2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

අයි.එම්.එෆ්. දොරට දාන තාක්ෂණික තට්ටුව

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 56

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය ලබාගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව ප්‍රකාශයට පත්ව ඇත. ගෙවුම් ශේෂය සම්බන්ධ නොගැලපීමක් ඇති අවස්ථාවක තාවකාලික සංචිතයක් ලබාගැනීම එකකි. රටට එයට අයිතියක් තිබේ. ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ පරස්පරතා ඇති අවස්ථාවක උපදෙස් ඉල්ලන්නට අවස්ථාවක් ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ඇති ලෝකයේ රටවල් 184 කට මූල්‍ය අරමුදලේ විශේෂඥයන්ගේ උපදෙස් ඉල්ලන්නට අවස්ථාව තිබේ. උපදෙස් ඉල්ලා සිටීම එකකි. එම උපදෙස් ක්‍රියාත්මක කිරීම අනෙකකි. 

ශ්‍රී ලංකාව අවවාද අනුශාසනා වලින් පොහොසත්ය. රට කරවන ක්‍රමය ගැන නොදන්නේ ආණ්ඩුව පමණකි. විපක්ෂයේ සිටිනවිට හොඳ නුවණ තිබේ. ආණ්ඩුවේ වැරදි ගැන වැඩිම චෝදනා කරන්නේ විපක්ෂ දේශපාලන පක්ෂ හා ඒවායේ සාමාජිකයන්ය. ආර්ථිකයක් අමාරු තැනකට වැටී ඇති අවස්ථාවක මූලික සිද්ධාන්ත පවා නොදන්නා අයවලුන්ද ආර්ථික විශේෂඥයෝය. විපක්ෂයෙන් ආණ්ඩුවට පැමිණි පසු ඔවුන් කියා දුන් පාඩම් ඔවුන්ටම අමතකය. ආර්ථිකයක් හදන හැටි ගැන කියන උපදේශකයෝ  ප්‍රතිව්‍යුහකරණයකට ඉඩ දෙන්නේ නැත. 

• ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඇති අයිතිය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආරම්භක කොටස් හිමියෙකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ඇති වූ ආර්ථික වියැවුල හඳුනාගැනීම හා දුෂ්කරතාවයට පත් රටවලට ණය ආධාර  කරනු සඳහා අරමුදල ස්ථාපිත කෙරිණ. 1944 වසරේ එය පිහිටුවන විට මුල්ම සාමාජිකයන් වශයෙන් රටවල් විසි නමයක් ක්‍රියා කළ බව ඉතිහාසය කියයි. පසුව සෑම රටක්ම පාහේ එයට එකතු වී ඇත. ශ්‍රී ලංකාව පළමු කාලයේදීම සාමාජිකත්වය ගෙන තිබේ. 1950 වසරේ අගෝස්තු මාසයේ මූල්‍ය අරමුදල හා එකතු වූ ශ්‍රී ලංකාවට එහි කොටස් මිලියන 578ක් අයත්ය. මුළු කොටස් ප්‍රමාණයෙන් 0.12 කි. වාර්ෂිකව මූල්‍ය අරමුදල රුස්වන අවස්ථාවට මෙරට නියෝජිතයන්ට එහි සභාව නියෝජනය කරන අයිතියක් තිබේ. මුදල් ඇමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයාට මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාරයට සහභාගී වී ඔවුන්ගේ හැසිරීම ගැන හොඳ නරක ගැන කරුණු ඉදිරිපත් කළ හැක

පැරණි වාර්තා දක්වන පරිදි ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ. හුදෙක් රටකට අණ කරන බලහත්කාරයෙන් නියෝග දෙන ව්‍යුහයක් බව අපට පෙන්වන්නේ දේශපාලනඥයන්ය. දරුවන් බය කරන්නට බිල්ලන් පෙන්වන දෙමාපියන්ගේ ජවනිකාව අතට ගෙන ඇති දේශපාලනඥයෝ රටක් හදාගන්නට නොහැකිවීම මූල්‍ය අරමුදලේ අතපෙවීමක් සේ හුවා දක්වති. මූල්‍ය අරමුදලට ජාත්‍යන්තර ආර්ථිකය ගැන දැක්මක් තිබේ. පළපුරුදු විශේෂඥයෝ එහි සේවය කරති. රටවල් ගැන සොයා වෙනම වාර්තා සකස් කරන නිලධාරීන් කණ්ඩායම් ඇත. ආර්ථික අභියෝග ගැන වෙනම පර්යේෂණ කෙරේ. ඒවායේ ප්‍රයෝජන ගැනීම හෝ නොගැනීම සාමාජික රටක අභ්‍යන්තර ප්‍රශ්නයකි. 

මූල්‍ය අරමුදලේ සේවය කරන නිලධාරීන් ගැන වෙනම සාකච්ඡා කළ යුතුය. ශ්‍රී ලංකාව වැනි රටවල්වලට පත් කරන්නේ ආධුනිකයන්ය. මෙරටට පැමිණ කරුණු එකතු කර දරුණු වාර්තා හදන්නට ඔවුහු හුරු වී සිටිති. රටට එන නියෝජිතයන් ආණ්ඩුව, විපක්ෂය, බැංකු ප්‍රධානීන් සහ ස්වාධීන මතධාරීන් සමග කතා කර කරුණු එකතු කරන අතර ඒවායෙන් හදන වාර්තාව හැම අවස්ථාවකම අභියෝගාත්මකය. ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් කළහොත් ඔවුන්ට පහළ සිට ඉහළට යන අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවේ ක්‍රමය මෙයින් පාඩමක් ඉගෙන ගත යුතුය. ජාත්‍යන්තර විශේෂඥයන්ම මුවාවී වාසි ගැනීම වෙනුවට රටට අනන්‍ය ආර්ථික රාමුවක් නිර්මාණය කරගැනීම වැදගත්ය.

• හැත්තෑ හතර වසරකටත් පසු නරක තැනක

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් පවතින තැන ගැන අප සියලු දෙනාටම හොඳ අවබෝධයක් තිබේ. විදේශ විනිමය සංචිත පිරිහී ඇත. ඇතැම් නායකයන්ට අනුව රටකට විදේශ සංචිත අවශ්‍ය නැත. ඒවා හුදෙක් ප්‍රලාප පමණකි. නමුත් පුරවැසියන්ට පවා අනාගතය ගැන සැලැස්මක් තිබේ. හෙට ජීවත්වෙන්නේ කෙසේද යන්න ගැන කල්පනා කරති. අනාගතයේ අවශ්‍ය වන වියදම් වෙනුවෙන් ඉතිරි කරන්නට පෙළැඹේ. අලුතින් ධනය සොයන්නට වෙහෙසෙයි. එදිනෙදා උපයන දෙයින් යැපෙන පිරිස් අප අතර සිටී. ඔවුන් ගැන සමාජයේ බුද්ධිමත් ජන කොටස් දරන මතය අපට අමතක කළ නොහැක. විදේශ සංචිතයක වටිනාකම එයින් වැටහේ. ශ්‍රී ලංකාවට මෙම වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන හතක පමණ බැඳුම්කර හා ණය වාරික ගෙවන්නට ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක්  ජනවාරි අග ගෙවා දමා තිබේ. ඉතිරි මුදල සොයා ගැනීම ගැටලුවකි. 2021 වසර අවසන් වනවිට රටට ඇති සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 තෙක් පහත වැටී තිබුණි.

සංවර්ධනය අරමුණු කරගෙන නිදහසට පසු අවුරුදු හැත්තෑ හතරක් අවසානයේ පැමිණ ඇති ස්ථානය අභිමානයට හේතුවක් නොවේ. නිවැරදි ප්‍රතිපත්ති, ආයෝජනයට පුළුල් අවස්ථා ඇති සමාජයක් කරා ගමන් කළේ නම් මෙයට වඩා වෙනස් චිත්‍රයක් රටට ඇති බව පැහැදිලිය. 

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ණයගැති, සංචිත පිරිහී ගිය සමාජයක් නමුත් ලෝකයේ අනෙක් රටවල් දෙස බලන කළ ජනතාව අගහිඟයකින් පීඩා විඳින්නේ නැත. කොවිඩ් වසංගත තත්ත්වය සමග සමහර රටවල ආහාර අර්බුද ඇති වී තිබේ. සාගින්න ඉහවහා ගොස් ඇත. අලුත් වාර්තා පෙන්වන පරිදි කුසගින්න සම්බන්ධ දර්ශකයේ ඉන්දියාව සිටින තැන ශ්‍රී ලංකාවට වඩා පහත්ය. ශ්‍රී ලංකාව 65 වැනි තැන සිටින විට ඉන්දියාව 101 වන තැන වන බව දැක්වේ. දරුවන්ගේ පෝෂණය, ආහාර ලබාගත හැකි අවස්ථා අඩුවීම ඉන්දීය සමාජයේ එක පැතිකඩකි. ලංකාවේ ජනතාව අතර උග්‍ර දරිද්‍රතාවයක් නැති නමුත් ඇති නැති පරතරය දරුණුය. මෙම විෂමතාව ක්‍රමයේ විකෘතියකි. නිවැරදි ප්‍රතිපත්ති අනුව රට ඉහළට ඔසවා තැබීම පාලකයන්ගේ වගකීමකි. 

• ණය නොගෙන ගමනක් යන තීරණය

සංවර්ධන සඳහා ණය නොගැනීමට වත්මන් ආණ්ඩුව තීරණය කරන්නේ වසර දෙකකට කලින් බව මතක් කළ යුතුය. ජපානයෙන් ලැබුණ ණය ආධාර පවා ප්‍රතික්ෂේප කරයි. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ පවත්වන සබඳතා පවා පැත්තකට කරන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් රටට ඇති විනිමය ගැටලුවලට විසඳුමක් ලෙස වාණිජ ණය ගැනීම සුදුසු නැත. සති අන්තයේ පුවත්පත්වල පවා ඩොලර් ණය ගැනීමට දැන්වීම් පළ කරයි. ඒවායේ වාර්ෂික පොලිය සියයට හත ඉක්මවන බව දැක්විය යුතුය. මෙම පොලිය ගෙවිය යුතු පොදු ජනතාවය. මැද පෙරදිග රටවල ඇතුළු තැන්වල සේවය කරන ජනතාව උපයා එවන විනිමය වාණිජ ණයවලට පොලිය සඳහා හිලව් කිරීම අපරාධයකි. එය නරක එකක් බව සසඳන්නට මූල්‍ය අරමුදලේ සංචිත හොඳ උදාහරණයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සපයන සංචිතවලදී ශ්‍රී ලංකාවට ලැබෙන පොලිය සියයට දෙකකට අඩුය. තාක්ෂණික උපදෙස් මගින් ක්‍රමය නිවැරදි කරගන්නා අතර තාවකාලික සංචිතයකින් වත්කම් උපයා ගැනීම නොකරන්නේ ඇයි?

වසංගත තත්ත්වය සමඟ ලෝක ආර්ථිකය ගැටලු වැලකය. ධනය උපයන මාර්ග අවහිරව ඇත. රටවල් බෙලහීන වී ඇති අතර ව්‍යවසාය දුර්මුඛ වී සිටී. වෙළෙඳාම අඩාලය. සංචාරක කර්මාන්තය විශාල අඩු තැනකට පත්ව ඇත. මේවායෙන් ආදායම් නැතිව ලැබෙන තෙක් ඉවසන්නට අපට සිදුවී තිබේ. ක්‍රමය හැදෙන තෙක් වාණිජ ණය ගැනීම වෙනුවට තාවකාලික සංචිත උපයා ගැනීම සුදුසුය. ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ කොටස් අනුව සංචිත පහසුකම් ලබාගත හැකි ප්‍රමාණයක් තිබේ. එය වාසියකි. මෙයට කලින් දහසය වතාවක් ශ්‍රී ලංකාව මෙම ණය සංචිතය ලබාගෙන ඇත. එය රටට ලැබෙන මුදලක් නොවේ. එය ඇපයට තබා ලෝකයේ අනෙක් රටවල් සමඟ වෙළඳ ගනුදෙනුවලට යා හැකිය. දැනට පවතින වාතාවරණය අනුව මෙරට කර්මාන්ත හා ව්‍යවසායවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ, අමුද්‍රව්‍ය පවා ගෙන්වන්නට විනිමය නැත. නිසි පරිදි මූල්‍ය පහසුව නොලැබුණහොත් ඇඟලුම් කර්මාන්තයට පවා ප්‍රශ්න මතුවන බව මෙහිදී මතක් කළ යුතුය. රෙදි ආනයනය නොකර ඇඳුම් සකස් කරන්නට පුළුවන්කමක් නැත. ඒවායේ ප්‍රමාදය ඉදිරි කාලයේදී මෙරට වර්ධනය වී ඇති අපනයන අංශ අවහිර කරනු ඇත

• නිෂ්පාදනය වැඩිකරන වේගවත් සැලසුම්

ශක්තිමත් ආර්ථික පරිසරයක් ගොඩනැගී ආදායම උපයන තෙක් බලා සිටින්නට ජනතාව සූදානම්ද? එකම පිටිවහල සංචාරක කර්මාන්තයේ ප්‍රගතියක් ගැන අපේක්ෂාවයි. එය තාවකාලික එකකි. රටට උත්පාදනය අවශ්‍යය. කර්මාන්ත ඇති කළ යුතුය. ආයෝජන අවශ්‍යය. ව්‍යවසායකයන් දිරිගැන්වීම වැදගත්ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් දින දේශනයේ දී රටට අවශ්‍යම කරන ව්‍යවසාය ගැන වැදගත් පණිවුඩයක් නිකුත් කළේය. රජය කටයුතු සම්පාදනය කළ යුතු පැති ගැන ඇඟවීය. මෙම වචන හුදෙක් මතකයට පමණක් ඉතිරි කළ යුතු නැත. විශාල ව්‍යුහයක් කරා යා යුතුය. රටට ආයෝජන ලබාගන්නට, දේශීය ආයෝජකයන්ට ශක්තිමත්ව ඉදිරියට යන්නට සැලැස්මක් අවශ්‍යය. එයට අවශ්‍ය කෙරෙන නීති රීති හා පසුබිම ඇති කිරීම වැදගත්ය. එයින් නිෂ්පාදනයක් ඇති කෙරේ. අපනයන අවස්ථා ඇති කරනු ඇත. එයින් බැහැර වෙනත් විකල්පයක් නැත. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය මෙහිලා ඉතාම සුදුසු පියවරකි. අරමුදල අංශ හයක ආවරණයක් සහිතව තාක්ෂණික පැති ගැන සොයා බලයි. නිසි ප්‍රතිංස්සකරණ ඇති කළ යුතු අංශ ගැන උපදෙස් නිකුත් කරනු ඇත. මුලින්ද සඳහන් කරන පරිදි උපදෙස් රුගෙන ඒවා ක්‍රියාත්මක නොකර සිටින්නට අපට අයිතියක් තිබේ. ඉතිහාසයේ අප ගේ පාඩම එයයි. රාජ්‍ය සේවයේ ප්‍රමාණය, සහනාධාර ක්‍රම, අය වැය පරතරය, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන උවමනා තරම් පත්‍රිකා මෙරට අමාත්‍යංශවල ඇත. ආණ්ඩුවට උවමනාවක් ඇති අවස්ථාවල කිසිම දෙයක් කරන්නට ඉඩ නොදෙන, කිසිම තීරණයකට ඉඩ නොතබන විපක්ෂයක් ද අපට සිටී. මෙම අවස්ථාවේදී මෙරට සියලු දේශපාලන නායකයන්ගේ සම්බන්ධතා වැදගත්ය. ඔවුන් අතර සංවාදයකින් පසු රට ඉදිරියට ගැනීම සඳහා ඉක්මන් තීරණ ගැනීම සුදුසුය. හෙට බලයට එන පක්ෂයකට පවා දැන් පවතින අභියෝග නොවෙනස් බව මතක තබා ගතත යුතු එක වැදගත් කරුණකි.

 සාරා ගොඩකන්ද