තවත් පෙම්වතුන්ගේ දිනයක් (Valentine’s day) අවසන් විය. මීට දශක තුනකට පමණ පෙර බටහිර රටවලින් මෙරටට පැමිණි පෙම්වතුන්ගේ දිනය සංකල්පය මේ වනවිට මෙරට මුල්බැස ගොස් අවසන්ය. පෙබරවාරි මාසය යුරෝපා රටවල පමණක් නොව ශ්‍රී ලංකාවද රක්ත වර්ණයන්ගෙන් හැඩවෙන මාසයකි. පෙබරවාරි මාසය ආරම්භ වනවාත් සමඟ පෙම්වතුන් පමණක් නොව වෙළෙඳ ව්‍යාපාරිකයෝ ද පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් සූදානම් වෙති.
පසුගිය වසර දෙක තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් වෙනදා මෙන් පෙම්වතුන්ගේ දිනය සමරන්නට නොහැකි වුවද මෙවර පෙම්වතුන්ගේ දිනය උත්කර්ෂවත් අන්දමින් බොහෝ දෙනකු සැමරෑ අතර ඒ සඳහා පැවැත්වූ ඇතැම් ප්‍රසංග හා උත්සවවලට පැමිණි බොහෝ පෙම්වතුන් පෙම්වතියන්ට කොවිඩ් සහමුලින්ම අමතක වී තිබුණි.
පසුගියදා පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් කොළඹ ඇතුළු බොහෝ හෝටල්වල උත්සව සංවිධානය කර තිබූ අතර ඒවාට සහභාගි වූ පෙම්වතුන් සැබෑවටම පැමිණියේ තම ආදරවන්තිය සමඟදැයි සැකයක් පවතී. කොල්ලුපිටිය එක්තරා හෝටලයක පෙම්වතුන්ගේ දිනය දා රාත්‍රියේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහිදී එක් අයකු සඳහා ප්‍රවේශ පත්‍රය මිල කරන ලද්දේ රුපියල් තුන්දහසකටය. නමුත් මේ සඳහා තම සහකරු හෝ සහකාරිය (Partner) සමඟ පැමිණෙන්නේ නම් එක් අයකුගේ ප්‍රවේශ පත්‍රය මිල කරන ලද්දේ රුපියල් දෙදහස් පන්සීයකටය. මෙහිදී රාත්‍රී ආහාර වේලක් පිරිනැමුණු අතර හිතේ හැටියට නර්තනයේ යෙදෙන්නට ද සංගීතය සපයා තිබිණි. තමන්ට අවශ්‍ය මත්පැන් ගෙන පැමිණිය හැකි වූ අතර මත්පැනින් පදම් වුණු බොහෝ පිරිමින් මෙන්ම කාන්තාවන් ද ඇති පදමට නර්තනයේ යෙදී ඇති බව කියති. ඇතැම්හු පැමිණ තිබුණේ තම ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟ නොව උත්සවය පැවති හෝටලය ඉදිරිපිටදී රුපියල් තුන්දහසක් ගෙවා මිලදී ගත් සහකරුවකු හෝ සහකාරියක සමඟ බවත් ඔවුන් එකට නර්තනයේ යෙදී ඇති බවත් සඳහන්ය. අඩ අඳුරේ බෝල්රූම් නර්තනයේ (Ballroom dance) යෙදුණු ඇතැමුන් රාත්‍රී කාලය ගත කර ඇත්තේ එම හෝටලයේම කාමරයක් තුළය. මේ සැබෑ ආදරයක් නොව, පෙම්වතුන්ගේ දිනය දා මිලදී ගත් ප්‍රේමයකින් තම ජීවිතයේ වටිනාකම එක මොහොතකින් විනාශ කර ගැනීමකි.
පෙම්වතුන්ගේ දිනය දා රතු රෝස මලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. තම ආදරවන්තියට රතු රෝස මලක් තෑගි කරන පෙම්වතුන්ට මෙවර රතු රෝස මලක මිල ඉතා අධික විය. පසුගිය දිනෙක ඉන්දියාව සහ තායිලන්තයේ සිට පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් රෝස මල් කිලෝ තුන් දහසකට අධික ප්‍රමාණයක් පනවා තිබූ ආනයන සීමා බිඳ දමමින් රුගෙනවිත් ඇති අතර එම රෝස මල් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය. මෙවර පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් සාමාන්‍ය ප්‍රමාණයේ රෝස මලක් රුපියල් එක්දහස් පන්සීයකට පමණ අලෙවි වී ඇති බවද වාර්තා විය. ආදරයේ සංකේතය ලෙස හඳුන්වන රතු රෝස මලක් පිරිනමමින් තම ආදරවන්තියව එක් දවසකට සතුටු කිරීමට උත්සාහ දරණ ඇතැම් ආදරවන්තයන් වසරේ ඉතිරි දිනවල වැඩි කාලයක් ඇය සමඟ ගත කරන්නේ අඬදබර මැදය. නමුත් සැබැවින්ම පෙම්වතුන්ගේ ආදරය එක දවසකට පමණක් සීමා නොවේ.
පෙබරවාරි දාහතර වැනිදා හෝටලයේ උත්සවයක් සංවිධානය කරල තිබුණා. එය ඉතා සාර්ථක උත්සවයක්. බොහෝ දෙනා පැමිණියා. ප්‍රකාශ පත්‍රයක මිල රුපියල් තුන්දහස් පන්සීයයි. තෑගිබෝග පවා අපි ලබා දුන්නා. බොහෝ දෙනා රතු වර්ණයට ගැලපෙන වර්ණවලින් හැඳ පැළඳගෙන පැමිණ සිටියා. පැමිණි සැමදෙනාම වගේ ගොඩක් සතුටු වුණා. හෝටලය පැත්තෙන් අපිට කළ හැකි උපරිම දේ අපි ඔවුන්ගේ සතුට වෙනුවෙන් ලබා දුන්නා. යැයි කොළඹ තරු පහේ හෝටලයේ නිලධාරියෙක් දේශයට පැවසීය.
බොහෝ විට පෙම්වතුන්ගේ දිනය මුදල් මත පදනම් වූ දිනයක් වී හමාරය. එදිනට තම ආදරවන්තයාගෙන් ආදරවන්තියගෙන් ලැබෙන තෑගිබෝගවල වටිනාකම අනුව එම ආදරය පිළිබඳ තීරණය කිරීමට තරම් පහත් හැඟීමක් ඇති පෙම්වත්හු ඕනෑ තරම් මේ සමාජයේ සිටිති. වටිනා ඔරලෝසුවක්, රත්තරන් ආභරණයක්, ඇඳුමක් පමණක් නොව ඉතා වටිනා සිහිවටන තෑගි දෙන ඇතැම් පෙම්වතුන් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගනු ලබන්නේ දින ගණනාවක් වෙහෙස මහන්සි වීමෙනි. තරුණ වයසේ පසුවන පාසල් දරුවන් තම පෙම්වතියට තෑගිබෝග ලබා දෙන්නේ දෙමව්පියන් දුක් මහන්සි වී හරිහම්බ කරගත් දුප්පත් වැටුපෙනි. තවත් තරුණයෝ සොරකම් කරමින් පෙම්වතුන්ගේ දිනය දා පෙම්වතියට තෑගි ගෙන දෙති. එහි මිලෙහි වටිනාකමක් තිබුණද සැබැවින්ම එවැනි සොරාගත් සිහිවටනයක සැබෑ වටිනාකමක් නොමැත.
ආදරවන්තයන්ගේ දිනය දා කුඩා හෝටල් කාමර පමණක් නොව විශේෂයෙන් මුහුදු අද්දර ඇති කුඩා ලැගුම්හල් පවා පිරී යයි. පැයකට දෙකකට ලැගුම්හලට යන මේ බොහෝ ආදරවන්තියන්ගේ ආදරය එදිනම අවසන් වන අවස්ථා ද තිබේ. තමන්ගේ පෙම්වතා සතුටු කිරීමට, තම ආදරය පෙන්වීමට හෝ පෙම්වතාව තරහ ගැස්වීමේ ඇති අකැමැත්ත නිසාම පෙම්වතුන්ගේ දිනය දා තම කන්‍යාභාවය පිදීමට තරම් ඇතැම් පෙම්වතියෝ අනුවණ වෙති. සියල්ල තේරුම් ගනිද්දී ඇතැම්විට සියල්ල අහිමි වී අවසානය. පෙම්වතුන්ගේ දිනය කිට්ටු වන විට වෙළෙඳසල්වලින් උපත් පාලන උපකරණ අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ යන බවද කියයි. එමෙන්ම මත්පැන්, මත්ද්‍රව්‍යවල ඉල්ලුම ද වැඩි වෙයි. සැබැවින්ම උපත් පාලන උපකරණ, මත්පැන්, මත්ද්‍රව්‍ය නොමැතිව පෙම්වතුන්ගේ දිනය සමරන්නට නොහැකි පෙම්වතුන්ද සමාජයේ සිටින බව එයින් පැහැදිලි වෙයි.
දිශානි ජයමාලි කරුණාරත්න