2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

පාලන මිල ඉරෙන් පැන්න වතුර බෝතලේ

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 95

හැම බඩුවකම මිල පාලනය ඉවත් කිරීම ගැන අසන්නට ලැබේ. ඩොලර් මුලට දමා සහල්, පරිප්පු වැනි පාරිභෝගික භාණ්ඩ දිනෙන් දින මිල ඉහළ දමයි. වෙළෙන්දන් සහ කඩකාරයන් එකතු වී කරන මේ සෙල්ලමට අලුතින්ම එක්වූ භාණ්ඩය පානීය ජල බෝතල්ය. පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමඟ ඒවායේ මිලද ලෝබ නොවී ඉහළ දැමීමට ව්‍යාපාරිකයෝ කටයුතු කළහ. දැන් ජනතාව ගැන සිතන්නට බලධාරියෙක් නැති අතර ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නත් නොදැනෙන තරමට ජනතාව හැම පැත්තෙන්ම බැටකමින් සිටී.

බෝතල් කළ පානීය ජල බෝතල්වල පාලන මිලත් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා වතුර බෝතල් නිෂ්පාදකයන්ගේ සංගමය පාරිභෝගික කටයුතු ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නගෙන් ඉල්ලා සිටියේ 2021 නොවැම්බර් මාසයේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇති පාලන මිල ඉවත් නොකරන්නේ නම් බෝතල් කළ පානීය ජලය රුපියල් දහයත් විස්සත් අතර මුදලකින් වැඩි කිරීමටද අවසර ඉල්ලා ඇති අතර එම අවසරය හිමිවූයේ නැත. එහෙත් අවසානයේ ව්‍යාපාරිකයන් ජයගත්තේ පාරිභෝගික කටයුතු අධිකාරිය පාලන මිල ඉවත්කර ජනවාරි අග සතියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත්  සමඟය. ඒ එක්කම මේ වනවිට ලංකාවේ කිසිම පාරිභෝගික භාණ්ඩයකට පාලන මිලක් නැති අතර ව්‍යාපාරිකයන් හිතු හිතූ මිල ගණන් යොදමින් කොවිඩ්වලින් බැටකන ජනතාව තවත් පීඩාවට පත් කිරීම දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ මාසික පරිභෝජනය සඳහා බෝතල් කළ පානීය ජලය ලීටර් ලක්ෂ පනහක් පමණ අවශ්‍ය බවද අනාවරණය වේ. ලංකා ප්‍රමිති සහතිකය සහිත බෝතල් වතුර කර්මාන්තකරුවෝ 147ක් දිවයින පුරා විසිරී සිටිති. ප්‍රමිතිය නැති ජල බෝතල් නිෂ්පාදනද වෙළෙඳපොළේ පවතී. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, පානීය ජල බෝතල් නිෂ්පාදකයින් විසින් කලක් තිස්සේ කරන ලද ඉල්ලීම් කිහිපයක් සලකා බලා මෙම පියවර ගත් බවය.

ජල බෝතල්වලට භාවිත කරන ආනයනය කරන ලේබල්, රසායනාගාර උපකරණ සහ ද්‍රව්‍ය, ප්ලාස්ටික් බෝතල, ප්ලාස්ටික් මූඩි, ඇතුළු ​අනෙකුත් ඇසුරුම්වල නිෂ්පාදන මිල ඉහළ යාම නිසා නියම කර ඇති මිල මත ව්‍යාපාරික කටයුතු කළ නොහැකි බව සංගමය රජයෙන් ඉල්ලා සිටි අතර ඔවුන්ගේ ඉල්ලීමට ඉඩදෙමින් පාලන මිල ඉවත් කෙරිණි.

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කළේ මෙයට වසර තුනකට වැඩි කාලයකට පෙර 2018 සැප්තැම්බර් 28දාය. එම නියෝගය පනවා ඇත්තේ, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ, 20-5 වගන්තිය යටතේය.

දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා එමගින් උපරිම මිලක් ප්‍රකාශයට පත් කළේ විවිධ නිෂ්පාදකයන් හිතු හිතූ මිල ගණන් ජල බෝතල්වල නියම කර තිබූ නිසාය.  2018 දී ප්‍රකාශයට පත්කළ මිල අනුව, මිලිලීටර 350ක ජලය බෝතලයක උපරිම සිල්ලර මිල, රුපියල් 26ක්ද මිලිලීටර 500ක ජල බෝතලයක් රුපියල් 35ක්ද මිලිලීටර 750ක බෝතලයක මිල රුපියල් 40ක්ද විය. ජලය ලීටරයක් අඩංගු බෝතලයක් අලෙවි කළ හැකි උපරිම මිල, රුපියල් 50කි. රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කර ඇත්තේ ලීටර එකහමාරක ජල බෝතලයක් සඳහාය. ලීටර 5ක සහ ලීටර 7ක පානීය ජල බෝතලයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල, රුපියල් 150ක් සහ 170ක් වන බවට නියම කර තිබුණි. 

පානීය ජල බෝතල්වල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය කටයුතු කිරීමත් සමඟ ජල බෝතල්වල නව මිල ගණන් ශ්‍රී ලංකා පානීය ජල බෝතල් සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මිලිලීටර් 500ක පානිය ජල බෝතලයක නව මිල රුපියල් 50ක් වන අතර ලීටරයක මිල රුපියල් 70ක් වේ. ලීටර් 1.5ක පානිය ජල බෝතලයක මිල රුපියල් 90ක් වන අතර ලීටර් 05ක පානිය ජල බෝතලයක මිල රුපියල් 200ක් වේ. මිට අමතරව ලීටර් 07ක ප්‍රමාණයෙන් යුත් ජල බෝතලයක නව මිල රුපියල් 240ක් දක්වා ඉහළ නංවා තිබේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන දේශයට සඳහන් කළේ සතොස මගින් පානීය ජල බෝතල්වල මිල අඩුකොට පරිසර හිතකාමී නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබියදී පානීය ජල බෝතල් සම්බන්ධව පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම බරපතළ වරදක් බවයි.

සතොස පානීය ජල බෝතලයක් උපරිම පාලන මිල වන රු.35කට අලෙවි කිරීම අරඹා නැවත එම හිස් ප්ලාස්ටික් බෝතල් භාරදීමේදී රු. 10ක් ලබාදීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව පාලන මිල ඉවත් කිරීම සමඟ පරිසර හිතකාමී මෙම ව්‍යාපෘතිය මුළුමනින්ම අඩාල වන බව අමාත්‍ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. බෝතලයේ ආරක්ෂාව වෙනුවෙන් යොදන ග්‍රීන්ක් මුද්‍රාව නමැති පොලිතින් පටලය පරිසර දූෂකයක් බව මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන ඇත. එමෙන්ම භාවිතයෙන් පසුව ප්ලාස්ටික් ජල බෝතල් තැන තැන දැමීම විශාල පරිසර ගැටලුවක් බවට පත්ව ඇත්තේ කලක සිටය.

අද පානීය ජල බෝතල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්ව ඇත. වතුර පිපාසයක් දැනුණු විට වැඩිදෙනෙක් ජල බෝතලයක් මිලදී ගෙන පානය කිරීමට පුරුදුව සිටිති. මුලින්ම මේ ජල බෝතල් අලෙවි කළේ විදේශිකයන් සඳහාය. පානීය ජල බෝතල මෙරට වෙළෙඳපොළට ආගමනය සිදුවන්නේ 1977 විවෘත ආර්ථිකයත් සමගයි. මුලින්ම පිටරටින් ගෙනා ජල බෝතල පසුව 1980 දශකයේදී ලංකාවේ නිෂ්පාදනය ආරම්භ කෙරිණි.

වාණිජ මට්ටමෙන් අලෙවි කෙරුණු වතුර බෝතල් මෙරටට ආනයනය කොට තිබුණේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ සිටය. ලංකාවේ වතුර නිෂ්පාදනය විශාල ලාබ ලබන ව්‍යාපාරයකි. ඔවුන්ට ජලය පිරිපහදු කිරීමට යන්නේ සුළු මුදලකි. නමුත් ඔවුන් මිල නියම කරන්නේ විශාල ලාභයක් තබාගෙනයි. ලංකාවේ කිරි ලීටරයකට වඩා වතුර ලීටරයක මිල ඉහළ බව නිතර පැවසෙන කතාවකි.

මෙරට වතුර ඇසුරුම් කරන කර්මාන්තශාලා අතරින් 6ක් පමණ දැවැන්ත කර්මාන්තශාලාය. දේශීය නිෂ්පාදකයන් අත පවතින මෙම ව්‍යාපාරයට බහුජාතික සමාගම්ද එළඹීමට යන බවට පසුගිය කාලයේ කතාබහක් පැතිර ගියේය. ඒ එහි පවතින අධික ලාභය නිසයි.

වතුර කෙතරම් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් වුණත් දැන් එය අලෙවි කළ හැකි උපරිම මිලක් වෙළෙඳපොළේ නැත. වෙළෙඳපොළේ පාරිභෝගිකයා අතර වැඩිපුරම ජනප්‍රිය මිලිලීටර් 500 වතුර බෝතලයයි. එම වතුර බෝතලය කඩේ රු.50,60,90 ආදී විවිධ මිල ගණන් දක්නට හැකිය. පාලන මිල පැවති සමයේ පවා වෙළෙඳ පළේ විවිධ මිල ගණන් පැවතුණි. දැන් පාලන මිල ඉවත් කිරීමෙන් ඇඟවෙන්නේ ව්‍යාපාරිකයන්ට පාරිභෝගිකයා ගසාකෑමට බලපත්‍රයක් ලබාදුන්නාක් වැන්නකි.
“හැමදේකින්ම අන්තිමට බඩේ පාර වදින්නේ අපට. කව්ද හිතුවේ අපේ පොළොවෙන් ලබාගන්න වතුර ටිකටත් ඩොලර් හරස් වෙයි කියලා. අන්තිමට පයිප්ප වතුර බොන්න තමයි වෙන්නේ...” අපට හමුවූ පාරිභෝගිකයෙක් කීවේ එලෙසයි.
සිමෙන්ති, සහල්, සීනි, පරිප්පු, කිරිපිටි හරහා වතුර බෝතලයටද මුදලාලිලා පැන්නේය. ඉතින් පාරිභෝගිකයාට සිදුවන්නේ මේ සියල්ල දරාගෙන සිටීමටයි.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05