2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

කෙහෙවලු පටලවාගෙන කිරුළ අහිමි කරගත් විවාහක රූ රැජිණ

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 291

ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ පුෂ්පිකා ද සිල්වාගේ විනය විරෝධී හැසිරීම් හේතුකොට ගෙන ඇයගේ රූ රැජිණ කිරුළේ අයිතිය අහිමි කරන ලද බවත් එම කිරුළ දැරීමේ අයිතියෙන් ඇය ඉවත් කළ බවත් විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ රූපලාවණ්‍යවේදී චන්දිමාල් ජයසිංහ මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබිණි.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

''Mrs Srilanka for mrs World'' තරගය 2021 කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා මහත්මිය වටා ඇති මෑතකාලීන මාතභේද ගැන මම කණගාටු වෙමි. ඒ හේතුවෙන් දේශීය ක්ෂේත්‍රයේ පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේද විශාල හානියක් සිදුවිය. ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අනතුරේ හෙළන්නට ඇය හේතු විය. ''Mrs world'' ජාත්‍යන්තර ආයතනයට එරහිව අසත්‍ය චෝදනා මාලාවක් ඇය ඉදිරිපත් කර ඇත. ''Mrs world'' සංවිධානයට එරෙහිව ඔවුන්ගේ අධිකාරියට අභියෝග කිරීම සහ සංවිධානය විසින් ගන්නා ලද අවසාන තීරණ ප්‍රතික්ෂේප කිරීම මට කලකිරීමක් ඇතිකර තිබේ. මගේ ප්‍රධානත්වයෙන් ''Mrs world'' සංවිධායක කමිටුව අනුව තෝරාගත් කෙනෙකු මෙලෙස හැසිරීම ''Mrs Srilanka for mrs World'' හි විනය සහ සදාචාරය බරපතළ ලෙස උල්ලංඝනය කරයි. රූපලාවණ්‍ය රැජිණකගෙන් හෝ තානාපතිවරයකුගෙන් බලාපොරොත්තු වන ප්‍රමිතීන් දේශීය හෝ ජාත්‍යන්තර වේවා ඕනෑම හැකියාවකින් තමන්ගේ රට නියෝජනය කිරීම නිසා ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ ලෙස මට ඇති බලතල අනුව මෙම ක්‍රියා පිළිකුළෙන් හෙළා දකිමි.

බරපතළ විනය හේතු මත සහ විෂමාචාරය හෝ එම කොටසේ සඳහන් ඕනෑම දෙයක් මත ඇගේ කිරුළ ඇගෙන් ඉවත් කිරීමට මට සංවිධානය මගින් බලය පවරා ඇති අතර 2021 අප්‍රේල් මස 04 වැනි දින 2021 කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මිය ''Mrs Srilanka for mrs World'' හි හිමිකරු තත්ත්වය ඉවත් කළ බව ප්‍රකාශ කරයි'' යනුවෙන් විවාහක රූ රුජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ රූපලාවණ්‍යවේදී චන්දිමාල් ජයසිංහ විසින් ලිඛිතව සඳහන් කළ නිවේදනයේ සඳහන් කරයි.

''ඇමෙරිකාවේ පැවැති තරගාවලියෙන් පසුව ඇය විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරමින් මෙම සංවිධානය සහ අප සංවිධානය අපහසුතාවයට පත් කරමින්, තරග නීති රීති සියල්ලන්ම උල්ලංඝනය කරමින් විටින් විට ක්‍රියා කළා. මේ සම්බන්ධව අපි ගොඩක් ඇයට දැනුම්දීම් කළා. නීතිමය කටයුතු ඇයට දැනුම් දුන්නා. නමුත් ඒ කිසිම දෙයක් බාර නොගන්නට සහ ඇය ඒ කිසිවක් අනුමත නොකරන බව අපිට පෙනී ගිය නිසා ලෝක සංවිධානය මට තියෙන බලතල අනුව ඇයට තිබෙන කිරුළ දැරීමේ අයිතිය ඉවත් කරන ලෙස මට දැනුම් දුන්නා. ඒ නිසා ඇයගේ ''Mrs Srilanka for mrs World'' සන්නාමය ජාත්‍යන්තරවත්, ලංකාව තුළත් මින් ඉදිරියට භාවිත කළ නොහැකියි.''

විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ රූපලාවණ්‍යවේදී චන්දිමාල් ජයසිංහ මාධ්‍යයට පැවසීය.

මේ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා පවසන්නේ මෙවන් අදහසකි.

''විනිශ්චය මණ්ඩලයක් ගත්තු තීරණයක් එහෙම තනි පුද්ගලයකුට වෙනස් කරන්න බැහැ. මේ වෙද්දී මට එවලා තිබෙන දේවල්වලටවත් මම තවම උත්තරයක් යවලා නැහැ. කිසිම දැනුවත් කිරීමක් නොකොට, ඒ සම්බන්ධයෙන් විභාගයක් හෝ නොපවත්වා විනිශ්චය මණ්ඩලයක් මඟින් තෝරපු තීරණයක් තනි පුද්ගලයකුට වෙනස් කරන්න බැහැ. ඇත්තටම මේක විහිළුවක්. මේ සම්බන්ධයෙන් මම මගේ නීතිඥවරුත් එක්ක කතාබහ කරමින් යන්නේ. අපේ රටේ ඉන්නේ වැඩිපුර බුද්ධිමත් මිනිසුන්. මම නියෝජනය කළේ මගේ රටයි. මේ වෙද්දී මම මගේ රට නියෝජනය කරලා ඉවරයි. අපේ ගිවිසුමක් තිබෙනවා. ඒ ගිවිසුමට අනුව දින පවා මේ වෙද්දී ඉවරවෙලයි තියෙන්නේ. අපේ අදහස් පළ කිරීමක් අපිට ඕන වෙලාවක කියන්න පුළුවන්. ඒ කියන දේට කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. කිරුළ පළඳිනවා, ගලවනවා. ඇත්තටම මේක විහිළුවක්. මේ වගේ සිදුවීමක් ඉතිහාසයේ නම් වෙලා නැතිව ඇති.''

කෙසේ වුවද මේ වනවිට විවාහක රූ රුජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ රූපලාවණ්‍යවේදී චන්දිමාල් ජයසිංහ පවසන්නේ කිරුළ දැන් ඇයට අහිමි බවය. මෙම තරගයට සහභාගි වූ පුෂ්පිකා චන්දිමාල්ට සහ රෝසි සේනානායකට විවිධ චෝදනා එල්ල කරන්නීය. තරගාවලියේ අවසන් හයදෙනා අතරට තේරුණද පුෂ්පිකා සඳහන් කර ඇත්තේ අවසන් හතරවැනියා ලෙසින් තමන් ජයග්‍රහණය කර ඇති බවය. පැටළුණු නූල් බෝලයක් ලෙසින් විවිධ චෝදනා සහ විවිධ කතා ඉදිරිපත් කරමින් පුෂ්පිකා ඇමෙරිකානු ගමන පිළිබඳ තම අදහස් ඉදිරිපත් කරන්නීය.

මීට වසර තිස් පහකට පෙර ''Mrs Srilanka'' කිරුළ ජයග්‍රහණය කළ රෝසි සේනානායක පවා ඇමෙරිකාවට ගෙන යන ලද්දේ තමන්ගේ වියදමින් බව ඇය පවසයි. ඒ සඳහා ලක්ෂ දොළහක ගුවන් ටිකට් පතක් ලබාදුන් බව ඇය පවසයි. ඊට අමතරව ඇය සඳහා සියලුම වියදම් දැරුවේ තමන් බවත් ඇය කියයි. ඒ අනුව මෙම තරගාවලිය සඳහා වියදම් දැරූ සියලුම මුදල තම පෞද්ගලික මුදලින් ගෙවා ඇති බවත් එයට තම අනුග්‍රාහකයන්ගේ උදව් ලැබූ බවත් ඒ අනුව ලක්ෂ විස්සකට වැඩි මුදලක් මේ සඳහා තමන් වියදම් දරා ඇති බවත් ඇය කියයි.

නමුත් මේ සම්බන්ධයෙන් විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ පවසන්නේ පුෂ්පිකාගේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය. මෙම තරගාවලියට තමන්ට ධෛර්යයක් ලබාදීමට පැමිණෙන ලෙස රෝසි සේනානායකට පුෂ්පිකා ඉල්ලීම් කර තිබූ නමුත් ඔවුන්ගේ ගුවන් ටිකට්පත් පුෂ්පිකා මිලදී නොගත් බවය. මේ තරගාවලියට රෝසි සේනානායකට ''Mrs World'' ආයතන මගින් ආරාධනා කර තිබූ බවත් පුෂ්පිකා පවසන මෙම ප්‍රකාශ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් චන්දිමාල් පවසයි.

ඇමෙරිකාවට ගිය පිරිසට අවශ්‍ය වීසා සඳහා රෝසි සේනානායක විසින් ලියුමක් ඉදිරිපත් කර ඇති වුවද පුෂ්පිකා සඳහන් කරන්නේ රෝසි සේනානායක මේ ගමනට එන බවට තමන් නොදැන සිටි බවය.

මේ සියලු කතා පැටලිලි සහිතය. මෙම තරගාවලියේ අවසන් දිනයේ පුෂ්පිකා ඇඳ සිටි ඉතා මිලෙන් අධික ගවුම තමන්ගේ වියදමින් මිලදී ගත් බව ඇය පැවසුවද චන්දිමාල් පවසන්නේ ඒ සඳහා ගෙවීම් කළ රිසිට්පත තමන් සතුව පවතින බවය. අවසන් දවසේ පුෂ්පිකාට තරගාවලියට ඇඳීමට ගවුමක් නොමැති බව පවසද්දී රෝසි සේනානායකගේ ඥාතිවරියක් මාර්ගයෙන් පුෂ්පිකාට අලුත් ඇඳුමක් සූදානම් කොට මෙම තරගාවලියට ඇය ඉදිරිපත් කළ බව චන්දිමාල් පවසයි. රෝසි සේනානායක හා එක්ව එම ඇඳුම් තෝරන වීඩියෝ පට කිහිපයක්ද මේ වනවිට චන්දිමාල් මාධ්‍යයට ඉදිරිපත් කර ඇත. තමන් අකමැති කෙනෙකු සමඟ ඒ අන්දමින් කුළුපගව ඇඳුම් තෝරන්නට හැකිදැයි යන ගැටලුව එම වීඩියෝ පට දකින කෙනෙකුට සිතිය හැකිය.

කෙසේ වුවද දෙපාර්ශ්වයම විවිධ චෝදනා දෙපාර්ශ්වයටම එල්ල කර ගනිති. පුෂ්පිකා නියෝජනය කරන ලද්දේ ශ්‍රී ලංකාවය. නමුත් අද වනවිට මෙම ගැටලුව ජාත්‍යන්තරයට පවා ගොස් ඇත. විවාහක රූ රැජිණ යනු සුන්දරත්වය පමණක් ඇති කාන්තාවක් නොවේ. උගත්, බුද්ධිමත්කම මෙන්ම අපේකම මුළු ලෝකයටම පෙන්වන කැඩපත වන්නේ මෙරට නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වන මෙවැනි තරගකාරියන් හරහාය. පුෂ්පිකා වැරදිකාරිය හෝ නිවැරදිකාරිය කිරීමට අපි ඉක්මන් නොවෙමු. නමුත් මෙරට ජීවත්වන සමස්ත විවාහක කාන්තා නියෝජනයක් කරමින් කිරුළ දිනාගත් කාන්තාවක් ලෙසින් පුෂ්පිකාට මීට වඩා කල්පනාකාරීව කටයුතු කිරීමට හැකි විය යුතුය. ඇඟපසඟ, මුහුණ පමණක් නොව රූ රැජිණක් ලෙසින් ඇයට තමන් කියනා දේ ගැන දෙවරක් සිතා බැලීමේ වගකීමක් තිබිණි.

 දිශානි ජයමාලි කරුණාරත්න