2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

ඇමැති අස් කළත් ගෙදර නොගිය සතොස සභාපති

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

ආණ්ඩුවේ පුවත් මවන තිඹිරි ගෙයක් ලෙස වර්තමානයේ දී සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (ස.තො.ස) හැඳින්විය හැකිය. සතොස සභාපති ධූරය සම්බන්ධව පසුගියදා ආන්දෝලනාත්මක තොරතුරු වාර්තා වී තිබුණි. වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ නියෝගයෙන් වැඩ තහනමකට ලක්වූ බව පැවසෙන සතොස සභාපතිවරයා සහ එහි ප්‍රවාහන කළමනාකරු පසුගිය සතියේ යළි සේවයට වාර්තා කර ඇතැයි කියැවිණි. බොහෝ දෙනකු මෙම පුවත පිළිබඳ අවධානය යොමුකර තිබුණ ද මෙම සිදුවීමේ අග මුල ඔවුන්ට පැහැදිලිව අවබෝධ නොවිණි. එම නිසාම මේ සම්බන්ධ පුළුල් ලෙස විමසා බැලීමට අපි තීරණය කළෙමු.

සතොස තුළ සිදුවූ බවට ලියැවෙන වංචාවක් පිළිබඳ තොරතුරු මීට සතියකට පමණ පෙර මාධ්‍යයේ අවධානයට ලක්විය. 2019 සිට 2021 දක්වා වූ කාලසීමාව තුළ සිදුවූ අයථා ගනුදෙනුව පිළිබඳ මෙලෙස තොරතුරු හෙළි විය. මේ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙමින් ඇති නිසාවෙන් අපි මෙහිලා කිසිවකුට චෝදනා නොකරමු. එසේ නමුත් ඔබගේ දැනගැනීම පිණිස මෙම සිදුවීම සම්බන්ධ සිදුවීම් පෙළ මෙහිදී පැහැදිලි කළ යුතුය.

මෙම සිදුවීමට හේතු වී ඇත්තේ හඬපටයකි. සතොස ආරංචි මාර්ගවලට අනුව සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතාගේ යැයි පැවසෙන හඬපටයක් එලෙස සතොස ආයතනයේම වෙනත් නිලධාරීන් පිරිසක් අතට පත්ව තිබේ. අදාළ හඬපටයෙන් රුපියල් කෝටි තුනහමාරක අයථා ගනුදෙනුව ඇතුළු මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වන්නේ යැයි එම නිලධාරීන් ප්‍රකාශ කරන බවද වාර්තා විය.

මෙම හඬපටයේ සත්‍යතාව පිළිබඳ විමර්ශන සිදුවන මුත් එහි අන්තර්ගතය සම්බන්ධව මේ වන විට හෙළිවී ඇති තොරතුරු අප ඔබ වෙත ඉදිරිපත් කළ යුතුය. හඬපටයෙන් කියැවෙන පරිදි ඉහත කී රුපියල් කෝටි තුනහමාර ලබා දී තිබෙන්නේ දැනට සීනි මිලදී ගන්නා ව්‍යාපාරිකයා ඉවත් කර එය තමන් වෙත ලබාගැනීමේ අරමුණින් ක්‍රියාකළ ව්‍යාපාරිකයෙකි. සමාජ මාධ්‍ය සහ වෙබ් මාධ්‍යවල හෙළිදරව් අනුව එම ව්‍යාපාරිකයා මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකු බව කියැවේ.

දැනට ඇති තොරතුරු අනුව මෙම ගනුදෙනුවේ අතරමැදියා වී ඇත්තේ සභාපතිවරයාගේ හිතවතකු වන ප්‍රවාහන අංශයේ කළමනාකරුය. කෙසේ වෙතත් ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ සිට සේවයට වාර්තා කර නැතැයි තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව කෝටි තුනහමාරක මුදලක් ප්‍රවාහන අංශ කළමනාකරුට ලබා දුන් ව්‍යාපාරිකයාට සැකයක් ඇතිව තිබේ. එහිදී ඔහු ගනුදෙනුවට සම්බන්ධ සභාපතිවරයා දැනුවත් කර තොරතුරු විමසා ඇත. ඒ අනුව දැනටමත් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි සභාපතිවරයා පැයකට අධික කාලයක් ව්‍යාපාරිකයා සමඟ සාකච්ඡා කර තිබේ. ගනුදෙනුවේ අතරමැදියා බේරාගැනීමේ සහ සමථයකට එළඹීමේ අරමුණින් මෙම සාකච්ඡාව සිදුව ඇති බවත් මේ වන විට හෙළිදරව් වී ඇති පරිදි එය ඊට අදාළ හඬපටයක් බවත් සතොස ආරංචි මාර්ග තහවුරු කරයි.

මීට අමතරව ආයතනය සතු යකඩ විකිණීම, පැරණි වාහන විකිණීම, ආයතනයේ දැනට පවතින විදුලි සෝපානය ඉවත් කිරීම හා අලුතෙන් සෝපානයක් සවිකිරීම, මුං ඇට මිලදී ගැනීම ඇතුළු කාරණා රුසක් වෙනුවෙන් සභාපතිවරයාට ප්‍රශ්නගත චෝදනා එල්ල වෙමින් තිබේ. ප්‍රවාහන අංශයේ කළමනාකරු සමඟ එක්ව සභාපතිවරයා එම අයථා ගනුදෙනු සිදුකර ඇති බවද කියැවේ. කෙසේ වෙතත් හඬපටය පදනම් කර ගනිමින් ඉදිරිපත් වන මෙම චෝදනා තවමත් ඔප්පු වී නොමැති බව සඳහන් කළ යුතුය. 
තත්ත්වය එසේ වුවද මෙම සිදුවීම සම්බන්ධ තොරතුරු අනාවරණය වීමත් සමඟ සතොස සභාපතිවරයා ඇතුළු නම් හෙළිදරව් වූ නිලධාරීන්ගේ සේවය අත්හිටුවන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබුණි. ගුණවර්ධන මහතා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත මෙලෙස උපදෙස් ලබා දී තිබූ අතර වෙනත් අමාත්‍යාංශයක නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා සිදුවීම සම්බන්ධ පරීක්ෂණයක් සිදුකරවිය යුතු බවට උපදෙස් දී තිබුණි. මෙම උපදෙස් ලබාදීමෙන් පසු ලේකම්වරිය විසින් සභාපතිවරයාගේ සේවය අත්හිටුවීම පිළිබඳ ඔහුව දැනුවත් කර තිබේ. 

මෙම සිදුවීම් පෙළ සිදුවෙමින් පැවති කාලය තුළ පෙර කී සභාපතිවරයා කොවිඩ් ආසාදිතව නිරෝධායනය වෙමින් සිටි බව කියැවේ. එහෙත් තමන් වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදු නොවූ බව පවසමින් ඔහු පසුදා සේවයට වාර්තා කර සිටියේය. සතියක් තුළ දෙවැනි වරටත් සතොස සභාපති ආරවුල පිළිබඳ මහජන අවධනය යොමුවූයේ මේ හේතුවෙනි. සතොස සභාපති ධූරයෙන් ඉවත් කළ බවට පළවූ පුවත් ශීර්ෂ සභාපතිවරයාගේ පැමිණීමට හේතු වූ බව පෙනී ගියේය. 

මෙම ගමන සදාචාර විරෝධී බව සතොස උප සභාපතිවරයා ඇතුළු පිරිසක් කියා සිටියහ. ලේකම්වරිය විසින් ඔහුව දැනුවත් කර ඇති බවත් අදාළ ලිපිය පසුදා ලැබෙනු ඇති බවත් ඔවුහු කීහ. තත්ත්වය එසේ වුවද හඬපටයක් පිළිබඳව තමා නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් සභාපතිවරයා අමාත්‍යවරයාගෙන් හා අමාත්‍යංශ ලේකම්වරියාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ

මේ අතර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ පසුගිය පෙබරවාරි 15 වන දා සිය අත්සනින් වැඩ අත්හිටුවීමේ ලිපිය සභාපතිවරයා වෙත යැවූ බවයි. ඒ අනුව අමාත්‍යවරයා විසින් අදාළ පරීක්ෂණ නිමවනතෙක් සතොස සභාපති ධූරයේ වැඩ බැලීමට වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය පත්කරනු ලැබ සිටී. සභාපතිවරයාගේ ගනුදෙනු සම්බන්ධව ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර ඒවා පිළිබඳවද පරීක්ෂණ පැවැත්වෙන බව අමාත්‍ය ගුණවර්ධන මහතා මාධ්‍යට පවසා තිබුණි.

නියෝගය නොලැබුණු බව කීම නිදහසට කරුණක් නොවේ

සතොස නියෝජ්‍ය සභාපති තුෂාර දිසානයක

ගරු සභාපතිතුමන් වෙත සෘජුවම වෙළඳ අමාත්‍යාංශය මගින් දැනුම් දී තිබෙනවා ඔහුගේ සේවය අත්හිට වූ බව. මෙය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. එතුමන්ට ලේකම්තුමිය විසින් දැනුවත් කරලා තිබෙනවා නම් පරීක්ෂණ නිම වනතෙක් සේවය අත්හිටවූ බව, එය ලිඛිත නොලැබුණා කියලා එය නිදහසට කාරණයක් නෙවෙයි. මේ විදියට ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීම එය සදාචාරාත්මක සහ නෛතිකව විරෝධී කාරණාවක්.

මාව ඉවත් කළා කියලා කවුද කියන්නේ?

සතොස සභාපති වෙනුර ගුණවර්ධන

මාව සභාපති ධූරයෙන් ඉවත් කරල නෑ. ගරු ඇමතිතුමා මාව සභාපති ධූරයෙන් ඉවත් කරොත්, මම අනිවාර්යයෙන්ම සභාපති ධූරයෙන් ඉවත් වෙනවා. නමුත් මම ගරු ඇමතිතුමාගෙන් සහ ලේකම්තුමියගෙන් ඉල්ලීමක් කළා. පුවත්පත්වල පළ වූ මම විසින් සිදුකළා යැයි කියන්නා වූ, මේ ක්‍රියා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න. මාව ඉවත් කරන්න පුළුවන් මගේ පත්වීම් බලධාරියා ගරු ඇමතිතුමා. අමාත්‍යතුමා මාව ඉවත් කරලා නෑ. ඇමැතිතුමා කොතනකවත් ප්‍රකාශ කරලා නෑ සතොස සභාපති ඉවත් කරනවා කරනවයි කියලා. ඉවත් කළා යැයි කියා තිබෙන්නේ මාධ්‍යයට ලිපි ලියූ පුද්ගලයා. ඊට ඇමැතිතුමා වගකියන්න අවශ්‍ය නෑ. ලේකම්තුමිය මාව ඉවත් කියලා &වොයිස් කට්* එකක් දීලා තියනවාද?

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05