2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

ආපසු එන්න දත කන ලයිට් කැපිල්ල

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 61

විදුලි කප්පාදුවේ සැර බාල වූයේය. ගෙවුණු සතියේ අවසන් දින කිහිපය තුළ අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට විදුලිබල මණ්ඩලය සමත් විය. එහෙත් විදුලි අර්බුදය පිළිබඳ වූ සංවාදය එලෙසම ඉදිරියට ඇදුණි. පසුගිය සමයේ  පූර්ව දැනුම්දීමකින් තොරව සිදුවූ විදුලි කප්පාදුව හේතුවෙන් විදුලිබල බලධාරීන්ට බොහෝ පාර්ශ්ව චෝදනා කළහ.

විදුලි කප්පාදුව සම්බන්ධව තරමක් සහනශීලී බවක් ගෙවුණු සතියේ දී නිර්මාණය වීමට පසුගිය සති අන්තයේ වූ නිවාඩුව ද බලපෑ බව විදුලිබල ආරංචි මාර්ග පැවසීය. ඒ අනුව පසුගිය සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින තුනම රජයේ හා පෞද්ගලික අංශයේ නිවාඩු දින වූ බැවින් විදුලි ඉල්ලුම මෙගාවොට් 2276ක් පමණ දක්වා පහළ බැස ඇතැයි වාර්තා විය. මේ හේතුවෙන් බලාගාර ඉන්ධන භාවිතයේ ද සුළු අඩුවීමක් සිදුව ඇතැයි කියැවිණි. බලාගාර කිහිපයක් නතර වී තිබුණ ද ජාතික විදුලි පද්ධතිය මත ඇතිවූ ඉල්ලුම දරාගැනීමට හැකිවූ හේතුව මෙය බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පැවසූහ.

එසේම පෙබරවාරි 4 වැනිදා කොළඹ වරායට සේන්දු වූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් අඩංගු ඩීසල් නෞකාවක් හේතුවෙන් ද යම් සහනයක් ලැබුණි. පසුගිය සතිය තුළ නෞකාවෙන් ඩීසල් ගොඩබෑම ආරම්භ විය. කෙසේ වෙතත් ඉන්ධන සහ විදුලි මිල වැඩි කිරීම සම්බන්ධව සමාන්තර සංවාදයක් ද ගෙවුණු සතියේ නිර්මාණය විය. ඒ අනුව විශාල ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කියා සිටියේය.

මේ අතර විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට විදුලිබල මණ්ඩලය සූදානම් බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණි. මේ වන විටත් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් විසිපහකට වැඩි මුදලක් වැය වන අතර, එය පාරිභෝගිකයාට ලබා දෙන්නේ රුපියල් පහළොවක් වැනි අඩු මුදලකට බව කියැවේ. එසේම විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 150ක ණය මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට සහ බැංකුවලට ගෙවීමට ඇති බව ද වාර්තා පළ වේ. ඒ අනුව නුදුරේදීම විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ ඉල්ලීම ද ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

කෙසේ වෙතත් දිනක විදුලි ඉල්ලුම මොගා වොට් 2750 ඉක්මවුවහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසා තිබුණි. විදුලිබල මණ්ඩලයට එල්ල වූ නොදන්වා විදුලි කැපීමේ චෝදනාව මත මහජන උපයෝගීතා කොමිසම පසුගිය සතියේ නැවත ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ විය. ඉදිරි දිනවල විදුලි ඉල්ලුම ගැන පුරෝකථනයක් කිරීමට නොහැකි නිසා දිනෙන් දින ඒ පිළිබඳව කටයුතු කර සැපයුම දිගටම පවත්වා ගන්නවාද කප්පාදු කරනවාද යන්න තීරණය කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය.

මේ අතර විදුලිය කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරන්නේ නම් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දිනකට පෙර දැනුවත් කිරීම අනිවාර්ය වේ. එය කලක පටන් පැවති නෛතික තත්ත්වය වූ නමුත් ආසන්න සිදුවීම් හේතුවෙන් එම ක්‍රමවේද තදින් සලකා බැලීමට කොමිසම තීරණය කර තිබුණි. ඉහත සතියක දී නොදන්වා සිදුවූ විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව හෙළිදරව් වෙමින් පැවතීම ද මීට හේතුවකි.

මෙම තත්ත්වය මත අද ලැබෙන තොරතුරු අනුව හෙට දිනයේ දී විදුලිය කපනවාද නැද්ද යන්න පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් මහජනතාව වෙත නිවේදනය කරනු ඇත. මේ අතර මහජන පසුගියදා උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් විදුලිබල මණ්ඩලයට ලැබෙන ඉන්ධන ප්‍රමාණය මත සැපයුම පවත්වාගෙන යෑම තීරණය වන බවද වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ සියල්ල අතරේ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් සිය පාර්ශ්වයෙන් හේතු දැක්වීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් විය. ඒ අනුව නඩත්තු කටයුතු හේතුවෙන් සහ හදිසි බිඳවැටීම් හේතුවෙන් සිදුවන විදුලිය විසන්ධි වීම් වැළැක්විය නොහැකි බව විදුලිබල මණ්ඩලය පසුගිය සතියේ දී පවසා සිටියේය. එසේ නමුත් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී ඇති බවද විදුලිබල මණ්ඩලයේ ලේකම් වසන්ත පෙරේරා මහතා පැවසුවේය. 

මේ අතර ඉදිරියේ දී උද්ගත විය හැකි තත්ත්වයන් පිළිබඳව ද විදුලිබල මණ්ඩලයේ ලේකම් වසන්ත පෙරේරා මහතා පැහැදිලි කර තිබුණි. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන සැපයුම සීමා කිරීමේ හැකියාවක් පවතින බව ඔහු පැවසීය. ඒ හේතුවෙන් විදුලිබල මණ්ඩලය තවත් පාර්ශ්ව කිහිපයක් සමඟ අඛණ්ඩ විදුලිය ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා ආරම්භ කර තිබේ.  එසේ වුවද විදුලිය විසන්ධි වීම වළක්වා ගැනීම සඳහා අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස ලංවිම ලේකම්වරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය. විශේෂයෙන් සවස 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාර්යබහුල වේලාවන්හිදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවට සිහිපත් කරයි. 
පසුගියදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ පවා විදුලිබල ප්‍රශ්නය ප්‍රබල ලෙස සාකච්ඡාවට ගැනුණි. ඉන්ධන සම්බන්ධව ඇති බරපතළ තත්ත්වය බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැහැදිලි කර තිබුණි. නොදන්වා විදුලිය කැපීම පිළිබඳව ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම දැඩි විවේචන මතුවී ඇති බවද වාර්තා විය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවයි. 

මේ අතර විදුලි අර්බුදය පිටුපස ඇති මෙතෙක් සාකච්ඡාවට ලක් නොවූ හේතුවක් ද පසුගිය සතියේ කරළියට පැමිණියේය. පාර්ලිමේන්තුවේ දී සිදුවූ ප්‍රශ්න කිරීමකට අනුව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම හෙළිදරව්ව සිදු කළේය. මෙය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල පනතේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය කිරීමට සලසා ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත කරුණු හේතුවෙන් ඇතිවූ තත්ත්වයකි. එම ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අනුමැතියට නිකුත් කර ඇති සමස්ත ධාරිතාව මෙගා වොට් 19.63ක් වන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති යෝජනා 18ක් සමඟින් විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි වී තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනට විදුලිය මිල දී ගනු ලබන කුඩා ජල විදුලි බලාගාර සංඛ්‍යාව 214ක් බවත් ඒවායේ සම්පූර්ණ ධාරිතාව මෙගා වොට් 424 ක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් අප වෙත ලැබී ඇති තොරතුරු අනුව පවතින කාලගුණික වටපිටාව හේතුවෙන් මෙම දිනවල කුඩා ජල විදුලි බලාගාරවලින් ලැබෙන්නේ ඉතා සීමීත මෙගා වොට් ප්‍රමාණයකි. එසේම මහා පරිමාණ ජල විදුලි බලාගාරවලින් අපේක්ෂිත ප්‍රමාණයෙන් අඩක් හෝ සපයා ගැනීමට පවතින කාලගුණික තත්ත්වය මත නොහැකි වී ඇතැයි කියැවේ. ඉන්ධන භාවිත කොට විදුලි නිෂ්පාදනයට වැඩි වශයෙන් යොමුවීම මේ අවස්ථාවේ විදුලිබල මණ්ඩලයට ඇති එම වික්ලපයයි. ඒත් ඊට බලාගාරවල පවතින ගැටලු සහ ඉන්ධන සපයා ගැනීමේ දුෂ්කරතාව ප්‍රබල ලෙස බලපා ඇත. 

බලශක්ති ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙන ආකාරයට ඉදිරි මාර්තු මාසය වනවිට තත්ත්වය තවත් බරපතළ වීමට ඉඩ තිබේ. දැනට පුරෝකථනය කර ඇති පරිදි ජාතික විදුලි පද්ධතිය මත ඉතිහාසය පුරා ඇති කරනු ලබන විශාලතම ඉල්ලුම එළඹෙන මාර්තු මාසයේදී වාර්තා වීමට නියමිතය. එය මෙගා වොට් 2900ක් පමණ වෙතැයි කියැවේ. තත්ත්වය එසේ වුවහොත් දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීම මිස වෙනත් විකල්පයක් බලධාරීන්ට තිබේදැයි යන්න ගැටලු සහගතය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලත් රට තුළ පවතින බලවත් හිඟයත් අර්බුදය තවත් තීව්‍ර කරනු ඇත. ඒ නිසාම අප මේ මොහොතේ අත්විඳින්නේ තාවකාලිකව සහනයක් විය හැකිය.

 චමිඳු නිසල් ද සිල්වා