2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

ගුවන්තොටින් රට සල්ලි පන්නන්නේ කොහාටද? මොකටද?

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 87

පසුගිය මාස කිහිපයක කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ රුපියල් කෝටි ගණන් වටිනා විදේශ මුදල් නීති විරෝධී ලෙස විදේශ රටවල් වෙත විශේෂයෙන්ම ඩුබායි වෙත රැගෙන යාමට තැත්කළ ජාවාරම්කරුවන් රාශියක්, එම මුදල්ද සමඟ අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී තිබුණි. ක්‍රමයෙන් මෙම විදේශ මුදල් ජාවාරම ඉහළ යන බවක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද නිරීක්ෂණ සහ විමර්ශන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් රාශියක් සිදුකිරීමට කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත් වී තිබුණි.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති දේශපාලන, ආර්ථික, සමාජ වටපිටාව මත බොහෝ ශ්‍රී ලාංකිකයන්, තමන් සතු වත්කම් සියල්ල විකුණා, එම මුදල්, පිළිගත් සම්මත විදේශ මුදල් බවට පරිවර්තනය කර තමන් පදිංචියට යාමට අපේක්ෂා කරන රට වෙත යැවීමට යුහුසුළු වී සිටිති. මෙම කටයුතු කාර්යක්ෂම ආකාරයෙන් සිදුකරන, පළපුරුදු මුදල් විදේශයන් වෙත ප්‍රවාහනය කරන ජාවාරම්කරුවෝද ශ්‍රී ලංකාව තුළ ඕනෑතරම් සිටිති.

ඒ අනුව ඔවුන් යම් කොමිස් මුදලක්, මෙම පුද්ගලයන්ගෙන් ලබාගෙන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගුවන් මගින් මෙම මුදල් අදාළ රටවල් වෙත රුගෙන යාම සිදුකරති. මෙහිදී ඔවුන් භෞතිකව තම සිරුරේ හෝ ඇඳ සිටින ඇඳුම් අතරේ හෝ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෝ එහි රහස්‍ය කුටීර තුළ හෝ එහි වටේ බිත්ති තුළ සඟවා ගනිමින් මෙම විදේශ මුදල් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ රටින් පිට කිරීමට තැත් කරති. ඊට අමතරව රත්තරන් ව්‍යාපාරය සහ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම සඳහාද මෙසේ නීතිවිරෝධී ක්‍රම භාවිතයෙන් විදේශ මුදල් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ රටින් පිටකිරීමේ ජාවාරම ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා මෙසේ විදේශ මුදල් ජාවාරම ඉතා තදින් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේද වර්තමානයේ ක්‍රියාත්මක වීම සිදුකෙරේ.

මේ සඳහා නිදහස් මධ්‍යස්ථානයක් (Free Hub ) ලෙස ලෝකයේ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයයි. මේ බව සාක්ෂාත් කරමින් මෑතකදී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ මෙසේ විදේශ මුදල් රුගෙන යාම් රාශියක්ම සිදු කිරීමට තැත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වීම් සියල්ලේම ගමනාන්තය වූයේත් මෙම ඩුබායි නගරයයි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම චක්‍රයක් සේ ජාවාරම්කරුවන් විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් තිබේ.

මුලින්ම ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකානු ඩොලර්, යූරෝ, සෞදි රියාල් වැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මුදල් ඒකක රුස්කර ගන්නා මෙම ජාවාරම්කරුවෝ ඒවා ඉතා සූක්ෂම ආකාරයට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ඩුබායි නගරය වෙත රුගෙන යාමට පියවර ගනිති. ඉන්පසුව එම මුදල් ඩුබායි නගරයේදී රත්තරන් මිලදී ගැනීම සඳහා යොමු කරති. එහිදීත් කටුනායක ගුවන් තොටු‌ෙපාළ රේගුව නොමඟ යැවීම සඳහා අර්ධ වශයෙන් වැඩ නිම නොකළ ස්වර්ණාභරණ ලෙස ලබාගන්නා මෙම රත්තරන්, ජාවාරම්කරුවන් පැළඳගෙන මෙරටට පැමිණීම සිදුකරති. ඉන්පසුව බෝට්ටු හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රම මගින් එම රත්තරන් ඉන්දියාව වෙත රුගෙන ගොස් එහිදී ඒවා අලෙවි කර ඇෆ්ගනිස්තානය හෝ පකිස්තානය වෙත ගොස් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඒවා යළි මුහුදු හෝ ගුවන් මගින් ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම සිදුකරති.

මෙම තත්ත්වය හොඳින් වටහාගෙන ඇති රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම පාලනය කිරීම සඳහා පළමු පියවර ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ මුදල් නීතිවිරෝධී ලෙස පිට කිරීමේ ජාවාරමට වැට බැඳීමට පියවර ගෙන තිබේ. එම ක්‍රියාමාර්ගය මගින් ශ්‍රී ලංකාව තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ක්‍රියාවලිය අඩපණ කළ හැකි බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අවබෝධ කර ගෙන තිබේ.

මෙයට එක් නිදසුනක් ලෙස 2015 වසරේදී රුපියල් නව කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත ගෙන යාමට තැත් කිරීමේදී, කටුනායක ගුවන් තොටු‌ෙපාළේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ පිළිබඳව වැඩිදුරටත් කරන ලද විමර්ශනවලදී මෙම විදේශ මුදල් තොගය මාකඳුරේ මධූෂ් වෙත මත්ද්‍රව්‍ය රුගෙන ඒම සඳහා ගෙන යමින් තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ ආකාරයට මෙම වසරේදී ශ්‍රී ලංකාව තුළට මත්ද්‍රව්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා ඔස්සේ කිලෝග්‍රෑම් 1,500ක් පමණ රැගෙන ඒම සිදුකරන බවට තොරතුරු මේ වනවිට හෙළිදරව් වී ඇති අතර එම ප්‍රමාණය මෙරටට රැගෙන ඒම වැළැක්වීමට ගත හැකි සුදුසුම සහ පහසුම ක්‍රියාමාර්ගය වන්නේ මෙසේ ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත රුගෙන යන විදේශ මුදල් ප්‍රවාහය අත්අඩංගුවට ගෙන නතර කිරීමට පියවර ගැනීමයි. ඒ සඳහා දවසේ පැය 24 පුරා අවුරුද්දේ දින 365 පුරා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු කටුනායක ගුවන් තොටුපළ තුළ රැකවල් ලා සිටිති.

මීට අමතරව ජාත්‍යන්තර වෙළෙඳාමේදී ආනයන සඳහා එනම් ශ්‍රී ලංකාවට භාණ්ඩ මිලදී ගෙන රුගෙන ඒමට ව්‍යාපාරිකයන්ට මෙම වර්තමාන පසුබිම යටතේ ගැටලු රාශියක් පැන නැගී තිබේ. ඒ අතර ඔවුන්ගේ වාණිජ බැංකු ණයවර ලිපි (Letter Of Credit) නිකුත් කිරීමේදී ඇති වී ඇති දුෂ්කරතා සහ රුපියලේ මූර්ත අගය දිනෙන් දින පහළ යාම නිසා ව්‍යාපාරික පංතිය මුහුණ දෙන ගැටලු සියල්ල හේතුකර ගනිමින්, ඔවුහු නීතිවිරෝධී ක්‍රම ඔස්සේ විදේශ මුදල් සම්ප්‍රේෂණය කිරීමට පියවර ගනිමින් සිටිති. එහිදී භෞතිකව මේ ආකාරයට සහ ජාත්‍යන්තර වශයෙන් භාවිතයට ගැනෙන, එහෙත් නීතිවිරෝධී ක්‍රම වන උන්ඩියල්, හවාලා සහ බිඩ් කොයින් වැනි ක්‍රම භාවිත කරමින් සිටිති.

මෙම සියලුම ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවේ සිටජාත්‍යන්තර මුදල් වෙළෙඳ‌ෙපාළ වෙත වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 04ක් පමණ මෙම ජාවාරම්කරුවන් විසින් වර්තමානයේ රුගෙන යමින් ඇතැයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ගණන් බලා ඇති අතර ඔවුන්ගේ ප්‍රයත්නය මෙම මුදල් සම්භාරයෙන් අඩක් හෝ ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත යා නොදී රුක ගැනීමටයි. මීට අමතරව ශ්‍රී ලංකාව මුල් කරගනිමින් ක්‍රියාත්මක වන මුදල් විශුද්ධිකරණ ව්‍යාපාරය (Money Loundaring) යටතේත් මේ ආකාරයට විශාල විශේෂ මුදල් තොගයක් මේ වනවිට ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවල් කරා ඇදී යාමද සිදුවෙමින් පවතී.

සාමාන්‍යයෙන් ගුවන් මගියකු සතුව ඇමෙරිකානු ඩොලර් 10,000 වැඩි නම් කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් හමුවේ එම මුදල ප්‍රකාශයට පත් කළ යුතුය. එහෙත් එම මුදලට වඩා අඩු මුදලක් එම ගුවන් මගියා සතු නම් ඒ පිළිබඳව රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කිරීම අත්‍යාවශ්‍ය නොවේ. අදාළ ගුවන් මගියා එම තමා සන්තකයෙහි ඇති මුදල ප්‍රකාශයට පත්කරන විට එම ගුවන් මගියාට එම මුදල ලැබුණු ආකාරය නැතිනම් එහි මූලාශ්‍රය හෙළිදරව් කළ යුතු වේ. එසේ හෙළිදරව් කරන මූලාශ්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත, බලයලත් විදේශ මුදල් හුවමාරු ආයතනයක් හෝ බැංකුවක් විය යුතුය. එසේ නොමැතිව නීතිවිරෝධී ක්‍රම භාවිත කිරීමෙන් උපයාගත් විදේශ මුදල්, කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ රුගෙන යාම තහනම් වේ.

එහිදී අදාළ ගුවන් මගියා වෙත නිකුත් කරන විදේශ මුදල් ප්‍රමාණය සහ වර්ගය පිළිබඳව සටහනක් ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය පිටුපස සටහන් කිරීමට එම මුදල් නිකුත් කළ මූල්‍ය ආයතනය හෝ බැංකුව පියවර ගනී. එමගින් එම මුදල් පිළිබඳව නිත්‍යානුකූලභාවයක් ඇති කිරීමට එම සටහන උපකාරී වේ.
එහිදී එම මූල්‍ය ආයතනය හෝ බැංකුව අදාළ විදේශ මුදල් තොගය මෙම ගුවන් මගියා විසින් උපයා ගෙන ඇති ආකාරය පිළිබඳව විමසා සොයා බලා වගකීමක් ඇතිව එම සටහන යෙදීමටද වග බලා ගනී. ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුව විදේශ මුදල් පනත (Forign Exchange Act) මගින් පනවා ඇති රෙගුලාසි සහ බලතල ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රේගුව කටුනායක ගුවන් තොටුපළ තුළදී ක්‍රියාත්මක කරමින් සිටින අතර එමගින් ශ්‍රී ලංකාව සතු විදේශ මුදල් සම්පත විදේශීය ජාවාරම්කරුවන් අතට පත් වීම වැළැක්වෙයි.

ස්තුතිය:-

ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධිකාරී නුවන් අබේනායක මහත්වරුන්ට.
කටුනායක ටී.කේ.ජී. කපිල