2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

ස්වර්ණමහල් තැන්පත්කරුවන්ගේ වගකීම එස්.එම්.බි. ලීසිංට

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 69

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් අක්‍රිය කරන ලද ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. සමාගම යළි ක්‍රියාත්මක කිරීම සඳහා එම සමාගම හා ඒකාබද්ධ වීමට එස්.එම්.බී. ලීසිං සමාගම වෙත මූල්‍ය බලපත්‍රයක් නිකුක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ. එමඟින්, තැන්පත්කරුවන්ගේ බැරකම් පියවීමට සහ අක්‍රිය වූ ස්වර්ණමහල් මූල්‍ය සමාගම සතු රුපියල් මිලියන 425.32 ක වත්කම් මිලදී ගැනීමට එස්.එම්.බී. ලීසිං සමාගම පියවර ගෙන ඇත.

මේ පිළිබඳව පසුගිය 28 වැනි දින කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් එස්.එම්.බී. ලීසිං සමාගම සඳහන් කර ඇත්තේ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම යටතේ ඉහත පියවර ගෙන ඇති බවය. අක්‍රිය වූ මූල්‍ය සමාගම් පුනර්ජීවනය කිරීම හා බැංකු නොවන මූල්‍ය සමාගම් අංශය ඒකාබද්ධ කිරීම සඳහා මහ බැංකුව විසින් දියත් කර ඇති අඛණ්ඩ වැඩපිළිවෙළට අනුව ස්වර්ණමහල් මූල්‍ය සමාගම හා එස්.එම්.බී. ලීසිං සමාගම ඒකාබද්ධ කිරීමේ කාර්යය සිදුකර තිබේ.

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. යනු 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ 2004 ජනවාරි 14 වැනි දින ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත කරන ලද සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ 2008 සැප්තැම්බර් 16 වැනි දින නැවත ලියාපදිංචි කරන ලද සමාගම විසින් බලපත්‍ර ලබා දී ඇති පොදු සීමිත වගකීම් සමාගමකි. 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ මෙම ආයතනය ලැයිස්තුගත කර තිබිණි. ඒ අනුව ඔවුන් රන් ණය, ලීසිං, ස්ථාවර තැන්පතු සහ ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන ගියේය. එහි සභාපති ජේ.එච්. එදිරිසිංහ වූ අතර ඒ.ඩී. එදිරිසිංහ, එන්.පී. එදිරිසිංහ, ඒ.එස්. එදිරිසිංහ සහ එස්. එම් ගනේගොඩ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළහ.

2011 සිට ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊ.ටී. අයි ෆිනෑන්ස් සමාගම්වල අක්‍රමිකතා සිදුවී ඇති බවට වාර්තා විය. 2018 වසරේ මුල් භාගයේදී එම ආයතන දෙකෙහි මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කලමනාකාරීත්වයක් පත් කළේය. ව්‍යාපාර පිරිහීම හේතුවෙන් එම සමාගමේ ඉතිරිකිරීම් ගිණුම්වල මුදල් තැන්පත්කරුවන්ට තම මුදල් ලබා ගැනීමට නොහැකි විය. ඔවුහු තම මුදල් ලබාදෙන ඉල්ලමින් විරෝධතා ව්‍යාපාරවල නිරත වූ අතර මහ බැංකුවෙන් ඉල්ලා සිටියේ මෙයට මැදිහත්ව තම තැන්පතු ආපසු ලබාදීමට කටයුතු කරන ලෙසටය. 

මෙම කරුණු සලකා බැලූ ජනාධිපතිවරයා 2020.01.11 දින ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත්කළ අතර අවස්ථා කිහිපයකදී නව තත්ත්වය පිළිබඳව සොයා බැලීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙවන් තත්ත්වයක් මතු වූයේ මූල්‍ය ආයතනවල ඉහළ පුද්ගලයන් එම මුදල් අවභාවිතා කර හෙයින් බවද මෙවැනි කරුණු සොයා බැලීම සඳහා මහ බැංකුව විශේෂ නියාමන ක්‍රමයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවටද ජනාධිපතිවරයා ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නේය..

අඛණ්ඩව පිරිහෙමින් පවතින මූල්‍ය තත්ත්වය සහ ශක්‍ය පුනර්ජීවන සැලැස්මක් නොමැතිකම සලකා බැලූ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත ප්‍රකාරව 2020 ජූලි 13 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එම සමාගමේ ව්‍යාපාර අත්හිටුවීමට තීරණය කළේය.

පසුව “බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට” අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යනය කිරීමේ අරමුණින්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාරව, 2021 ඔක්තෝබර් 13 දින සිට බල පැවැත්වෙන පරිදි මාස 06ක සීමිත කාල සීමාවක් සඳහා, එම ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසරය ලබාදීමට මහ බැංකුව පියවර ගත්තේය.

තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් අනුව ඔවුන්ට කිසියම් සාධාරණයක් කිරීමට මහ බැංකුව පියවර ගත්තේය. ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් සමාගමේ මුළු තැන්පත්කරුවන් සංඛ්‍යාව 8726ක් වූ අතර ඔවුන්ගෙන් 7802කු හට සියලු තැන්පත් මුදල ලබාගත හැකි බවත් ඉතිරි තැන්පත්කරුවන් 924 දෙනකුට ලක්ෂ හයක මුදලක් ගෙවීමට තීරණය වූ බවත් මහ බැංකුව නිවේදනය කළේය. ඊ.ටී.අයි. ආයතනයේ මුළු තැන්පත්කරුවන් සංඛ්‍යාව 24,800ති ඔවුන්ගේ තැන්පතු ප්‍රමාණය. බිලියන 33ක් පමණ වෙතැයි පැවසේ ඔවුන්ටද ඉහත පරිදි ගෙවීමට තීරණය විය.

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊ.ටී.අයි. ෆිනෑන්ෂල් සමාගමේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ අධ්‍යක්ෂවරුන් මුදල් විසුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගැනිණි. ඔවුන් සතු ඊඒපී මාධ්‍ය ජාලයත් ඊඒපී චිත්‍රපට සමාගමත් ස්වර්ණමහල් ස්වර්ණාභරණ ආයතනයත් විදේශ හා දේශීය සමාගම් දෙකකට විකුණා දමා ඇතැයි වාර්තා විය. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 75 වූ අතර. ඒ අනුව සෝමා එදිරිසිංහ මහත්මියගේ ඇවෑමෙන් ඇගේ දරුවන් සතුවූ සියලු ඊඒපී වත්කම් වලින් ඊටීඅයි මූල්‍ය සමාගම හැර සියල්ල විකුණා තිබූ බව අනාවරණ විය. 

එස්.එන්.බී. ලීසිං සමාගම සමග ඒකාබද්ධ වීමත් සමඟ අක්‍රිය වූ ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ රුපියල් මිලියන 425.32 ක වත්කම් මිලදී ගැනීමට එස්.එම්.බී ලීසිං සමාගම කටයුතු කර තිබේ. එමඟින් තැන්පත් කරුවන්ට ගෙවීමට ඇති හිඟ තැන්පතු පියවීමට අදාළ සමාගමට හැකිවනු ඇත.

මෙහිදී අරමුදල් මාරුකිරීම වෙනුවට, දේපල තුනක වගකීම් රහිත අයිතිය එස්.එම්.බී. ලීසිං සමාගම වෙත පැවරීමට ස්වර්ණමහල් මූල්‍ය සමාගමට සිදුවන අතර, ඉන් අනතුරුව මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා එම සමාගම සතුව පැවැති බලපත්‍රය අවලංගු වනු ඇත.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා