2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

නවීකරණය මැද නොනැසී බැබළෙන නූර්ති/ටීටර් කලාව

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 811

මෙරට ගැමි ජනයා ගැමි රඟමඬල තුළ සන්නි යකුම, රට යකුම, මහ සොහොන් සමයම සූනියම් කැපිල්ල ආදී යක් තොවිල්ද, ගම්මඩු දොවොල් මඩු, දාන මඩු, කිරි මඩු යන මඩු ශාන්තිකර්ම වලද, කොහොඹා කංකාරිය, කෝලම් සහ සොකරි යන ශාන්තිකර්ම වලදීද නාට්‍යමය ලක්ෂණ ඇති ජවනිකා රඟ දැක්වූහ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සිය සිංහල ගැමි නාටකය නම් කෘතියෙන් කියා සිටියේ මෙම ගැමි පුද පූජාවන් ආශ්‍රිත නාට්‍ය කලාවට සම්ප්‍රාප්ත විය හැකි වූ උච්චතම අවස්ථාව නාඩගම බවයි.

සිංහල නාඩගම යනුවෙන් නම් කළ ගැමි ගීත නාටක වර්ගය මෙරට ප්‍රභවය ලබන්නේ රෝමානු කතෝලික ආගමේ ව්‍යාප්තිය සමග බව ඒවායේ ඉතිහාසය සරා බලා ඇවිස්සූ විද්වත්හු කීහ. කොල්ලුපිටියේ පිලිප්පු සිංඤෝ නම් කතෝලික බැතිමතා මුල්ම සිංහල නාඩගම් රචකයා බව කියැවේ. 1870 දී ඩී.පී.ඩී. අල්විස් විසින් 1870දී සංශෝධනය කොට පලකළ ඇහැලෙපොළ නාඩගම හෙවත් සිංහලේ නාඩගම කෘතියේ ප්‍රස්ථාවනාවේ දක්වා ඇති පරිදි පිලිප්පු සිංඤෝ 1770-1840 අතර ජීවත් වූ බවත් ඔහුගේ මුල්ම නාටකය 1824 වසරට අයත් බවත් මහාචාර්ය තිස්ස කාරියවසම්, &සිංහල නාට්‍යයේ විකාශනය - 1867-1911* නම් කෘතියේ කියා සිටියේය.
හින්දුස්ථානි ඩ්‍රුමටික් කම්පැණි ඇතුළු විදේශීය නාට්‍ය කණ්ඩායම් මෙරට රංගන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවායේ ආභාෂයද ලබාගෙන මෙරට පළමු නූර්ති ගණයේ නාටකය ලියා රංගගත කළ ශිල්පියා ලෙස වාර්තා වන්නේ සී. දොන් බස්තියන්ය. 1877 දෙසැම්බර් 27 වැනිදා ඔහු ලියූ &රොලීනා* නම් සිංහල නාටකය පිටකොටුවේ කෙයිසර් වීදියේ අංක 51 දරණ ස්ථානයේ රඟ දක්වා ඇති බව වාර්තා වේ.

මුල්ම නාඩගම් රචකයා සහ නූර්ති රචකයා කවුරුන්ද යන්න පිළිබඳව මතභේද ඇතත් ඉහත කරුණුවලින් පොදුවේ පෙනී යන්නේ ගැමි නාටකවලින් වෙසෙස් වූ නාඩගම සහ නූර්තිය මෙරට ජනප්‍රිය වූයේ එක් දහස් අටසිය ගණන්වල අගභාගයේ බවයි. ක්‍රි.පූ. 400 පමණ ග්‍රීක නාට්‍ය යුගයෙන් ඇරඹෙන බටහිර රංග කලාව ඉහත කී එක්දහස් අටසිය ගණන්වල අග භාගය වනවිට යුග කිහිපයක්ම පසුකොට යථාර්ථවාදී නාට්‍ය රචනා කරන්නට පටන් ගෙනය. රෝමානු නාට්‍ය යුගය සහ ස්වර්ණමය යුගයක් ලෙස ගැනෙන (ශේක්ස්පියර් විසූ එළිසබැත් යුගය පසු කළ බටහිර නාට්‍ය කලාව තුළ හෙන්රික් ඉබ්සන්, නම් නෝර්වේජියානු රචකයා ඩෝල්ස් හවුස් (බෝනිකි ගෙදර), පිලර්ස් ඔෆ් සොසායටි ආදී නාට්‍ය රචනා කරන්නේ එක් දහස් අටසිය ගණන්වල අග භාගයේ දීමය. 

ප්‍රභූ ජනයාට අයත්ව තිබූ බටහිර ලෝකය, මැද පන්තියේ ජනයාට හා වැඩකරන ජනයාට අයත් වන්නට පටන්ගෙන තිබුණේ මේ කාලයේදීය. යුග ගණනාවක් තිස්සේ රජවරුන් රජ මැතිවරුන් රාජ බිසෝවරුන් ගැන නාට්‍ය ලියැවුණ බටහිර රංග කලාවේ සාමාන්‍ය ජනයා ගැන, ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගැන නාට්‍ය ලියවෙන්නට පටන් ගැනෙන්නේ මෙම එක් දහස් අටසිය ගණන්වල අග භාගයේය. වෙන වචනවලින් කිවහොත් ඒ වනවිට බටහිර රංග කලාව කාලයත් සමඟ හොඳ හැටි දියුණු වෙලාය. අපගේ විධිමත් නාට්‍ය කලාව දණ ගාමින් නැගිටින්නට උත්සාහ කළේද ඒ කාලයේදීය. රජවරු ප්‍රභූවරු කුමාරවරු ගැන කතා කී අපගේ සිංහල නාට්‍ය කලාව, අපි, ඔහේලා වැනි පොදු ජනයාගේ චරිත සහ ප්‍රශ්න ගැන කියැවෙන නාට්‍ය කලාවක් බවට පත්වූයේ 1960 ගණන්වල සුගතපාල ද සිල්වා ශූරීන්ගේ සම්ප්‍රාප්තියත් සමඟයි. 1956 මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයත් සමඟ ඇරඹුණේ යැයි සැළකෙන නූතන නාට්‍ය කලාව මහා ලොකු දියුණුවක් ලබා ඇතැයි තවමත් සතුටු විය නොහැකිය. එහෙත් නූර්තිය හා ටීටර් යුග ඔස්සේ දශක ගණනාවක් තිස්සේ ඉදිරියට ඇදුණු අපගේ නාට්‍ය කලාවද අමතක කළ නොහැකිය. නූර්තිය හා ටීටර් යන නාට්‍ය වර්ග දෙක අතර මහා වෙනසක් දක්නට නැත. බොහෝ විද්වතුන් ඒ නාට්‍ය වර්ග දෙක එකක් ලෙස ගෙන කරුණු කියා තිබේ.

ජෝන් ද සිල්වා විසින් රචනා කොට, නිෂ්පාදනය කළ ඔහුගේ ප්‍රථම නාට්‍යය වන රාමායණය, මලවත්තේ කුසුම රංග ශාලාවේ රංග ගතවීමත් සමඟම සිංහල නාට්‍ය කලාව තවත් සරුසාර යුගයකට අවතීර්ණ වේ. ජෝන් ද සිල්වාගේ සිලෝන් මරියන්ටල් ඩ්‍රුමටික් කම්පැණි හෙවත් සීමාසහිත ලංකා පූර්වදිග නාට්‍ය සමාගම විසින් එය පළමුවරට එකී කුසුම ශාලාවේ රඟ දක්වන්නේ 1886 මැයි 11 වැනි සඳුදාය. ඒ වනවිට සංකර ගැමි නාටකයක් ලෙස හඳුන්වනු ලැබූ නාඩගමෙන් ඔබ්බට නාට්‍ය කලාව ගෙන යන්නට ජෝන් ද සිල්වා තුළ තිබූ අභිප්‍රාය ඔහුගේ රත්නාවලී නාටකයේ නාටිකාංගනාවගේ මවට දී තිබුණු පහත වදන්වලින් පැහැදිලි වේ.

අමන දනෝ සිතති මේ
නාට්‍ය කලා නාඩගම් වගේය කියා
පවර ශාස්ත්‍ර මේ හින්දා
යාය පිරිහී, රට වැටේ ඉන් සජනෙනි

ජෝන් ද සිල්වාගේ දැනුම, පරිචය සහ කෞශල්‍යය පුළුල් ක්ෂේත්‍රයක විහිදී ගොස් තිබුණු ආකාරය ඔහු ලියූ එකිනෙකට වෙනස් නාට්‍යවලින් පෙනී යයි. ලංකා ඉතිහාසය පදනම් කොට, දස්කොන්, පරංගි හටන, දුටුගැමුණු, අලකේෂ්වර, සිරිසඟබෝ ආදී නාට්‍ය ලියූ ඔහු සම්ප්‍රදායික බෞද්ධ කතා ඇසුරෙන් වෙස්සන්තර හා විධුර ජාතකය යන නාට්‍ය රචනා කළේය. සංස්කෘත සාහිත්‍යයේ ආභාෂයෙන් සකුන්තලා, රත්නාවලී, උත්තර රාම චරිතය ආදී නාට්‍ය ලියූ ඔහු ශේක්ස්පියර්ගේ ඔතැලෝ, හැම්ලට්, (මෙෂර් ටු මෙෂර්) මිම්මට මිම්ම ආදී නාට්‍ය තම නූර්ති ආරට පරිවර්තනය කර ගනී. ඒ අතර කාලීන සමාජ අත්දැකීම් ඇසුරෙන් ඔහු සුරාසොඬ ප්‍රකරණය, මරණානුස්මෘති ප්‍රකරණය, සිංහල භාෂා ප්‍රකරණය ආදී නාට්‍ය රචනා කොට කරළියට ගෙන ආයේය.

1857 උපත ලැබූ ජෝන් ද සිල්වා 1922 මිය යන අතර කාලය තුළ නාට්‍ය සමාගම් 4ක් පිහිටුවා රංග කාර්ය මහජනයා අතරට ගෙන ගොස් තිබිණි. පූර්ව දිග ලංකා නාට්‍ය සමාගම 1885 පිහිට වූ පසු ඔහු 1902දී සිංහල ආර්ය සුබෝධ නාට්‍ය සමාගම පිහිටවූයේය. ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය රඟ දැක්වූයේ එම සමාගම යටතේය. 1913 දී ඔහු විජය රංග සභාව පිහිටවූයේය. ලංකා නාට්‍ය සභාව පිහිටවූයේ ඉන් අනතුරුවයි.

ඒ ඒ චරිතයන්ගේ සමාජ තත්ත්වය හා බැඳෙන ආකාරයෙන් චරිතවලට අදාළ දෙබස් ලියන්නට ජෝන් ද සිල්වා උත්සුක වූයේය. සිරිසඟබෝ චරිතය නාට්‍ය තුළ එන ගෝඨාභය හා සඟබෝ අතර සංවාදයන්, එහිම බම්මන්නා හා සොඳුර අතර සංවාද ශෛලියන් එකිනෙකට වෙනස්ය.

ගෝඨාභය - සංඝතිස්ස රජ්ජුරුවන් ස්වර්ගස්ථ වූ බැවින් තමුන්නාන්සේ රජකමට පත්වෙන්ට ඕන.

සඟබෝ - රජකම ගැන මට කිසි ආශාවක් නෑ. එයින් වැඩියම අකුසල් කෙරෙනවා මිසක් කුසල් කරගන්ට ලැබෙන්නෙ නෑ.

බම්මන්නා සහ සොඳුර අතර සංවාද කොටසක් පහත් දැක්වේ.

බම්මන්නා - ප්‍රිය සුන්දරිය අප දෙදෙනා හරියටම ජාඩියට මූඩිය වගේ.

සොඳුර - ඒක මම නොදනිමි. හරියට තැඹිලි ගෙඩියක වහපු කපුටෙක් වගේ

බම්මන්නා - නෑ... නෑ... නෑ... තිබ්බොටු ගහට කරිවිල වැල වාගේ.

සොඳුර - මොකද මා කරිවිල වගේ තිත්ත වෙලාද?

රජකම භාරගන්නා ලෙස සංඝබෝධිගෙන් කරන ඇවිටිල්ල සහ ඔහුගේ පිළිතුර මොන වික්කාර දෝ මේක ස්වාමි ගීතයේ ශබ්ද රසයෙන් හෙබි ගීතවත් බෙවකට පෙරළෙයි.

ප්‍රශ්නය - දශ ධර්මයෙන් කලාව ආණ්ඩු දීපේ සිදුවෙන්නේද සංඝබෝධි පාපේ?

සංඝබෝධිගේ පිළිතුර - රජ වුණාම කෝ ස්වාමි සීලේ ක_ර අච්චු කරන්ට ගියාම තිබේද සීලෙ. ඒ නිසා තමාය ඊට කෝලේ.

ජෝන් ද සිල්වා ශූරීන්ගේ අරමුණු බොහෝදුරට සාර්ථක වූ බව සිංහල නාටකය හා සඳකිඳුරුව කෘතියේ මාර්ටින් වික්‍රමසිංහ, ඔහුගේ නාට්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විචාරයෙන් පැහැදිලි වේ. මාර්ටින් වික්‍රමසිංහ කරන එම විචාරයේ අවසන් වැකි කිහිපය මෙසේය.

නාඩගම සංකර ජන නාටකයකි. කෝලම් ජන නාටකයක් නොව තොවිල් පවිල් හා ජන ඇදහිලිද ඇසුරෙන් ඉපද වැඩුණු සංකීර්ණ ජන නැටුමකි. ජෝන් ද සිල්වාගේ නාටකය වූ කලී කිවි නළුව, නාඩගම, බටහිර ගීත නාට්‍යය හා සකු නාටකයද ඇසුරෙන් උපන්නකි. එහි ස්වාධීන සංදර්භයක් ලද දේ ඇත. එය ණයට ගන්නා ලද්දේ සංකලනයෙන් හා ප්‍රතියෝජනයෙන් නිපදවන ලද්දකි.

ජෝන් ද සිල්වාගේ නාට්‍යවල එන, දන්නෝ බුදුන්ගේ, සුවඳ පද්ම ඕලු ආදී වැනි ගීත පසුකාලීන සිංහල ගීතයේ සංගීතයත්, රචනා ශෛලියත් වර්ධනයට පදනමක් සැපයුවේය.

නීතිඥ ජෝන් ද සිල්වා ළඟට ඔහු හා කරට කර නිර්මාණකරණයේ යෙදෙන්නට නූර්ති නිර්මාණයට පිවිසෙන්නේ ඔහු වැනිම උගත් නීතිඥවරයෙකි. නීතිඥ චාර්ල්ස් ඩයස් නම් වූ ඔහුගෙන් ටවර් හෝල් යුගයද ඇරඹේ. බෞද්ධ පුනරුදයට උරදෙමින් ජාතික හැඟීම වර්ධනය කිරීම, අමද්‍යප ව්‍යාපාරයට උරදෙමින් පර සිරිත පිටුදැකීම යන ජෝන් ද සිල්වාගේ අරමුණම ඔහුගේ නාට්‍යකරණයේ අරමුණ වූයේය. නීතිඥ චාර්ල්ස් ඩයස් විවාපත් වන්නේ එවකට ධනවත් ව්‍යාපාරිකයකු වූ ගනේගොඩ අප්පුහාමිලාගේ දොන් හෙන්දිරික් සෙනෙවිරත්නගේ දුවණිය සමඟයි. මාමණ්ඩියට බෑනාව ජෝන් ද සිල්වා හා සමාන නාට්‍යකරුවකු කරන්නට ඕනෑ වෙයි. දැනට ටවර් හෝල් රඟහල පිහිටි ඉඩම ඒ වනවිට හෙන්දිරික් සෙනෙවිරත්න මිලදී ගෙන තිබුණේ අශ්ව ගාලක් ඉදි කරන්නටයි. ඒ වනවිට නාට්‍ය ශාලාවකට මුදල් යෙදවීම ලාභදායී බව එක් අතකින් ඔහුට පෙනී ගියේය. ඒ දක්වා නාට්‍ය රඟ දැක්වීම සිදුකෙරුණේ තාවකාලිකව පොල් අතුවලින් හා ටකරන් වලින් තැනූ ටීටර් මඩුවලයි. පිටකොටුවේ මල්වත්තේ එවැනි රංග ශාලාවල නාට්‍ය රඟ දැක්වූ ජෝන් ද සිල්වා ඒ වනවිට බොහෝ සෙයින් තම නාට්‍ය රංග ගත කළේ මරදානේ ක්‍රොයිටීරියන් ශාලාවේය. එංගලන්තයේ හා සමාන නාට්‍ය ශාලාවක අවශ්‍යතාව ජෝන් ද සිල්වාද වරෙක පවසා තිබිණි.

(ඒ වනවිට ටවර් රඟහල ඉදිකිරීමට නියමිත බිම උද්‍යාන, බෝවිටිය ආදී පඳුරු වැවී තිබුණ ඉඩමකි) එහෙත් ටවර් රඟහලේ පළමු නාට්‍ය රඟ දැක්වීමේ වරම ලැබෙන්නේ ජෝන් ද සිල්වාට නොවේ. හෙන්දිරික් සෙනෙවිරත්න, ටවර් රඟහල ඉදිකරන්නට හවුල් කරගන්නේ නාට්‍ය ගැන දැනුමක් තිබූ බී.ජේ. පෙරේරාවය. ඔහු ජෝන් ද සිල්වාගේ විරුද්ධවාදියෙකි. ජෝන් ද සිල්වාගේ ආර්ය සුබෝධි සභාව හා තරග වැදුණු අභිනව නාට්‍ය සභාව බී.ජේ. පෙරේරාගේය.

1911 දෙසැම්බර් 16 වැනිදා රාත්‍රී 9.00ට ටවර් රඟහල විවෘත කෙරිණි. එදා එහි රඟදැක්වූයේ නීතිඥ චාල්ස් ඩයස්ගේ පණ්ඩුකාභය නාට්‍යයයි. එච්.ඩී. එඩ්වඩ් පතිරාජ නම් නූර්ති ශිල්පියා එදා

සිරි ගත මුනි ශාක්‍ය කුලේ
නිතර සිරිදෙන වඳිම් බැතියෙන

ගීය ගයා නටා ටවර් රඟහලේ පළමු රංගනය එකී නාට්‍ය වෙනුවෙන් ඉදිරිපත් කළේය. ජෝන් ද සිල්වා ටවර් රඟහලට එන්නේ එයින් තවත් වසර හයක් ඉක්ම ගිය පසුවයි. ඒ 1917 උත්තර රාම චරිතය එම ශාලාවේ රඟ දක්වමිනි.

නීතිඥ චාර්ල්ස් ඩයස් නාට්‍ය 30කට අධික සංඛ්‍යාවක් ලියා රඟදක්වා ඇත. 1914-15 කාලයේ ඔහුගේ නාට්‍ය එක පිට එක රංග ගත වී තිබේ. ඇලඩින් සහ පුදුම පහන (1914), නල දමයන්ති (1914), පද්මාවතී (1914), ධාතුසේන (1914), දුටුගැමුණු (1915), උත්තර ගැමුණු (1915) ඉන් කිහිපයකි. ජීවිතයේ අවසාන කාලයේ අන්ධභාවයට පත්ව සිටි ඔහු 1944දී ලෝ කරළියෙන් නික්ම ගියේය.

ජෝන් ද සිල්වාගේ නූර්ති ගී තරමටම ඔහුගේ ගීත රචනාද අතිශය ජනප්‍රිය වූයේය. දැක්කොත් පද්මාවතී (පත්මාවතී නාට්‍යය), පෙම්බර දේවී මගේ පණ හා සරී (පද්මාවතී), මෙම ගිම්හාන ග්‍රීෂ්ම වූ කාලේ (විදුර ජාතකය) ආරන්නේ ඉන්නා මේ රම්‍ය කතේ (සිවම්මා ධනපාල), ලෝනා මුණි රාජාගේ (හේමමාලි) යන ගීත තවමත් ජනප්‍රිය ගායකයෝ නැවත නැවත ගයති.

නූර්ති නාටකයට වඩාත් තර්ජන එල්ල වන්නට ගත්තේ සිනමාවෙනි. 1930 වනවිට බොම්බායේ සිට පැමිණි පාර්සි ජාතිකයකු වූ එෆ්.සී. ‍ෆ්‍රෙෑන්ක් හට ටවර්හල බදු දීමෙන් පසු එහි පූර්ණකාලීනව චිත්‍රපට ප්‍රදර්ශනය වන්නට ගත්තේය. 1947දී සෙනෙවිරත්න පවුලේ අය ටවර් රඟහල සිලෝන් තියටර්ස් සමාගමට විකුණා දමයි. එය නැවත 1978 රජයට පවරාගෙන නාට්‍ය රංගගත කිරීම සඳහා කටයුතු කරන්නේ (එවකට අගමැති) දිවංගත ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාය. එවර එහි මුලින්ම රඟ දැක්වූයේ ජෝන් ද සිල්වාගේ සිරිසඟ බෝ නාට්‍යයයි. එය නිෂ්පාදනය කළේ හෙන්රි ජයසේනයන් විසිනි.

සී. දොන් බස්තියන්, ජෝන් ද සිල්වා, චාර්ල්ස් ඩයස් ආදීහු ජාතික මට්ටමෙන් ඉදිරියට ගෙන ආ නූර්ති නාට්‍ය කලාව, ගැමි, නාගරික භේදයකින් තොරව පොදු ජනයා අතර ජනප්‍රිය වූයේය. තියටර් යන ඉංග්‍රීසි වචනය තලා පෙලා &ටීටර්* සිංහල උච්චාරණය කළ තම දිවට හුරු ටීටර් යන හැඳින්වීමට පොදු ජනයා පෙරළා ගත්තෝය. එම රංග ශෛලියද ගම් මට්ටමේ සහ නාගරික ජනයා අතර ජනප්‍රිය වී පස් පුරවා හෝ පොල් කොට උඩ තැනූ වේදිකාවක &ටීටර්* ප්‍රදර්ශනය වූයේ පොදුජනයා අතර නාට්‍ය රචකයින්ද බිහි කරමිනි. මෙම ටීටර් 1970 දක්වා (1940 ගණන්වල කරළියට පැමිණි මිනර්වා නාටකය හා නූතන නාට්‍ය බිහිවෙද්දීම) ගම් මට්ටමෙන් බිහිවිය. රොඩ්නි වර්ණකුල මෑතකදී රූපවාහිනී වැඩසටහනක ඉදිරිපත් කළ

මට දිල්ලි බොම්බෙ රෝමෙ යන්න ඕන නෑ
මගෙ කමල දාලා මම කොහෙවත් යන්නෙ නෑ

ගීතය ඊට හොඳ උදාහරණයකි. (එය මෑත ජනප්‍රිය වූ හින්දි ගී තාලයකි)

චිත්‍රපටයෙන් නූර්ති නාටකය ආක්‍රමණය කළද (ටවර් රඟහල පවා ඊට යොදාගෙන) චිත්‍රපටවලටද නූර්ති/ ටීටර් ගී නැතුවම බැරි විය. ගැමියාගේ විනෝදය බොහෝවිට චිත්‍රපටවල ඉදිරිපත් කරන ලද්දේ නූර්ති/ටීටර් ගායනයන් තුළිනි. 

සත් සමුදුරේ දැක්කොත් පද්මාවතී, රන්වන් කරල්හි සෝමාවතී, වල්මත් වූවෝහි වනසව් රාජසිංහ නරනා, සෙලිනාගේ වලව්වේ මෙම ගිම්හාන, අහස් ගව්වේ මොරොට්ටු ගම්මන සුරුට්ටු උරමින ඊට උදාහරණ කිහිපයකි. තුම්මං හන්දියට මහගම සේකර යොදාගත්තේ තමාම රචනා කළ නූර්ති ශෛලියේ ගීයකි.

යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී...
පායන සඳ ඇති මේ රාත්‍රී....
නෙතු නිල් උපුලා සිතිවිල් වරලා
රෑප ශ්‍රියා විය දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී....

නූර්ති/ටීටර් යුගය අප කොතරම් නවීකරණය වුවත් අප අතර ගැයෙන ගීයකින් ශේෂව පවතී.

 සමන් පුෂ්ප ලියනගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05