ගැරඬිඇල්ලේ පහළ කොටසේ ගලක් උඩ හතර දෙනෙක් ඉන්නවා දැක්කා. නාන්න ගිය කෙනෙක් එකපාරම වතුරෙන් අත උස්සනවා දැක්කා. ඒක දැකපු ගල උඩ හිටපු හතර දෙනා අත් අල්ලාගෙන ගිලෙන කෙනාව බේරාගන්න ගියා. ඒ ගමන්ම කට්ටියම ගලෙන් පහළට වැටුණා.
ඇටම්පිටිය ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ ඛේදවාචකය සියැසින් දුටු අයෙක් එසේ පැවසීය. උමා ඔය සුන්දරත්වයට අසුන්දර මතකයක් එක්කළ ඒ නිමේෂය කිසිවෙකුත් අපේක්ෂා නොකළ එකකි. දියනෑමට ගිය පිරිසේ කිසිවකුටත් පිහිනීමට හැකියාවක් නොවූයෙන් පස් දෙනෙකුම මරු තුරුලට ගොදුරුව තිබුණි. එබැවින් දිය ඇලිවල සුන්දරත්වය ඇත්තේ විඳින්න පමණයි නාන්න නොවන බව අවධාරණය කළ යුතුය.
ඇටම්පිටිය ප්‍රදේශවාසීන්ගේ මෙන්ම සංචාරකයන්ගේත් ආකර්ෂණය දිනාගත් ගැරඬිඇල්ලේ ඛේදවාචකය සිදුව තිබුණේ ඉකුත් 29 වැනිදාය. දානෙ ගෙදරකට ගොස් නාන්න ගිය ගමන අවසානයේ කඳුළු කතාවක් වූ සිදුවීම වාර්තා වන්නේ මේ ආකාරයටය.
හාලිඇල ඇටම්පිටිය වතුයායේ නිවසක පැවැත්වීමට නියමිතව තිබූ දානමය පුණ්‍ය කර්මයකි. ඒ මීට වසරකට ඉහතදී මියගිය ජෙයරාම් නැමැත්තාගේ වර්ෂ පූර්ණ දානයයි. ජෙයරාම් හා නිවැසියන් විශ්වාස කළ දහම අනුව හින්දු චාරිත්‍ර මත පිංකම සංවිධානය කොට තිබුණි. ඒ සඳහා මියගිය ජෙයරාම්ගේ ඥාතීන් හිතවතුන් රුසක් සහභාගීව සිට ඇත. ඔවුන් මහත් ඕනෑකමින් පිංකම සිදුකර දවසේ උදේ වරුව ඒ සඳහාම කැප කළෝය.
දිවා ආහාරයට පසුව පිරිස අතර සිටි තරුණ තරුණියන් යෝජනා කරගෙන තිබුණේ ගැරඬිඇල්ලේ දියනෑම සඳහා යාමටය. එම ගමන සඳහා පිරිමි අයවලුන් 7 දෙනකු හා කාන්තාවන් සිව් දෙනකු සහභාගි වී ඇත. එදින පස්වරු 3.00ට පමණ පිරිස ගැරඬිඇල්ල අසලට ගොස් ඇල්ලට පහළින් පිහිටි දිය වළකට ගොස් තිබුණි. එම ස්ථානය ගැරඬිඇල්ල පහළ කොටස වශයෙන් ප්‍රසිද්ධය. පිරිස දියනෑම සඳහා ගොස් එතරම් වෙලාවක් ගතව තිබුණේ නැත. ඔවුන් අතර සිටි වනරාජා ඩේවිඩ් කුමාර් සිටියේ තරමක දියේ එබීගෙනය. හිටිහැටියේම වතුරේ ගිලෙන්නට ගිය ඔහු හඬ නගා තිබුණේ බේරාගන්නා ලෙස ඉල්ලමිනි.
ඒ වනවිට ඔහු හා ගිය චන්ද්‍රලේඛා, කාංචනප්‍රියා, ශෂිප්‍රියා සහ හරිමාලාදේවි ආසන්නයේ ගලකට නැගී සිට තිබුණි. හිතවතාගේ කෑගැසීම හමුවේ සිව්දෙනා අත් පටලාගෙන ඩේවිඩ් කුමාර්ට උදව්වක් දීමට සැරසුණෝය. එහෙත් ඒ කිසිවෙකුට ඩේවිඩ්ට ශක්තියක් වීමට අවස්ථාවක් ලැබුණේ නැත. ක්ෂණයකින් ඩේවිඩ් මෙන්ම අනෙක් සියලු දෙනාමත් ගැරඬිඇල්ල පහළ කොටසේ ගිලී නොපෙනී ගියෝය. උමා ඔයේ ගැරඬිඇල්ල නමට අලුත් ඛේදවාචකයක් සනිටුහන් කරමින් තරුණ ජීවිත පහක් නිරපරාදේ ගැරඬිඇල්ලේ සැඟවුණේ මේ ආකාරයටය.
නාන්න ගිය කට්ටිය එක්ක මායි මල්ලියි අයියයි අපි පොඩි දුරක හිටියේ. උඩ ඉඳලා මෙතැනට එද්දි කවුරුත් පේන්න හිටියේ නෑ. විනාඩි දහයකට විතර පස්සෙ නංගි විතරක් වතුරේ ඉන්නවා දැක්කා. අපි එයාව ඇදලා ගත්තා. අනිත් අයව ගන්න බැරිවුණා.
මෙසේ සිදුවීම විස්තර කරනු ලැබුවේ පිරිස හා දියනෑමට ගිය අයගෙන් කෙනෙකි. සිදුවීමෙන් මොහොතකට පසුව ගැරඬිඇල්ලේ දියනෑමට ගොස් පිරිසක් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ඇටම්පිටිය පොලිසිය වෙත වාර්තා වී තිබුණේ පොලිස් හදිසි ඇමතුම් අංශය හරහාය. පොලීසිය අදාළ ස්ථානය වෙත යනවිටත් ප්‍රදේශවාසීන් අතුරුදන් වූවන් සොයමින් සිට ඇත.
දියේ ගිලීම නිසා ජීවිතක්ෂයට පත්ව තිබුණේ ඇටම්පිටිය දෙවැනි කොටසේ ඩේවිඩ් කුමාර් (23), ඇටම්පිටිය කිංරෝස් වතුයායේ සෙල්වකුමාර් හරිමාලා දේවි (19), හැටන් ලිඳුල පදිංචි සඩයිඅප්පන් චන්ද්‍රලේඛා (23), සෙල්වකුමාර් ශෂිප්‍රියා (23) හා ඇටම්‍පිටිය පළමු කොටසේ පදිංචි ජෙයරාම් කාංචනප්‍රියා (21) යන පස්දෙනාය. මියගිය පිරිස අතර සෙල්වකුමාර් ශෂිප්‍රියා හා සෙල්වකුමාර් හරිමාලාදේවි සොහොයුරියෝ වෙති. එසේම මියගිය ජෙයරාම් කාංචනප්‍රියා නැමැත්තිය මීට වසරකට ඉහතදී මියගිය ජෙයරාම් නැමැත්තාගේ දියණියයි.
මේ ආකාරයට අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අයගේ මළසිරුරු පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන තිබුණි. මීට ඉහතදීත් මෙම ස්ථානයේ දියේ ගිලී මරණයට පත්වූ අවස්ථා වාර්තා වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
දිය ඇලිවල නෑම ඉතාම අනතුරුදායකයි
අසංක නානායක්කාර - සභාපති (ලංකා ජීවිතාරක්ෂක සංගමය)
දීර්ඝ සති අන්ත හා නිවාඩු දිනවලදී මේ වගේ දියේ ගිලීම් ආශ්‍රිත මරණ හා අනතුරු බහුලව වාර්තා වෙනවා. අපේ රට දූපතක්. පොඩි බිම් ප්‍රමාණයක දේශගුණික කාලගුණික විපර්යාස බහුලයි. ඇළක් ගඟක් කිලෝමීටර් ගණනක් දුර ගලනවා. දියඇල්ලක් නිර්මාණය වෙන්නේ සමහරවිට එකතැනක දෙකක විතරයි. මිනිස්සු අපි මේවා බලන්න යනවා. එවැනි දියඇලිවල සුන්දරත්වය විඳින්න. හැබැයි නාන්න යන්න එපා. දිය ඇලිවල නෑම අතිශය අනතුරුදායකයි. දිය ඇල්ලක ආරම්භය කඳු මුදුනක් විය හැකියි. මඟදිගට වතුර පාර පෝෂණය වෙනවා. තැන තැන වහිනවා වතුර අඩු වැඩි වෙනවා. කොතැනක හරි ලස්සන දිය ඇල්ලක් නිර්මාණය වෙනවා. මේ තැන්වල ගල්, කොළ අතු වගේම ලී කොට රුඳෙනවා. පොළව බුරුල් වෙනවා. වතුර අඩු වැඩි වෙද්දී මේ ගල්, කොට වගේ දේ සෙලවෙනවා. ඒත් සමඟ රුඳිලා තිබුණු වතුර වේගෙන් පහළට ගලනවා. මේ නිසා දියඇළි පහළ දිය නෑම ඉතාම අනතුරුදායකයි. අපි කොහෙත්ම එම තැන්වල දිය නෑම අනුමත කරන්නෙ නෑ.
පොඩි ඇළපාරක, ගංගාවක, තොටුපළක දන්නා පුරුදු තැනක මිනිස්සු ගැවසෙන තැනක නාන්න යන්න. නුපුරුදු තැනක නම් ජීවිතාරක්ෂක අංශය, ආරක්ෂක අංශය හෝ මිනිස්සු ඉන්න තැනක දියනෑම සුදුසුයි. මේ කාලෙ පිහිනුම් තටාක තිබෙන නිසා පොඩි මුදලක් ගෙවලා අවශ්‍යතාව ලබාගැනීමට හැකියි. මේ දිනවල සමහර ප්‍රදේශවල කිඹුල් තර්ජන සම්බන්ධයෙන් වාර්තා වෙනවා. දියනෑමට හෝ එවැනි තැනකට යාමට පෙර මේ සම්බන්ධව දැනුම්වත් වීම හා පෙර සූදානම වැදගත් වෙනවා.
සමන්ත ප්‍රදීප් විල්තෙර