පසුගිය දවසක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ප්‍රවෘත්තියක් මගේ සිතට දැනෙව්වේ දැඩි වේදනාවක්. තමන්ගේ වත්තට පැනලා, කහ පැළ වගයක් පොඩි කළා කියලා ඒ ගෙවත්තේ හිමිකරු ගැබ්බර එළදෙනකට කකුල් කැඩෙන්නම පහර දීලා කොන්ද කඩලා එක්තැන් කරලා. ඒ පහර දීම නිසා ඇගේ කුසහොත් පැටියාත් මිය ගිහින්. දැන් මාස දෙක තුනක් ගෙවී ගියත් ඇයට සුවයක් නැහැ. කන්න බොන්න බැහැ. ඉතාමත් අසරණ විලාසයකින් තම පැටියාත් අහිමි වී ඇවිදගන්න තිබූ හතර පාදයේ වාරුවත් අහිමි වී ගිය ඇගේ දෙනෙතින් කඳුළු වැක්කෙරෙනවා.
එළදෙනක් කියන්නෙ ඉතා අහිංසක සතෙක්. තමාගේ පැටියට බොන්න තියෙන කිරි ටික මිනිසාට පොවනවා. මී කිරි, එළකිරි ලෙසින් කවනවා. පැළවලට පොහොර විදිහට ගොම ටික ලබා දෙනවා. ලංකාවේ වගේ නෙමෙයි ඉන්දියාවේ ගවයට සලකන්නෙ දෙවියන්ට වගේ. ඊට හේතුව තමයි “පස් ගෝ රස” ලබාදෙන නිසා. “පස් ගෝ රස” කියනනෙ මොනවද? එළකිරිවලින් සාදාගන්නා නිෂ්පාදන පහක්. ඒ කියන්නෙ කිරි, දී කිරි/ මුදවපු කිරි, මෝරු, වෙඬරු, ගිතෙල්.
හිත ඇවිලෙන ඉහත පුවත මගින් එක් මිනිසෙකුගේ අමානුෂික ස්වභාවය ගැන අවලස්සන කතන්දරයක් වගේම තවත් මිනිසෙකුගේ මනුෂ්‍යත්වය ගැන හරි සුන්දර කතාවකුත් කියලා දෙනවා.
ඒ අසරණ එළදෙන නිරෝගීව සිටි කාලයේ තමන්ට දුන්න හයිය, ඇගෙන් ලද සේවය ඒ අයිතිකරු කොයි මොහොතකවත් අමතක කළේ නැහැ. තමන්ගේ දරුවෙකුට වගේ සෙනෙහසින් ඒ එළදෙනට ඔහු ඇප උපස්ථාන කරනවා. ඇය මස් පිණිස මස් කඩයට දෙන්න කියලා සමහරු කීවත් ඔහු එයට එකඟ වෙන්නෙ නැහැ. ඔහු එම එළදෙනට දක්වන්නෙ තම පවුලේ සාමාජිකයෙකුට දක්වන සෙනෙහසක්, කරුණාවක්.
මනුෂ්‍ය කුලකයේ ඉපදුණත් සත්ත්ව කුලකයේ ඉපදුණත් හැම ප්‍රාණියෙක්ම තමන්ගේ ප්‍රාණයට ආදරෙයි. ජීවිතය අත්හැරිය යුතුයි, සියදිවි නසාගත යුතුයි යන මානසිකත්වයට මනුෂ්‍යා වරෙක පත්වුවත් සතෙක් කොයි වෙලාවකවත් එවන් මානසිකත්වයට පත්වෙන්නෙ නැහැ.
ජීවිතයට අනතුරක් දැනෙන වෙලාවට පණ නල රුකගන්න සත්ත්වයෙක් කරන අරගලය ඔබ දැකලා ඇති. ඔබට මේ ගැන පුංචි පරීක්ෂණයක් කරන්න පුළුවන්. කූඹිෙයකුට ඇඟිල්ල ළං කරලා බලන්න. එම කූඹියා උගේ ගමන වේගවත් කරන ආකාරය ඔබට දකින්නට පුළුවන්. ඌ ඉතා වේගයෙන් දිව යන්නෙ තමාගේ ජීවිතයට අනතුරක් වෙනවා කියලා ජීවිතය රැකගැනීමේ බලවත් ආශාවෙන්. පුංචි කූඹියා එහෙමනම් අනිත් ලොකු සතුන් ගැන කවර කතාද? සෑම ජීවියෙක්ම කැමති තව පැය කිහිපයක් හෝ ජීවත් වන්නට.
ජීවිතයට අනතුරක් වනවිට සතුන් උන්ගෙ භාෂාවෙන් කතා කරනවා. උන්ගෙ භාෂාවෙන් උන් සන්නිවේදනය කරනවා. මිනිස්සු වගේම සතා සීපාවත් ජීවිතය හොයනවා, කූඩු හදනවා, පැටව් බිහි කරනවා, උන්ගෙ ප්‍රජාවත් එක්ක උන් පයුරු පාසානම් පවත්වාගෙන යනවා. මිනිසාට වගේ නිර්මාණශීලි චින්තනයක් නැතිවුණත් ප්‍රවේණියෙන් රැගෙන ආ සහජාසයන් උන්ට තියෙනවා. උන් ආදරය හොයනවා. උන් ආදරය බෙදලා දෙනවා. අපේ ලෝකයට උන්ගෙ ලෝකය දුරස් වුණත් වෙනස් වුණත් මම ඔබට කියන්න හදන්නෙ උන්ටත් උන්ගේම ලෝකයක්, ජීවිතයක් තියෙනවා කියලා.
මිනිසුන්ට පුළුවන් තමන්ගේ සැබෑ ස්වරූපය සඟවාගෙන සමාජය ඉදිරියේ ප්‍රතිරූප නිර්මාණය කරගෙන ජීවත් වෙන්න. හුඟාක් මිනිස්සු කරන්නෙත් ජීවිතය තුළ එවැනි භූමිකා රංගනයන් ඉදිරිපත් කිරීමයි. ඒත් සතුන් සැමවිටම ජීවත් වෙන්නෙ තමන්ගේ සැබෑ ස්වරූපයෙන්. ආදරණීය විය යුතු තැන උන් ආදරණීයයි. ආක්‍රමණශීලී විය යුතු තැන උන් ආක්‍රමණශීලීයි. ඇත්තටම සත්ත්ව ලෝකයෙන් මිනිස් ජීවිතයට උගත හැකි ලස්සන පාඩම් තියෙනවා. සුනඛයන් ළඟ, බළලුන් ළඟ, අලි ඇතුන් ළඟ තියෙන කෘතවේදීත්වය මේ සඳහා උදාහරණ වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. සිංහ පැටියෙක්, කොටි පැටියෙක් වුණත් කුඩා කාලේ සිට ගෙදර හැදුවොත් මිනිසාට දක්වන්නෙ පුදුම කරුණාවක්, ආදරයක්.
සත්ත්වයන් මොනවද මනුෂ්‍ය අපෙන් ඉල්ලන්නෙ? බඩගින්නට කන්න දෙයක්, ආදරයක්, කරුණාවක්, හිංසනයෙන් තොරව ජීවත් වෙන්න පසුබිමක්. එම නිසා සත්ත්වයන්ට කරුණාව දැක්වීම අතිශය වැදගත්. කරුණාව කියන්නෙ කුමක්ද? කරුණාව යනු අනුන්ගේ දුකෙහි දී හදවත කම්පා වීමයි. හිතාමතාම වෙනත් පුද්ගලයෙකු වෙත යොමු කරන ලද කරුණාවන්ත සහ උපකාරශීලී ක්‍රියාවක් දරනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. බොහෝ විට කරුණාව සලකනු ලබන්නේ වෙනත් කෙනෙකුට උපකාර කිරීමට ඇති ආශාවක් කියලා.
කරුණාව ආදරයයි; ආදරය කරුණාවන්තයි.
ආදරය යනු කුමක්ද? යමෙකුට ආදරය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්න ගැන සිතන්න. එය තේරුම් ගත්තාද? හොඳයි, එය කරුණාවයි. එය පරාර්ථකාමී, එය සැලකිලිමත්, දයානුකම්පිතයි. එය කොන්දේසි විරහිතයි. ආදරය මෙන්ම කරුණාවද තේරුම් ගැනීමට සහ දැනීමට පුරුදු විය යුතුයි. සිනහවක්, ලස්සන වචනයක්, අනපේක්ෂිත ක්‍රියාවක් හෝ සැලසුම් කළ පුදුමයක් වැනි කාරුණික ක්‍රියාවලින් අපි අන් අය සමඟ ආදරය බෙදාගන්නවා. අපි මෙම ක්‍රියා අන් අයට ලබා දෙන විට, අපි මිනිසුන්ට හොඳ හැඟීමක් ඇති කරනවා. අපි බලාපොරොත්තුව ඔස්සේ ගමන් කරනවා. අපි සාමය ප්‍රවර්ධනය කරනවා.
බුදු දහම තුළ කරුණාව සම්බන්ධයෙන් වටිනා විග්‍රහයක් දකින්නට පුළුවන්.
“පරදුක්ඛේ සති සාධූනං
හදය කම්පනං කරෝතීති කරුණා”
අන් අයගේ දුකක් දුටු විටදී හදවතේ ඇතිවන කම්පනය හෙවත් උණුවෙන ගතිය කරුණාවයි. මෙම කරුණාව මිනිසුන්ට පමණක් නෙමෙයි, සතුන්ටත් දැක්වීම වැදගත්. සත්තු කියන්නෙ හරි අහිංසක කොටසක්. තමාට හානියක් නොවේනම් සතා කිසිවිටෙකත් තව කෙනෙකුට හානියක් කරන්නෙ නැහැ. මාංශ භක්ෂක සතුන් වුවත් අහිංසකයි. මාංශ භක්ෂක සතුන් අතර තියෙන්නෙ වෙනම කතාවක්. එය ස්වභාවධර්මයේ නීතිය. දුබලයා මැඩගෙන බලවතා ආරක්ෂා වීම තමා ස්වභාවධර්මයේ නීතිය. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා “Survival of the fittest” කියලා.
දවසකට සතුන් කොච්චර සංඛ්‍යාවක් මනුෂ්‍ය ප්‍රජාවගේ ආහාර අවශ්‍යතාවය පිණිස තමන්ගේ ජීවිතය පූජා කරනවද? මිනිසුන් සත්තු මරන්නෙ මෙම ස්වභාවධර්මයේ නියමය අනුව නෙමෙයි. සමහර මිනිසුන් සතුන්ට කොයිතරම් හිරිහැර වද වේදනා දෙනවද? අන්තර්ජාලය තුළ මේ සඳහා අනන්තවත් වීඩියෝ දර්ශන දකින්නට ලැබෙනවා.
බුදුන් වහන්සේ පංචශීල ප්‍රතිපත්තියෙත් “පාණාතිපාතා වේරමණී සික්ඛා පදං” යන ශික්ෂා පදය තුළින් කුඩා කල සිටම මිනිසා සත්ත්ව හිංසනයෙන් ඈත් කරන්නට කටයුතු කරලා තියෙනවා. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන අය ඉන්නෙ කීයෙන් කී දෙනාද?
තමන් උපමා කොටගෙන අනුන්ට හිංසා නොකරන ලෙස බුදුන් වහන්සේ ධම්මපදයේ දණ්ඩ වග්ගයේ දේශනා කර තියෙනවා.
“සබ්බෙ තසන්ති දණ්ඩස්ස සබ්බෙ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්‍වා න හනෙය්‍ය න ඝාතයෙ.”
(කේශර සිංහයන් හා අජානේය හස්ත්‍යශ්වයන් හා ක්‍ෂීණාස්‍රවයන් හැර සෙසු) සියලු සත්ත්‍වයෝම (වධබන්‍ධනාදි) කායදණ්ඩනයට ත්‍රස්ත වෙති. (ක්‍ෂිණාස්‍රවයන් තබා සෙසු) සියලු සත්හුම මරණයට බය වෙති. ක්‍ෂීණාස්‍රවයෝ වනාහි ජීවිතයෙහි ද මරණයෙහි ද උපේක්‍ෂකම වෙත්. එබැවින් තමා උපමා කොට (හෙවත් මම් යම් සේ දණ්ඩනයට බය වේද එසේම සියලු සත්ත්‍වයෝ ද දණ්ඩනයට බය වෙති. මගේ ජීවිතය මට යම් සේ ප්‍රිය ද එසේම සියලු සතුන්ගේ ජීවිත ද ඔවුනට ප්‍රිය යැයි මෙසේ) තමා උපමා කොට (නුවණැති පුරුෂ තෙම) කිසිදු සතක්හු (අතින් පයින් දංඩෙන් සැතින්) නොමරන්නේය. අනුන් ලවා ද නොමරවන්නේය.
සත්ත්ව හිංසනයේ අහිතකර ප්‍රතිවිපාක ගැන බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා. අඩු වයසින් මියැදෙන්නේ, අංගවිකල, ආබාධිත, මන්දබුද්ධික වී උපදින්නේ සත්ත්ව හිංසනයේ කර්ම විපාක ලෙස බවයි බුදු දහම අනුව පැවසෙන්නෙ.