2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

භාරත අගමැති නේරුත් හැඬවූ භාරත නයිටිංගේල් ලතා මංගේෂ්කර්

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 163

මහා වනස්පතියක් වටා එතුණු සුපිෂ්පිත පුෂ්පයෙන් සුසැඳි ලතාවක් සේ සංගීතය නම් මහා වනස්පතිය වටා එතී ගිය සොඳුරුතම ලතාවක් වූවාය; ඇය. ස්වර මංජරීයේ අපිරිමිත රස දහර මධුර මනෝහර ලෙස පෙරා වත්කර මැවූ තනුවෙන් අලංකෘත ගීත මානවීය හදගැස්මට ආමන්ත්‍රණය කරන ළය ලෙය කම්පිත ස්වරයකින් ගැයූ අසමාන සුගායිකාව ඇයම වූවාය. සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ගීතය හා සබැඳි වෙරළක නැංගුරම්ලා ගීතයට තම අසමාන හඬ පෞරුෂය ඔස්සේ ඇය දුන් ඉවසිලිවන්ත අර්ථකථන කියවනු වස් දශක ගණනාවක් ඈත අතීතයේ සිට ඇගේ දිවිසැරිය කියවනු රිසි විය යුතුය.

ලතා මංගේෂ්කර් යන නම සුවහසක් ඉන්දියානුවන්ගේ ළය තුළ පමණක් නොව සුවහසක් විශ්වවාසී ජන මන තුළද රන්දා ඉන්දියානු ගී අහස ගී තාරකා පනස් දහසකට වැඩි සංඛ්‍යාවකින් ඒකාලෝක කළ ඒ අසමාන ගී තාරකාව ඒ ගී අහස හැරගොස් සත් දවසකට ආසන්නය. එහෙත් සදාතනික ස්වර්ණවත් අක්ෂරයෙන් ලතා මංගේෂ්කර් යන නාමය ඉන්දියානු කලා ඉතිහාසය තුළ ලියැවී තියෙනු ඇත. ඇයගේ ගී හඬට පෙම් කළ සුවහසක් රසිකයන් අතර මමත් එකෙකු වූයෙන් ඈ ජීවන මතක මංපෙත දිගේ මම මෙසේ ඇවිද යමි.

ඒ 1929 සැප්තැම්බර් 28 වැනිදාය. එදා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ නිවෙසක ජීවත් වූ මරාති නාට්‍ය වේදිකාවේ නළුවකු හා ගායකයකු වූ දීනානාත් මංගේෂ්කර්ගේ බිරිය වූ ෂෙවන්ති තමාගේ පළමු දරුවා ලොවට බිහි කළාය. හේමා යනුවෙන් ඇයට නම තැබුණි. ඒ පුංචි සිඟිත්තිය මතු යම් දිනක නිදහස් ඉන්දියාවේ අගමැති ශ්‍රී ජවහල්ලාර් නේරු හඬවන්නට තරම් භාවමය කම්පනයක් දනවන ගීතයක් ගයන්නියක වන බව සිතුවේ කවුද? හේමාට පසුව ආශා, ඌෂා, මීනා සහ හරේන්ද්‍රනාත් නමින් දරුවන් සතර දෙනකු මෙලොවට ජනිත කළ ෂෙවන්ති මෑණියන්ගේ පළමු දියණිය හේමා වයස අවුරුදු 5 දී පමණ ගායිකාවක ලෙස මුල් අත්පොත් තැබුවේ තම පියාගේ ආභාෂය කරණ කොටගෙන ගායනයට යොමුවෙමිනි. වයස අවුරුදු 13දී වේදිකා නාට්‍යයක ගීතයක් ගයමින් ඈ ගී මඟ තවත් වර්ණයකින් සරසා ගත්තාය. එම නාට්‍යයේ නිෂ්පාදකයා වූයේ හේමාගේ පියාණන්ය. උප්පැන්නයේ නම හේමා වුවත් හේමාවෝ ගී වේදිකාවට පය තැබුවේ ලතිකා යන නමිනි. ලතිකා පසුව ලතා ලෙස ඉන්දියානු ගී වේදිකාව තුළ බෞතිස්ම ලද්දාය. ලතා මංගේෂ්කර් ගී මඟ සමාරම්භය එලෙස සනිටුහන්ව තිබේ.

ලතාගේ පියාගේ මුල් වාසගම වූයේ හාදිකර්ය. පසුව ඔහු මංගේෂ්කර් යන වාසගම භාවිතයට ගත්තේය. ඒ මුල් පිරිසිඳින විට සැබැවින්ම ලතා මංගේෂ්කර් ලෙස අප හමුවට ආයේ හේමා හාදිකර්ය.

ලතාට තාත්තාගේ ආදරය අහිමි වූයේ ඇයට වයස අවුරුදු 13 දීය. එහෙයින් වයස අවුරුදු 13 යනු ඇයට වාසනාව මෙන්ම අවාසනාවද එකවර කැන්දූ වයසක් විය. පියා සමුගත් පසු පවුලේ වගකීම දෙවුර දැරූ ලතා මරාති චිත්‍රපටවලට රංගනයෙන් මෙන්ම ගායනයෙන් ද දායක වූයේ පවුලේ බත සරිකරන වගකීමට වග වෙමිනි. මරාති යනු මංගේෂ්කර් පවුල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ තම නිවෙස තුළ කතා කළ භාෂාවය. එහෙත් ඇගේ ගී සැරිය හුදෙක් මරාති භාෂාවට පමණක් සීමා වූයේ නැත. මරාති, හින්දී, බෙංගාලි ඇතුළු ස්වදේශීය භාෂාවන්ගෙන් මෙන්ම විදේශීය භාෂා ද ඇතුළුව භාෂා 36කින් ගී ගැයූ ලතා 2022 පෙබරවාරි 06 වැනිදා දිවිසැරිය නිමා කරන විට ගැයූ ගී සංඛ්‍යාත්මකව පනස් දහසකට ආසන්න විය.
1949 වසරේදී මැහැල් චිත්‍රපටය වෙනුවෙන් ආයේගා ආනේවාලා (Aayega Aanewala) ගීතයෙන් රසික හදවත් වසඟයට ගත් ලතා එරට ගායක පරපුර අතර කෙතරම් අද්විතීය නමක් හිමිකර ගත්තේද යත් මොහොමඩ් රාෆ්‍රි, කිෂෝර් කුමාර්, හේමන්ත් කුමාර්, මහේන්ද්‍ර කපූර් වැනි අසහාය ගායකයන් පවා ඈ සමඟ ගීයක් ගයන්නට ලැබීම සැලකුවේ මහා භාග්‍යයක් ලෙසිනි.

ක්වීන් ඔෆ් මෙලඩි, නයිටිංගේල් ඔෆ් ඉන්දියා ආදී විරුදාවලින්ගෙන් පිදුම් ලද ලතා අප ප්‍රසංශනීයව අගයන්නේ සුභාවිත සුලාලිත සුහාෂිත ගී මඟක ඇවිද යමින් ඉන්දියානු සංගීතය වෙනුවෙන් කළ මෙහෙවර නිසා පමණක් නොවේ.

ශ්‍රී ලංකා - මා ප්‍රියාදර ජය භූමි
ජය භූමි - ජය භූමි - ශ්‍රී ලංකා
සිරි දැරු හෙළ දිව පුරාතනේ
ජයකොඩි නැංවූ වීර විකුමැති මා
රම්‍ය දරුවනේ...

යන දේශාභිමානී සිංහල ගීතය ගැයුවේ ඇයයි. ඈ ගැයූ එකම සිංහල ගීතයද එයයි. ඒ 1995 වසරේදී තිරගත වූ සැඩසුළං චිත්‍රපටය වෙනුවෙනි. භාරතයේ ගීත කෝකිලාවගේ මධුර හඬින් සැඩ සුළං ආලෝකවත් කිරීමට අවැසි වූයේ එහි නිෂ්පාදක සහ අධ්‍යක්ෂක වූ ටී. සෝමසේකරන්ටය. කැමැත්ත කොතෙක් බලවත් වුවත් භාරත ගීත කෝකිලාව ගෙන්වා ගැනීම එතරම් ලේසි පහසු නොවූයෙන් ටී. සෝමසේකරන් මහත්තයා ඊට කදිම උපායක් කල්පනා කළේය. 

&ලතා මංගේෂ්කර් මිලෙන් වැඩි ප්‍රංශයේ හදන ඉස්තරම් සුවඳ විලවුන්වලට සහ ස්විට්සර්ලන්තයේ කිරි රසැති වයිට් චොක්ලට්වලට හරිම කැමතියි

සෝමසේකරන්ගේ රහස් පරීක්ෂක සේවය අනාවරණය කරගත් තොරතුරු ලතා මංගේෂ්කර් ලංකාවට ගෙන්වා ගැනීමේ ගමනේ මුල්ම පාදම විය. ඔහු ඒ තෑගි බෝග රුගෙන ලතා හමුවීමට ඉන්දියාවට ගියේය. &ඔබතුමිය මගේ සිංහල චිත්‍රපටයේ දේශාභිමානී ගීතය ගයන්න* නිර්මාණශීලී සෝමසේකරන් ඉවසිලිවන්ත ලෙස තම ඇරියුම ඈ හමුවේ තැබුවේය.

ඒ වනවිට ලතාගේ හඬට ආදරය කරන ශ්‍රී ලාංකික රසික ප්‍රජාවක් බිහිව තිබුණේ ලංකාවේ තිරගත වූ ජනප්‍රිය හින්දී චිත්‍රපට නිසාය. ලතා මුණගැසීමට පෙර සෝමසේකරන් තමා පිළිබඳව ලිපියක් ද ටයිම්ස් සඟරාවේ පළ කරගත්තේය.

ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි ගීතය රචනා කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ වූ ආනන්ද සමරකෝන් විසිනි. ගීතය ලියූ ආනන්ද සමරකෝන් ඊට තනුවක්ද යොදා එම ගීතය පුහුණු කරන විට ආනන්ද සමරකෝන් සතු සංගීත ප්‍රතිභාව සහ ඔහුගේ හින්දී භාෂාව පිළිබඳ නිපුණතාව ඇගේ ඇගයීමට හා ප්‍රශංසාවට ලක්වූවාය. අකාලයේ සමාජයේ වරදින් අපට අහිමිවූයේ ලතා මංගේෂ්කර්ගේ පවා සම්භාවනාවට පාත්‍ර වූ එවන් විශිෂ්ඨ ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙකි. ආනන්ද සමරකෝන් විසින් හැඩකළ ලතා ගැයූ සිංහල ගීතය සඳහා දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයකු වූ ඇස්. දක්ෂිණමූර්ති සංගීතය මෙහෙයවා තිබේ.

Sweet Bird of Youth (යෞවනයේ ගීත කෝකිලාවිය) ලෙස වරක් Indian Today සඟරාව ලතා මංගේෂ්කර් සම්භාවනාවට පාත්‍ර කළේය. එම සඟරාව 2005 සංවත්සර කලාපයේ සංවේදී සටහනක් තබමින් කියා සිටියේ ලතා මංගේෂ්කර් ගැයූ Mere watan ke logo kush yaad ගීතය අගමැති ජවහර්ලාල් නේරු හැඬවූ බවය. ලතාගේ ගී සංධ්වනියට සවන් යොමමින් සිටි අගමැති නේරුගේ නෙත් මත කඳුළු දිලිසුනේ ඔහු හුදෙකලාව සිටි විරාමයකදී නොවේ. ඉන්දු - චීන දේශසීමා අරගලයේදී මියගිය භාරතීය රණවිරුවන් සැමරූ ඉන්දීය ජනරජ දිනයකදීය.

ආජාරේ පරදේසී ගීතය ඈ ගැයූ සුවහසක් ගී අතර ඈ වඩාත් ප්‍රිය කළ ගීතය බව ඇයම වරක් පැවසුවාය. ඒ ගීතය ඇය ගයා තිබුණේ මධුමතී හින්දී චිත්‍රපටයටයි. සලල් චෞද්රි හා මදන් මෝහන් ලතාගේ ප්‍රියතම චිත්‍රපට සංගීතඥයන් වූ අතර මුකේෂ් හා කිෂෝර් කුමාර්ගේ ගීතවලට ඇය බෙහෙවින් ඇළුම් කළාය.

2010 වර්ෂයේදී Raju Bharatan ලියූ A Journey Down Melody Lane හෙවත් බොලිවුඩයේ දශක හයක මතක සටහන් කෘතියේ 121 පිටුවේ සඳහන් වන පරිදි ඇය ගීත 25,000ක් ගායනා කරමින් 1974 වසරේදී ගිනස් වාර්තාවක් තබා ඇත.
ඒ සා ගී ගැයූ තම ගී දිවිසැරියේ තත්ත්පර ලක්ෂ ගණනකින් තත්ත්පර අටක් පමණ ඇය ශ්‍රී ලාංකික අප වෙත තිළිණ කළේ ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි ගීතය ගයමිනි. විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ මා ප්‍රියාදර ජය භූමී ගීතය ගයා ඇය යළි නික්ම ගියත් ඈ පිළිබඳ ලාංකික අපේ සෙනෙහස එසේ නික්ම නොයන්නකි.

බොහෝ සේ රන් ආභරණ නොපැළඳුවත් කේ.එල්. සයිගාල් නම් ප්‍රකට ඉන්දීය තරුවක් ඈ වෙත තෑග්ගක් ලෙස පිරිනමන ලද අලංකාර නවරත්න මුදුවට ඇය බෙහෙවින් ප්‍රිය කළ නිසා ඇය එය නිතර පැළඳ සිටියාය. 

ඇය ආධ්‍යාත්මයෙන් වාරණ තහංචි කොන්දේසිවලින් ඇණගසා වටකරන ලද ජීවිතයක් පැතූ සම්මතයේ ගැහැනියක නොවුණත් ඇයගේ පෙනුම තුළින් දිස් වූයේ සාම්ප්‍රදායික ඉන්දීය ගැහැනියකගේ මුහුණුවරයි. බොහෝ විට රතු සහ කහ වර්ණයෙන් නළලත තිලක තබා ලස්සන තෝඩු කනේ පැළඳ එක අතක ඔරලෝසුවත් අනෙක් අතේ ලස්සන වළලුත් පැළඳ ඇඟිලි අතරෙහි නවරත්න මුදුව සේම තවත් මුදු පැළඳි ඇය දෙවුර වැසෙන සේ සාරිය හැඳ සිටියාය. එහෙත් ඇය සමාජ සංස්කෘතික නිර්ණායක තුළ සිරකාරියකවූ ගැහැනියක නොව නිදහස් අදීන ගැහැනියකම වූවාය. ඒ අපූර්වතම ගැහැනියගේ දිවිය සරසාලූයේ රන් අභරණ, කීර්ති ප්‍රශංසා සහ නිදහස, ප්‍රේමය විසින් පමණක් නොවේ. සම්මාන වැස්සකින් වට මුතු බිඳිතිවලින් සරසන ලද්දකි ඇය; ජීවිතය. 

National film awards

1972: Best female playback singer for songs of the film paricha

1974: Best female playback singer for songs of the film kora kagaz

1990: Best female playback singer for songs of the Lekin

Filmfare awards

1959: Best female playback singer for the song ‘Aaja re pardesi’ from Madhumathi

1963: Best female playback singer for the song ‘Kahi Deep Jale Kahi Dil’ from Bees saal Baad

1966: Best female playback singer for the song ‘Tumhi Mere Mandir Tumhi Meri Pooja’ from Khandan

1970: Best female playback singer for the song ‘Aap Mujahe Achhe Lagne Lage’ from Jeene Ki Raah

1994: Filmfare lifetime achievement award 

1995: Filmfare special award for ‘Didi Tera Devar Deewana’ from Humaapke Hain Koun

Government of India awards

1969: Padma Bhushan 

1989: Dada sahib Phalke award

1999: Padma Bibhushan

2001: Bharat Ratna

2008: ‘One time award for lifetime achievement’ honour to commemorate the 60th anniversary of India’s independence

මේ ඇය පූජා ලද සම්මාන සමුදායෙන් කිහිපයකි.

තනිකඩ දිවියක් ගෙවූවද ඇය ප්‍රේමය තුළ නොබැඳුණු ගැහැනියකද නොවේ. ඇය ගීතය සේම ප්‍රේමයද සොඳුරු ලෙස විඳි ගැහැනියකි. මරණය තෙක් විවාහ බන්ධනයක නොබැඳෙන්නට ලතා තීරණය කළේද ප්‍රේමය නිසාමය. ඇය පෙම් කළේ හරියානා ප්‍රාන්තයේ රාජ්‍යත්වයේ කිරුළ දැරෑ මහාරාජාගේ බාල පුත් රාජ් සිං ධුන්ගර් පූර්ටය. ඒ ප්‍රේමයට රාජ් සිංගේ පියා දැඩි ලෙස එරෙහි වූයෙන් දිවිය පුරා තනිකඩව සිටින්නට දෙදෙනාම තීරණය කළහ. ලතා සේම රාජ් ද දිවිතුරා රුක්කේ ඒ ගිවිසුමයි. එමෙන්ම ඇය සේම ඇගේ සොයුරු සොයුරියන් හැමදෙනාමත් සංගීතය හා බැඳී සිටියහ. එහෙත් ලතා මංගේෂ්කර් තරම් ඒ ගමන් මගේ අද්විතීය ප්‍රවේශයක් කරා ඔවුන් නොආ බව මගේ හැඟීමය.

දෙස් විදෙස් සම්මානවලින් සේම ඉන්දියාවේ ශිවාජී සරසවිය, කොල්හපූර් සරසවිය, පූනෙයි සරසවිය, හයිද්‍රබාද් සරසවිය යන සරසවිවලින් සංගීතය පිළිබඳ ආචාර්ය උපාධීන්ගෙන්ද ඇය පිදුම් ලද්දාය.

එසේ වූ සම්මානවලින් සේම සුවහසක් ශ්‍රාවක සම්මානයෙන්ද පිදුම් ලබමින් සියක් දහසක් සවන් පිනවූ භාරත ගීත කෝකිලාව නම් මේ අසහාය සොඳුරු හිතුවක්කාරිය ගැන ඉන්දියාවේ දැවැන්තයින් තැබූ මතක සටහන් කොතරම් අපූරුදැයි මට සිතේ. 
ලතා දරදඬුයි, හිතුවක්කාරයි, සියල්ල සීයට සීයක්ම අකුරටම කළ යුතු බව සිතන්නියක්.

- මහා සංගීතඥ නෞෂාද් අලි 

සංගීත අඹරේ පෑයූ ඉහළම තරුව ඇයයි.

- භාරත නළු දිලිප් කුමාර්

ගීත කෝකිලාවක් ලෙස ලතා දේශපාලනඥයන් 500කට කරන්න බැරි මෙහෙවරක් කළා

- රංගවේදී සුනිල් දත්

ලතා සරස්වතී දේවියට සමානයි.

- චිත්‍රපට අධ්‍යක්ෂ හරිකේෂ් මුකර්ජි

ඒ සා නිර්වචනයන්ට පාත්‍ර වූ ඒ භාරත සරස්වතිය ජීවන පුස්තකයේ 93 වැනි පරිච්ඡේදය තෙක් කිය වූ යුරු කොතෙක් නම් අපූරුද? ජීවිතය, ප්‍රේමය, ආදරය සේම සංගීතය ද දිවි මං තලාවේදී දිවි සරණ තෙක් විඳි ඒ අපූරු ගැහැනිය, අසමාන සුගායිකාව, භාරතයේ සොඳුරු සරස්වතිය, ලතා මංගේෂ්කර් නමින් ගී යුගයක් සනිටුහන් කළ ගී ඕවිල්ලක අප නැලවූ ගී නැලවිලිකාරිය නියත දහමට අවනතව යන්නට ගොසින්ය.

ලතා මංගේෂ්කර්...

ඔබේ සොඳුරු ගීතාවලියට අදත් හෙටත් හැමදාමත් අපි හරිම ආදරෙයි!

 සංජීවිකා සමරතුංග