2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

වතුරේ ලස්සන යට සැඟවුණු මාරයා

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 80

දියේ ගිලීමෙන් සිදුවන අනතුරු හා මරණවල වැඩිවීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබේ. එවැනි සිදුවීම් රැසක් වාර්තා වූයේ දීර්ඝ සතිඅන්ත ආශ්‍රිතවය. එම සිදුවීම් ගණනාවක් අනාරක්ෂිත ස්ථානවල දියඇලි හා මුහුදේ දිය නෑමට ගොස් සිදුවූ ඒවාය. මේ වසරේ දින දර්ශනයට අනුව දීර්ඝ සතිඅන්ත සහිත නිවාඩු දින ගණනාවක් යෙදී පවතී. එබැවින් ඉදිරියේදීත් මෙවැනි අනතුරු සිදුවීමේ අවදානමක් පවතී.

සංඛ්‍යාලේඛන අනුව මේ වසරේ ගෙවුණු මාස එකහමාරක කාලයේ දියේ ගිලීමෙන් මියගිය පිරිස 30කට ආසන්නය. 2021 වසරේ මුල් මාස හය තුළ පුද්ගලයන් 312 දෙනකු දියේ ගිලී මියගිය අතර 2020 වසරේදී පුද්ගලයන් 700කට අධිකව දියේ ගිලී මරණයට පත්වූහ. 2019 වසරේද එසේ ජීවිතක්ෂයට පත්වූ පිරිස 701 දෙනකු බවට වාර්තා වී තිබේ.

එවැනි බරපතළ අවදානමක් බවට පත්ව තිබෙන දියේ ගිලීම හා මරණයට පත්වීමට හේතු කාරණා මෙන්ම ඉන් මිදීමට ගත යුතු පියවර උපදෙස් හා අවවාද කවරේද යන්න පිළිබඳ විමසීමකි.

බීමත්කම නොසැලකිල්ල බොහෝ අනතුරුවලට හේතු වෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව

කොවිඩ් වසංගතය සමඟ ගෙදරට වෙලා හිටපු මිනිස්සු දැන් නිවාඩු දිනවලදී සංචාරයේ යෙදෙනවා. විනෝද ගමන්, නෑදෑ ගමන්වල යෙදීම සුලබ වෙලා තිබෙනවා. ගිය දෙසැම්බර් මස සිට මේ පිළිබඳ අවධානය යොමුකර දියේ ගිලීම හා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව සංචාරයන්ට නොදන්නා ස්ථානවල නෑමෙන් වළකින්න කියලා දිගටම දැන්වුවා. බොහෝ අනතුරුවලට හේතුව බීමත්කම හා නොසැලකිල්ලයි. නොදන්නා පරිසරයක විනෝද වීම නිසා අනතුරු බහුලව සිදුවෙනවා. එම ස්ථානවල දෛනිකව හැසිරෙන අය අනතුරුවලට ලක්වීම අඩුයි. නමුත් පිටස්තරයන්ට එම ස්ථානවල අවබෝධයක් නෑ. 

අවදානම් ස්ථානවල අනතුරු ඇඟවීමේ පුවරු සවිකිරීම අදාළ පළාත් පාලන ආයතනවල වගකීමයි. එවැනි හඳුනාගත් ස්ථානවල අවශ්‍ය දැන්වීම් පුවරු සවි කරන ලෙස පොලීසිය පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටිනවා. ජනතාව විනෝද වන ස්ථානයකට පොලීසිය පැමිණ මැදිහත්වීම, නීතිය ක්‍රියාත්මක කිරීම හිරිහැරයක්. නමුත් අවශ්‍ය අවස්ථාවල පොලීසිය ඊට අවශ්‍ය පියවර ගන්නවා. අවදානම් පුවරු පිළිබඳ අවධානය යොමු කරන්න. කණ්ඩායමක් විදිහට පවුලක් විදිහට අවබෝධයෙන් කටයුතු කරන්න. තමන්ගේ ජීවිතය රුකගන්න.

ස්වභාවික වතුරේ අනතුර වැඩියි
අසංක නානායක්කාර 
සභාපති - ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය

දීර්ඝ සතිඅන්ත හා නිවාඩු දින ආශ්‍රිතව බොහෝ පිරිස් සංචාරවල නිරත වෙනවා. මේ වසරේ එවැනි නිවාඩු සහිත සතිඅන්ත කිහිපයක් යෙදිලා තිබෙනවා. එවැනි දිනවලදී පසුගිය කාලයේ අනතුරු රුසක් වාර්තා වුණා. දියේ ගිලී මරණයට පත්වීම් ගණනාවක් අසන්නට ලැබුණා. ඒ නිසා කිව යුතුයි ජීවිතාරක්ෂක ක්‍රම දැනගත්තත් පිහිනීමට හැකි වුණත් නොහැකි වුණත් ස්වභාවික වතුර තියෙන තැනක ඉන්න එක අනතුරු සහිතයි. ඒ නිසා සූදානමින් අවධානයෙන් පසුවීම වැදගත්. එවැනි තැනක හැමවිටම ප්‍රශ්නාර්ථයෙන් සිටීම සුබයි. කොවිඩ් නිසා මිනිස්සු එක තැන හිටියේ. ඒ කාලෙ සොබාදහම හැඩවෙලා තියෙනවා. දැන් නැවත මිනිස්සු සංචාරය කරන්න පටන් අරන්. ලස්සන දකිද්දි මිනිස්සුන්ට භයානකත්වය අමතක වෙනවා. අවදානම දකින්නෙ නෑ. 

වසරකට සාමාන්‍යයෙන් 800කට එහා දියේ ගිලී මැරෙනවා. වර්තමානයේ කණ්ඩායම් පිටින් දියේ ගිලීම ගැන වාර්තා වෙනවා. ඒකට හේතුව තමයි තමන්ට ජීවිතාරක්ෂක ක්‍රම ගැන අවබෝධයක් නෑ. ළඟ ඉන්න කෙනෙක් දියේ ගිලීමට යන අවස්ථාවේ පැනලා බේරාගන්න හදනවා. ඒකෙන් වෙන්නෙ තමන්ගේ ජීවිතයත් නැතිවීම. ඒ නිසා ජීවිතාරක්ෂක ක්‍රම නොදන්නා අය වතුරට පනින්න එපා. වතුරට බැසීම හා පැනීම දෙකක්. ගිලෙන්න යන කෙනකුට නම් ලීයක්, අත්තක්, දිය රෙද්දක් විසි කිරීම ප්‍රමාණවත් වෙනවා. එහෙම නැතිව බේරාගන්න ගියොත් ගිලෙන කෙනා තමන්ගෙ ඇඟේ එල්ලෙනවා. එතකොට දෙන්නම අනතුරේ. නොදන්නා ස්ථාන හා මිනිස්සු නොගැවසෙන තැන්වල දිය නෑම අනතුරු සහිතයි. දියඇලි ආශ්‍රිතව නෑම සුදුසු නෑ. ඒක බරපතළ අනතුරක්. කඳුකරයේ වැස්ස පේන්නෙ නෑ. ඉක්මනින් ජලය රුස්වෙනවා. සුළු මොහොතකදී ජලය වැඩි වෙනවා. දියඇල්ලෙන් ගල් සහ කොට පෙරළෙනවා. මේක අනතුරක්. වෙන රටවල නම් දියඇලිවල නාන්නේ නෑ. සුන්දරත්වය නරඹනවා පමණයි. 

ස්වභාවික වතුරක තීව්‍රතාවය වැඩියි. ඒ නිසා පිහිනුවාට එක තැන දඟලනවා විතරයි. මහන්සිය වැඩියි. දියේ ගිලෙන්න යනවා නම් අනිවාර්යයෙන් කෑගහන්න. දකින අයත් කෑගහන්න. එතකොට උදව්වට කෙනෙක් එනවා. දියේ ගිලුණු කෙනෙක් ගොඩට ගත්ත ගමන් රෝහලට ගෙනියන්න එපා. බිම දිගා කරලා පපු තෙරපුම ලබා දෙන්න. තත්ත්පරයට වාර දෙකක්වත් ලබා දිය යුතුයි. වෛද්‍යවරු ළඟට එනකම් ඒ කාර්යය කරන්න. අනික තමා මත්පැන් පානය කර රිය පැදවීමත් දියට බැසීමත් දෙකම බරපතළ අනතුරක්. බෝට්ටුවක හෝ එවැනි යාත්‍රාවක යනවා නම් ජීවිතාරක්ෂක කබා පැළඳීම කළ යුතුයි. එය ලජ්ජාවට කාරණයක් නොවේ. පීනන්න බැරි කෙනකුට නහයෙන් උඩ අඟලත් එකයි. අඩියත් එකයි. ඒ නිසා වතුර අවදානම්.

දියඇලි තිබෙන්නේ නාන්න නොවේ: ලස්සන බලන්න
සුභාෂ් නානායක්කාර 
ප්‍රාදේශීය ලේකම් - හාලිඇළ

බදුල්ල දිස්ත්‍රික්කය රට මැද තියෙන කඳුකර ප්‍රදේශයක්. මෙහි ස්වභාව සෞන්දර්ය විඳින්න රට පුරා බොහෝ පිරිසක් එනවා. ඒ අයට මෙහේ තියෙන දියඇලි ඇළ දොළ පිළිබඳව අවබෝධයක් නෑ. ඇතැමුන් මේ ස්ථානවලට එන්නේ යථා සිහියෙන් නොවන නිසා ඒ අය අනතුරුදායක බව නොතකා හැසිරෙනවා. පසුගිය ටිකේ නිරීක්ෂණය වූ දෙයක් තමා දියඇලි ආශ්‍රිතව සිදුවූ අනතුරුවලට මුහුණ දී තිබුණේ එම ස්ථානවලට පළමු වතාවට පැමිණ අය නොවීම, පළාත් පාලන ආයතනය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහත්ව අනතුරුදායක ස්ථානවල පුවරු සවිකර තිබෙනවා. එවැනි ආකර්ශනීය ස්ථානවල අනතුරු ගැන ප්‍රදේශවාසීන් දන්නවා. අනතුරක් අවස්ථාවකදී ගමේ අය මේ සඳහා මැදිහත් වෙනවා. පිරිස් බේරාගන්නවා. 
වර්තමානයේ තරුණ පිරිස් අන්තර්ජාලය හරහා විවිධ ස්ථාන පිළිබඳ ඡායාරෑප තොරතුරු පළ කරනවා. ඇතැමුන් මේවා නරඹන්න එනවා. ඒ ස්ථාන ප්‍රසිද්ධ හෝ ජනතාව රුස් නොවන ස්ථාන නිසා අනතුරු සිදුවීම වැඩියි. අනතුරක් වුණාම බේරාගන්න උදව්වට කෙනෙක් නෑ. ස්වේච්ඡා සංවිධාන, පොලීසිය හෝ අවශ්‍ය පිරිසට ළඟා වෙන්න කල්ගත වෙනවා. ගැරඬිඇල්ල සිදුවීමත් ඒ වගේ. ජනශුන්‍ය හා එවැනි දුර බැහැර තැනකට යනවා නම් සුන්දරත්වය පමණක් බලලා එන්න. නාන්න වතුරට බහින්න එපා. කොවිඩ් වසංගතය නිසා පීඩනයක හිටපු මිනිස්සු දැන් නිවාඩු දාගෙන ඇවිදිනවා. හාලිඇළ ප්‍රදේශයේ ඇළ දොළ දියඇලිවල මේ කාලේ වතුර අඩුයි. නමුත් ගල්තලාවල දියසෙවල තිබෙනවා. පිටස්තරයන් මේවා උඩ ඇවිදලා ලිස්සලා වැටෙනවා. එවැනි අනතුරු බහුලයි. දියේ ගිලීමට මේක ප්‍රධාන හේතුවක්. වැටුණට කෙනකුට එකපාර නැගිටගන්න බෑ.

ඒ නිසා අපේ ඉල්ලීම තමයි ලස්සන තැන් නරඹන්න. නමුත් අනතුරු ගැන අවදානම මතක තබාගන්න පරිස්සම් වෙන්න. මේ දිස්ත්‍රික්කයේ ආපදා වැඩියි. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් මැදිහත් වන ජාලයක් තිබෙනවා. ඔවුන් හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වෙනවා. දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා. කාලගුණයත් සමඟ දියඇලිවල ජල ප්‍රවාහය වෙනස් වෙනවා. තරුණ පිරිස් යන එන තැන් ගැන වැඩිහිටියන් දැනුම්වත් වීම වැදගත් වෙනවා.

අනතුරු අඟවන දැන්වීම් පුවරු ඇතැමුන් ගණන් ගන්නෙ නෑ
ධම්මිකා විජේසිංහ
අධ්‍යක්ෂ ජනරාල් - සංචාරක මණ්ඩලය

බොහොමයක් ස්ථානවල ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන් යොදවා සිටිනවා. ඔවුන් කැපවීමෙන් එම රාජකාරිවල නිරත වෙනවා. මුහුදු වෙරළ ආශ්‍රිතව ලී භාවිත කරලා උස් අට්ටාල සැකසීම සිදු කරනවා. එහි සිටින ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන්ට දුර තියා නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙනවා. එහිදී අනතුරකට පත්වන අය බේරාගැනීමට පහසුවක් වෙනවා. ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට අවස්ථාව ලැබෙනවා. ඉදිරියේදී ආරුගම්බේ ආශ්‍රිතව මේ කටයුතු සිදු කරනවා. ඉදිරියේදී හෝටල් පාසල ආශ්‍රිතව ජීවිතාරක්ෂක පුහුණුව ලබාදීමට අවශ්‍ය කටයුතු කරනවා. එමගින් හෝටලයක් ආශ්‍රිත සංචාරකයන් අනතුරට පත්වීමකදී මුදාගැනීමට හැකි වෙනවා. 

අනතුරු සහිත ස්ථානවල අපි දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරලා තිබෙනවා. නමුත් ඇතැමුන්ට ඒ පිළිබඳ අවධානයක් නෑ. ඒ නිසා අනතුරු සිදුවෙනවා. සබරගමුව හා මධ්‍යම පළාත ආශ්‍රිත දියඇලිවල නැරඹුම් ස්ථාන පිළිසකර කිරීම හා ආරක්ෂිත පියවර ගැනීම මෙන්ම මෙන්ම දකුණු මුහුදු තීරය ආශ්‍රිතව ජීවිතාරක්ෂක අංශවල ලී අට්ටාල සැකසීමත් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

දියේ ගිලුණාට වන්දි දෙන්න බෑ
මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදත්ත රණසිංහ
අධ්‍යක්ෂ ජනරාල් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

දියේ ගිලීම අනතුරක් විදිහට සිදුවෙනවා කියලා කියන්න බෑ. මොකද දියේ ගිලීම සිදුවෙන්නේ මිනිස්සුන්ගේ හැසිරීමත් එක්ක. ඒ අයගේ වගකීම් විරහිත හැසිරීම, කරන්නෙ මොකක්ද, ඉන්නේ කොතැනද කියන අවබෝධය නොමැතිවීම ඊට හේතුවක්. ඉකුත් ඔක්තෝබර් අවසානයේ හා නොවැම්බර් මුල වැස්සත් සමඟ 26 දෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා. මේ අයට වන්දි ලබාදීමට නොහැකියි. හේතුව මේ අය වතුරේ පාරු පදින්න, ඔරු පදින්න, පීනන්න, බල්ටි ගහන්න ගිහින් තමයි මරණයට පත්වෙලා තියෙන්නේ. අවශ්‍ය කරන ස්ථානවල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරලා තිබෙනවා. අවදානම පෙන්නලා තියෙනවා. එවැනි තැනකට යද්දි ගම්වාසීන් අනතුරු ගැන දන්වනවා. ඒකට අවධානය නොදී හැසිරීමෙන් මේ මරණ සිදුවෙනවා. 
මිනිස්සු යන නොයන හැම තැනකම ජීවිතාරක්ෂක නිලධාරීන් තියන්න පුළුවන්කමක් නෑ. එහෙම අය අනුයුක්ත කරලා තියෙන්නේ නෑම සඳහා සුදුසු අනුමත ස්ථානවල පමණයි. ලංකා ජීවිතාරක්ෂක සංගමය හා සම්බන්ධවෙලා පාසල් මට්ටමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ග්‍රාමීය මට්ටමින් අවශ්‍ය පරිදි පුවරු සවි කරනවා. ඇතැමුන් මේවා ගලවනවා. හානි කරනවා. මේවා කරන්නේ එම ස්ථානවල ව්‍යාපාර කටයුතු කරන පිරිස්. අවදානම හේතුවෙන් මිනිස්සු නාවොත් වෙළෙන්ඳන්ට ඒක පාඩුවක්. මිනිස්සු වගකීමෙන් හැසිරිය යුතුයි. එය තමා එකම උත්තරය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර