2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

ජනගහනයෙන් අඩක් පළමු ආශ්‍රිතයෝ! - පී.එච්.අයිලාගේ අනතුරු ඇඟවීම

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 56

මේ වනවිට රට පුරා කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර ආසාදිත වන රෝගීන් වාර්තා වීමද ඉහළ යමින් පවතී. මේ වනවිට දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ද ඉතා ඉහළ අගයකි. මීට මාස කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම හා කොවිඩ් හේතුවෙන් මියයන සංඛ්‍යාවේ යම් අඩුවක් පැවතියද මේ වන විට එම අඩුවීමේ ප්‍රතිශතය නැවත වැඩිවෙමින් තිබේ.

ආසාදිත වන රෝගීන් විශාල සංඛ්‍යාවක් මේ වනවිට දෛනිකව දිවයින පුරා වාර්තා වෙනවා. කොවිඩ් රෝගයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් රට තුළ ඉන්නේ දැන් තමයි. නමුත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණවල පවතින යම් අඩුවක් සහ එන්නත් ආවරණය 90%ක් පමණ තිබෙන නිසා රෝගීන් රෝහල් ගතවීම් සහ මරණ සංඛ්‍යාවේ යම් අඩුවක් පවතිනවා. යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

මේ වනවිට ජනතාව අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ යම් අඩුවක් පවතී. කොවිඩ් වසංගතය මෙරටින් වාර්තා වීමත් සමඟ මුව ආවරණ පැළඳීම අනිවාර්ය කළද මේ වනවිට ඇතැම් පුද්ගලයන් තම මුව ආවරණය නිසි පරිදි පැළඳීමට අමතක කර තිබේ. විශේෂයෙන් පොදු ස්ථානවලට යාමේදී මෙම සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පිරිස බොහෝය. මේ වනවිට ලංකාවේ ජනගහණයෙන් අඩක්ම පළමු ආශ්‍රිතයන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මේ යන විදිහට අපිට බරපතළ හානිවලට මුහුණ දීමට සිදුවෙනවා. එන්නත්කරණය දැනට ලබාගත් ප්‍රතිශතය ඒ අදාළ මාස ගණන අවසන් වූවායින් පසුව බූස්ටර් එන්නත ලබාගත්තේ නැත්නම් ප්‍රතිශක්තිය නැතිවෙලා යනවා. එවිට මීට වඩා මරණ සංඛ්‍යාවක් සිදුවෙන්න පුළුවන්. මේ වගේ දිගින් දිගටම රෝගය පැතිර යන්නට ඉඩ ලබාදීමෙන් ඔමික්‍රොන් වැනි තවත් ප්‍රභේද වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. එලෙස ප්‍රභේදයක් වර්ධනය වුණොත් අපිට ඒ අවදානම තියෙනවා. පෙර ඩෙල්ටා ප්‍රභේදය හැදුණු කෙනකුට නැවතත් ඔමික්‍රොන් ප්‍රභේදය හැදෙනවා. එවැනි ආසාදිතයන් මේ වන විටත් වාර්තා වී තියෙනවා. ඒ නිසා නව ප්‍රභේදයක් වාර්තා වුණොත් නැවතත් එය චක්‍රයක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වෙනවා. යැයි ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියයි.

මේ වනවිට දිනකට කොවිඩ් ආසාදිතයන් දහසකට වැඩි පිරිසක් වාර්තා වන අතර මෙම වාර්තා වන ආසාදිතයන්ට අමතරව විශාල පිරිසකට දෛනිකව කොවිඩ් රෝගය වැළඳෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ වනවිට කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන තවත් වෛරසයක් රට පුරා ව්‍යාප්ත වන අතර එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බොහෝ රෝගීන් මෙය වෛරස රෝගයක් යැයි සලකා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම හෝ නොගැනීම සිදු කළද බොහෝ විට මෙය ඔමික්‍රොන් ප්‍රභේදය විය හැක. නමුත් මේ ගැන සැලකිල්ලට නොගෙන සුපුරුදු පරිදි රාජකාරි කිරීම, පොදු ස්ථානවලට යාම හේතුවෙන් මෙය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සිදුවේ.

&ඉදිරියේදී මෙම ඔමික්‍රොන් ප්‍රභේදයත් සමඟ හරිම අවිනිශ්චිත තත්ත්වයක් තමයි පවතින්නේ. නිසි බූස්ටර් එන්නත්කරණය ලබා නොගැනීම නිසා දෛනිකව ආයතනවල රෝගීන් වාර්තා වීම ඉහළ යෑම සිදුවේවි. මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල විශාල අඩුවක් රට පුරා පවතිනවා. බොහෝ සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලවල ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මේ වනවිට අවසන් වෙලයි තියෙන්නේ. ඒ නිසා පරීක්ෂණවල විශාල අඩුවක් පවතිනවා. ඒ අඩුව රෝගය පැතිර යාමට හේතුවෙලා තියෙනවා. මීට පෙර රෝග ලක්ෂණයක් හෝ දෙකක් පෙන්නුම් කළ වහාම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමෙන් රෝගය තීරණය කරන්න හැකි වුවත් මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැතිකම නිසාම බොහෝ කොවිඩ් රෝගීන් සාමාන්‍ය මිනිසුන් අතර ගැවසීම රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරන තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ.* යැයිද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05