2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

කොවිඩ් නිසා බසුත් ලෙඩින්

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 63

මේ වනවිට දිවයින පුරා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන් පෞද්ගලික බස් සේවය ඉතා අනතුදායක තත්ත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට පැවසීය.

මේ වනවිට ධාවනය වන බස් රථවල ප්‍රමාණය අඩුයි. ඒකට ප්‍රධාන හේතුවක් වන්නේ ධාවනය වන බස් රථවලට ප්‍රමාණවත් පරිදි මගීන් නොමැතිකමයි. සමහර වෙලාවලට බස් රථවල ගමන් කරන්නේ මගීන් පස් දෙනකුටත් අඩු සංඛ්‍යාවක්. පහුගිය කාලයේදි රට සම්පූර්ණයෙන්ම විවෘත කළ පසු මුල් දින කිහිපයේ බස් රථවලට මගීන් සැලකිය යුතු ප්‍රමාණයක් පැමිණියත් රට පුරා ඉතා ශීඝ්‍රයෙන් අලුත් ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ මගීන්ගේ ඉතා අඩුවක් සිදුවුණා. මේ තත්ත්වය පෞද්ගලික බස් හිමියන්ට බරපතළ ලෙස පවතිනවා. අපේක්ෂිත ආදායම් සියල්ලම කඩා වැටිලා තියෙන්නේ. යැයි ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

පසුගිය කාලයේදී බස් ගාස්තු වැඩි වුවද රට විවෘත වීමත් සමඟ ජනතාව තම එදිනෙදා ගමන් බිමන් පොදු ප්‍රවාහන සේවය ඔස්සේ සලසා ගත්හ. මේ හේතුවෙන් පැවති තත්ත්වයට සාපේක්ෂව පෞද්ගලික බස් රථවලට සැලකිය යුතු මගීන් පිරිසක් ගමන් කළහ. විශේෂයෙන් රාජකාරිවලට යන සහ රාජකාරි අවසන් වී නිවෙසට එන වෙලාවන් තුළදී මේ තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණි. සියලු පාසල් විවෘත වීමත් සමඟ පාසල්වල සිසුන්ගේ පැමිණීම හේතුවෙන් බස් හිමියන්ට යම් සැනසිලිදායක තත්ත්වයක් උදාවිය.

නමුත් එම සැනසිලිදායක වකවානුව පැවතියේ ඉතා කෙටි කාලසීමාවකි. නව කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ නැවතත් මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණි. එමෙන්ම පාසල් නිවාඩුව නැවතත් මසකින් දීර්ඝ කිරීමත් සමඟ මේ වන විට පෞද්ගලික බස් හිමියන් පත්ව ඇත්තේ ඉතා අවදානම් තත්ත්වයකටය.

අපි දිගින් දිගටම කාඩ්පත යොදා මගීන්ට ගමන් කරන්න ඉඩ ලබා දෙන්න යැයි යෝජනා කළා. නමුත් ඒ ගැන සැලකිල්ලට ගත්තෙ නැහැ. පාඩුව පියවාගන්න ගාස්තු වැඩි කළත් ඒකෙන් ප්‍රයෝජන ගත්තෙ බස් රථ සේවකයො පමණයි. සේවකයෝ තමන්ගෙ වැටුප් වැඩිකර ගත්තා මිසක් ඒ ලැබෙන මුදලින් බස් හිමියන්ට වැඩිවීමක් දුන්නෙ නැහැ. බස් රථයේ මගීන් වැඩිපුර ගිය ඒ කාලෙදි ඒ වැඩි වැටුපක් ගත්තු සේවකයන් දැන් මගීන් අඩු වුණාට පස්සෙත් ඒ වැටුපම ගන්න පුදුවෙලා ඉන්නවා. ඒකෙන් ලොකුම අසාධාරණය වුණේ බස් රථ හිමියන්ටයි. තමන්ගේ අතින් මුදල් ගෙවලා සේවකයන්ට වැටුප් ගෙවන තත්ත්වයට තමයි අද අපි පත්වෙලා ඉන්නෙ. යැයි ඔහු කියයි.

ඔවුන් පවසන පරිදි ඇතැම් පෞද්ගලික බස් රථවල රියැදුරෝ දිනක වැටුප ලෙස පියල් පන්දහසක් ගනිති. බොහෝ පෞද්ගලික බස් රථවල රියැදුරන්ගේ දිනක වැටුප පියල් තුන්දහසටත් වැඩිය. රියැදුරකුගේ වැටුප එසේ වුවද කොන්දොස්තරවරයකුගේ වැටුප තීරණය කළ නොහැක. ඔහුගේ වැටුප දිනෙන් දින වෙනස් වේ. බස් රථයට ලැබෙන මුදල කොන්දොස්තරවරයාගේ අතෙහි රුඳෙන හෙයින් ආදායම පරිපාලනය සිදු කරන්නේ ඔහුය. මේ නිසා පාඩු ලබන බස් කර්මාන්තයෙන් වැඩි ලාභයක් ලබන්නේ බොහෝ විට කොන්දොස්තරවන්ය. මේ නිසාම කොන්දොස්තරවන් නොමැතිව කාඩ්පතක් මගින් ගෙවීම් ක්‍රමවේදයක් ක්‍රියාවට නංවාලීමට කලක පටන් උත්සාහ දැවද තවමත් එය සාර්ථක වී නැත. පාසල් නිවාඩු සමයන් හා මගීන්ගේ ගමනාගමනය අඩුවීමත් සමඟ විශාල කඩා වැටීමකට ලක්වූ පෞද්ගලික බස් රථ සේවය ගොඩගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මේ බරපතළ ගැටලුව හේතුවෙන් බොහෝ බස් රථ ධාවනයට යොදවා නොමැතිව තවමත් ඇත්තේ ගෙවල්වල ගාල්කොටය.

ලීසිං ප්‍රශ්නයත් තවම විසඳිලා නැහැ. අවස්ථා කිහිපයකදීම මහ බැංකුවත් සමඟ සාකච්ඡා කළා. හිතුමතේ ලීසිං අය කරනවා. ඒකට විසඳුමක් හරියට ලැබුණේ නැහැ. දඩ පොලියත් සමඟ ලීසිං අය කරනවා. දැන් මේ ගැන කොච්චර කිව්වත්, කොච්චර කතා කළත් වැඩක් නැහැ. පහුගිය කාලෙදි නැවතත් බස් රථ 75%ක් පමණ ධාවනයට එකතු වුණා. නමුත් නැවතත් එය 50෴ට බැහැලා. දැන් බොහෝ බස් රථ තියෙන්නේ බස් හිමියන්ගේ ගෙවල්වලයි. නිසි ආදායමක් නැති නිසා ඒවායේ අලුත්වැඩියා කටයුතු, ටයර් මාකිරීම් ආදී දේ කරන්න බස් හිමියන්ට බැරිවෙලා තියෙනවා. මාස ගාණක් ධාවනය නොවුණු බස් රථ තවමත් තියෙනවා. ඒවායින් කිසිම ආදායමක් ලැබිලා නැහැ. ඒ අතරේ ඒවාට දඩ ගහනවා. මේක පරිපාලනය කරන්නේ ආණ්ඩුව. පළාත් ප්‍රවාහන අධිකාරියෙන් බස් රථ දාහත්දහසක් නියාමනය වෙනවා. අනිත් බස් කොමිසම් සභාවට අයිතියි. කර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන හේතුවත් මේ නියාමනවල දුර්වලතාවය. පහුගිය කාලයේදි පිරිතක් තිබුණා. 

බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිත බව අපිට ආරංචි වුණා. මේවා අනවශ්‍ය වියදම්. මේ බස් රථවල සල්ලි. කොවිඩ් කාලයේ මිනිසුන්ට දඩ ගහලා මේ අය අනවශ්‍ය වියදම් කරනවා. බස් හිමියන්ට පාරට බස් ටික දාගන්න නිසි කාලසටහනක් හදන්නේ නැතිව මේ අය ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරනවා කියලයි ආරංචිය. බොහෝ බස් රථ නවත්වන්න තැනක් නැහැ. බස් රථ පාරේ නවත්වන්නේ. බස් රියැදුරන්ට, කොන්දොස්තරවන්ට වැසිකිළි පහසුකමක් නැහැ. ඒ කිසිවක් නැතිව මේ අය අනවශ්‍ය වියදම් කරනවා.යැයි ගැමුණු විජේරත්න මහතා චෝදනා කරයි.

කොවිඩ් වසංගතය මධ්‍යයේ අවදානමක් සහිත රුකියාවක් කරන පිරිසක් ලෙසින් බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවන් හැඳින්විය හැකිය. කොවිඩ් රෝගීන් බස් රථවල කෙතරම් ගමන් ගනීදැයි කිව නොහැක. මේ හේතුවෙන් පසුගිය කාල වකවානුවේ කොවිඩ් රෝගයට මොවුහු ද ගොදු වූහ. මේ අතර අදටත් ඔමික්‍රොන් ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවද නිසි පරිදි මුව ආවරණ නොපළඳින, නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරන බොහෝ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවන් දැකගත හැකිය. ඔවුන් බොහොමයකගේ මුව ආවරණය ඇත්තේ ගෙලෙහිය. සමහන්ගේ ඇත්තේම නැත. මගින් කොයි තරම් ප්‍රවේසම් වුවද මෙවැනි සේවකයන් නිසා ඔවුන් ද පත්වන්නේ අසීතාවයකටය.

 දිශානි ජයමාලි කණාරත්න