ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය අවධානය වෙනදාටත් වඩා මේ දිනවල වැඩියෙන් යොමු වී තිබෙන්නේ දිනෙන් දින ඉහළ යන උද්ධමනය නිසාය. ඒ අතර ලොව වාහන නිෂ්පාදකයන් මවිතයට පත්කරන ආර්ථීක විග්‍රහයක් ජාත්‍යන්තර මාධ්‍යවල ඉකුත් දා පළ වී තිබුණි. එම විග්‍රහයට “ලංකාවේ පැරණි වාහන රත්තරං බවට පත්ව ඇත” යනුවෙන් තේමාව යොදා තිබුණි. සැබවින්ම මේ දිනවල වාහන කිහිපයක් සන්තකයේ තිබීම යනු රත්තරං ආකරයක් තිබීමට සමානය.
මෙරට භාවිත කරන ලද වාහන ඉල්ලුම වැඩිවීමට පටන්ගත්තේ වසංගතයත් සමඟ විදේශ සංචිත කඩා වැටීම වැළැක්වීමේ අදහසින් රජය වාහන ආනයනය අත්හිටුවීම හේතුවෙනි. එක් වසරකට පමණක් ආනයන අත්හිටුවීමේ තීරණය රජය නිවේදනය කරන මොහොතේ කියා සිටියේ වසරකට අවශ්‍ය වාහන දැනටමත් ආනයනය කර වරායේ සහ වාහන අංගනවල නවතා ඇති බවය. දැන් ආනයන තහනම පනවා අවුරුද්දකුත් මාස දහයකුත් ගතවී අවසන් වුවත් තවමත් ආනයන අත්හිටුවීම බලාත්මකය. 2020 මාර්තු 19දා අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ආනයන අත්හිටුවීම ක්‍රියාත්මක කිරීමේ සිට ගෙවී ගිය කාලයේ මෙරට සියලු රථවාහන අලෙවි අංගනවල තිබූ අලුත් වාහන සියල්ල විකිණී අවසන්ය. අලුත් වාහන තවදුරටත් ගෙන්වීම හෝ දැනට වෙළඳපලේ ගෙන්වන ලද අලුත් වාහන නොමැති බැවින් භාවිත කළ පැරණි වාහන මිල නොසිතූ ලෙස ඉහළ ගොස් ඇත.
වෙළඳපොලේ තිබෙන සීමිත වාහන ප්‍රමාණයක් සඳහා පාරිභෝගියන් අතර ඉහළ ඉල්ලුමක් නිර්මාණය වීමට හේතු ගණනාවක් බලපා ඇත. බැංකුවල මුදල් තැන්පත් කිරීම හෝ ව්‍යාපාරවල මුදල් ආයෝජන කිරීම අවදානම් බැවින් වාහන මිල දී ගැනීම කෙරෙහි බොහෝ දෙනෙක් අවධානය යොමුකර සිටිති. ඇතැම් ව්‍යාපාරිකයෝ වැඩි මිලකට විකිණීමේ අදහසින්ම වාහන මිල දී ගනිති. මෙලෙස භාවිත කරන ලද වාහන ඉල්ලුම වැඩිවීමත් සමඟ ඇතැම් වාහන නියම වටිනාකම මෙන් දෙගුණයකින් තෙගුණයකින් ඉහළ ගියේ වාහන මාෆියාකරුවන් නිසා යැයි සාම්ප්‍රදායික වාහන අලෙවිකරුවෝ චෝදනා කරති. මාෆියාකරුවන්ගේ අසාධාරණ මිල ඉහළ දැමීම නිසා සාම්ප්‍රදායික වාහන ආනයනකරුවන් සහ අලෙවිකරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයිද ඔවුහු මැසිවිලි නගති.
නුගේගොඩ පදිංචි වාහන අලෙවිකරුවකු වන ශාන්ත විතානගේ මහතා ඒ සම්බන්ධයෙන් පල කළේ මෙවන් අදහසකි.
“මේ දවස්වල සෙකන්ඩ් හෑන්ඩ් වාහනවලට තියෙන්නේ අධිකම මිලකට. ඔරොත්තු නොදෙන මිලක් ඒක. කිසිසේත්ම රජයෙන්වත් කොහෙන්වත් ඩියුටි වැඩිකරලවත් නෙවෙයි මිල වැඩි කළේ, කූට ව්‍යාපාරිකයෝ තමයි වැඩි කළේ. වාහන ඉම්පෝට් කරන්නෙ නෑ කිව්වම, අලුතෙන් ගෙන්වන්නෙ නෑ කිව්වම ලක්ෂ පනහේ වාහනය එකසිය පනහ කළා. මේ වගේ අසීමිත මිලක් තියෙන්නේ හැම වාහනයකටම. ඒ හින්දා අපිට ව්‍යාපාරය කරගෙන යන්නත් බැරි තත්වයක් ඇති වෙලා. නමුත් දැන් මිනිස්සු හුඟක් ඉහළ මිලවලට වාහන ගන්නේ නෑ. දැන් වාහන ගන්න ප්‍රමාණය 90%කින් අඩුවෙලා. අපේ දෛනික කටයුතුවලටත් මේකෙන් ලොකු හානියක් වෙලා තියෙනවා. 2019 කාලේ මම මාසෙකට වාහන 20ක් විතර විකිණුවා. දැන් මුලු මාසෙටම වාහන එකක් හෝ විකුණන එකත් අමාරු වෙලා තියෙන්නේ.”
වාහන ආනයනය අත්හිටුවීම සහ පැරණි වාහන මිල අසීමිත ලෙස ඉහළ යාම වාහන ආනයන හා අලෙවි කර්මාන්තයට ඍජුව හා වක්‍රව බැඳුණු 6,0000කට පමණ බලපා ඇති බව වාහන අලෙවිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. මේ වනවිට දැරිය නොහැකි මිලවලට වාහන විකිණීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිහිපයක්ම ලැබී ඇතත් මිල පාලනයක් නොමැති නිසා කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
වාහන මිල ඉහළ යාම පාරිභෝගිකයන් අතර වැඩියෙන්ම බලපා ඇත්තේ අලුතෙන් වාහනයක් මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ටය. මීට මාස දෙකකට ඉහත කුඩා කාර් රථයක් මිල දී ගත් පෞද්ගලික ඉංජිනේරු සමාගමක සේවය කරන තලාතුඔය ප්‍රදේශයේ තරුණයකු වන වරුණ මධුශංක දේශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙවන් අදහසකි. “දැන් මාස දෙකකට විතර උඩ මම මරුටි කාර් එකක් ගත්තා. ඒක 2006 අවුරුද්දේ නිෂ්පාදනය කරපු එකක්. ඒක ගන්න ලක්ෂ 15ක් ගියා. මේ කාර් කලින් තිබුණේ ලක්ෂ 10ක් වගේ ගාණකට. දැන් පාට්සුත් ගොඩක් ගණන්. වාහනවල නඩත්තුවත් වියදම් වැඩියි. ඉස්සර 800කට ගත්ත එන්ජින් ඔයිල් දැන් 1500යි.”
හමුදා නිලධාරියකු සමඟ විවාහ වී සිටින රාජ්‍ය සේවයේ රැකියාවක නියුතු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි අබේගුණසේකර මහත්මියද කියා සිටියේ තම සැමියා හා එක්ව වාහනයක් මිලදී ගැනීමට සැලසුම් කර තිබුණද නොසිතූ ලෙස වාහන මිල ඉහළ යාම නිසා එම අදහස අතහැර දැමූ බවයි. “මේ යන විදිහට අපිට වාහනයක් නම් ගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපි ගේ හදන්න ඒ සල්ලි දානවා.” යැයි ඈ කියා සිටියාය.
මරුටි, ඇල්ටෝ ආදී ඉන්දියන් සහ ජපන් කුඩා කාර් රථයක මිල ලක්ෂ 05 සිට 10කින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ අතර වැඩි ඉල්ලුමක් තිබෙන වැගන් ආර්, විට්ස්, ඇක්සියෝ ආදී සාමාන්‍ය වර්ගයේ කාර් රථයක මිල ලක්ෂ 15 සිට 20කින් ඉහළ ගොස් තිබෙන අතර අවුඩි, බී.එම්.ඩබ්ලිව්, මර්සිඩීස් බෙන්ස්, රේන්ජ් රෝවර් ආදි අධි සුඛෝපභෝගී කාර් සහ ජිප් රථයක් ලක්ෂ 40 සිට 50කින් මිල ඉහළ ගොස් තිබේ. මීට වසර කිහිපයකට පෙර වාහන මිල දී ගත් ඇතැමුන් තමන්ගේ වාහනය විකුණා දමා එම මුදල වෙනත් ව්‍යාපාරයක හෝ නිවසක් මිල දී ගැනීමට පෙළඹී සිටිති.
2015 වසරේ ටොයෝටා ඇක්වා කාර් රථයක් මිල දී ගත් රක්ෂණ ආයතනයක විධායක තනතුරක සේවය කරන කොළඹ පදිංචි තිස් එක් හැවිරිදි මොහොමඩ් රිෂාඩ් එම කාර් රථය ලක්ෂ 75කට පමණ විකුණා ගත හැකි නම් කොළඹ අවටින් නිවසක් මිලදී ගැනීමට සැලසුම් කර සිටින බව කියා සිටියි. මෙරට දේපල මිල සහ සෙසු භාණ්ඩ මිලට සාපේක්ෂව වාහන මිල විශාල පරතරයකින් ඉහළ ගොස් තිබේ.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටින්නේ ඉහළ ගොස් තිබෙන වාහන මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ වාහන ආනයනය ආරම්භ කළද වෙළඳ පොළේ තිබෙන මේ අසාධාරණ වාහන මිල ගණන්වල වෙනසක් නොවනු ඇති බවයි. “භාණ්ඩයක් හිඟ වනවිට මිල වැඩි වනවා කියන න්‍යාය වාහනවලට බලපා ඇති අතරම රුපියල අවප්‍රමාණය වීම සහ උද්ධමනය ඉහළ යෑම වාහන මිල අධික ලෙස ඉහළ යෑමට හේතු වී ඇත” යැයි සම්පත් මහතා කියයි.
දැරිය නොහැකි අසාධාරණ අන්දමින් වාහන මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයාට දරුණු අසාධාරණයක් සිදු වී ඇතත් පසුගිය කාලය තුළ වාහන මිලදී ගැනීම් සහ විකිණීම් සැලකිය යුතු මට්ටමකට සිදු වී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. වාහන වැඩි ප්‍රමාණයක් හුවමාරු වී තිබෙන්නේ ව්‍යාපාරිකයන් හරහා නොව ඍජුව වාහන හිමිකරුවන් සහ ගැනුම්කරුවන් අතරය. එනිසා වාහන අලෙවිකරුවන්ට ද මෙම තත්ත්වය බලපා ඇත. මේ වනවිට වාහන අලෙවි සැල්වල සේවය කළ විශාල සේවකයන් ප්‍රමාණයකට රුකියා අහිමි වී ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
වාහන වෙළඳපලේ සිදුව තිබෙන මෙම තත්ත්වයට විසඳුමක් ලෙස සාමාන්‍ය පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇත. ඉන්දියානු සමාගම් විසින් නිෂ්පාදනය කරන එම වාහන ලක්ෂ 25කට පමණ මිලදී ගත හැකි වනු ඇත. චීන සමාගම්ද ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදනය කරන බැවින් චීනයෙන් ගෙන්වීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයිද සඳහන්.
සකීෆ් සාම්