ඔමික්‍රොන් දැන් රට තුළ ප්‍රමුඛ ප්‍රභේදය වන ලකුණු පහළ වී තිබේ. වෙනදාට වඩා ආසාදිතයන් මෙන්ම මරණ සංඛ්‍යාවේ ඉහළ නැඟීමක්ද දක්නට ලැබේ. ඔමික්‍රොන් වඩාත් භයානක නොවන හීලෑ මාදිලියක්ය යන වැරැදි අවබෝධය පැතිර යාම නිසාම තුන්වැනි මාත්‍රාව හෙවත් බූස්ටරය ලබා ගැනීම ගැන නිසි උනන්දුව තවමත් මතුවී නැත. ඒ සමඟම බූස්ටරය සම්බන්ධව දුර්මත රාශියක්ද සමාජය තුළ සංසරණය වෙමින් පවතියි. මේ අතර වැඩිවෙන කොරොනා තර්ජනය නොතකා ජන සමාජය නව සාමාන්‍යයක් කරා ගෙන ඒමට දැන් වැඩ ඇරුඹී හමාරය. ඒ සඳහා අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක්ම නිකුත් කර තිබේ. මේ මාර්ගෝපදේශ මගින් කොවිඩ් මර්දනයට අතහිත ලැබී තිබෙනවාද? නැතිනම් ඒ මගින් කොවිඩ් වර්ධනයට උඩගෙඩි දීමක් සිදුවෙනවාද? විවිධ විද්වතුන් මේ ගැන දරන්නේ සංකීර්ණ අදහස්ය.
මුල්ම ඔමික්‍රොන් ආසාදිතයා හමුවීම මේ තරම් ඉක්මන් වීමට සහ එය මේ තරම් ඉක්මණින් අපේ රට තුළ පැතිර යාමටත් පමණක් නොව දැන් සමාජය පුරාම ඔමික්‍රොන් පැතිරීමේ අනතුර කඩිනම් කරන්නට, ආසාදිතයන් තවමත් වෛරසධාරීන්ව සිටියදී සේවා සඳහා කැඳවීම ඇතුළු අවිද්‍යාත්මක මාර්ගෝපදේශ තදින්ම බලපෑ බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අප හා කීවේය
දැන් පනවා ඇති විද්‍යාත්මක නොවන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසා සිදුව ඇත්තේ ඔමික්‍රොන් රටපුරා පැතිරිමට උපකාරි වන “රිලේ” ධාවන තරගයක් බඳු අඛණ්ඩ වෛරස හුවමාරුවක් පවත්වාගන යාමට ඉඩ සැලසීමක් යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙයි.
ආසාදිතයෙක් තුළින් දින 10ක් යනතුරු තවත් අයට රෝගය පැතිරිය හැකි බව ලෝකයේ වෛරස විද්‍යාවේ පිළිගැනීමක් බව කියන ඔහු, නව මාර්ගෝපදේශ එය නොතකා හැර දින 07කින් ආසාදිතයන් සේවයට කැඳවීම නිසා ගෙදර සිට එන ආසාදිතයන් මගින් ඔවුන් තුළ ඒ වනවිටත් සරුසාරව ඇති වෛරසය තවත් නිරෝගී කණ්ඩායමකට ලබාදෙමින් “රිලේබැටන්” බාර දෙනවා සේ වෛරස අන් අයට බාරදීමක් සිදුවන බවත් ඒ මඟින් අඛණ්ඩව නව ඔමික්‍රොන් මාදිලිය පැතිර යාමක් වඩාත් කඩිනමින් සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.
“අපිට එක දවස් භාගයක් දුන්නොත් ආසාදනයෙන් දවස් 7න් සහ දවස් 10 න් පසු නියැදි 2ක් තෝරාගෙන පරීක්ෂා කරලා පෙන්වන්න පුළුවනි මේ අය තුළ වෛරස බහුලතාව කොපමණද කියලා. මේ අලුත් දින 7 මාර්ගෝපදේශය කෙතරම් අවිද්‍යාත්මකද කියලා
මේ විතරක් නොවේ කොවිඩ් මුල්ම රෝගීයා වාර්තා වීම තුළින්ම මේ මාර්ගෝපදේශවල තිබු අඩුපාඩු දක්නට ලැබුණා. මුල්ම ආසාදිත ජෝඩුව නයිජිරියාවට ගොස් ඒමේදී පරීක්ෂණ නිසිලෙස සිදුවුණා නම් එය කලින් හඳුනාගන්න තිබුණා. නමුත් ඒ වනවිට ගුවන් තොටුපළ පරීක්ෂණ අත්හරින්න උපදෙස් ලැබිලා. දෙවැනියාත් ඉන්දියාවේ සිට ඇවිත් රටපුරා ගිහින් කැසිනෝහල් තුළ ගතකරලා ආපහු යන විටදීයි අපිට හමුවුණේ. මේ අක්‍රමිකතාව ඇතිවුණේ නිසි මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවුණ නිසායි. දැන් මේ දින 07 රෙගුලාසියත් ඒ හා සමානවම වෛරස මර්දනයට නොව වර්ධනයට උපකාරීවන විද්‍යාත්මක පදනමකින් තොර උපදෙස් දීමක් හැටියටයි අපිට නම් පේන්නේ” යැයි රවි කුමුදේශ් කියයි.
ආසාදිතයෙක් දින 7ක් තුළදී යළි සේවයට වාර්තා කිරිමට සුදුසු බව කියන නව සෞඛ්‍ය නිර්දේශය නිසි විද්‍යාත්මක සාක්ෂි සහ දත්ත මත පදනම්ව ගත් තීරණයක් බව වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ දේශයට කීවේය. මේ වනවිට අමෙරිකාවේ සී.ඩී.සී. ආයතනය ඒ සඳහා වූ අවදානම් දින ගණන දින 5 දක්වා අඩු කර ඇති බවද ඔහු පෙන්වා දෙයි. එසේම මේ අය සඳහා පීසීආර් වාර්තා ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දෙයි.
දැනට ගෝලීයව ඇති දත්ත අනුව වෛරස සාන්ද්‍රනය ඉහළම මට්ටමක ඇත්තේ මුල් දින 4-5 කිහිපය තුළ බවත් පසුව එය කෙමෙන් අඩුවී දුර්වල වන බව නිරීක්ෂණය කර තහවුරුව ඇති බවත් වෛරස විශේෂඥ ජූඩ් ජයමහ කියයි. පූර්ණ වෛරසය සිරුරේ නැති විට වුවද දිගුකාලයක් එහි අජිවි ප්‍රෝටීන කොටස් සිරුරු තුළ තිබිය හැකි අතර, එවන් අයෙක් පීසීආර් කළ විට ප්‍රතිඵලය ධනාත්මක බව පෙන්විය හැකි නමුත් සැබෑවටම ඔහු ඒ වනවිට වෛරස අනතුරින් තොර අයෙක් නිසා මේ ප්‍රතිඵලය ව්‍යාජ මග පෙන්වීමක් ලබා දෙන්නට හේතුවිය හැකි බව ඔහු කියයි. මෙබඳු ප්‍රායෝගික නිරීක්ෂණ ගණනාවක් පසුගිය කාලයේ තමන්ට ලැබී ඇති බව ඔහු කියයි. මේ නිසා ප්‍රායෝගික තත්ත්වය සලකා බලා දින 7 සීමාව මෙන්ම මුදල් අපතේ යවා පීසීආර් අනවශ්‍ය ලෙස ලබා ගැනීම වළක්වා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එසේම ඔහු කියන්නේ වෛරසය පැතිරීම ගැන නොව ඒයට ගොදුරක් වීම වළක්වා ගැනීම සඳහා දැනට ඇති හොඳම ප්‍රතිකර්මය වන එන්නත් මාත්‍රා 3ම ලබා ගැනීම මේ මොහොතේ අවධානය යොමු කළයුතු ප්‍රධානතම කාරණාව බවයි. එසේ බූස්ටරය ලබාගත් විට සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන තැවීමට සිදුනොවන බවත් එන්නත ගැන ඇති දුර්මත නොතකා හැර සිය බූස්ටර් මාත්‍රා ලබා ගැනීම මගීන් කොවිඩ් සාමාන්‍ය වාරික උණ රෝගයක් මට්ටම හීලෑ කර ගැනීමට දායක වීම වඩාත් වැදගත් බවත් ඔහු පෙන්වා දෙයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසූවේ මේ තීන්දුව විශේෂඥ කමිටුවක් මගින් හොඳින් කරුණු සොයා බලාගත් තීරණයක් බවය. මේ කමිටුවට වෛරස විද්‍යාඥයන් විශේෂඥ වෛද්‍යවරුන් පර් යේෂකයන් ඇතුළු වෘත්තියවේදී පිරිසක් අයත් බවත් ඔවුන් පිටරට දත්ත පරීක්ෂණ වාර්තා මෙන්ම සිය ප්‍රායෝගික අත්දැකීම සහ දැනුමද තුළින් මේ මඟපෙන්වීම් ලබා දී ඇති බවත් ඔහු පෙන්වාදෙයි. එසේම දැනට බහුලම ව්‍යාප්තිය බවට පත්ව ඇති ඔමික්‍රොන් නිසා රොහල් ගතවන සංඛ්‍යාව මෙතෙක් අඩුවී ඇත්තේ එන්නත ලබා ගැනීම නිසා බවත් මේ නිසා බූස්ටරය ලබා ගැනීම මගින් වෛරසය සමග රටේ වැඩ ඇරඹීමට හැකියාව ලැබී ඇති බවත් ඔහු කියයි. පසුගියදා වාර්තා වූ මරණ වලින් බහුතරය එන්නත ලබානොගත් අවදානම් වයස් කාණ්ඩයේ පසුවූ පිරිස බව ඔහු පෙන්වා දෙයි. මේ නිසා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම මේ මොහොතේ වඩාත්ම ඥානාන්විත ක්‍රියාව බව ඔහුද අවධාරණය කර සිටියි.
සුගත් පී.කුලතුංගආරච්චි