අද රට විශාල විනිමය අර්බුදයක කිඳාබැස ඇත. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා රජය විවිධ තහංචි පනවමින් ආනයන අධෛර්යමත් කිරීම 2020 වසරේ සිට සිදු කළේය. මෙම නියෝග 2021 වසර වනවිට වඩාත් තීව්‍ර කර ඇත. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රුසක් ආනයනය කිරීමට ඍජුවම තහංචි පනවා ඇති අතර බොහෝ ආනයන සීමා කිරීමට කටයුතු කර තිබේ. එහෙත් එම පරමාර්ථ ඉටුවූවාද යන්න පුළුල්ව සාකච්ඡා කළ යුතු තැනට අප අද පත් වී තිබේ.
රට තුළට ගලා එන විදේශ ඩොලර් ආදායම අඩුවීමට කොවිඩ්-19 වසංගතය හේතු වූ බව බලධරයන් පැවසුවද එම තත්ත්වය කොවිඩ්-19 වසංගතයටම ලඝු කොට සැලකිය හැකිද යන්න විවාදාත්මකය. සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා අපට ප්‍රධානතම ඩොලර් උල්පතක් සිඳී ගියේය. මේ වනවිට සංචාරක ව්‍යාපාරය කෙමෙන් පණගසාගෙන එන නමුදු 2019, 2020 වසරවල සිදුවූ හානිය ප්‍රතිපූර්ණය කිරීම උගහට බව පැවසිය යුතුය. එසේම ශ්‍රී ලංකාවට විදේශ ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ අඩු වූ අතර ශ්‍රමිකයන් බොහෝ දෙනකුට රුකියාවලින් ඉවත් වී පණ බේරාගෙන සිය රටට ඒමට සිදුවිය. අපනයනය දුර්වල වෙමින් පැවති සමයක ආනයන වැය පාලනය කරගත නොහැකි අයුරු ඉහළ ගියේය.
ඒ අතර රටේ තත්ත්වය ගැන සලකා රසායනික පොහොර තහනම් කර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අත්හදා බැලීම් කිරීමට පෙළඹීම නිසා රටේ වී නිෂ්පාදනය එකට එකක් පහළ වැටුණු අතර ජනතාව කුසගින්නේ නොතැබීම සඳහා විශාල වශයෙන් සහල් ආනයනය කිරීමට සිදුවීමෙන් අපේ ඩොලර් නිරපරාදේ නාස්ති වී ගියේය. කොරෝනා වසංගතය නිසා එන්නත්, ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ වෙනදාට වඩා ආනයනය කළ අතර, ඒ සඳහා ද අනපේක්ෂිත ලෙස වැය වූ ඩොලර් ප්‍රමාණය සුළු පටු නොවේ. අපනයනය පහළ බැස තිබූ අවස්ථාවක මෙලෙස ආනයන වියදම් ඉහළ යාම දරාගත නොහැකි වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඩොලර් හිඟය නිසා රටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ආදිය ගෙන්වා ගැනීමට නොහැකිව ඇත. එසේ වරාය දක්වා පැමිණියද එතැනින් එහාට රට තුළට රුගෙන ඒමට නොහැකිව ඇත්තේ ණයවර ලිපි නිකුත් කර ගැනීමට නොහැකිවීම නිසාය. ණයවර ලිපි නිකුත් කිරීමට බැංකුවලට ඩොලර් නොමැතිවීම නිසා සියල්ල වරායේ සිරවී තිබේ. ණයවර ලිපි නිකුත් කළද ඩොලර් නිකුත් නොකිරීම නිසා අපේ වාණිජ බැංකු පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය බිඳවැටී ඇත.
සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිලුක්ෂ නන්දකුමාර
රජය කියන්නේ භාණ්ඩ ණයට ගෙන්වන්න කියලයි. ඒත් ආපුවාම ඒවා ගොඩබාන්න ණයවර ලිපි දෙන්නේ නැහැ. ඩොලර් නැහැ කියලා කියනවා. මේ වනවිට වරායේ රඳවා තිබෙන කන්ටේනර්වලට දිනකට රුපියල් 7000 – 8000 ගණනේ ගුදම් ගාස්තු ගෙවන්න වෙලා තියෙනවා. දින 21ක් තුළ නිදහස් කර නොගත්තොත් වෙන්දේසි කරන බවට නිවේදනය කරලා තියෙනවා. දැන් අපි හැම පැත්තෙන්ම කොටුවෙලයි තියෙන්නේ.* යනුවෙනි. මේ සඳහා ඩොලර් මුදාහරින බවට මහ බැංකුව පසුගිය 18දා පැවසූ නමුත් මෙතෙක් කිසිවක් සිදුව නැති බව ඔහු කියයි.
කෙසේ වුවද මෙම ආනයන තහනම නිසා රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොලැබීමෙන් විශාල හිරිහැරයකට ලක්වීමට සිදුවිය. ද්‍රව්‍ය හිඟවීම නිසා ඒවායේ මිල ගණන් ඉහළ ගිය අතර ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඔවුන්ට කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකට මුහුණදීමට සිදුවිය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කූට වෙළෙන්ඳෝ අනවශ්‍ය ලෙස හිඟයක් ඇතිකර මිල ඉහළ දමා ස්වකීය මඩිය පුරවා ගැනීමට උත්සාහ කළහ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වරායේ හිරවෙද්දී අතමැදියෝ විවිධ ජාවාරම්වල නිරත වූහ. ආනයනය අකර්මණ්‍ය කළද දේශපාලන බලවතුන්ගේ අනුග්‍රහයෙන් ඇතැම් ආත්මාර්ථකාමීන්ට විවිධ ද්‍රව්‍ය හොර පාරෙන් රට තුළට ගෙන ඒමට අවස්ථාව ලැබිණ. අද වනවිට අපි එම තත්ත්වයේ උග්‍ර අර්බුදයකට මුහුණපා සිටිමු. ඒ සඳහා බලධරයන් කරන්න යන්නේ කුමක්ද යන්න ගැන සිතා ගැනීමටවත් නොහැකිය.
මේ තත්ත්වය මත රටේ ආනයන වියදම අඩුකිරීම කාලීන අවශ්‍යතාවක් විය. රජය ඒ සඳහා ගත් උත්සාහය සිතූ තරම් ප්‍රතිඵලදායී නොවූ බව පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රේගුව නිකුත් කළ සංඛ්‍යාලේඛන අනුව පෙනේ. කොතරම් ආනයන තහනම් කළද රටේ ජනතාවට අත්‍යවශ්‍ය නොවන ආහාර සහ වෙනත් ද්‍රව්‍ය සඳහා සියලු රෙගුලාසි යටින් රිංගා ගොස් විශාල ඩොලර් ප්‍රමාණයක් වැයකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
පසුගිය වසරේ චීස්, බටර්, එළවළු, පළතුරු, අයිස්ක්‍රීම්, චොක්ලට්, සෝස් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් කෝටි 600ක් පමණ වැයකර ඇති බව රජයේ සංඛ්‍යාලේඛන අනුව පෙනේ. පාරිභෝගික භාණ්ඩ සඳහා ආනයන වියදම 2020 වසර හා සැසඳීමේදී 2021 වසරට වියදම 3401.66 සිට 3848.71 දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 447.05කින් ඉහළ ගොස් ඇත. ඒ අතරින් එළවළු ආනයන වියදම ඩොලර් මිලියන 352.86 සිට 384.27 දක්වා 31.41කින් ඉහළ ගොස් ඇති අතර සීනි සහ රසකැවිලි සඳහා පමණක් වියදම ඩොලර් මිලියන 11.71කින් ඉහළ නැග තිබේ. මේ සඳහා 2020 දී වැයකර තිබුණේ මිලියන 277.13ක් නමුදු 2021 දී 288.84ක් වියදම් කර තිබේ. අපේ රටේ කැලෑවල ඕනෑතරම් මී වද තිබියදී 2021 වසරට අමෙරිකානු ඩොලර් මිලියන 0.85ක මී පැණි ආනයනය කර ඇත. එය පසුගිය වසරට වඩා මිලියන 0.11ක වැඩිවීමකි.
ධාන්‍ය හා ඇඹරුම් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වියදම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර 2020 දී ඩොලර් 33.55ක් වූ වැය 2021 දී 97.35ක් දක්වා ඩොලර් 63.80ක වැඩිවීමක් බව සංඛ්‍යාලේඛන අනුව පෙනේ. චීස්, බටර් ආදී කිරි නිෂ්පාදන සඳහා ද ඩොලර් මිලියන 17ක් වැයකර ඇත. තෙල් සහ මේද වර්ග ආනයනය සඳහා 2021 දී ඩොලර් 106.86ක් වූ ආනයන වියදම 184.07 දක්වා ඩොලර් 77.21කින් ඉහළ ගොස් තිබීමද සුවිශේෂ වේ. රටේ එළවළු වගා කිරීමට පහසුකම් තිබියදී එළවළු වර්ග පිටරටින් ගෙන්වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 384.27ක් වැයකර තිබීමද සුවිශේෂ වෙයි. මෙය 2020 වසරට වඩා මිලියන 31.41ක වැඩිවීමක් වෙයි. මිදි, දොඩම්, පෙයාර්ස් ආදී පළතුරු ගෙන්වීමට 2020 වසරේ ඩොලර් මිලියන 58.14ක් වැය කළද 2021 වනවිට රජය කොතරම් සම්බාධක පනවා තිබුණද මිලියන 67.56ක් වියදම් කර ඇත.
අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී යැයි කියන ශීතකරණ හා රෑපවාහිනී යන්ත්‍ර ගෙන්වීම සඳහා ද 2020ට වඩා වැඩි මුදලක් වැයකර ඇති බව මහ බැංකු සංඛ්‍යාලේඛන කියයි. ශීතකරණ සඳහා මිලියන 27.28ක් හා රෑපවාහිනී සඳහා මිලියන 103.3ක් වැයකර ඇත. මෙය පිළිවෙළින් මිලියන 7.44ක සහ 39.92ක ඉහළ යාමකි. විශාල වියදමක් දරා ඇත්තේ ජංගම දුරකතන ආනයනය සඳහාය. 2021 වසරේදී මේ සඳහා ආනයන බදු ඉහළ දැමුවද එයින් නිසි ප්‍රතිඵලයක් නොමැති බව පෙනී යයි. 2020 දී මේ සඳහා වැයකර තිබුණේ ඩොලර් මිලියන 266.96ක් වුවද 2021 වනවිට මිලියන 380.73ක දුරකතන ආනයනය කර තිබේ. මෙහි වෙනස මිලියන 113.77ක් වේ.
රෑපලාවණ්‍ය උපකරණ, සබන් ආදී සේදුම්කාරක සඳහා 2020 දී මිලියන 52.57ක් වූ වියදම් 2021 දී මිලියන 69.66ට ඉහළ ගොස් තිබේ. යකඩ හා වානේ ආශ්‍රිත උපාංග සඳහා ද ඩොලර් මිලියන 1320.1ක් තරම් වූ විශාල මුදලක් 2021 දී වැයකර ඇති අතර 2020 දී ඒ සඳහා වැය කළ මිලට වඩා මිලියන 489.4ක් වියදම් කර ඇත. 2021 වසරේදී සමස්ත ගොඩනැගිලි හා මූල ලෝහ ද්‍රව්‍යවලට ඩොලර් මිලියන 2115.3ක් වැයකර ඇති අතර 2020 දී වැය කළ මිලියන 1495.9ට සාපේක්ෂව මිලියන 619.4ක් වැඩිපුර වැය වී ඇත.
මෙම සංඛ්‍යාලේඛන පිළිබඳ පරීක්ෂා කරන විට පෙනී යන්නේ මෙරටට අවශ්‍ය තරම් ප්‍රමාණවත් සහ අත්‍යවශ්‍ය නොවන දේවල් සඳහා ද අත දිගහැර වියදම් කළ බවය.
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආර්.අයි.ආර්. ප්‍රසන්න පවසන්නේ මෙලෙස වැඩි වශයෙන් ආහාර ද්‍රව්‍ය සහ සෙසු දේවල් ආනයනය කිරීමට සහ ඒවා පාරිභෝජනය කිරීමට ජනතාව පෙළඹුණු හේතු කිහිපයක් දැක්විය හැකි බවය.
මෙහි ප්‍රධාන හේතුව වන්නේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳවැටී තිබීමයි. ඔවුන් කල්පනා කරනවා ඉදිරියේදී මේවායේ මිල තවත් වැඩිවේවි කියලා. එයට හේතුව අද පවතින විදේශ සංචිතවල කඩා වැටීම නිසා ඉදිරියේදී ආනයනය තවදුරටත් සීමා වේ යැයි ඔවුන් සිතීමයි. රුපියල අවප්‍රමාණ වීම ඉහළ යාම නිසා ඉදිරියේදී මිල වැඩිවනු ඇතැයි ඔවුන් උපකල්පනය කරනවා. ඒ නිසා වැඩියෙන් මිලට ගන්නට පාරිභෝගිකයන් පෙළඹෙනවා. එසේම ව්‍යාපාරිකයන්ද වැඩියෙන් ආනයනය කර ගබඩා කර තබාගන්න උත්සාහ කරනවා.
එසේම පසුගිය වසරවල කොවිඩ් නිසා රටේ ආර්ථිකය බිඳවැටී තිබුණා. එය යථා තත්ත්වයට පත්වන විට ලැබෙන ප්‍රතිඵලයක් තමා යෙදවුම් මත ඇතිවන පීඩනය අධික වීම. යථා තත්ත්වයට පත්වීම අවිනිශ්චිත යැයි සිතන අය ණය තුරහක් වී හෝ අවශ්‍ය දේවල් මිලට ගන්න පෙළඹෙනවා. මෙහිදී සැපයුම් අඩුව තිබියදී වැඩියෙන් මිලට ගැනීම නිසා වැඩි මිලට ගන්නවා
තවත් ආනයන වැඩිවීමට හේතු වූයේ රජය විසින්ම නිර්මාණය කරනු ලැබූ ගැටලුයි. මේ දිනවල පවතින රසායනික පොහොර තහනම් කිරීමෙන් පසු ඇතිව තිබෙන තත්ත්වයයි. ආහාර නිෂ්පාදනය පහළ බැසීම නිසා සහල් ආදිය විශාල ලෙස ආනයනය කරන්නට සිදුවීමෙන් මුදල් වැය වුණා. දැනට පවතින තත්ත්වය මත මේ වසරේදී සහල් ආනයනය සලකා බැලීමේදී වැයවන මුදල දෙගුණ තෙගුණ වෙනවා ඇති. එසේම කාබනික පොහොර අත්හදා බැලීමට යාම නිසා විශාල ලෙස කාබනික ආනයනය කිරීමට සිදු වුණා. එය ද ආනයන වැය ඉහළ යාමට බලපා ඇති.
ආණ්ඩුව කළ බරපතළ වරදක් තමා ආනයන සීමා කිරීමට විවිධ නීති පැනවුවද ඒවා අධීක්ෂණය කළේ නැතිවීම. ඒ අනුව විවිධ පුද්ගලයන් තමාට අවශ්‍ය පරිදි නිදහසේ ආනයනය කළා. එයින් සිදුවූයේ අනවශ්‍ය දේවල් පටු අවශ්‍යතා මත රට තුළට ඒමයි. ආණ්ඩුව නිසි ආනයන ආදේශන ප්‍රතිපත්තියක සිටියේ නැහැ. ඒ නිසා රට තුළ දේශීය කර්මාන්ත දියුණු නොවූ අතර කළමනාකරණය නොකිරීම ආනයන දේශීය කර්මාන්තවලටද අහිතකර වුණා.
අප දැනට ආනයනය කරන දේවල්වලින් 80෴ක් පමණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අන්තර් භාණ්ඩයි. දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය, නිමිඇඳුම් කර්මාන්තයට අවශ්‍ය දේවලට කොතරම් සීමා කිරීම් තිබුණත් අවසර දෙන්න රජයට සිදුවූවා. අපේ දේශීය නිෂ්පාදනවල මිල ආනයනය කරන ඒවාට වඩා වැඩියි. එසේම ප්‍රමිතියෙන්ද ඒවා බාලයි. ඒ නිසා පාරිභෝගිකයන් වැඩිපුරම ආනයනවලට කෑදර වුණා. උදාහරණයක් ලෙස පැවසුවොත් රුපියල් 400ට ආනයනය කළ හැකි ටයිල් කැටය රුපියල් 1500කට දේශීයව නිෂ්පාදනය කිරීමට සිදුවෙලා තියෙනවා.
රටේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය කළ විට ජනතාව අතට වැඩියෙන් මුදල් ලැබෙනවා. ඒ මුදල්වලින් පාරිභෝගිකයා පෙළඹෙන්නේ ආනයනික දේ මිලට ගැනීමටයි. රුපියල් 5000 බැගින් වැටුප වැඩිවීමේදීද ඒ හා සමාන ප්‍රතිඵලයක් ලැබෙනවා. ජනතාව මේ වැඩියෙන් ලැබෙන මුදල්වලින් ආනයනික දේ තමා වැඩියෙන් ඉල්ලන්නේ. ඒ නිසා ආනයනය වැඩි වෙනවා. ව්‍යාපාරිකයන් වැඩිපුර ඒ දේවල් ගෙනෙන්නට පෙළඹෙනවා. එයට ආනයන වැඩිවීමට හේතුවක්. මෙය නවත්වන්න නම් ආයාත ආදේශන ප්‍රතිපත්තියකට යා යුතුයි.
යසවර්ධන රුද්රිගූ