2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

සද්ද නැතිව වෙන්දේසි වෙච්ච මහනුවර රෝහලේ ඉඩම්

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 152

ලංකාවේ දෙවැනි ප්‍රධානතම ජාතික රෝහල වන මහනුවර ජාතික රෝහල ශික්ෂණ රෝහලක් ලෙසද ප්‍රචලිතය. ලංකාවේ විවිධ පළාත්වලින් මෙම රෝහලට විවිධ රෝගපීඩාදිය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට රෝගීහු පැමිණෙති.

පිළිකා, හෘද, ස්නායු, විකලාංග සර්වාංග වෛද්‍ය, දන්ත අක්ෂි, විශේෂ හෘද සැත්කම්, වකුගඩු ප්‍රතිකාර ඒකක, විශේෂ සායන (දියවැඩියා, අස්ථි රෝග, පිළිකා රෝග, අධිකරණ වෛද්‍ය) සමන්විත මෙම රෝහලට දෛනිකව දස දහසක් පමණ ජනතාව විවිධ ප්‍රතිකාර පරීක්ෂණ සඳහා පැමිණෙති.

ඉංග්‍රීසි පාලකයන් විසින් මෙම රෝහල සඳහා එකල ලබාදුන් අක්කර 100ක පමණ වූ ඉඩම් ප්‍රමාණය කලින් කලට අඩුවීමට හේතු වූයේ විවිධ පුද්ගලයන් රෝහල සතු ඉඩම්වල අනවසර ඉදිකිරීම් සිදුකරමින් එහි පදිංචිවීමත් සමඟය. අක්කර 58ක් දක්වා වූ ඉඩමෙන් අක්කර 24ක ඉඩම් ප්‍රමාණයක් අනවසර පදිංචිකරුවන් විසින් අත්පත් කරගෙන තිබේ.

දේශපාලනඥයන්ගේ උදව්වෙන් රෝහල් පරිශ්‍රය සතු ඉඩම් කොටස් අල්ලාගත් පිරිස් දේශපාලන ප්‍රබලයන්ගේ හයිය ගෙන රාජ්‍ය නිලධාරීන්ට පවා (තග) දැමීමට පුරුදු වී සිටියහ.

දිනෙන් දින වැඩිවන ජනගහණයත් සමඟ මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේ විකලාංග ප්‍රතිකාර ඒකකයක් මෙන්ම තවත් අංශ කිහිපයක් ආරම්භ කිරීමට ඇතත් රෝහල් ඉඩමේ කොටස් අනවසර පදිංචිකරුවන් විසින් අල්ලාගෙන නිවාස ඉදිකරගෙන රෝහලට ඉහළින් තිබෙන කඳු රක්ෂිතයේ සිට ඉවත දමන ජලය පවා අනාරක්ෂිත ලෙස පහළට ගලා ඒමට සලස්වා තිබේ.

පැවති රජයන් අවස්ථා කිහිපයකදීම රෝහලට අයත්ව තිබූ අනවසර පදිංචිකරුවන් අල්ලාගෙන තිබෙන ඉඩම් කොටස් කිහිපයක් ඉතා අසීරුවෙන් මුදවාගත් නමුත් සමහරු දේශපාලන බලය උපයෝගී කර ගනිමින් රෝහල සතු ඉඩම්වලින් ඉවත් නොවූහ.
මහනුවර ජාතික රෝහල සතු ඉඩම්වල පදිංචිකරුවන් අතර රෝහලේ සේවයේ නියුතු සේවක සේවිකාවෝද සිටිති. මෙම සෑම නිවසකටම ජල විදුලිය සපයා තිබේ.

ඇතැම් අමාත්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යධුරවලට පත්වූ පසු ඔවුන්ගේ ගම් පළාත්වලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ රැකියා ලබාගත් සමහර සේවක සේවිකාවෝද මහනුවර ජාතික රෝහල සතු ඉඩම්වල අනවසරයෙන් ඉදිකිරීම් කරගෙන පදිංචි වී සිටිති.

මහනුවර ජාතික රෝහලට මහා හිසරදයක් වූ මෙම රෝහල් බිමේ අනවසරයෙන් පදිංචිවූවන් ඉවත් කිරීමට විවිධ දේශපාලනඥයෝ උත්සාහ කළහ. එය ව්‍යවර්ථ විය. 

පසුගියදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රුස්වීමේදී කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා රෝහල් ඉඩම්වල අනවසරයෙන් පදිංචිකරුවන් ක්‍රමානුකූලව ඉවත් කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයට අයත් ඉඩම්වල අනවසර පදිංචිකරුවන් 168 දෙනකු සමීක්ෂණයේදී හඳුනා ගනු ලැබුවේ වසර 2018 දීය. එහිදී හඳුනාගත් අනවසර පදිංචිකරුවන්ගෙන් පවුල් 37ක් ඉවත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් එය අවසන් කර ගන්නට නොහැකි වූයේ ඇතැම් දේශපාලනඥයන් ඔවුන්ගේ මනාප ඡන්ද මල්ල ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ නිසාය.

වසරකට ලක්ෂ 05ක් පමණ වූ රෝගීන් සංඛ්‍යාවක් මහනුවර ජාතික රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන බව සමීක්ෂණවලදී හෙළි වී තිබේ.

මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේ නව සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රතිකාර ඒකක ඉදිකිරීමට සැලසුම් කර ඇතත් එම සංවර්ධන ව්‍යාපෘතිවලට තිබෙන ප්‍රධාන බාධකය වන රෝහල් ඉඩම්වල පදිංචි වී සිටින පිරිස් ක්‍රමානුකූලව ඉවත් කොට ඔවුන්ට ඉඩම් ලබා දී නිවාස ඉදිකර ගැනීම සඳහා සාධාරණ වන්දි මුදලක් ලබාදීම කෙරෙහිද මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒකමතිකව තීරණය විය.

මහනුවර ජාතික රෝහලට වරින් වර පත්වූ රෝහල් අධ්‍යක්ෂවරුන්, රෝහල් ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටින පුද්ගලයන් හා පවුල් ඉවත් කිරීමට ගත් උත්සාහයේදී එම අධ්‍යක්ෂවරුන්ට ඇතැම් පුද්ගලයන්ගෙන් මැර තර්ජන පවා එල්ල විය.
රෝහල් ඉඩමේ අනවසරයෙන් පදිංචි පවුල් ඉවත් කිරීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතව සිතා ඔවුනට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබාදීම කෙරෙහිද මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය විය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ රෝහලට අයත් ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටින පිරිස් සම්බන්ධ ප්‍රශ්නය වසර ගණනාවක් තිස්සේ පවතින බවකි. රෝහල සතු ඉඩම්වල අනවසරයෙන් පදිංචි වී සිටින පිරිස් ඉවත් කිරීමේදී ඔවුනට අසාධාරණයක් නොවන පරිදි සුදුසු වන්දි ක්‍රමයක් ලබා දී කළ යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා රෝහල් බලධාරීන්ට දන්වා සිටියේය.

මේ වන විටත් මහනුවර ජාතික රෝහල් භූමියේ ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් රෝගීන් ප්‍රවාහනය කෙරෙන ගිලන් රථ, රෝගීන් බැලීමට පැමිණෙන පාර්ශ්වයන්ගේ රථවාහන නැවැත්වීමේ කටයුතුවලටද විශාල ලෙස බාධා එල්ල වී තිබෙන බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දන්වා සිටියේය.

මහනුවර ජාතික රෝහලට ප්‍රවිශ්ට වීමට බෝගම්බර මංසන්ධියේ සිට ඍජුව තිබෙන ප්‍රධාන මාර්ගය ද ඉතා පටු තත්ත්වයේ පවතින අතර එම ප්‍රදේශවල තිබෙන කඩ කාමර සහ තාවකාලික කඩ, මිනීපෙට්ටි සාප්පු, හෝටල් මෙන්ම රෝහල ඉදිරිපිට රථගාල් කරන ස්ථානද ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉවත් කිරීමට පියවර ගත යුතු බව රෝහලට යන එන ජනතාවත් රෝහල් කාර්ය මණ්ඩලත් පවසති.

ඉතා හදිසි අනතුරුදායක අවස්ථාවක ගිලන් රථ දෙකකට එහා මෙහා යෑමටවත් රෝහලට යාමට තිබෙන ප්‍රධාන මාර්ගය ප්‍රමාණවත් නොවන බව මහජනතාව නිරන්තරයෙන් පවසති. රෝහල් පරිශ්‍රය තුළත් රෝහලට ප්‍රවිශ්ට වන ප්‍රධාන මාර්ගයත් ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන තිබීම නිසා හදිසි අවස්ථාවකදී රෝහලට එක්වර රථවාහන පැමිණීමද ඉතා දුෂ්කරව පවතියි.

මෙම තත්ත්වය පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානයට නිරන්තරයෙන්ම මාධ්‍ය ඔස්සේ කරුණු හෙළිකර ඇතත් වගකිවයුතු රාජ්‍ය අංශ (මහනුවර මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලීසිය, ප්‍රධානීන්) ඒ පිළිබඳව වගේ වගක් නැතිව නිහඬව සිටිති. ලෝකයේ බොහෝ රටවල්වල ප්‍රධාන රෝහල්වලට යාමට ස්ථාපිත කර තිබෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයන් ආසන්නයේ අනවසර වෙළෙඳ කුටි, මිනීපෙට්ටි සාප්පු, ඖෂධ අලෙවිසල්, මළසිරුරු එම්බාම් (බෙහෙත් ගැල්වීම්) කරනු ලබන ස්ථාන ස්ථාපිත කිරීමට පෞද්ගලික හෝ රාජ්‍ය අංශවලට අවස්ථාව ලබා නොදෙන බව විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම පැවසූහ.

ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව වෙත තමන් බලපත්‍ර දීමනාව ගෙවන බව රෝහල් භූමියට ඉහළින් පිහිටි ඉඩමක හිමිකරුවෙක් ප්‍රකාශ කළේය. මෙම ඉඩම්වලින් තමන් ඉවත්වීමට ඕනෑම අවස්ථාවක එකඟ වන බවත් නමුත් ඒ සඳහා තමන්ට සාධාරණ වන්දි මුදලක් සහ ඉඩමක් ලබා දෙන්නේ නම් ඕනෑම අවස්ථාවක් රෝහල් භූමිය සතු ඉඩම්වලින් ඉවත්වීමට කටයුතු යොදන බවත් එම ඉඩම්හිමියා වැඩිදුරටත් කීය.

රෝහලේ ඉඩම්වල නිසි අයිතිය තහවුරු කර ගැනීමට කඩිනම් පියවර ගත යුතු බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පළාතේ රාජ්‍ය නිලධාරීන් වන පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහුද දේශපාලන අධිකාරියේ සාමාජිකයෝ ද තීරණයකට එළැඹියහ.

රෝහලට අයත් ඉඩම්වල ඉදිකර ඇති අනවසර නිවාසයන්හි වැඩි වශයෙන් නවාතැන් ගෙන සිටින්නේ සෞඛ්‍ය අංශ සේවකයන්ය. ඇතැම් නිලධාරීන්ද මෙම ඉඩම්වල නිවාස ඉදිකරගෙන කුලියට දී ඇත.

 ජේ.ඒ.එල්. ජයසිංහ