ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් “අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන පසුගිය පෙබරවාරි තුන්වැනිදා ආරම්භ කළේය. අභියෝග රැසක් මැද විශේෂිත දේශපාලන වාතාවරණයක් තුළ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පිළිබඳ විමසුමක් කිරීමට අපි අදහස් කෙළෙමු. මේ වනවිටත් වැඩ ලක්ෂය පිළිබඳ නිර්මාණය වී ඇති දේශපාලන සංවාදය තරමක් විශාලය. එම නිසාම මෙහි ගුණදොස් දැකීමෙන් ඔබ්බට ගොස් කාලීන දේශපාලන ආර්ථික කරුණු සමඟ වැඩ ලක්ෂය සොයා බැලීමට අප උත්සුක වෙමු.
මෙය ලංකාවේ එදා මෙදාතුර දියත් කළ විශාලතම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ආණ්ඩුවේ පාර්ශ්වය විසින් හඳුන්වයි. ලංකාවේ සෑම ග්‍රාමසේවා වසමකම අවම වශයෙන් ව්‍යාපෘති හතක් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ බව කියැවේ. තොරතුරු අනාවරණය වන පරිදි මෙම වැඩසටහන ''වැඩ ලක්ෂයක්'' ලෙස නම් කිරීමට හේතුව එයයි. දිවයිනේ පවතින ග්‍රාමසේවා වසම් 14022ක වැඩ 7න් වැඩිකර ලක්ෂය වටා මෙම ඉලක්කම සාදා ඇති බව කියන්නේ ආණ්ඩුවට හිතවත් පාර්ශ්වයන්ය. කවුරුත් දන්නා පරිදි වැඩ ලක්ෂයට පීතෲත්වය ලබා දෙන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය. ආණ්ඩුව ගමට යා යුතුය යන ජනාධිපතිගේ අදහස පෙරදැරිව ඉකුත් වසර අවසානයේ බැසිල් රාජපක්ෂ විසින් මෙම වැඩසටහන නිර්මාණය කර ඇති බව කියැවේ.
“අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ තම ප්‍රදේශයට අවශ්‍ය සංවර්ධන වැඩසටහන තෝරාගැනීමට එම ප්‍රදේශය ප්‍රජා නායකයන්ට අවකාශ සලසා දී තිබේ. පසුගිය සමයේ ග්‍රාමසේවා වසම් තුළ රාජකාරි සිදුකරන ආර්ථික සංවර්ධන නිලධාරියාගේ මූලිකත්වය යටතේ අදාළ යෝජනා ලබාගැනීම සිදු කෙරුණි. ඒ අනුව මේ සමස්ත වැඩසටහන සඳහා ආණ්ඩුව ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන අසූ පහකි. සුවිශේෂීම කරුණ වන්නේ මෙම මුදල් ප්‍රතිපාදන යටතේ වසරේ ඉතිරි මාස එකොළහක කාලය තුළ වැඩ ලක්ෂය අවසන් කළයුතු වීමයි. මේ මොහොතේ රට තුළ පවතින ආර්ථික වටපිටාව දෙස හොඳින් අවධානය යොමු කරන්නේ නම් වැඩ ලක්ෂය යනු අතිශය අභියෝගයක් බව පැහැදිලිය.
තත්ත්වය එසේ වුවද ආර්ථික කරුණ මොහොතකට අමතක කළ විට “අයවැයෙන් වැඩ ලක්ෂයක්” ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යනු උපාය මාර්ගික ව්‍යාපෘතියකි. ආණ්ඩුව දේශපාලන වශයෙන් සිය පැවැත්ම සාධන කරගැනීම වෙනුවෙන් අවශ්‍යයෙන්ම කළ යුතු ව්‍යාපෘතියකි. වසරක පමණ කාලයක් තුළ රටේ පවතින ආර්ථික අසහනය මත මහජනයා ඉතා බරපතළ ලෙස පීඩා විඳිති. ඒ නිසාවෙන්ම ආණ්ඩුවේ ජනප්‍රියත්වය වේගයෙන් හීන වී මේ වනවිට ඊට සාපේක්ෂ වේගයකින් ගොඩනැගී ඇත්තේ ආණ්ඩු විරෝධයකි. එවන් තත්ත්වයක් තුළ සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගය ඉකුත් මාස හයක පමණ කාලය ඇතුළත් සිය ග්‍රාමීය දේශපාලන කටයුතු සක්‍රීය කළෝය. ඒ හරහා ආණ්ඩුව එල්ල වූ දේශපාලන පීඩනය සුළුපටු නොවේ.
ආණ්ඩුවට ගමේ යාමට නොහැකිව සැඟවී සිටින බව විපක්ෂය චෝදනා කළ අතර ගමට යන ලෙස ජනපති මැති ඇමතිවරුන්ට තරවටු කරමින් සිටියේය. හිස් අතින් ගමට යෑමට නොහැකි බව මැති ඇමතිවරුන් ආණ්ඩුව අභ්‍යන්තරයේ කියා සිටි අතර බැසිල් රාජපක්ෂ විසින් ගමට යන මෙම වැඩපිළිවෙළ සැලසුම් කළේ ඒ අනුවයි. ආර්ථික කරුණු බැහැර කොට උපාය මාර්ගිකව ගත්කළ ''වැඩ ලක්ෂය'' ව්‍යාපෘතිය දේශපාලන වශයෙන් උපාය මාර්ගික බව අප සඳහන් කළේ එබැවිණි.
කෙසේ වෙතත් හුදෙක් දේශපාලන කෝණයකින් පමණක් මෙම ව්‍යාපෘතිය දෙස බැලිය නොහැකිය. පැහැදිලිවම මෙහි ආර්ථික පැතිකඩ සංවාදයට ලක්කළ යුත්තකි. වසරක් තුළ රුපියල් බිලියන අසූ පහක් මෙවන් ව්‍යාපෘතියක වියදම් කිරීමට වර්තමාන ආණ්ඩුවට ආර්ථික ශක්‍යතාවක් තිබේද? විපක්ෂ කණ්ඩායම් ඇතුළු බොහෝ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන තර්ක සහ විවේචනවල පදනම වී ඇත්තේ ඉහත පැනයයි. කෙසේ නමුත් මේ දක්වා මෙම ව්‍යාපෘතියට මුදල් සොයාගන්නා ආකාරය පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදුකොට නොමැති බව පෙනීයයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ව්‍යාපෘති ආරම්භ සජීවීව නිරීක්ෂණ කරමින් පවසා සිටියේ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය මත ඉදිරියේදී රටේ ආර්ථික තත්ත්වය යහපත් වනු ඇති බවකි. එම නිසා මුදල් සපයා ගැනීම පිළිබඳ ඔහු ධනාත්මක ප්‍රවේශයකින් අදහස් දැක්වූයේය.
කෙසේවෙතත් ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාගැනීම සම්බන්ධ විපක්ෂ කණ්ඩායම් තුළින් එල්ලවෙන බරපතළ චෝදනා තිබේ. ඔවුන් කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදල ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව පනවන ලද අධිභාර බදු හරහා මෙම ව්‍යාපෘතියට මුදල් සොයා ගැනීමට උත්සාහ දරණ බවයි. මෙහිදී වාර්ෂික ලාභය රුපියල් කෝටි 200කට වැඩියෙන් උපයන ව්‍යාපාරවලින් 25%ක බදු මුදලක් අය කිරීමට බලාපොරොත්තුවේ. ඒ අනුව 2020 වර්ෂයට අදාළව ගණන් බැලුවහොත් අවම වශයෙන් එම අරමුදල මගින් රුපියල් කෝටි 7100කට වැඩි මුදලක් සෙවක අර්ථසාධක අරමුදලින් ආණ්ඩුවට ලබා ගැනීමට උත්සාහ කරන බව විපක්ෂය කියා සිටියි. මෙම මුදල් වැඩ ලක්ෂයක් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදවනු ඇති බවක්ද ඇතැම් පාර්ශව අදහස් පෙන්වා දී තිබේ. එහෙත් මේ සම්බන්ධව තවදුරටත් නිසි පැහැදිලි කිරීමක් නොමැත.
මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ඵලදායී බව ආණ්ඩුව පාර්ශ්වයෙන් කියා සිටියි. වත්මනෙහි පවතින වසංගත වටපිටාව තුළ රටේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම බොහෝ විට ලෝක මට්ටමින් ලබාගත යුතු බව ඔවුන් කියා සිටියි. එසේම එම ප්‍රශ්න ජාතික වශයෙන්ද එකවර විසඳිය නොහැක. ඩොලර් අර්බුද, පොහොර අර්බුදය, ආදියට කෙටි විසඳුම් නොමැත. ඒ අනුව ආණ්ඩුවේ පාර්ශ්ව පෙන්වා දෙන පරිදි එකම විසඳුම ගමේ නිෂ්පාදන ආර්ථිකය නංවාලීමයි. වැඩ ලක්ෂය යනු හුදු මාර්ග ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘතියක් නොවේ. ජීවනෝපාය සංවර්ධනට මෙහිදී විශාල අවධානයක් යොමුකර ඇත.
එසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බලවේග පෙන්වා දෙන්නේ මෙවන් වියදම් මේ මොහොතේ ආණ්ඩුව අඩු කළ යුතු බවයි. රටේ මූල්‍ය කළමනාකරණය නිසි පරිදි සිදුකොට උද්ධමනය අවම කර ගැනීමට නම් මේ මොහොතේදී මෙවන් ව්‍යාපෘති තාවකාලිකව නතර කර දැමිය යුතුය. නැතහොත් දීර්ඝකාලීන දැවැන්ත ආර්ථික අර්බුදයකට රට ගමන් කරනු ඇති බව ඔවුහු පෙන්වා දෙති. මෙම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඉහළ යාම රුපියල අවප්‍රමාණය වීම ආදී විශාල ආර්ථික ගැටලු රුසකට ඉදිරි කාලය තුළදී රට නතු වනු ඇති බවව ඔවුහු කියා සිටිති.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සිමෙන්ති සපයා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් පවා මෑතකාලීනව සැලකිය යුතු මට්ටමේ සංවාද නිර්මාණය වී ඇත. එහෙත් ආණ්ඩුව පාර්ශ්වයෙන් පෙන්වා දෙන්නේ එය තාවකාලික ගැටලුවක් පමණක් බවයි. ව්‍යාපෘති ආරම්භ වීමෙන් පසු ඒ පසු ගැටලු විසඳෙනු ඇති බව ඔවුන් කියා සිටියි. ඉදිරියේදී ආර්ථික තත්ත්වය යහපත් වීමත් සමඟ සමඟ ආනයනය සම්බන්ධ වන ඇතැම් සීමා ඉවත්කරනු ඇති බවත් ඔවුහු කියා සිටිති. එම නිසා ගොඩනැගිලි ද්‍රව්‍ය සපයා ගැනීමට කොන්ත්‍රාත්කරුවන්ට ඉදිරියේ හැකිවුණු ඇති බව ආණ්ඩුව කියා සිටියි. කෙසේ නමුත් කොන්ත්‍රාත්කරුවන් මේ වනවිටත් විශාල ගැටලු රුසකට මුහුණ දී ඇති බව දැනගන්නට ලැබේ. මිල ඇස්තමේන්තුවල විශාල වෙනස්කම් ඔවුහු අපේක්ෂා කරති.
“වැඩ ලක්ෂය” පිළිබඳ ආර්ථික දේශපාලන කරුණු තවදුරටත් විග්‍රහ කළ හැකිය. එහි ගුණදොස් සම්බන්ධ වන සංවාදයද තවදුරටත් පුළුල්ව ඉදිරියට ගෙන යා හැකිය. කෙසේ නමුත් තවමත් මෙම ව්‍යාපෘතිය ආරම්භ වූවා පමණි. ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් කිරීමට අප ඉක්මන් වියයුතු නොවේ. වසරේ මැදි කාලය තුළ එය සිදුකරනු අපේක්ෂාවෙන් අපි ''වැඩ ලක්ෂයේ සංවාදය'' නිමාකරමු. සියල්ල පිළිබඳව අවබෝධයෙන් යුතුව බලා සිටීමට ඔබට අවකාශ තිබෙයි. මේ ඊට සුදුසුම කාලයයි.
චමිඳු නිසල් ද සිල්වා