2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

මුහුණු ආවරණ පරිසර දූෂණයට හේතුවෙලා

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 59

කොවිඩ් ආසාදිත වූ මුල්ම පුද්ගලයා මෙරට වාර්තා වීමත් සමඟ මුව අවාරණ පැළඳිම අනිවාර්ය විය. මේ අතර ඇතැමුන් තවමත් නිසි පරිදි මුව ආවරණ පැළඳ නොසිටින අතර පළඳින මුව ආවරණ විධිමත්ව බැහැර නොකිරීම නිසාත් විශාල ගැටලුවක් මතුව ඇත. මුව ආවරණය නිසි පරිදි පැළඳ නොසිටීම කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමට ප්‍රබල හේතුවක් වන අතර මුව ආවරණ විධිමත්ව බැහැර නොවීම හේතුවෙන් පාරිසරික ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මෙම පරිහරණය කරන ලද මුව ආවරණය නිසි පරිදි බැහැර කිරීම මහජනතාවගේ යුතුකමක් වෙනවා. පළාත් පාලන ආයතනවලින් මේ වනවිටත් මුහුණු ආවරණ එකතු කිරීමට උපදෙස් ලබාදී ඇති නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මෙය බාර දෙන්න යැයි ඉල්ලා සිටිනවා. මෙම මුව ආවරණවල ඇතැම් කොටස් ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරල තියෙනවා. ඒ නිසා ඒවා පුළුස්සා දැමීම එතරම් සුදුසු වන්නේ නැහැ. නිසි පරිදි බැහැර කිරීමට සෑම පුද්ගලයකුගේම යුතුකමක් වෙනවා. යැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ වනවිට පරිසරයට එකතුවන පරිහරණය කරන ලද මුව ආවරණ ප්‍රමාණය මිලියන ගණනාවකි. නිවසින් බැහැරවන ඕනෑම පුද්ගලයකු මුව ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වේ. මේ වනවිට එක් මුව ආවරණයට අමතරව තවත් මුව ආවරණයක් පැළඳ සිටීමට බොහෝ පුද්ගලයෝ පුරුදුව සිටිති. එම නිසා මසකට ආසන්න වශයෙන් ලක්ෂ තුන්සීයක් පමණ පරිසරයට එකතු වෙයි. ආසන්න වශයෙන් දිනකට ලක්ෂ පහළොවක් විස්සක් පමණ මෙම මුව ආවරණ පළඳිති. මේ නිසා ආසන්න වශයෙන් මිලියන පහළොවක් පමණ දවසකට ජනතාව පරිහරණය කරති. මෙය සමස්ත පරිසරය පුරා විසිරී යයි.

මේ අතර වසර ගණනාවක් මුව ආවරණය පැළඳ සිටින, කොවිඩ් රෝගයේ අවදානම පිළිබඳව වැටහීමක් ඇති බොහෝ ජනතාව පරිහරණය කරන ලද මුව ආවරණ ක්‍රමවත් ලෙසින් බැහැර කිරීමට පුරුදුව සිටිති. බොහෝ ආයතන මේ සම්බන්ධව පෞද්ගලිකව තම සේවකයන් දැනුම්වත් කර ඇති අතර ආයතනවල මුව ආවරණයක් නිසි පරිදි බැහැර වීම සිදුවේ. නමුත් මහාමාර්ගයේ ගමන් කරද්දී මුව ආවරණ තැන තැන බැහැර කර ඇති බව බොහෝවිට දක්නට ලැබෙන සුලබ සිදුවීමකි. මේ නිසා යම් කිසි ප්‍රමාණයක් මහාමාර්ගයේ තැන තැන එකතුවීමක් සිදුවිය හැකිය. විශේෂයෙන් විවෘත හෝ අතහැර දැමූ ඉඩම්, මාර්ග, පදික වේදිකා, පිට්ටනි, කාණු, ධාවන පථ, පොදු වාහන හා බස්නැවතුම් පොළවල්, දුම්රිය ස්ථාන හෝ වනාන්තර ආශ්‍රිත තැන්වලින් මුව ආවරණ එකතු වී ඇති බවට සොයාගෙන ඇත. භාවිත කරන ලද මුහුණු ආවරණ කිසිවකු විසින් බැහැර නොකළ යුතුය. මේ අතර භාවිත කරන ලද මුහුණු ආවරණ දැනට පවතින පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය එකතු කිරීමේ පද්ධතිය හරහා බැහැර කළ යුතුය.

මුව ආවරණ කොවිඩ් ආසාදිතයකු හෝ සාමාන්‍ය කෙනකු පරිහරණය කළද එම සියලුම මුව ආවරණ ආසාදිතයකු පරිහරණය කළ මුව ආවරණයක් ලෙසින් සැලකේ. නිරෝගී කෙනකු එය පැළඳියද ආසාදිතයකුගෙන් එය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇත. භාවිත කරන ලද මුව ආවරණය දින තුනක් හෝ හතරක් තැබූ විට එහි පවතින විෂබීජය ඉවත්ව යයි. එම නිසා අඩුම තරමේ දින පහක් භාවිත කරන ලද මුව ආවරණයක් අත පත නොගා වෙනමම තැබූ විට එහි සාමාන්‍ය කසළක් බවට පත්වෙයි. මේ නිසා ඕනෑම නිවසක, කොවිඩ් ආසාදිතයකු සිටින නිවෙසක වුවද භාවිතා කරන ලද මුහුණු ආවරණ එකතුකොට පොලිතින් බෑගයක දමා හොඳට වසා වෙනම අඩුම තරමේ දින පහක් තබන්නට උපදෙස් ලබාදෙයි. විශේෂයෙන් ළමයින්ට සහ සතුන්ට ළඟාවිය නොහැකි ලෙස ආරක්ෂිත ස්ථානයක මෙම බෑගය තබාගැනීම ඉතා වැදගත් වේ. භාවිත කරන ලද මුහුණු ආවරණ පොලිතින් බෑගයක දමා අවසන් වූවායින් පසුව සබන් යොදා අත් සේදීම අනිවාර්ය වේ. මෙය හොඳින් හිරුඑළිය ලැබෙන ස්ථානයක දින පහක් තබා එය සාමාන්‍ය කසළ බෑගයක් ලෙස සලකා අදාළ පළාත් පාලන ආයතනවල කසළ බැහැර කිරීමේ අංශවලට ලබාදිය හැකිය.

මෙම ක්‍රමවේදයට බොහෝ පිරිසක් අනුගත වුවද තවමත් මෙම ක්‍රමවේදයන් පිළිබඳ සැලකිලිමත් නොවන පිරිසක්ද සමාජයේ සිටිති. ඔවුන්ගෙන් භාවිත කරන ලද මුහුණු ආවරණ පරිසර පද්ධතියට එකතු වෙයි.

රටේ ජනතාව ලෙසින් ඔබට යුතුකමක් ඇත. භාවිත කරන ලද මුහුණු ආවරණයක් පරිසරයට මුදා නොහැර නිසි ක්‍රමවේදයකට යටත්ව බැහැර කිරීමේ වගකීමක් සෑම පුරවැසියකුටම තිබෙන බව අමතක නොකිරීමය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05