2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

සජිත් සමඟ ගමන චම්පික අතහරියිද?

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 137

ඕනෑම පක්ෂයක් ඇතුළත නොයෙකුත් ප්‍රශ්න අඩුවැඩියෙන් ඇත. ඇතැම් ඒවා අභ්‍යන්තරයේ කැකෑරෙන අතර ඉවසන්නම බැරි ප්‍රශ්න එළියේ විසඳාගන්න තැනට පත්වේ. එසේ එළියේ විසඳෙන ප්‍රශ්න දේශපාලනඥයන් අර්ථ ගන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙසය. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒ නිසා ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුළුවන්* යැයි ඒ අය කියති. එහෙත් එලෙස සැබෑ ප්‍රශ්නය වල දැමුවත් ඇත්ත ප්‍රශ්නය ඊට වඩා සංකීර්ණව ඇත.

කෙසේ වෙතත් මේ කියන්න යන්නේ දැනට සක්‍රීයව ඇතිවී තිබෙන දේශපාලන පක්ෂයක අවුලක් ගැනය. ඒ සමගි ජනබලවේගයේ අවුලකි. සජිත් ප්‍රේමදාසත් එහි සාමාජිකයකු වන පාඨලී චම්පික රණවකත් අතර ඇති වී තිබෙන සීතල යුද්ධය දැන් දැන් කරළියේ රඟ දෙන්නට පටන් ගෙන ඇත.

පසුගිය දිනෙක වෙබ් මාධ්‍යවල චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයකට විශාල ප්‍රචාරයක් හිමිවිය. ඒ සජිත් සමඟ කිසිදු ගමනක් මින් ඉදිරියට නැති බව කියාය. එහෙත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය වුණේ චම්පික රණවක එවැනි ප්‍රකාශයක් සිදුකර නැති බවත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ සජබය ප්‍රතිපත්තිමය වෙනසක් සිදුනොවුණහොත් ජයග්‍රහණයක් අපේක්ෂා කළ නොහැක යන්න බවත්ය. එම ප්‍රකාශය විකෘති වී ගියේ සජිත් - චම්පික අතර ඇති හිත් නොහොඳකම දුරදිග ගොස් ඇති ආකාරයටය.

එහෙත් අප මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ සැබැවින්ම සජිත් ප්‍රේමදාස කිසිසේත් චම්පිකගේ ගමන ගැන කිසිදු සතුටක් නොමැති බවය. එනම් චම්පිකගේ 43 සේනාංකය ගැන සජිත් තවමත් සිටින්නේ ඉතාම අපැහැදිලි සෙයියාවකිනි. චම්පික 43 වැනි සේනාංකය ආරම්භ කිරීමත් සමඟ සජිත් පමණක් නොව සජිත්ගේ සමීපතමයන් පවා චම්පිකගේ පාර්ශ්වයෙන් ඉල්ලා ඇත්තේ මේ සේනාංකය නවතා දමන ලෙසය. මේ සේනාංකය හරහා පක්ෂයේ පළුද්දක් දැකිය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. එහෙත් චම්පිකගේ පාර්ශ්වය එය තඹ දොයිතුවකටවත් ගණන් නොගෙන ඉදිරියට ගෙනයාමට තීරණය කර ඇත්තේ මේ පවතින සාම්ප්‍රදායික පවුල් දේශපාලනයට එරෙහිවය.

43 වැනි සේනාංකය යනු මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන වෘත්තීය මට්ටමින් රටට වැඩකරන වෘත්තිකයන්ගේ එකමුතුවකි. එහිදී චම්පික එළිපිටම පවසන්නේ මේ ක්‍රියාත්මක වන තාත්තගෙන් පුතාට, අයියාගෙන් මල්ලීට ක්‍රියාත්මක වන දේශපාලනයට තිත තැබිය යුතු බවත් මේ රට දියුණු කිරීම සඳහා වෘත්තීයවේදීන් පෙරට ආයුතු බවත්ය. පවුල් දේශපාලනය ගැන ප්‍රකාශ කරද්දී බොහෝ දෙනාට රාජපක්ෂවරු මතක් වුණත් සජබයේ බොහෝ දෙනා එය අර්ථ ගන්වන්නේ මෙය සජිත්ට එල්ල කරන ප්‍රහාරයක් ලෙසටය. එනම් සජිත්ගේ පියාගේ උරුමය සජිත් විසින් කරපින්නාගෙන යාම ගැනය.

කෙසේ වෙතත් සජිත් බලයට ගෙන ඒමේ ප්‍රධාන මෙහෙයුම්කරු චම්පිකය. චම්පිකගේ ඡායාරෑප ප්‍රදර්ශනයක ප්‍රධාන ආරාධිතයා වූයේ සජිත්ය. ඒ එදායින් හැමදෙනාම ඉදිරියේ සජිත් සහ චම්පික අතර තිබූ මිත්‍රත්වය ලොවටම ප්‍රදර්ශනය විය. මේ අතර සජිත් ජනාධිපතිවරණය සඳහා සූදානම් කළෙත් ඒ වෙනුවෙන් කටයුතු කළෙත් චම්පික බව නොරහසකි. සජිත් ඒ බව සහතික කළේ පරාජයෙන් පසු එකවරක් චම්පිකට කියූ කතාවත් සමඟය. මම ජනාධිපති වුණානම් අගමැති කරන්න හිටියේ ඔයා* යනුවෙනි. කෙසේ වෙතත් පරාජය වූ පසු ඕනෑම දෙයක් කියන්න ඕනෑම අයකුට පුළුවන. ඒ තුළ සත්‍ය අසත්‍යභාවය තීරණය වන්නේ ඉන්පසු ක්‍රියාත්මක වන ආකාරයත් සමඟය

එහෙත් සජිත්ගේ කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචන තිබූ චම්පික හදිසියේම වෙනම ගමනක් හදාගත්තේ සියලු පාක්ෂිකයන්ට ඇත්ත තත්‍ත්වය පෙන්වමිනි. මේ සේනාංකය සම්බන්ධයෙන් චම්පික පවා වෙනම අර්ථයක් දුන්නත් ඇත්තටම චම්පිකගේ ගමනේ අරමුණ වෙනස් බව පැහැදිලි කරන්නකි. ඊට හොඳම උදාහරණය වන්නේ චම්පික සඳහා පක්ෂයේ විවිධ තනතුරු ලබාදෙන්නට උත්සාහ ගත්තත් චම්පික ඒ සියල්ල ප්‍රතික්ෂේප කිරීම නිසාය. එසේ නම් චම්පික කියන්නාක් මෙන් මේ පක්ෂ දේශපාලනය වහකදුරු වී ඇත. චම්පික ඒ වෙනුවට හොයන්නේ වෙනස්ම ගමනකි.

මේ සියලු සිදුවීම් හමුවේ සජබයේ ඇතැම් මන්ත්‍රීවරු චම්පික කිහිප වතාවක් හමුවී ඉල්ලීම් සිදුකළේ පක්ෂය සමඟ එක්ව කටයුතු කරමු යැයි කියාය. එහෙත් චම්පික ඒ සඳහා විවිධ හේතුසාධක කීවේය. ඒ සියල්ල තුළම චම්පික මේ සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කළ බව දෙපාර්ශවයේම අය කියති.

දැනට දැන ගන්නට ඇති ආකාරයට චම්පිකට අවස්ථා කීපයක් ගැටලුකාරී වී ඇත. එනම් ජනාධිපතිවරණයේදී පක්ෂ අතර ගිවිසුම පක්ෂවලට නොපෙන්වා අත්සන් ගැනීමට උත්සාහ කිරීමත්, පක්ෂ ව්‍යවස්ථාව සජිත්ගේ සමීපතමයන්ට ඕනෑ ආකාරයට සැකසීමත් නිසාය. මේ නිසා යම් ආකාරයක් කැළඹීමක් සිදුවී ඇත්තේ එම සිදුවීම් හරහාය.

කෙසේ වෙතත් මේ වනවිට චම්පික ළඟ ළඟ ප්‍රහාර එල්ලකරමින් සිටින අතර ඒ ප්‍රහාරවල වැඩිම හානිය සිදුවන්නේ සජිත්ටය. මේ නිසා දැන් සජිත්ගේ පාර්ශ්වයේ අය මේ ගැටුම නිරාකරණය කිරීම සඳහා නොයෙකුත් ක්‍රම උපයෝගී කරගනිමින් සිටිති. මේ අතර තවත් පිරිසක් දෙදෙනාටම නොයෙකුත් අසත්‍ය තොරතුරු ලබාදෙමින් කොටවන්නට වෙහෙස දරමින් සිටිති. එහෙත් ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ සජිත්ට චම්පිකත්, චම්පිකට සජිත්වත් නොමැතිව ගමනක් නැති බවය. ඒ නිසා දෙන්නා වෙන්ව ගියොතින් ගැටලුව උග්‍රවන බව බොහෝදෙනාගේ අදහස වී ඇත

දැනට සජිත්ගේ පාර්ශ්වයට ගැටලුව වී ඇත්තේ චම්පික 2024 දී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙයිද නැද්ද යන්නය. එසේ ඉදිරිපත් වුවහොත් සජබය බෙදී වෙන්වීම තුළ වාසිය වෙනත් පිරිසකට යන බව ඔවුන්ගේ මතය වී ඇත. එය සැබැවින්ම සත්‍යයකි. ඔවුන් දෙදෙනාගේ කැඩී බිඳී යාම ගැටලුවක් වනු ඇත. එහෙත් දේශපාලනයේ කැඩී බිඳී යාම් සියල්ල සාර්ථක වන්නේ නැත. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අත්හැර එදා වෙනම ගමනක් යන්නට උත්සහ ගත් ගාමිණි දිසානායකටත්, ලලිත් ඇතුලත්මුදලිටත් එය සාර්ථක වූයේ නැත. එදා හා සමානම ගැටලුවක් චම්පිකත් සජිත් අතරත් ඇත. එය කවුරුන් නෑ කිව්වත් අළු යට ගිනි එලෙසමය. ඒ නිසා සැබෑ තත්ත්වය ඉදිරියේදී මීට වඩා වෙනස් වෙනු ඇත.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05