2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

සිංහරාජයට එක්වීමට වරම් අහිමි ගොන්ගල කන්ද

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 301

යුනෙස්කෝ ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ රක්ෂිතයට යාබදව පිහිටි එයට පවරා නොගත් රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් වනාන්තර බිම් රාශියක් අදත් අනාරක්ෂිතව පවතී. ඒ රක්ෂිත සිංහරාජයට එකතු කරන ලෙසට 2004 වසරේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ රක්වාන ගොන්ගල කඳු පන්තිය ඇතුළු කඳුකර වනාන්තරවල පාරිසරික වටිනාකම ගැන පසුගිය දිනවල සිංහරාජ පරිසර මිතුරෝ සංවිධානය වාර්තාවක් සකස් කළේය. මේ ලිපිය ලියවෙන්නේ එහි දත්ත අනුසාරයෙනි.

මුහුදු මට්ටමේ සිට වැඩි උසකින් සිංහරාජ වැසි වනාන්තර කලාපයට යාබදව පිහිටා ඇති භූගෝලීයව හා ජෛව විද්‍යාත්මකව අතිශය වැදගත් එමෙන්ම සංවේදී, පාරිසරික කලාපයක් ලෙස රක්වාන ගොන්ගල කඳු පන්තිය වැදගත්ය. ගොන්ගල කඳු මුදුන පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි දෙනියාය නගරයට නුදුරිනි. එමගින් සබරගමුව පළාත හා දකුණු පළාත් මායිම් මේ කන්ද හරහා වැටී තිබේ. ඔබට දෙනියාය රක්වාන මාර්ගයේ ගමන් කිරීමේදී මේ කඳු මුදුනම දැකිය හැකිවේ. මෙම කඳුකර කලාපයේ එක් කොටසක් ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මායිම්ව පවතී.

2004 වසරේදී මෙම ප‍්‍රදේශයද ඇතුළත්ව හෙක්ටයාර් 2508.4ක බිම් ප‍්‍රමාණයක් රක්ෂිතයට පවරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණද එම ගැසට් පත‍්‍රය පළවූයේ නැත‍. පසුව වර්ෂ 2017දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරිසර ඇමැති සමයේ සිංහරාජයේ රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් කොටස හැර අනෙක් කොටස් රක්ෂිතයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරිණි. එය වැදගත් තීරණයක් වුවත් සිංහරාජය වැනි පාරිසරික පද්ධතියකට දිස්ත්‍රික් මායිම් මත පදනම්ව වරින්වර තීරණ ගැනීම අතාර්කික බව පරිසරවේදීහු පවසති. පවරා නොගත් රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් හෙක්ටයාර 1512.4 මෙහි විශාලතම කොටස වන අතර පාරිසරික වශයෙන්ද විශේෂ වැදගත්කමක් උසුලයි. 

යෝජිත ප‍්‍රදේශයේ වැදගත්කම:

සිංහරාජ වනාන්තරයේ නැගෙනහිර පෙදෙස, රක්වාන සිට බටහිරට මාතර දිස්ත‍්‍රික්ක සීමාව දක්වා විහිදෙන ගිනිකොණට සහ දකුණට මුහුණ දී ඇති මුහුදු මට්ටමේ සිට මීටර් 600 - 1358 අතර විහිදී යන කඳු පන්තියකි. තෙත් කලාපයේත්, වියළි කලාපයේත් දකුණු මායිමට ඉහළින් විහිද යන කඳු පන්තියක් ලෙස මෙම රක්වාන කඳු ක්‍රියාකරයි. එසේම නිරිත දිග සුළං බාධකයක් ලෙසද ක‍්‍රියාකරයි. මෙහි වාර්ෂික වර්ෂාපතනය මි.මී. 5000 සීමාව ඉක්මවයි. මෙම තත්ත්වය නිසා හටගන්නා නිරිත දිග මෝසම් වැසි වැටීම මගින් සෘජුවම මාතර දිස්ත‍්‍රික්කයත්, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දකුණු හා බටහිර සීමාවත් සාරවත් කිරීමට මේ වනාන්තර කොටස දායක වේ. එමෙන්ම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ දකුණු සීමාවත් ගිං ගඟ හරහා ගාල්ල දිස්ත‍්‍රික්කයත් පෝෂණය කිරීම සඳහා ඉවහල් වේ.

නිල්වලා ගඟ ඍජුව ගොන්ගල කඳු පන්තියෙන් ආරම්භ නොවුවද නිරිත දිග මෝසම් සුළගෙන් වැසි ඇතිකිරීම සඳහා මෙම කඳු පන්තින්ගේ දායකත්වය ඉහළ මට්ටමක පවතී.  නිල්වලා ගඟ වාර්ෂිකව ජලය ඝන මීටර් මිලියන 1152.1ක් මුහුදු වෙත ගෙන යමින් මාතරින් මුහුද සිප ගනී. එමෙන්ම ගිං ගඟ ගොන්ගල කඳු මුදුනින් ආරම්භ වී ගිං තොටින් මුහුදට වැටෙන තෙක් සිංහරාජයෙන් පෝෂණය වෙයි. එහි ජල පෝෂක පෙදෙස වර්ග කිලෝමීටර් 922.2ක් වේ. මේ කඳු පන්තියේ සිට උතුරට ගලන ජල ධාරාවෙන් කළු ගඟ පෝෂණය කිරීමටද දායක වේ.

දැනට පවතින සත්‍යය නම් සිංහරාජයේ නැගෙනහිර පෙදෙසින් වළවේ ගඟ පෝෂණය කිරීම සඳහා විසල් ජල ධාරාවන් ප‍්‍රමාණයක් සපයන බවයි. ඇඹිලිපිටියේ සිට රත්නපුර දක්වා දිවෙන මාර්ගයේ ගොඩකවෙල තෙක් වම්පසට ඇති සියලු ජල ධාරාවන්ගේ උපත සිංහරාජය වේ. දෙනියායේ සිට මාදම්පේ දක්වා දිවෙන ඒ 17 මාර්ගයේ 93 කිලෝමීටර් කණුව අසල සිට රක්වාන 132 කිලෝමීටර් කණුව දක්වා වූ කිලෝමීටර 39 තුළ සිංහරාජයෙන් ආරම්භවී වළවේ ගඟ පෝෂණය කරනු ලබන සක‍්‍රීය ජල ප‍්‍රවාහයන් ප්‍රමාණය 44 කි. 

මේ අනුව රක්වාන කඳු පන්තිය ලංකාවේ දකුණු කලාපයේ විශාල පෙදෙසකට වැසි ජලය ලබාදීමට දායකත්වය දක්වන මුත් අභාග්‍යසම්පන්න කරුණ වන්නේ අදාළ පෙදෙස නෛතිකව තවමත් &සිංහරාජයට අයත් නොවීමයි.* වනාන්තර පද්ධතියෙන් ඔබ්බට යන විට තේ වගාව හේතුකොට ගෙන වියළි යමින් පවතින දෙනි හෙවත් තෙත්බිම් කුට්ටි ගණනාවක් හමුවේ. තේ වගාවේදී දෙනිකඩ හරහා ඉහළ සිට පහළට ගැඹුරු කාණු යොදා එය ජල බස්නාවක් ලෙස ක‍්‍රියාකරවා එහි දෙපස ජල සංචිත වියළී යාමට කටයුතු කිරීම සිදුවේ. මෙම කඳු කලාපයේ පස සාපේක්ෂව ගැඹුරු හියුමස් තට්ටුවක් සහිත කළු පැහැති පසකි. එමෙන්ම වැඩි ජල ප‍්‍රමාණයක් සංචිත කරගත හැකිවීමෙන් ස්වභාවික පාංශු සංරක්ෂණය ඉහළ අගයක් ගනී.

පවතින සුළං තත්වයත්, භූමියේ ස්වභාවයත් හේතු කොටගෙන ශාඛ වර්ධනය වන්නේ සෙමිනි.  මුහුදු මට්ටමේ සිට අඩි 3000 ඉක්මවු භූගෝලීය කලාපයක් හෙයින් කඳුකර කලාපීය වෘක්‍ෂලතා දර්ශ බහුලව පැතිර තිබේ. තුරුමුදුන් පැතලිව අතු අක්වක් වී පත‍්‍ර සිහින් වි ඝනකම්ව වේගවත් සුළං ධාරාවන්ට මුහුණ දී සිටි. ඉහල ආර්ද්‍රතාවය හේතුකොටගෙන අපිශාක සුලබය. වල් කුරුඳු, රන්දෝතලූ, වල් සපු, කටු කිතුල්, කුඩු දවුල, වේවැල්, ගල් වෙරළු, දවට, කැකිරිවරා, කීන මේ වනපෙතේ හමුවන ශාක විශේෂ කිහිපයකි. ගොන්ගල දී    ඕකිඩ් වර්ග රාශියක් ද දැකගත හැකිය. අලියා  සහ කොටියා ද  ඇතුළු ක්ෂීරපායී විශේෂ ගණනාවක් ගොන්ගල වනාන්තරවල දිවි ගෙවති. උගුඩුවා, ගෝනා, වල්ඌරා, දියබල්ලා, ඕලුමුවා, මීමින්නා, කලවැද්දා, කබැල්ලෑවා, මුගටියා ඒ අතරින් කිහිප දෙනෙකි. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ රාශියක් ඇතුළුව පොහොසත් පක්ෂි ගහණයක් මෙහි දැකගත හැකිය.

මේ වනවිට නිවාඩු දිනවල මෙන්ම සති අන්තයේත් අති විශාල පිරිසක් ගොන්ගල කන්ද මුදුනට සංචාරය සඳහා පැමිණීම දැකගත හැකිය. මේ අතරින් වැඩි දෙනෙක් පැමිණෙන්නේ පරිසරය ගැන අවබෝධයකින් තොරවය. මේ හේතු කොටගෙන බරපතළ අර්බුදකාරී තත්වයක් මතුව ඇත. පැමි‍ණෙන පිරිස් විසින් කඳවුරු ඉදිකිරීම සඳහා අතිශය සංවේදී කඳු මුදුනේ ස්ථාන ගණනාවක් එළිපෙහෙළි කර ඇති බව නිරීක්ෂණය කළ හැකිය. දැඩි සුළං තත්වයන්ට මුහුණ දෙමින් දිගු කාලයක් මුළුල්ලේ තම ජීවිතය රුකගත් වෘක්‍ෂ කිසිදු පැකිලීමකින් තොරව කපා දමා ඇත. ගල් කුළු මත සත්ත්ව සහ ශාක සංහතියේ ජීවය පවත්වා ගෙන යෑමට පදනම සැකසූ පස් තට්ටු, ශාඛ ඉවත්කර නිරාවරණය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස සෝදාපාළුවට ලක්වෙමින් පවතී. ගිනි මැල ගැසීම, පොලිතීන්, ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය තැන තැන දැමීම බරපතළ ගැටලූවකි. විශාල පිරිසක් එකවර පැමිණීම වනාන්තරය තුළ මංපෙත් විශාල ප‍්‍රමාණයක් නිර්මාණය වීම,ඝෝෂා කිරීම්, රාත‍්‍රි කාලයේ ගිනි දැල්වීම සහ ශබ්ද නැගීම් හේතු කොටගෙන ශාක සහ සත්ව විශේෂ වල පැවැත්ම අවදානමට ලක්ව තිබේ. අර්ඩලන්ගේ අං කටුස්සා, කරුණාරත්න ගේ අං කටුස්සා, එරංග විරාජ්ගේ තුඩුල්ලා, රක්වාන මහ කැළෑහුනා ආදී අතිශය දුර්ලභ සත්ව විශේෂ ගණනාවකගේ එකම වාස භූමිය මෙම ප‍්‍රදේශයයි. දැව ඉවත් කිරීම්, වල්ලපට්ටා කැපීම, වේවැල් කැපීම, එලිපෙහෙළි කිරීම්, තේ වගාව හරහා පැමිණි ආක‍්‍රමණික ශාක වනාන්තරය තුළට ප‍්‍රචාරණය වීම, එනසල් වගාව,මාර්ග ඉදිකීරිම් සඳහා විශාල ලෙස පස් කඳු කැපීම ඇතුළු ඉදිකිරීම් මෙහි ස්වභාවික පරිසරය වැනසීමට දායකත්වයක් දක්වන හේතු වේ. 

මෙම පාරිසරික කලාපය තුළ අර්තාපල් වගා කරන ලද භූමියක් හඳුනා ගැනීමටද සිංහරාජ මිතුරෝ සංවිධානයට හැකි විය. එම භූමිය ආශ‍්‍රිතව  දෙනියක් සහ එහි සිට උපත ලබන උල්පත් කිහිපයකි. විශේෂයෙන් පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා ප‍්‍රදේශයක ඉහළ අර්තාපල් වගාව අතිශය විනාශකාරීය. මේ අනුව මෙම ජල පෝෂක මෙන්ම ජෛව විවිධත්වයෙන් ඉහළ පෙදෙස රුකගැනීමට නම් යෝජිත වනාන්තර ප්‍රමාණය සිංහරාජයට එක්කර ගැනීමට කටයුතු කිරීම  ඉතා වැදගත් බව පරිසරවේදීන්ගේ ඉල්ලීමයි.

2004 අමාත්‍ය මණ්ඩල තීරණ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් සිංහරාජයට පවරා ගැනීමට කරන ලද අදාළ ප‍්‍රදේශ:

මුරකැළේ වත්ත හෙක්ටයාර් 50.4 

ෆැබ් වත්ත හෙක්ටයාර් 181.3  

ඉළුක්කන්ද වත්ත හෙක්ටයාර් 567  

මෝර්නින්සයිඩ් වත්ත හෙක්ටයාර් 55.4  

කැන්ටර් වත්ත හෙක්ටයාර් 130  

හේයස් වත්ත හෙක්ටයාර් 137.5  

ගොන්හෙළ වත්ත හෙක්ටයාර්  137.9  

ඇබරොස් වත්ත හෙක්ටයාර් 35.4  

බැක්වෙයා වත්ත හෙක්ටයාර්    109.9  

කෝදුරුගල වත්ත හෙක්ටයාර් 99  

දඹහේන වත්ත හෙක්ටයාර්      8.6  

එකතුව හෙක්ටයාර්      1512.4  

 

 කුසුම්සිරි විජයවර්ධන

සේයාරූ- අන්තර්ජාලයෙනි

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05