2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

යළිත් රතු කොඩි ඔසවන තෙල් මිල

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 87

ඉස්සර කාලයේ ගෙවල් බින්දේ පළමුව ගෙයි බිත්තියක් තුළින් මුට්ටියක් ගෙය තුළට යවලාය. මුට්ටිය දැමූ පසු සද්දයක් - බද්දයක් නැතිනම් ඊළඟට බිය සැක නැතිව ගෙය බිඳින්නට පුළුවන. එවැනි මුට්ටි දමා බැලිල්ලක් පසුගිය සතියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළේය. එය නම් ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC) මඟින් තෙල් මිල වැඩි කිරීමය. ඉන්දියානු තෙල් සමාගම තෙල් මිල ඉහළ දැමිල්ල ඛනිජ තෙල් සංස්ථාව මිල වැඩ කිරීමේ පෙර නිමිත්තකි. මීට පෙර සිදුව ඇත්තේද එයමය. මේ ලිපිය ලියන මොහොත වනවිට ඉන්දියානු තෙල් සමාගම තෙල් මිල ඉහළ නංවා අවසන් අතර, ඇතැම් විට මේ ලිපිය පුවත්පතේ පළකරන ඉරිදා දිනය වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දමා තිබීමට ඉඩ තිබේ.

අපේ රටේ ඉන්ධන මිල අවසන් වරට ඉහළ නැංවූයේ පසුගිය දෙසැම්බර් 20 වැනි දිනය. එය මෙතෙක් සිදුකළ දැවැන්තම මිල වැඩි කිරීම බවට ඒ දිනවල කවුරුත් කතාබහ කළා අපට මතකය. ඊළඟට තවත් මාසයකුත් දින පහළොවක් ගතවන තැන යළිත් වරක් මිල වැඩි කර ඇත.

දෙසැ. 20ට පෙර තිබූ මිල   වැඩිකළ මිල වෙනස

(රුපියල්)

ඔක්ටේන් 92- 157 177 20

ඔක්ටේන් 95- 184 207 23

සුපිරි ඩීසල් 144 159 15

ඔටෝ ඩීසල් 111 121 10

2022 පෙබරවාරි 06දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියානු තෙල් සමාගම පැට්‍රල් 92 - ලීටරය රුපියල් 07කින්ද ඩීසල් ලීටරය රුපියල් 03කින්ද ඉහළ නැංවූ අතර නව මිල පිළිවෙළින් රුපියල් 184 හා 124ක් බවට පත් විය.

මෙම වැඩි කිරීමට පෙර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ලෝක වෙළෙඳපොළේ බොරතලේ මිල සෑහෙන්නට වැඩිවී ඇති බව මාධ්‍ය මගින් නිවේදනය කළේය. ඔහු පැවසූ ලෙසට දෙසැම්බරයේ අමෙරිකානු ඩොල් 74ට තිබූ බොරතෙල් බැරලය මේ වනවිට රුපියල් 93 ඉක්මවා ඉහළ ගොස් තිබේ. ඔහු සුපුරුදු සිනාවෙන් මුව සරසාගෙන පැවසුවේ මේ අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ නැංවීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගෙන නොමැති බවය. එසේ වුවද ඔහු අවධාරණය කළේ මේ වනවිට ඩීසල් ලීටරයකින් රුපියල් 45 සහ පැට්‍රල් ලීටරයකින් රු. 17ක් පාඩුවන බවය. ඔහුගේ එම ප්‍රකාශවලින් ගම්‍ය වනුයේ ඉදිරියේදී තෙල් මිල වැඩි කිරීමක් සිදුවේය යන්න බව මොළය කළඳක් ඇතියකුට වුවද තේරුම් යනවා ඇත. ඔහු කියන පරිදි ඉන්දීය තෙල් සමාගම මිල වැඩි කිරීම නිසා සංස්ථාවේ පාඩුව වැඩි වී තිබේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම වේගවත්ව සිදුවන බැවින් තෙල් සංස්ථාවට තවදුරටත් මෙම මිල දරාගෙන සිටීම අපහසු බවට ඔහු කියන කතාව සත්‍යයකි. ඒ ගැන තර්ක කළ නොහැකිය. එහෙත් තෙල් මිල වැඩිවීම නිසා සාමාන්‍ය ජන සමාජයට අත්වන ඉරණම ගැන ඔහු නොදන්නවා නොවේ. ඔහුම කියන පරිදි ඔහුට මේ ගැන තනිව සටන් කළ නොහැකිය. තෙල් සංස්ථාව කරනුයේ සරල ලෙස දැක්විය හැකි Buying and Selling මිලට ගෙන විකිණීමේ ව්‍යාපාරයකි. මෙය හරියට කළමනාකරණය කරන්නේ නම් මෙයින් ලාභයක් මිස පාඩුවක් විය නොහැකිය. රටේ සෙසු ඇතැම් ව්‍යාපාර මෙන් මෙය අවිනිශ්චිත අනතුරුදායක ව්‍යාපාරයක් නොවේ. සංස්ථාවෙන් කෙරෙන්නේ අඩු මිලට ගෙන වැඩි මිලට අලෙවි කිරීම නම් එයින් පාඩුවක් සිදුවිය නොහැකිය. එසේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අද සිදුව ඇත්තේ වැඩි මිලට ගෙන අඩු මිලට දීමටය. මෙය අතේ පත්තුවීමකි. මෙය දිගටම කරගෙන යන්න පුළුවන් බිස්නස් එකක් නොවේ. ආනයනයේදී කඩා වැටීම වැළැක්විය නොහැකිය. මේ තත්ත්වය ඇමැතිවරයා මෙන්ම රටේ සෙසු වගකිවයුත්තනද නොදන්නවා නොවේ. එහෙත් ලෙඩේට බෙහෙත් නොදීම නිසා රෝගියා අද වනවිට අසාධ්‍ය තත්ත්වයට පත්වෙමින් සිටී.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වනුයේ රාජ්‍ය සහ අනුබද්ධ ආයතනවලට ණයට තෙල් සැපයීමට සිදුව තිබීමය. ඒ ඇතැම් ණය යළිත් ලැබෙන ඒවා නොවේ. වසර 5-10 සිට නොගෙවා ණය ශේෂව වැඩිවෙමින් පවතී. තෙල් සංස්ථාවේ ගිණුම්වලට අනුව 2021 වසරේ මාර්තු මස අවසානයට තෙල් සංස්ථාවට රටේ විවිධ රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 154228ක මුදලක් අයවීමට ඇත. (මේ මුදල අද වනවිට තවත් වැඩිව ඇතිවාට සැකයක් නැත) ලංකා විදුලිබල මණ්ඩලය, විදුලි පෞද්ගලික සමාගම. ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ත්‍රිවිධ හමුදාව හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මේ ණයකරුවන් අතරින් ප්‍රමුඛ වේ. මේ හැර සෙසු රාජ්‍ය ආයතන රුසකින්ද විශාල මුදලක් අයවීමට තිබේ. සංස්ථා ආරංචි මාර්ග පවසන්නේ තෙල් සංස්ථා කළමනාකාරීත්වය මේ මුදල් අයකර ගැනීමට උත්සාහ ගත්තද එය එතරම් සාර්ථක වී නොමැති බවය. ඇතැම් රාජ්‍ය ආයතනවලට ණයට තෙල් නොසපයා නොහැකි තැනට සංස්ථාව පත්ව ඇත. ඒ අතරින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රධානය. විදුලි බල මණ්ඩලයේ ණය පියවනතුරු තෙල් නොසපයා සිටීමට සංස්ථාවට හැකි වුවද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කක් නොවේ.

තෙල් නොසැපයුවහොත් ඉන්ධන බලාගාරවල නිෂ්ාදනය ඇණ හිටීමෙන් මුළු රටම අඳුරට ඇද වැටීමක් සිදුවේ. එය ජන ජීවිතයට තර්ජනයකි. පවතින රජයට බලපාන විශාල ගැටලුවකි. මේ බව දන්නා ලංකා විදුලිබල මණ්ඩලය බොහෝ අවස්ථාවල ණය ගෙවීමට උනන්දුවක් නොදැක්වීම නිසා ණය මුදල වැඩිවෙමින් පවතින අතර අඛණ්ඩ සැපයුම් කිරීමට තෙල් සංස්ථාවට සිදුව තිබේ. පසුගිය දිනවල මෙම තත්ත්වය උග්‍ර බවට පත්ව තිබූ අතර බලවත් පරිශ්‍රමයකින් ණයවලින් සුළු කොටසක් ලබාගැනීමට තෙල් සංස්ථාවට හැකිවිය. විදුලිබල මණ්ඩලය අයි.ඕ.සී. සමාගමෙන් ඍජුව ඉන්ධන ලබාගැනීමට පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වුවද අපට දැනගන්නට ලැබී ඇති පරිදි එම සාකච්ඡා සාර්ථක වී නැත. එසේ සිදුවෙනවා නම් ඛනිජ තෙල් සංස්ථාවට එම වගකීමෙන් නිදහස් වීමට හැකිවේ. එසේ නොවුවා නම් විදුලිබල මණ්ඩලයේ ණය බිල තවත් ඉහළ නොයාමට ඉඩ තිබුණි. ඉන්දියානු තෙල් සමාගම පවසනුයේ තමන්ට ඩීසල් ලීටරයකින් රුපියල් 42ක්ද ඔක්ටෝන් 92 පැට්‍රල් ලීටරයකින් රුපියල් 10කද පාඩුවක් සිදුවන බවය. ඒ නිසා විදුලි බල මණ්ඩලයට ණයට තෙල් සැපයීමට ඔවුන් එකඟකරවා ගත හැකිවේද යන්න සිතන්නට නොහැකිය.

පසුගිය රජයේ මුදල් ඇමැතිව සිටි මංගල සමරවීර මහතා විසින් ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව සෑම මසකට වරක්ම මෙරට ඉන්ධන අලෙවි කරන මිල තීරණය වෙනවා ඇත. එය සෑහෙන කාලයක් ක්‍රියාත්මක කළද විපක්ෂයේ (වර්තමාන ආණ්ඩුව) දැඩි විරෝධය හමුවේ එය දිගටම පවත්වාගත නොහැකි විය. එසේ වුවද පසුගිය වර සංස්ථාව විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ නැංවූ අවස්ථාවේ පවතින ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරුන් පවා පැවසුවේ මිල සූත්‍රය තිබුණා නම් එකවර ඒසා විශාල වැඩිවීමක් ඇතිනොවනු ඇති බවය. මේ වනවිටද මිල සූත්‍රයක් පිළිබඳ ආණ්ඩුවේ උනන්දුවක් ඇතිව ඇති බව දැනගන්නට තිබේ.

මේ ලිපිය ලියන මොහොත වනවිට විදේශ ඇමැති ජී.එල්. පීරිස් ඉන්දීය විදේශ ඇමැති ජය ශංකර් සමග ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ සාකච්ඡා කරමින් පසුවේ. ඉන්ධන ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 500ක ණය මුදලක් ශ්‍රී ලංකාව ඉල්ලා සිටි බව දැනගන්නට ලැබේ. මෙයට පෙරද ඉන්දියාවෙන් එවැනි ණයක් ලැබුණි. එහෙත් මෙවැනි කෙටිකාලීන ණය විවිධ රටවලින් ලබාගෙන එදා වේල ටුවර්ස් මගින් බලශක්ති අර්බුදයට නිසි විසඳුමක් ලබාගත හැකිද යන්න සැකයකි. අපේ රටේ බොරතෙල් නිෂ්පාදනය නොකරන නිසා අපට කෙහොමත් තෙල් මිලට ගන්න සිදුවන්නේ පිටරටවලින් ලෝක වෙළෙඳ පොළේ මිලටය.

බොරතෙල් හිඟවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය දිනවල දෙවරක් වසා දැමීමට සිදුවිය. බොරතෙල් ආනයනය කිරීමට ප්‍රධාන බාධකය වූයේ ඩොලර් හිඟයය. එයට යම් පමණක හෝ සහනයක් වෙනුවෙන් සයිප්‍රසයේ ටෙරාකේවිස් සමාගමෙන් බොරතෙල් බැරල් 450,000ක් මිලට ගැනීමට කැබිනට් මණ්ඩලය මේ වනවිට අනුමත කර තිබේ. බොහෝ විදේශ සමාගම් පසුගිය වාරවල තෙල් සැපයීමේදී තෙල් සැපයූ වහාම මුදල් ඉල්ලා සිටියේය. මුදල් ගෙවන තුරු දින 11ක් පමණ මුහුදේ රුඳී සිටි නැව්ද තිබූ බව වාර්තා විය. එසේ වුවද ටෙරාකේවිස් සමාගම තමන් සපයන තෙල් තොගයට මුදල් ගෙවීමට මාස හයක සහන කාලයක් ලබා දී තිබේ. එම නිසා මෙම සමාගම තෝරා ගැනීමට ප්‍රමුඛත්වය දී තිබේ. එසේම සමාගම තෙල් සපයන්නේ බැරලය අමෙරිකානු ඩොලර් 78 බැගින්ය. එය අද ජාත්‍යන්තර බොරතෙල් මිලට සාපේක්ෂව තරමක් අඩු මුදලකි.

ශ්‍රී ලංකාවට වසරකට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 450ක පමණ වටිනා ඉන්ධන අවශ්‍ය වේ. ඉන්ධන බොහෝදුරට අනම්‍ය භාණ්ඩයක් බවට පත්ව ඇති නිසා මිල වැඩිවූවා යැයි ඉන්ධන පාරිභෝජනයේ සැලකිවයුතු අඩුවක් ඇති නොවේ. 

මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වන තෙල් වරාය හා විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත චෝදනා කරන්නේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ සියයට 50කට වැඩි කොටසක් රජය මේ වනවිට ඉන්දියානු තෙල් සමාගමට පවරා දීමට කටයුතු කරමින් සිටින බවයි. දැනට විදුලිබල මණ්ඩලයට ඍජුවම ඉන්දියානු තෙල් සමාගමෙන් තෙල් ලබා ගැනීමට සාකච්ඡා කරමින් පවතින අතර යම් විධියකින් එය සාර්ථක වුවහොත් ඉන්දියානු තෙල් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ගිල ගැනීම වඩාත් ඉක්මන් වනු ඇති බවයි. මෙය කුමන්ත්‍රණයක් ලෙසට සැක සිතෙන බවද ඔහු කියයි.

මේ වනවිට ඩොලර් අර්බුදය ගැන පවසමින් උතුරු නැගෙනහිර ඛනිජ තෙල් බෙදාහැරීම මුළුමනින්ම ඉන්දියානු තෙල් සමාගමට දීමට කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාව අපට ඩොලර් ණය දෙන්නේ ළඟ සිටින ගජ මිතුරකු ලෙස නොව තෙල් ව්‍යාපෘතිය ගිල ගැනීමේ සැලසුම මතයි. සංස්ථාවේ පාඩු වැඩිකර පෙන්වන අතර කළමනාකරණය කිරීමේ කිසිදු සැලසුමක් නැහැ. පාඩුව වැඩිවීම පෙන්වා 2022 වසර අවසන් වීමට පෙර තෙල් ව්‍යාපාරයෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට දීම ස්ථීර ලෙසම සිදුවේවි.

2002 වසරේ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමේදී ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් මිල හා සෙසු කටයුතු ගැන තීරණයක් ගැනීමට මිල කොමිසමක් පත්කරන බව පැවසුවා. භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය ආදී ආයතනවල නියෝජිතයන් මෙම කොමිසමට පත්කරන අතර එහි කටයුතු නියාමනය සඳහා බලධරයකු පත්කරන බව කීවා. එදා සිට අද දක්වා ආණ්ඩු කීයක් මාරු වුණාද? එහෙත් මෙවැනි කොමිසමක් පත් කිරීමට කටයුතු කර නැහැ. කොමිසම නැති නිසා පනත අනුව තීරණ ගැනීමේ බලධරයා වන්නේ ඇමැතිවරයායි. ඒත් වර්තමාන ඇමැති පසුගිය වර තෙල් මිල වැඩිකරන විට ජනතාවට පැවසුවේ තෙල් මිල වැඩි කිරීමේ බලය ඇත්තේ තමාට නොව මුදල් ඇමැතිට කියලයි. එය අමූලික බොරුවක්. මිල ගැන තීරණ ගත යුතු වන්නේ ඛනිජ තෙල් ඇමැතිවරයායි.

2015 ඡන්දයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවල පැවසුවේ තෙල් ව්‍යාපාරය ඉන්දියාවට ලබාදීමෙන් රටේ දේශපාලන නිදහස නැතිවන නිසා තෙල් සංස්ථාවට පමණක් තෙල් ඒකාධිකාරය ලබාදී ඉන්දියානු තෙල් සමාගම ව්‍යාපෘතියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන බවයි. එපමණක් නොව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ල සංස්ථාව සතු කරන බවද කීය. එහෙත් සිදුවූයේ කුමක්ද? එහි අනිත් පැත්තයි. ඒ කාලයේදී ජනතා විමුක්ති පෙරමුණද එ.ජා.ප.ය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂලාට සහය දුන්නත් අද ඇතිව තිබෙන තත්ත්වය ගැන ජේ.වී.පී.ය වචනයක්වත් කතා කරන්නේ නැහැ.

2019 වසරේදී දෙසැම්බර් මස මුල ලෝක වෙළෙඳපොළේ බොරතලේ බැරලය ඩොලර් 83ක් වූ අතර 2021 මැයි වනවිට ඩොලර් 24කින් අඩුවෙලා 59ක් බවට පත්වුණා. ඉන්දියානු තෙල් සමාගම විශාල ලාභයක් ලැබුවා. තෙල් සංස්ථාව හෝ ඉන්දියානු සමාගම ඒ අඩු වූ මිලෙන් ශත පහක්වත් ජනතාවට දුන්නේ නැහැ. 2021.12.20 දින තෙල් මිල වැඩිකළා ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ ගියාය කියලා. තෙල් මිල අඩු නොකළේ පාරිභෝජනය අඩුකර ඩොලර් ඉතිරි කර ගැනීමට යැයි ඇමැති පැවසුවා. එය ජනතාව රුවටීමක් බව දැන් සනාථ වී තිබෙනවා.

 යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05