2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

වසර තුනකින් නොගෙවූ විශ්‍රාමික පාරිතෝෂිකය

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 215

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලැබීමේදී ගෙවිය යුතු විශ්‍රාම පාරිතෝෂිකය ගතවූ වසර තුනක කාලය තුළ විධිමත් ලෙස නොගෙවීම මත විශ්‍රාමික 12,843 දෙනකු බලවත් පීඩාවට පත්ව ඇතැයි රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට කරන ලද දැනුම්දීමට අනුව වසර 3ක් තිස්සේ ගෙවීමට නොහැකි වී තිබෙන විශ්‍රාම පාරිතෝෂික මුදල රුපියල් කෝටි 1331කි. (රුපියල් මිලියන දහතුන් දහස් තුන්සිය දාහතරකි.)

සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයන් 2500 – 3000ත් අතර සංඛ්‍යාවක් මසකට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබති. ඔවුන් සඳහා මසකට ගෙවිය යුතු විශ්‍රාම පාරිතෝෂිකය රුපියල් කෝටි 300ක් හෙවත් බිලියන 3කි. 

සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයකු විශ්‍රාම ගන්නා විට හිමිවන විශ්‍රාම වැටුප මෙන් විසිහතර ගුණයක් විශ්‍රාම පාරිතෝෂිකය වශයෙන් ලැබීමට ඕනෑම රාජ්‍ය සේවකයකුට අවසර තිබේ. මෙලෙස විශ්‍රාම යන පුද්ගලයකුට හිමි විශ්‍රාම වැටුපෙන් 10% වන පරිදි ගණනය කරන ලද අගයක් වසර 10ක් දක්වා අඩු කර ගෙවන ලබන පාරිතෝෂික හිලව් කිරීම දැනට පවතින ක්‍රමවේදයයි. විශ්‍රාම යන අවස්ථාවේ ගෙවනු ලබන පාරිතෝෂිකයට අමතරව මරණ පාරිතෝෂික, සේවා පාරිතෝෂික හා පසුව සිදුවන සංශෝධන සඳහා ගෙවීම් යනාදිය වශයෙන් පාරිතෝෂික ගෙවීම සිදු කෙරේ. 

2014 වසරේ ඉහත කී ක්‍රමවේදය අනුව පාරිතෝෂික හිමිකම් කී 18,000කට ආසන්න පිරිසකට පාරිතෝෂික ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති විය. එහිදී රාජ්‍ය බැංකු මගින් සපයන චක්‍රීය ණය ක්‍රමයක් යටතේ පාරිතෝෂිතය ගෙවීමට යෝජනා කෙරිණි. මෙම ක්‍රමය යටතේ 2018 වසර දක්වා  119,000 අධික විශ්‍රාමිකයන් පිරිසකට රුපියල් බිලියන 73ක් ගෙවා තිබිණි. එම ක්‍රමය 2019 ජනවාරියේ සිට අත්හිටුවන ලදි. එහෙත් මහා භාණ්ඩාගාරය ලබාදුන් ප්‍රතිපාදන මත පාරිතෝෂික ගෙවීම යළි ඇරඹීමට පියවර ගෙන තිබිණි. මෙලෙස පාරිතෝෂික ගෙවීමට භාණ්ඩාගාරය මගින් ප්‍රතිපාදන ලබා දුන්නද ප්‍රමාණවත් පරිදි අක්මුදල් (Petty Cash) නිදහස් නොකිරීම සහ ඇති වූ ප්‍රමාදය හේතුවෙන් බොහෝ විශ්‍රාමික නිලධාරීන්ට පාරිතෝෂික ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයක සිටින්නට සිදු විය.

2019. 12. 31 දිනට විශ්‍රාමිකයන් 2,483 දෙනකු සඳහා අක් මුදල්  රුපියල් මිලියන 2,445ක මුදලක් නොලැබීම මත ඔවුනට ගෙවිය යුතු පාරිතෝෂික ගෙවීමට නොහැකි විය. 2020. 12.31 දිනට විශ්‍රාමිකයන් 5.225ක් වූ අතර නොලද අක්මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 5,392කි. මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වෙමින් 2021.12.31 දිනය වන විට පාරිතෝෂික ගෙවීමට නොහැකි වූ විශ්‍රාමිකයන් ගණන 12, 483ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සඳහා අවශ්‍ය අක් මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 13,314කි.

මසකට විශ්‍රාම යන 2500ත් 3000ත් අතර පිරිසකට විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා රුපියල් බිලියන 3ක පමණ ම්‍රදලක් අවශ්‍ය වුවද 2021 ජනවාරි 01 දින සිට 2021 දෙසැම්බර් 31 දක්වා මහා භාණ්ඩාගාරය විසින් විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා අක්මුදල් ලෙස ලබා දී ඇත්තේ රුපියල් මිලියන 14,007ක් පමණි. එම කාලය තුළ වැන්දඹු හා අනත්දරු දායක මුදල් ඇතුළුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ලබා ඇති ආදායම රුපියල් මිලියන 13,562ක් වූ අතර ගෙවා ඇති සමස්ත පාරිතෝෂික ප්‍රමාණය රුපියල් මිලියන 27,569කි.

රාජ්‍ය සේවයකයන් විශ්‍රාම ගැන්වීමේ වයස 2022 වසරේ සිට අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට පසුගියදා රජය පියවර ගත්තේය. ඒ පිළිබඳව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම. චක්‍රලේඛයට අනුව විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම 2022-01-01 දින සිට ක්‍රියාත්මක වනු ඇත..

ඒ අනුව විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා වන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධාරීන්ට හැර අනෙකුත් සියලුම සිවිල් නිලධරයින් සඳහා අදාළ වේ.

තව ද මේ වනවිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති සහ විශ්‍රාම යෑම සඳහා අනුමැතිය ලබා ගෙන ඇති අය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ද අදාළ චක්‍රලේඛයෙන් පැහැදිලි කර තිබේ. මෙලෙස විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමෙන් විශ්‍රාම පාරිතෝෂික ගෙවීම 50%කින් පමණ අඩුවනු ඇතැයි රජය ගණන් බලා තිබේ.

2022 - 23 යන දෙවසර සඳහා විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීම සඳහා සහන පොලී අනුපාතිකයක් යටතේ පෙර ණය ගිවිසුම් අනුමත සීමාව අලුත් කිරීමටත් එම සහන පොලී අනුපාතය වසර දෙකක කාලයකට ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහාත් බැංකු සමග ගිවිසුම් ගතවීමට රජය අපේක්ෂා කර ඇති බවද වාර්තා වේ.

විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය සම්බන්ධයෙන් පවතින අර්බුදය පිළිබඳව අප විමසුවේ සමස්ත ලංකා රාජ්‍ය සහ පළාත්පාලන සේවා විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සන්ධානයේ හිටපු සභාපති සිරි සංගප්පුලි මහතාගෙනි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ නව රජය බලයට පත්වූ කාලය වන තෙක් විශ්‍රාම යන පුද්ගලයකුට විශ්‍රාම ඇයදුම්පත් ඉදිරිපත් කොට මාසයකින් පමණ විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ලබා ගැනීමේ ක්‍රමවේදයක් පැවති බවය. 

“විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ලෙස වසර දෙකක වැටුප එකවර ගෙවනවා. එම මුදල වසර 10කින් වාරික 120කින් විශ්‍රාම වැටුපෙන් කපා ගන්නවා.  වසර දහයකින් පසු යළි නියමිත විශ්‍රාම වැටුප අපට ලැබෙනවා. එහෙම ගෙවාගෙන ආපු පාරිතෝෂිකය පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක සිට ගෙවීම ප්‍රමාද වී තිබෙනවා. විශ්‍රාම යන අයව පොරොත්තු ලේඛණයකට දාල වරකට සුළු පිරිසකට පාරිතෝෂිකය ලබා දෙනවා. විශ්‍රාම යන සෑම පුද්ලයකුටම තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මෙම පාරිතෝෂිකය අවශ්‍ය බවත් ඒ නිසා එය කඩිනමින් ලබා දෙන ලෙසටත් අපි රජයට අවස්ථා ගණනකදී දන්වා තිබෙනවා. ඒත් එයට මෙතෙක් සාධාරණ පිළිතුරක් ලැබිල නැහැ. ඒ නිසා විශ්‍රාම ගිය බොහෝ දෙනෙකුට තමන්ට හිමි ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාවක් නැහැ. අපට හැඟෙන විදිහට නම් මේවා ගෙවන්න ආණ්ඩුවට මුදල් නැහැ. ඒත් ආණ්ඩුව කියන්නේ ඒගොල්ලන්ට සල්ලි තියෙනවා කියලයි. රට පුරා සංවර්ධන ව්‍යාපෘති විශාල වශයෙන් ක්‍රියාත්මක කරනවා කියනවා. ඒ වුණාට විශ්‍රාමිකයන්ට දෙන්න ආණ්ඩුවට සල්ලි නැහැ. අපිට සිද්ද වෙලා තියෙන්නේ පාරට බහින්න. පාරට බැස්සම කොවිඩ් පිට දාල මර්දනය කරනවා.

අපිට පසුගිය කාලයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් සිදු කළ අකටයුත්තක් පිළිබඳවත් අනාවරණ කරගත හැකි වුණා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශ්‍රාමිකයන්ට නොදන්වා ඔවුන්ගේ වැටුප කපා ගන්නවා විශ්‍රාමිකයාගේ අවසරයකින් තොරව ඔවුන්ගේ වැටුප් කැපීම තහනම් කියල නීතියක් තිබෙනවා. එවැනි තත්ත්වයක් පවතිද්දී රක්ෂණයක් වෙනුවෙන් විශ්‍රාමිකයන් විශාල පිරිසකගේ වැටුප් ඔවුන්ට නොදන්වා කපාගෙන තිබෙනවා. විශ්‍රාම වැටුප ලබා ගැනීමට ගිය අවස්ථාවේ වැටුප අඩු වී තිබෙනු දුටු බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් කළ විමසීම්වලද තමයි එය අනාවරණ වී තිබුණේ. මේ සම්බන්ධයෙන් අපි අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. මොන දේ වුණත් වසර ගණනක් සේවය කළ විශ්‍රාමිකයකුට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ ගෙවිය යුතු පාරිතෝෂිකය කල් දැමීම නම් අසාධාරණයි.” යනුවෙන් සඳහන් කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා