2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

පමා නොකළ යුතු අපනයන නැංවීම

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 103

කොවිඩ් වසංගත තත්ත්වය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයකට තල්ලු විය. එහි නරක ප්‍රතිවිපාක අත්විඳින කාල වකවානුවකි. විදේශ වෙළෙඳාම අයහපත් අතට හැරී තිබුණි. ආනයන පාලනය කෙරිණි. නොයෙක් සංකීර්ණ හේතු බලපා ඇති අතර රට තුළ විනිමය හිඟයක් පවතී. අපනයන වර්ධනය සතුටුදායක කරුණකි. මෑත කාලීන දත්ත පෙන්වා දෙන පරිදි අපනයන අංශයෙන් උපයන ලද විදේශ විනිමය වාර්තාගත තැනකට පත්ව තිබේ. 2020 වසරේ අප්‍රේල් මාසයේ තිබුණු පිරිහීම සලකන විට එය අභිබවා දියුණු තියුණු වී ඇති බව පෙන්වා දිය යුතුය. 

අපනයන අංශය රටට වැදගත් ක්ෂේත්‍රයකි. ජාත්‍යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි අලුත් පැති ගැන සොයා බැලීම අවශ්‍යය. මෙම උද්දීපනය තහවුරු කරගත යුතුය. අපනයනය කරන්නේ මොනවාද යන්න සහ අපනයනය ඉලක්ක කරගෙන කරන නිෂ්පාදන යාන්ත්‍රණය අපට වැදගත්ය.

පසුගිය වසරේ අපනයන වර්ධනය

2021 වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කලින් වසරේ සමාන කාලයට වඩා සියයට 16.71කින් වර්ධනය වී තිබේ. එක මාසයක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,125.6ක විනිමය උපයන ලද බව අපනයන සංවර්ධන මණ්ඩලය කියා සිටී. මෙහි දී පෙන්වා දිය යුතු තවත් වැදගත් කරුණක් ඇත. පසුගිය මාස හයක කාලය තුළ අඛණ්ඩව අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවන අපනයන ආදායමක් උපයාගෙන තිබේ. ශ්‍රී ලංකාව 2022 වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 20ක අපනයන ආදායමක් අපේක්ෂා කරන අතර එය පහසු ඉලක්කයක් නොවේ. ඉතිහාසයේ සාර්ථක කරගත නොහැකි වූ අගයකි. එහෙත් එම ස්ථානයට ළඟා වුවහොත් දැනට පවතින විනිමය අර්බුදය අනෙක් පැත්තට හැරෙනු ඇත. සංචාරක අංශයෙන් හා විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන ධනයෙන් රටට ප්‍රමාණවත් ශක්තියක් ගොඩනගා ගත හැකිය. 

මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් ද තිබේ. මෙම වර්ධනය සමඟ ජාත්‍යන්තරයේ ඇති පසුබිම එයට සාක්ෂියකි. කොවිඩ් වසංගතය සමඟ ලෝකයේ සමහර රටවල් ආනයන හා අපනයන සීමා කළේය. ගෝලීයකරණ ආකෘතියෙන් බැහැර විය. තමන්ට අවශ්‍ය දේ තම රටවලින් නිපදවා ගැනීමේ ප්‍රයත්නයකට ඇතුළු විය. ගුවන් ගමන් හා නැව් සේවා සීමාසහිත වීම, ඒවා මෙහෙයවන ආයතනවලට පවා සෞඛ්‍ය ගැටලු මතුවීම මත අපනයන අංශවලට බාධා ඇති කරන ලද බව සඳහන් කළ යුතුය. මෙරට ව්‍යවසායකයන්, අපනයනයට නැඹුරුව සිටින ව්‍යාපාරිකයන් සහ එයට අදාළ සියලු කාර්ය මණ්ඩලවල කැපවීම මෙහි දී අගය කළ යුතුය. අනාරක්ෂිත වටපිටාවක් හා රට ලොක්ඩවුන් කරන වාතාවරණය මැද පවා නිෂ්පාදන කරගෙන යන තැනට ක්‍රියා කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු පැත්තකි. 

ආනයන සීමාව අපනයන සඳහා අවස්ථාවකි

අපනයනය කරන්න. නැත්නම් විනාශයට මුහුණ දෙන්න* යන පාඨය ලෝකයේ ප්‍රධාන ආර්ථිකය ඇති රටවල ආදර්ශ පාඨයකි. රටට ගෙන්වන්නට අවශ්‍ය නම් විකිණිය යුතුය. එය දෙපැත්තට ගමන් කරන වෙළෙඳාමකි. සරල කාරණය අනුව යමක් නිෂ්පාදනය කර විකිණීමෙන් විනිමය ලැබෙන අතර ඒවා වැය කළ හැක්කේ පිටරටවලින් යමක් මිල දී ගැනීමටය. එයට අනුව අපනයන අවස්ථා රටට ඇති කරන පදනම මිල කළ නොහැක. 

මෑත කාලය තුළ ආනයනය සීමාකිරීම අවධානයට ගත යුතු පැත්තකි. රටට අවශ්‍ය දේ අපට නිපදවා ගන්නට සිදුවී ඇත. උසස් තත්ත්වයෙන් හා හොඳම ප්‍රමිතියෙන් නිපදවුවහොත් එයින් කොටසක් අපනයනය කළ හැකිය. අතීතයේ සිට වෙළෙඳ ද්‍රව්‍ය සම්බන්ධයෙන් හොඳ නමක් තිබුණි. ලෝකයේ හොඳම කුරුඳු, මිනිරන්, කුළුබඩු වර්ග, මුතු මැණික් යනාදිය ලංකාවේ අපනයන ද්‍රව්‍ය විය. සම්ප්‍රදායික අපනයන අංශ බව දක්වා වැඩි උනන්දුවක් නොදක්වන නමුත් මේවා දියුණු කළ හැකි පැති ගැන අපට හිතන්නට අලුත් පැත්තක් ඇත. 

අලුතින් අපනයනය කරන්නේ මොනවාද? යන ප්‍රශ්නය අපට තිබේ. අපනයනය කළ නොහැකි මොනවාද යන්න ඒ සමඟ ප්‍රශ්න කළ යුතුය. රටට ඇති අංශ සීමිතය. අගය එකතු නොකරන අමුද්‍රව්‍ය ලෙස සෑහෙන අපනයනයක් කෙරේ. ඒවා නිමි ද්‍රව්‍ය බවට පත් කර අලුත් අවකාශයකට ඇතුළු විය හැක. අලුත් තාක්ෂණය සහිත ආයෝජන එහි දී වුවමනා කෙරේ. ජාත්‍යන්තර සමාගම් සමඟ එකතුවන අලුත් ව්‍යවසාය පැලැන්තියකින් රටට ලබාගත හැකි අවස්ථා ගැන සොයා බැලීම සුදුසුය. 

අපනයනවල තවත් අවස්ථා

වසර දෙසියකට ආසන්න කාලයක් තේ වෙළෙඳපොළ සමඟ කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ තේ නාමය ලෝක ප්‍රසිද්ධය. ජනගහණයෙන් ලක්ෂ අටක පමණ පිරිසක් එතැනින් යැපෙන බව දැක්වේ. තේ අපනයනයෙන් ලැබෙන ආදායම අමෙරිකානු ඩොලර් බිලියනයකට මඳක් වැඩිය. 1950 ගණන්වල සිට ඇඟලුම් අපනයනය කර තිබේ. 1977 වසරට පසු ඇඟලුම් කර්මාන්තය වේගවත් වෙයි. එම කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන පහකට පමණ විනිමය උත්පාදනයක් තිබේ. නමුත් රෙදිපිළි හා යන්ත්‍ර සූත්‍ර ඇතුළු මෙවලම් ආනයනයට වැය කරන විනිමය ප්‍රමාණය ද සැලකිය යුතුය.  

මෑත කාලය තුළ ආණ්ඩුව පාම් ඔයිල් වගාව නතර කරන තීරණයක් ගෙන තිබේ. හෙක්ටයාර් විසි දහසක පමණ වගා කරන අතර රටට වැඩිම ආදායමක් සඳහා ගමන් කරන්නට තිබුණු අවස්ථාවකි. පාම් ඔයිල් වගාවට ශ්‍රම වියදම අඩුය. තේ, රබර් හා සලකන විට ආයෝජනයෙන් ඉහළම ප්‍රතිලාභ ලැබේ. ලෝකයේ අනෙක් රටවල් පාම් ඔයිල් වගාව වැඩිදියුණු කරන අතර මහජන විරෝධතා එයින් ඉවත් වන තීරණයට බලපා ඇත. පාම් ඔයිල් වගාව නිසා පරිසර හානි සිදුවන බවට විවේචනයක් තිබේ. භූගත ජල මටට්ම අඩුවෙන බව දක්වයි. හොඳම අපනයන ආදායමක් ලබන අවස්ථා අහිමි කර ගැනීම ගැන අලුතින් හිතන්නට අවශ්‍යය.

ප්‍රති අපනයනය අප වරද්දාගෙන ඇති තවත් අංශයකි. රටට ගෙන්වන තේ, ගම්මිරිස්, කරුංකා වැනි දේ නිසා දේශීය නිෂ්පාදකයන්ට පහර වැදී ඇති බව කියැවේ. එහෙත් ඇත්ත තත්ත්වය විමර්ශනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් හා කරුංකාවල සැර ගතිය අධික බව ගැනුම්කරුවන් පෙන්වා දී තිබේ. ඒවා මිශ්‍ර කරන්නේ ඉන්දියාව, ඉන්දුනීසියාව, පාකිස්ථානය හා තායිලන්තය වැනි රටවලින් ගෙන්වන අඩු සැර නිෂ්පාදන සමඟය. මෙවැනි වෙළෙඳාමකින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අරභයා නරක ප්‍රතිරෑපයක් ඇතිවන බවට ද මතයක් තිබේ. ගැනුම්කරුවන් ඉල්ලන දේ ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය. රට තුළට ගැනීම වෙනුවට වෙනම ප්‍රති අපනයන කලාප ඇතිකළ හැක. හම්බන්තොට හෝ ඒ ආශ්‍රිතව වෙනම ඇසුරුම් හා ප්‍රති අපනයන ගැන නැවත කල්පනා නොකරන්නේ ඇයි?

මෑත කාලීන ආනයන හා අපනයන ප්‍රවණතා

2021 වසරේ මුල් භාගය තෙක් විදේශ වෙළෙඳාම අසමතුලිතය. අපනයන ආදායම සියයට 33.3කින් වර්ධනය වන විට ආනයන වියදම සියයට 26.2කින් ඉහළ නැග තිබුණි. තවමත් එය වෙනස් වී නැත. අපනයන වර්ධනයක් තිබෙන බව පිළිගත යුතු අතර ආනයන වියදම ද ඉහළ ගොස් ඇත. 2021 මුල් මාස හය තුළ අපනයන සියයට 33කින් වැඩිවන විට ආනයන සියයට 26කින් වැඩි වී ඇත. 2020 වසරේ සමාන කාලපරිච්ඡේදය අනුව මෙම වැඩිවීම සිදු වී තිබේ. ආණ්ඩුව ආනයන පාලනය කරන නමුත් පසුගිය වසරේ මනා පාලනයක් වී නැත. එයට බලපා ඇති කරුණු තිබේ. තෙල් ආනයන පිරිවැය 2021 මුල් මාස හය තුළ සියයට 527කින් වැඩි වී ඇත. ඇඟලුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදිපිළි ගෙන්වන වියදම සියයට 284කින් හා මෙවලම් හා උපකරණ ගෙන්වන පිරිවැය සියයට 257කින් වැඩි වී ඇති බව මහ බැංකු වාර්තා දක්වයි. එයින් ඉගෙන ගන්නට පාඩමක් ඇත. අපනයන වර්ධනය හා සමානව ආනයනවලින් පීඩනයක් එල්ල වී තිබේ. මෙයින් ගැලවෙන්නට රාමුව අලුත් කළ යුතුය. තවත් අපනයන අවස්ථා සම්පාදනය කර ගැනීමට සිදුවේ. 

ක්ෂේත්‍රයේ අපහසුතා තිබේ. අපනයනකරුවන්ට පැන නැගෙන ගැටලු ඇත. ලෝකයේ රටවල් සෑහෙන ප්‍රමාණයක් සමඟ වෙළෙඳ ගිවිසුම් ඇත. චීනය හා ඉන්දියාව විශාල වෙළෙඳපොළ බව සඳහන් කළ යුතුය. 2024ට පසු ලෝකයේ වැඩිම ජනගහණය සහිත රට බවට ඉන්දියාව පත්වන බව දැක්වේ. එහි මැදි ආදායම් ජන කොටස ඉහළ යමින් පවතින අතර අලුත් දේ මිල දී ගැනීමට සූදානම්ය. එම රටවලට අපනයනය කරන්නට නොහැකි ඇයි?

ව්‍යවසායකයන්ගෙන් ප්‍රශ්න කළහොත් උත්තර තිබේ. ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුය. බදු ලියාපදිංචිය ලබාගන්නට සිදුවෙයි. පරිසර, කෘෂි අංශ, ආහාර තාක්ෂණ අංශවලින් වෙන වෙනම අවසර ගැනීමට සිදුවෙයි. කම්හලේ සිට වරාය දක්වා ගෙනැවිත් රටින් පිටකරන්නට ද පහසු නැත. රජයේ නිලධාරීන් ක්‍රියා කරන්නේ කිසිම අනුබලයක් නොදෙන පිළිවෙළකටය. සෑම තානාපති කාර්යාලයකම වෙළෙඳ ප්‍රවර්ධන අංශ තිබේ. විශාල ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ පවත්වයි. මහා පරිමාණයෙන් කිරීම වෙනුවට එක තානාපති කාර්යාලයක් අවුරුද්දකට එක ව්‍යවසායකයකුට එම අපනයන වරප්‍රසාදය ඇතිකළහොත් නිරායාසයෙන් අපනයනකරුවන් සිය ගණනක් බිහි කළ හැකිය. එය දැන් පවතින දියුණුව තවත් ඉහළට කැඳවීමක් වනු ඇත.

 සාරා කන්දෙගොඩ