහැකි වේදනාව බවත් ඉන් ගැලවීමක් නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ. 

මානසික අවපීඩනය විශාලතම ඝාතකයන්ගෙන් එකකි. මම එය හොඳින් දනිමි. අපි හැමෝම වැරදි කරනවා. ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා සහාය ලබා ගන්නැයි* ඔහු ඉල්ලා තිබිණි.

මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ සහකාර පොලිස් කොමසාරිස් ඇලන් ඇඩම්ස් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණවලට පිටස්තර කිසිවකු සම්බන්ධ නොමැති බව මූලික පරීක්ෂණ මගින් පොලිසිය අනාවරණ කරගෙන ඇති බවයි. ඉන්දිකගේ සහ දරුවන්ගේ සිරුරු සොයා ගැනීමට දින දෙකකට පෙර, ඔවුන් තිදෙනා මුහුදු වෙරළක අත් අල්ලාගෙන හිරු බසින අයුරු බලා සිටින ඡායාරූපයක් ඔහු තම ෆේස්බුක් පිටුවේ පළකර තිබිණි. “දරුවන් අනාගතයට ගෙන යන තාත්තා! ලස්සනයි,” යනුවෙන් එම ඡායාරෑපයට ඔහුගේ මිතුරකු කොමෙන්ටුවක් දමා තිබිණි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය දැනුම්වත් වූයේ දරුවන්ගේ මවගෙන් ලද දුරකථන ඇමතුමකිනි. ඉන්දික නාසිසිස්ටික් නමැති මානසික ව්‍යාධියකින් පෙළෙන බැවින් දරුවන්ගේ භාරකාරත්වය ඔහුගෙන් තමන්ට ලබාදෙන ලෙස බිරිය අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර පවුල් අධිකරණයක් මගින් ඇයට ඔහුගෙන් වෙන් වීමටත්, දරුවන්ගේ අයිතිය බිරියට ලබා දීමටත්, දරුවන්ගේ නඩත්තුව ගෙවන ලෙසටත් නියෝග කර තිබූ බවට වාර්තා වේ. එදින බිරිය තම දරුවන් රුගෙන යාමට සැලසුම් කර තිබූ අතර දරුවන් රුගෙන එන බවට ඉන්දික ඇයට පවසා තිබිණි. එහෙත් ඔවුන් එනවා යැයි පැවසූ වෙලාව ඉක්මගොස් තිබුණද ඔවුන් නොපැමිණි හෙයින් ඇය නිවෙසට ගොස් බලද්දී මෙම ඛේදවාචකය දැක තිබේ.

“සිදු වූ දේ වටහා ගැනීම අතිශයින් දුෂ්කරයි.. මෙයින් මවට ඇති වූ කම්පනය අපට සිතාගත හැකියි. අපරාධ සිදුවූ ස්ථානය කෙතරම් බිහිසුණුද යත්, එම ස්ථානයට පළමුවෙන්ම ගිය අය දැඩි කම්පනයකට පත් වුණා. යැයි සහකාර කොමසාරිස් ඇඩම්ස් පවසා තිබේ.

මෙම ඛේදවාචකයෙන් ඔවුන් ජීවත් වූ හන්ටිංඩේල් ප්‍රදේශයේ ප්‍රජාව කම්පාවට පත්ව සිටිති. අසල්වාසීන් පවසන්නේ එම පවුල අසල්වැසියන් සමඟ වැඩි ඇසුරක් නොතිබූ  අතර විවිධ අවස්ථාවන්හි එම නිවෙසින් වාද විවාද ඇසුණු බවයි.

පසුගිය සඳුදා මියගිය පිරිමි දරුවා රිවර්ටන් ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසර ආරම්භ කිරීමට නියමිතව තිබුණි. අසල්වැසියෙක් පැවසුවේ “ඔහු ඉතා සතුටු සිතින් සිටින, උද්‍යෝගිමත් කුඩා පිරිමි දරුවකු* වූ බවයි. බටහිර ඕස්ට්‍රේලියානු අගමැති මාර්ක් මැක්ගෝවන් කොහාන් සහ ලිලීගේ මවට සහ පවුලේ අයට තම ශෝකය ප්‍රකාශ කළේය.

එය අතිශයින් කම්පන සහගත තත්ත්වයක් වන අතර, සිදු වූ දෙයින් අප සැවොම දැඩි කම්පනයට පත්වන බව මම දනිමි යි ඔහු පවසා තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05