ගොඩනැගිල්ලක අත්තිවාරමක් උඩ සිහින ගොඩක් තිබේ. එනිසාම ඒ අත්තිවාරම සවිශක්තියෙන් ඉහළ විය යුතු යැයි අපි විශ්වාස කරමු. වර්තමානයේ මතු වී ඇති සිමෙන්ති ප්‍රශ්නයෙන් බලාපොරොත්තු කඩ වූ, සිහින බොඳ වූ මිනිසුන්ගේ අනාගතයත් හරියට බාල සිමෙන්තියෙන් හැදූ අත්තිවාරමක් තරමටම අවිනිශ්චිතය.
හාල්, පරිප්පු, සීනි, අල, ලූනු අත්‍යවශ්‍ය භාණ්ඩ යැයි සිතුවත් සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් බව බොහෝදෙනා නොසිතති. ලක්ෂ සංඛ්‍යාත ජනජීවිත අඩාල කරමින් රටේ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ඉදිකිරීම් ක්ෂේත්‍රය අල්ලේ නටවන තරමට වර්තමානයේ සිමෙන්ති අර්බුදය දිග්ගැසී තිබේ. සිමෙන්ති හිඟය හමුවේ සුළු පරිමාණ ඉදිකිරීම් සමාගම්, කොන්ත්‍රාත්කරුවන්ගේ පටන් කර්මාන්තයේ යෙදී එදිනදා වැටුප් ලබන අත්උදව්කරුවා, පෙදරේරුවා ඇතුළු බොහෝ පිරිසක් මේ වනවිට දැඩි අසීරුවට පත්ව සිටිති. මෙරට කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචි දේශීය සිමෙන්ති කම්හල් 6ක් ඇති අතර එතෙරින් ගෙන්වන සිමෙන්ති පාකිස්තානය ඉන්දියාව සහ චීනය ඇතුළු රටවලින් ආනයනය කරයි.
ඉකුත්දා නිවාස අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වූයේ මේ වනවිට ඇසුරුම් කරන ලද සිමෙන්ති ආනයනය කරන සමාගම් විශාල ප්‍රමාණයක් ඩොලර් හිඟය හේතුවෙන් සිමෙන්ති ආනයනය අත්හිටුවා ඇති බවයි. ඇතැම් ව්‍යාපාරික ප්‍රජාව නිර්මාණය කර තිබෙන සිමෙන්ති ‘මාෆියාව’ හේතුවෙන් රට තුළ පවතින දැඩි සිමෙන්ති හිඟයෙන් පාලම් 9800 ක ඉදිකිරීම් ප්‍රමාද වී ඇතැයිද වාර්තා විය.
ඇතැම් කූට වෙළෙඳුන් සිමෙන්ති හිඟයක් මවාපාමින් වැඩිමිලට සිමෙන්ති අලෙවිකරන බවටත්, ඇතැම් වෙළෙඳසල්වල වැඩිපුර භාණ්ඩ මිලදී ගන්නා අය සඳහා පමණක් සිමෙන්ති ලබාදෙන බවටත්, ඇතැම් හාඩ්වෙයාර්වල වැලි කියුබ් එකක් මිලට ගතහොත් සිමෙන්ති කොට්ට දෙකක් දෙන බවටත්, වැඩිමිලට විකුණන සිමෙන්ති සඳහා නිසි බිල්පතක් නිකුත් නොකරන බවටත් පාරිභෝගිකයන්ගෙන් නැගෙන චෝදනා අතර වෙයි.
අපහසුතාවට ලක්වන පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව වැටලීම් සිදුකර නීතිවිරෝධී ආකාරයට සිමෙන්ති විකුණන වෙළෙඳසල් සහ ගබඩා කර තබාගන්නා ස්ථාන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පාරිභෝගික අධිකාරිය රටපුරා සිදුකරනු දක්නට ලැබිණ. අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන සිමෙන්ති ජනතාවට නිකුත් නොකර ගබඩා කර තබාගැනීම නීතිවිරෝධී බවට විශේෂ ගැසට් මගින් දක්වා තිබෙන වටපිටාවක සිමෙන්ති අර්බුදයෙන් රටපුරා ජනතාව පවුල් පිටින් පාන්දර සිට කඩ පෝලිම්වල සිටිති. ඇතැම් අවස්ථාවල පෙදරේරුවන් පවා සිමෙන්ති පෝලිම්වල සිටිනුයේ සිය දරු පවුල නඩත්තු කිරීමට වෙනත් විකල්පයක් නොමැති නිසා විය හැකිය.
වත්මන් සිමෙන්ති අර්බුදය හමුවේ පීඩා විඳින පාරිභෝගිකයෙක් ඔහුගේ අත්දැකීම අප හමුවේ මෙසේ දිගහැරියේය.
ගෙදර කොටසක් හදාගන්න පටන් අරන් දැන් දවස් ගාණක්. අතේ තියෙන සල්ලි ටික වෙන වැඩවලට වියදම් වෙනකල් වැඩේ කෙරෙන්නෙ නෑ. දැන් සල්ලි දීලාවත් ගන්න කඩේ සිමෙන්ති නෑ. ලැබුණ රස්සාවට තියෙන ආදරේටයි ලැබුණ අවස්ථාව නැතිවෙන බයටයි ලොකු බාසුන්නැහෙත් ගෝලයො ටිකත් එක්ක උදේ ඉඳන් හවස් වෙනකල් පෝලිමේ. මාත් අපේ නෝනාත් මාරුවෙන් මාරුවට පෝලිමේ. දැන් දවස් ගාණක් පෝලිමේ හිටියට පෝලිමේ ඉස්සරහට යද්දී සිමෙන්ති ඉවරවෙනවා. කඩේ තුණ්ඩුවට දෙන්නෙ සිමෙන්ති කොට්ට දෙකයි. ඉතින් සිමෙන්ති කොට්ට දෙකෙන් ගෙයක් හදන්නෙ කොහොමද? කට්ටියම පෝලිමේ හිටියාම සිමෙන්ති කොට්ට දෙක ගානෙ ගන්න පුළුවන් නිසා මේ කට්ට කනවා. සිමෙන්ති පෝලිමේ විතරක් ඉන්න බෑනෙ. ඇතැම් බලධාරීන්ට මේ පෝලිම් දකිද්දී සෙල්ලමක් වගේ පෙනුණද මිනිස්සු හැමදාම මේ විඳින දුක කියාගන්න වචන නෑ.* යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
රටපුරා විවිධ ප්‍රදේශවලින් නීතිවිරෝධී ආකාරයට සිමෙන්ති අලෙවි කළ ස්ථාන වැටලීම් කර තිබූ අතර කහවත්ත ප්‍රදේශයේ සිමෙන්ති අලෙවිසලක් වැටලීමේදී සිමෙන්ති කොට්ටයක් රුපියල් 1900කට අලෙවි කර ඇති බවත් එම වෙළෙඳසලට සිමෙන්ති සපයන අලෙවි නියෝජිතවරයාද වැඩි මිලට සිමෙන්ති අලෙවි කර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවත් මේ වනවිට පාරිභෝගික අධිකාරිය මගින් රටපුරා වැටලීම් 100කට ආසන්න ප්‍රමාණයක් සිදුකර හිමිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු වී සිටින බවත් පාරිභෝගික අධිකාරිය කියයි.
තංගල්ල සිටිනාමළුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පාරිභෝගිකයන්ගෙන් සිමෙන්ති කොට්ට 600 කට මුදල් ලබාගෙන ලොරියෙන් නිකුත් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් ඔහු වැඩිමිලට සිමෙන්ති විකිණීමෙන් දිනකදී රුපියල් ලක්ෂ 3ක ලාභයක් ලබාගෙන ඇති බවත් ඉකුත්දා වාර්තා විය.
වර්තමානයේ ඔඩුදුවන සිමෙන්ති ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා මෙසේ පැවසීය.
ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවට සරිලන සිමෙන්ති ප්‍රමාණය වෙළෙදපොළට නිකුත් වෙන්නේ නැහැ. ඒකට සාධාරණ හේතු තිබෙනවා. පසුගිය කාලයේදී ලොක්ඩවුන් නිසා නිෂ්පාදනය අඩු වුණා. මෙට්‍රික් ටොන් මිලියන තුනක පමණ වෙළෙඳපොළේ හිඟයක් තිබෙනවා. ඒ අතරේ තමයි සිමෙන්ති ලංකාවට ආනයනය කරන්නේ. ලංකාවේ වෙළෙඳපොළට සිමෙන්ති සියයට හතළිහක් දේශීය නිෂ්පාදන, අනෙක් සියයට හැටම ආනයනය කරනවා. ආනයනික සිමෙන්ති ලංකාවට ආවම එයට රුපියල් 1575ක මිලක් නියම කරනවා. ඒත් ඉන්දියාවෙන් ගේන සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1575 ගහල තිබුණත් 1600ට අතරමැදියන්ට ලබාදෙනවා කියලා දැනගන්න ලැබුණා. එහෙම ක්‍රමවේද කොහෙද තියෙන්නේ. විෂය බාර ඇමැතිවරයා කියා තිබුණා සිමෙන්ති හිඟයක් තිබෙන බව ඇත්ත. වෙළෙඳපොළට මිලක් නියම කළත් ඒ මිලට අලෙවි වෙන්නේ නැහැ කියන එකත් ඇත්ත කියලා. එහෙම කියලා හරියන්නෙ නැහැනේ. ගාල්ල කර්මාන්තශාලාව අලුත්වැඩියා කරන්න පටන් අරන් තවම දවස් පහක් නැහැ. ඔහු කියා තිබුණා ගාල්ල කර්මාන්තශාලාව අලුත්වැඩියා කරනවා. හම්බන්තොට කර්මාන්තශාලාව මාර්තු 3 වැනිදා ඇරියාම ඒවත් එක්ක එනකොට මේ හිඟය නැතිවෙලා යනවා කියලා. එහෙත් ඒ කතාවට අපි කිසිසේත්ම එකඟ වෙන්නෙ නැහැ. මේ අවුරුද්දට ලංකාවේ සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 7ක අවශ්‍යතාවක් තියෙනවා. පුත්තලම සහ ගාල්ල කර්මාන්තශාලාවලින් වර්ෂයකට මෙට්‍රික් ටොන් මිලියන දෙලක්ෂ විසිපන්දහසක් නිෂ්පාදනය වෙනවා. ඇමැතිතුමා කියන විදියට හම්බන්තොට කර්මාන්තශාලාවේ දැන් නිෂ්පාදන කටයුතු ආරම්භ කරල තියෙනවා. නමුත් එහි සභාපතිවරයා මා සමඟ දුරකතනයෙන් ප්‍රකාශ කළා මාර්තු මුල් සතිය හෝ දෙවැනි සතිය වෙනකොට නිෂ්පාදන වෙළෙඳපොළට දෙන්න පුළුවන් කියලා. ඒ පිළිබඳව අපි සන්තෝස වෙනවා. මොකද දේශීය නිෂ්පාදනයට අපි තැනක් දිය යුතුමයි. එම කර්මාන්තශාලාවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් සිමෙන්ති ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන තුනයි. පුත්තලම සහ ගාල්ල දේශීය කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන්න පුළුවන් මෙට්‍රික් ටොන් දෙලක්ෂ විසිපන්දහසයි. එතකොට ලංකාවේ දේශීය වශයෙන් නිෂ්පාදනය වෙනවා මෙට්‍රික් ටොන් මිලියන පන්ලක්ෂ විසිපන්දහසක්. අනෙකුත් අවශ්‍යතාව වෙන්නේ මෙට්‍රික් ටොන් මිලියන එක්ලක්ෂ හැත්තෑපන්දහසයි. මම හිතනවා එය ආනයනය කිරීමේදී විශාල වශයෙන් ආනයනය කිරීමක් සිදුනොකර මේ විදියට අවශ්‍ය ප්‍රමාණය පමණක් ආනයනය කරගන්න පුළුවන් නම් සිමෙන්ති හිඟය පහව යාවි. එහෙම වුණොත් පමණක් සාධාරණ මිලකට මහජනතාවගේ පරිභෝජනය සඳහා සිමෙන්ති ගන්න පුළුවන්කමක් ඇතිවෙයි කියා මා විශ්වාස කරනවා. දැන් සිමෙන්ති හිඟයක් වෙළෙඳපොළේ තිබෙන නිසා මිල පාලන අධිකාරියේ සම්මත නියාමනයන්ට අනුව ගබඩා කරගෙන තබා ගැනීම කරන්න බැහැ. හිඟයක් තිබෙන නිසා ආනයනකරුවන්ගේ සිමෙන්ති ගන්න අතරමැදියන් හරහා සිදුවන මේ මාෆියාව වහාම නතර කරන්න ඕනෑ. සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී තිබෙන නිසා සිමෙන්ති මිල ඉහළ දමා වෙළෙඳපොළට නිකුත් කරනවා. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් දෙදහසට එහා පැත්තේ.
ආනයනික සිමෙන්තිවල ප්‍රමිතිය උසස් තත්ත්වයක නොමැති බවත් ඒවාහි ප්‍රමිතිය පරීක්ෂා කිරීමට වගකීමක් ඇති ආයතන එම කාර්යයන් කර හැර සිටින බවත් පාරිභෝගිකයෝ චෝදනා කරති. මෙසේ එල්ල වන චෝදනාව සුළුකොට තැකිය නොහැකිය. වෙළෙඳපොළේ තිබෙන සිමෙන්තිවල ප්‍රමිතිය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයටය. එසේම ඊට අමතරව වැඩබිමක කොන්ත්‍රාත්කරුවන්ගේ අවශ්‍යතා අනුව ඉදිකිරීම සඳහා යොදාගන්නා සිමෙන්තිවල ප්‍රමිතිය පෞද්ගලිකව පරීක්ෂා කර ගැනීමට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය වැනි ආයතන පවා තිබියදී ඒවායින් නිසි ප්‍රයෝජන ගැනීම බලධාරීන්ගේ වගකීමක් බව අපි මතක් කරමු.
ආනයනික සිමෙන්තිවල ප්‍රමිති පරීක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛ වගකීම දරණ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් විමසීමක් කළ අතර එහිදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූයේ මෙවැන්නකි.
විදේශීය කර්මාන්තශාලා මඟින් නිපදවන සිමෙන්ති සඳහා එස්.එල්.එස්. ලාංඡනය ලබා ගන්න නම් එම කර්මාන්ත ශාලා, අයි.එස්.ඕ. 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය ලබා තිබීම අනිවාර්ය කාරණයක්. එසේ එස්.එල්.එස්. සහතිකය ලබා ශ්‍රී ලංකාවට ආනයනය කරන සිමෙන්ති, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් අනිවාර්ය ආනයන පරීක්ෂණ ක්‍රියාවලියකට ලක් කරනවා. ආනයනික තොගවලින් ලබාගන්නා සාම්පල පරීක්ෂා කර මෙවැනි ශක්තිමත් ක්‍රමවේදයක් හරහා මෙරටට ආනයනය කරන සිමෙන්ති සෑම විටම ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල බව තහවුරු කර ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට මුදා හැරීමට හැකියාව තිබෙනවා. මෙම ක්‍රමවේදය හරහා කිසිසේත්ම ප්‍රමිතියක් නැති සිමෙන්ති ගෙන්වීමට කිසිම අවකාශයක් නෑ. ප්‍රමිතියෙන් යුතු සිමෙන්ති ජනතාවට ලබාදීමට ප්‍රමිති ආයතනය වගකීමෙන් බැඳී සිටිනවා. මේ සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරී තත්ත්වය මඟහරවාගැනීමට අපි ප්‍රමිති ආයතන වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් නිවේදනයක් පවා නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනුයේ,
“සමාගම්වල යන්ත්‍රසූත්‍රවල අලුත්වැඩියා හේතුවෙන් නිෂ්පාදනය පහත වැටී සිමෙන්ති හිඟය ඇති වූ බවත් මාර්තු මාසයේ නව සිමෙන්ති කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට නියමිත බවත්, එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු සිමෙන්ති හිඟයට විසදුම් ලැබෙනු ඇති බවයි.’’
හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63ක භූමිය පුරා ඉදි වන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක් වන සිමෙන්ති කම්හල මගින් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4ක සිමෙන්ති ධාරිතාවක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි මේ වනවිට ඇස්තමේන්තු කර තිබේ. දේශීය කර්මාන්තය නංවමින් මෙරට නිෂ්පාදන වැඩිකිරීම ලංකාව වැනි දියුණු වන රටකට යහපත් ප්‍රවණතාවකි. මෙවැනි කම්හල්වලින් නව රැකියා මාර්ග ඇති වී අපේ රටේ ශ්‍රම බළකාය ශක්තිමත් කිරීමට හැකි වීම අනාගතයට හොඳ ආයෝජනයකි. තාවකාලික පැලැස්තර දැමීමට වඩා සවිමත් අත්තිවාරමකින් මෙම සිමෙන්ති අර්බුදය නැති කිරීමට බලධාරීන් උත්සුක වීම කාලීන අවශ්‍යතාවකි.
සසංක චලන ගිම්හාන